විවාහයේ තීරණය කර්ම ශක්තියට භාරදිය යුතු ද ?


 

‘ජීවිතයේ සියල්ල සිදුවනුයේ ඉරණම අනුවයි. කිසිවකුටත් එය වෙනස් කළ නොහැක’ යන වදන් පෙළ අනාදිමත් කාලයක සිට අප සමාජය තුළ මුල් බැස ගත්තකි. පෙර භවයෙහිදී අපට මුහුණ පාන්නට වූ ශුභ අශුභ සිදුවීම් අපේ ඉරණම වශයෙන් හඳුන්වන අතර කර්මය නමින් ද අර්ථ ගන්වයි. 
 
එහෙත් සියලු දේ ශුභ අශුභ කර්ම බලයෙන්ම සිදුවන්නේ නැත. එයට ග්‍රහ බලය ද එක් විය යුතුය. බුදු දහමත් ජ්‍යොතිෂයත් එකට බැඳී පවතී. කර්මය සහ ඉරණම පිළිබඳව බුදු දහමේ ද සඳහන් වේ. එහෙත් ඒ දෙක වෙනස් කළ නොහැකි බවත් බුදු දහමේ කොතනකවත් සඳහන් නොවේ.  


පුරාණයේ විසූ අතිදක්ෂ ඉසිවරුන් විසින් අහසේ ග්‍රහ තාරකාවන්ගේ ගමන පදනම් කර ගනිමින් ගණිත ක්‍රමයන් අනුව ජ්‍යොතිෂ ශාස්ත්‍රය ලෝකයට හඳුන්වා දී ඇත. යම් පුද්ගලයකු මෙලොව ජනිත වන අවස්ථාවෙහි නැගෙනහිර ක්‍ෂිතිජයෙන් පායන ග්‍රහ තාරකාවන් පදනම් කොටගෙන නිර්මාණය වන ඡන්ම පත්‍රය ජ්‍යොතිෂයේ මූලික අංගයයි.  


ඡන්ම පත්‍රයක සියලුම ග්‍රහ බලයන් යහපත් හෝ අයහපත් නොවෙයි. පුද්ගලයාගේ උත්පත්තිය අනුව ඔහුගේ හෝ ඇයගේ පෙර කුසල් අකුසල් බලයන් අනුව ග්‍රහබල ස්වභාවයන්ගේ පිහිටීම මෙයින් අනාවරණය වේ.  
කේන්ද්‍රයක කොටු 12 තුළින් යම් ඡන්මියකුගේ උපතේ සිට මරණය දක්වා සියලුම අවස්ථාවන් මනාව විග්‍රහ කළ හැකිය. එසේ නම් බුදු දහමින් මිනිසාගේ ලෝකෝත්තර දියුණුව සැලසෙන ආකාරයත්, ජ්‍යොතිෂයෙන් ලෞකික දියුණුව සැලසෙන ආකාරයත් අපට පෙන්වා දෙයි.  


ලෞකික ජීවිතය තුළ අප සෑම සියලුදෙනාම සතුටින් ජීවත්වීමට අපේක්ෂා කරමු. අපගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් වූ විවාහය මත ගොඩනැගෙන ඒ ගමන තුළ අප ඉහළින් බලාපොරොත්තු වන්නේ එම සතුට භුක්ති විඳීමටයි. විවාහයෙන් ලබන සතුට හා සැනසීම අඹු-සැමි සමගිය මත රඳා පවතී. ඒ අනුව තම තමන්ගේ සිතුම් පැතුම් ආකල්පවලට ගැළපෙන ජීවිතය පුරාවට යහපත් විවාහ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට විවාහ අපේක්ෂාව සැමගේම පරම අපේක්ෂාවයි.  


මේ අනුව සෑමදෙනාම මොනයම් හෝ ක්‍රම මගින් තම ඉරණම්කරු හෝ ඉරණම්කාරිය හොයාගෙන එතුළින් අප්‍රමාණ සතුටක් භුක්ති විඳී. එසේ නම් විවාහය දෛවෝපගත සිදුවීමක් ලෙස පිළිගන්නට අපට සිදුවේ. එබැවින් ඒ තුළ දෛවයෙන් උරුම වී ඇති හොඳ හෝ නරක භුක්ති විඳීමට සිදුවනු ඇත.  


දෛවෝපගත උරුමයන් පූර්ව කුසල හා අකුසල කර්ම සමඟ බැඳෙමින් විපාක දේ. ජ්‍යොතිෂයට අනුව ග්‍රහයින් මාර්ගයෙන් අපට ඒවා හඳුනාගත හැකිය. මේ අනුව විවාහය සම්බන්ධයෙන් වූ දෛවෝපගත බලපෑම් කේන්ද්‍රගත ශුභ ආකෘතිය තුළින් අපට විග්‍රහ කළ හැකිය.  


ජීවන ගමනේ දිග ගමනක් යන්නට පෙරුම් පුරාගෙන පටන්ගන්නා මෙම යුග දිවිය වසර කිහිපයකට මාසයකට සති ගණනකට හෝ සීමා වී කැඩී බිඳී විසිරී යාමත් ඛේදජනක ඉරණම්වලට ලක්වීමත් දිනෙන් දින වැඩි වෙමින් පවතී.  


විවාහය සම්බන්ධයෙන් දෛවෝපගත බලපෑම් කේන්ද්‍රය තුළින් විග්‍රහ කළ හැකිව තිබියදීත් මෙවැනි සිදුවීම් දිනෙන් දින වැඩිවීම අවාසනාවකි. එබැවින් මෙවැනි කේන්ද්‍ර සටහනක් ඔබට හිමිවී ඇත්තේ එතුළින් ග්‍රහ අපල පසුපස හඹායන්නට නොව ඒවා මගහැර පූර්ව කුසල් බලය මත හිමිකරගෙන ආ වාසනා ගුණය මතුකරගන්ටය.  


පුද්ගලයකුගේ විවාහය සම්බන්ධයෙන් කල්තියා දැනගත හැකි එකම ශාස්ත්‍රය ජ්‍යොතිෂයයි. එසේ නම් විවාහයේ කර්මානුරූපී සැලසුම ද මෙම කේන්ද්‍රය තුළ පවතී. විවාහය පිළිබඳ කර්මානුරූපී උරුමය මැනවින් හඳුනාගත් ජ්‍යොතිෂවේදියා විසින් කළ යුත්තේ පොරොන්දම් පරීක්ෂාවට පෙර ඊට සමගාමී වූ සංසාරගත කර්ම ශක්තියක් ඇති කේන්ද්‍ර සටහනක් හඳුනා ගැනීමයි. කේන්ද්‍රය යනු සියලු ශක්තීන් දුර්වලතා පෙන්වන සටහනක් මිස අපල පෙන්වන සටහනක් නොවේ. මේ නිසා නිවැරදි උපදේශනය තුළ ජීවිතය සකසා ගන්නට තරුණ තරුණියන්ට හැකිවේ.  


කේන්ද්‍රයක දෙවැන්නාධිපති, හත්වැන්නාධිපති සඳු හෝ සිකුරු බලවත්ව ශුභ ස්ථානයක පිහිටි නම් විවාහ විය හැකි බව කිව හැක. අශුභ බලපෑමක් නැති ගුරු ග්‍රහයා දෙවැන්නාධිපතියාට හෝ 7 වැන්න අධිපතියාට හෝ ලග්නාධිපතියාට සඳු හෝ සිකුරු ග්‍රහයාට දෘෂ්ටියක් දෙන අතර ලග්නාධිපති හෝ හත්වැන්නාධිපති යෝග කාරක ග්‍රහයකුගේ නැකතක සිටී නම් විවාහය සිදුවිය හැක.

 
කේන්ද්‍ර දෙකක් විවාහයට සංසන්දනය කරන විට පහත සඳහන් පිහිටීම් කේන්ද්‍ර දෙකෙහිම ඇත්නම් ශුභය. විවාහය කලින් සිදුවීම හා අඹු-සැමියන් අතර සුහදත්වය ඇති කෙරේ.  


කේන්ද්‍ර දෙකෙහිම 7 වන භාවය හිස්ව ගුරුගේ දෘෂ්ටියක් ලැබීම  

හත්වැන්නාධිපති හත්වැන්නේ උච්ච හෝ ශුභ ස්ථානයක වීම  

එක් කේන්ද්‍රයක හත අධිපති අනෙක් කේන්ද්‍රයේ හත අධිපතිට හෝ ලග්නයට පෙනීම  

එක් කේන්ද්‍රයක හත අධිපති අනෙක් කේන්ද්‍රයේ ලග්නාධිපති සතුරු නොවීම  

සිකුරු ග්‍රහයා අශුභ බලපෑම්වලට හසුනොවී බලවත්ව සිටීම  


කේන්ද්‍ර දෙකෙහිම සිකුරු හා ශනිගේ පිහිටීම යහපත් නම් දෙදෙනාටම සතුට හා වේදනාව සමසේ බෙදා ගනියි.  


කේන්ද්‍ර ගැළපීමේදී මූලික වශයෙන් නිරීක්ෂණය කළ යුත්තේ අඹු-සැමි දෙදෙනාට ගැටුම්කාරී තත්ත්වයකින් තොරව ජීවත්වීමට හැකි ග්‍රහචාරයක් තිබේ ද යන්නයි. මෙහිදී කේන්ද්‍ර දෙකෙහි රවි සිකුරු සඳු හා ගුරු ග්‍රහයන්ගේ සහ ඔවුන් සිටි නැකැත් අධිපතියන්ගේ සතුරු මිතුරුකම් ආදිය පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතුය.  


විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ චරිත ස්වභාවය, සෞඛ්‍ය තත්ත්වය, චිත්ත වේහිත පසුබිම, දරුඵල, විවාහ සතුට, වැන්දඹු භාවය, දික්කසාදය, අනාගත දියුණුව ආදී කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මෙයින් කවර තත්ත්වයක් උරුම කරගෙන පැමිණ තිබෙන්නේදැයි හඳුනාගන්නා ජ්‍යොතිෂවේදියා විසෙන් විස නැසීමේ න්‍යාය සැලකිල්ලට ගැනීමෙන් දෝෂ භංග කරන සාධක කෙරෙහි ද අවධානය යොමු කරමින් කර්ම විපාක ඇත්නම් ඒවා අවම වන ආකාරයෙන් කේන්ද්‍ර ගැළපීම සිදුකරයි.  


එසේ හෙයින් විවාහයට ප්‍රථම දක්ෂ ජ්‍යොතිෂවේදියකු මගින් කේන්ද්‍ර ගැළපීම සිදුකර ගැනීම තුළින් කර්ම ශක්තියේ සමගාමී බවක් ඇති ද යන්න හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීන්දු තීරණ ගත හැකිවේ. එමගින් විවාහය නම් වූ මෙම උත්තරීතර බැඳීම ලිංගිකත්වය ඉක්මවා යන අධ්‍යාත්මික සම්බන්ධතාවකින් හා සමාජමය වටිනාකමකින් යුත් බැඳීමක් බවට පත්කරගත හැක. 

 

 

 

 

ජ්‍යොතිර්වේදී  
තුෂාර වික්‍රමසිංහ  
317, දාගොන්න (වැව පාර), මීගමුව.