විවාහයට වාසනාවන්ත කේන්ද්‍රයක් තෝරමු


 

 

කේන්ද්‍රයක එක් ග්‍රහයෙකු බලවත්වීමෙන් ස්වකීය කුලයට සමාන කෙනෙකුද ග්‍රහයින් දෙදෙනකු බලවත් වීමෙන් කුලයට ප්‍රධානියකුද තුන්දෙනකු බලවත්වීමෙන් නෑයින් විසින් පිදිය යුතු කෙනකුද හතර දෙනෙකු බලවත් වීමෙන් ඒ සියල්ලම සමගින් ධන සම්පත් වාසනාව දියුණුවද පස්දෙනෙකු බලවත් වීමෙන් සියලු සැපද හයදෙනෙකු බලවත් වීමෙන් රජෙක් හා සමාන සැපද හත්දෙනෙකු බලවත් වීමෙන් රජෙකුමද වන බව ඉපැරණි පොතපතේ සඳහන් වේ.   


පුරාණ ඉන්දියානු සම්භවයට අනුව මෙසේ රජ සැප ගැන සඳහන් වුවද වර්තමානයට ගැළපෙන ලෙස එහි අදහස සැපවත් බව හා දියුණුවේ උසස්ම තත්ත්වය ලෙස ගළපා ගැනීම වටී. ඇත් අසුන් ගැන සඳහන් වන ගජකේශරී යෝගයද අදට ගැළපෙන ලෙස නවීන වාහන දේපළ සම්පත් ලෙස තෝරා බේරා ගත යුතුය.   


විවාහය තුළ සතුට පමණක් නොව අටලෝ දහමටම මුහුණ දිය යුතු ලෞකික කාරණා ජීවිතයේ කුමන අවස්ථාවක හෝ ඉස්මතු විය හැකි බැවින් ස්ථාවර විවාහයක් පවත්වාගෙන යාමට කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම්වල ප්‍රබලත්වය දායක වේ. හත්වැන්න, හත අධිපති ග්‍රහයා, 7 වැන්නේ යෙදෙන බලවත් යෝග සිකුරු ගුරු සඳු කුජ ග්‍රහයින්ගේ යහපත් පිහිටීම හා බලවත්වීම ඉදිරියට ලබන්නා වූ ගුරු සිකුරු සඳු බුධ ආදී සුභ දසා කාල ආදී සමස්ත කේන්ද්‍රය පිළිබඳවම සැලකිලිමත් විය යුතුයි. ඉදිරියට රාහු ආදී අසුභ දසා කාලවල් යෙදීම විවාහය තුළ ස්ථාවර බව අඩු විය හැක. 

 
කුමන ග්‍රහයෙකු නිසා හෝ 7 වැන්න (උච්චව හෝ ස්වක්ෂේත්‍රව) බලවත්වීම උසස් විවාහයකට හේතුවේ. කේන්ද්‍රයක වටිනා රාජයෝග අතර 1, 4, 7, 10 කේන්ද්‍රස්ථානවල සිකුරු ගුරු ශනි බුධ කුජ බලවත් වී මාලවී, හංස, සස, භද්‍ර, රුචක යන පංච මහා පුරුෂ යෝග යෙදීම ගජකේශරී මහා භාග්‍ය සිංහාසන, පර්වත කේදාර චන්ද්‍රධි චතුෂ්්‍යාගර විපරිත බුධ ආදිත්‍ය ආදී යෝගවලින් එකක් හෝ අවම වශයෙන් කේන්ද්‍රයක යෙදී ඇතිවිට ජීවිතය වාසනාවන්ත වේ. දක්ෂ ජ්‍යොතිර්වේදීන්ගේ තියුණු ඇස ඒ දෙස නිරන්තරයෙන්ම යොමුවේ.   
කෙනෙකුගේ දෙවන ඉපදීම ලෙස සැලකෙන විවාහය සඳහා සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී කේන්ද්‍ර ගැළපීම ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව අතර බහුල වශයෙන් සිදුවන කාර්යයකි. මෙහිදී කුලය, ආගම, උස, රූපය, අධ්‍යාපන මට්ටම, රැකීරක්ෂා, ගේදොර ඉඩකඩම් යානවාහන ආදී වත්කම්, ඉගෙනගත් පාසල හා විශ්ව විද්‍යාලය, මාපියන්ගේ පවුල් පසුබිම ආදී දෘශ්‍යමාන භෞතික කරුණු පිළිබඳව සෑහීමකට පත්වුවත් කේන්ද්‍ර ගළපා ගැනීමේදී තරුණ පිරිස බො​ෙහා් අසීරුතාවලට පත්වෙති.   
වඩාත් ගැළපෙන කේන්ද්‍ර සටහනක් තෝරා ගැනීමට ප්‍රමාණවත් දැනුමක් නැති ඔවුහු ජ්‍යොතිර්වේදීන්ගේ විවිධ මතිමතාන්තර හමුවේ පීඩාවට පත්වන අවස්ථා බහුලව යෙදෙති. මෙම බාරදූර කාර්යයේදී ජ්‍යොතිර්වේදියාගේ දැනුම, ආකල්ප හා මානසිකත්වය මත තරුණ ජීවිතවල ගමන්මග යම්තාක් දුරකට හෝ රඳා පවතී.   


පරිණත ජ්‍යොතිර්වේදියෙක් විවාහය සඳහා කේන්ද්‍රය ගැළපීමේදී පොරොන්දම්වලට වඩා ග්‍රහ ගැළපීම් ගැන උනන්දුවේ. ඔහු කේන්ද්‍ර සටහනක් අතට ගත් සැනින් කැඩපතේ සේ අදාළ පුද්ගලයා පිළිබඳ දළ සිතුවමක් මනස තුළ නිර්මාණය කර ගනිමින් සුවිශේෂිතා හා දුර්වලතා හඳුනාගනී. තදබල දෝෂ යෙදීමකදී හැර කේන්ද්‍ර සටහන් දෙකක් ගැළපීමට ඔහු උත්සාහ ගනියි.   


පළමුව කේන්ද්‍රයක ලග්නය හා ලග්නාධිපති ග්‍රහයන් දෙස බලමු. මේෂයට - කුජ, වෘෂභයට - සිකුරු, මිථුනයට - බුධ, කටකයට - සඳු, සිංහයට - රවි, කන්‍යාවට - බුධ, තුලාවට - සිකුරු, වෘශ්චිකයට - කුජ, ධනුවට - ගුරු, මකරයට - ශනි, කුම්භයට - ශනි, මීනයට - ගුරු වේ.   


ජීවිතයේ ස්ථාවරත්වය උසස් ගතිගුණ, මනා චරිතය හා පෞරුෂය, උපරිම ආයුෂ, නොසැලෙන අධිෂ්ඨානශීලී ගුණය, සෘජු බව, ගාම්භීරත්වය, සමාජයේ පිළිගැනීම රූප ශෝභාව ආදී විශිෂ්ට අංග ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ අයෙකුගේ ලග්නාධිපති ග්‍රහයා බලවත්ව 1 කොටුව තුළ පිහිටයි.   


උදාහරණයක් ලෙස කටක ලග්නය වී ග්‍රහලොව මාතෘකාරක ග්‍රහයා වන සඳු (ච) 1 කොටුවේ පිහිටීම ඉතා වාසනාවන්ත වේ. අනෙක් ලග්න එකොළහටම වඩා සුවිශේෂී යහපත් ගුණාංග මේ තුළ පිහිටයි. මනා රූප සම්පත්තිය හා ප්‍රෞඪත්වය හිමිවේ. ඉතාම කාරුණික සෞම්‍ය ගතිගුණ හිමි උණුවන හදවතක් ඇති අයෙකි. ස්ත්‍රී කේන්ද්‍රයක මෙසේ පිහිටීම ඇය බිරිඳක් පමණක් ලෙස නොව මවක ලෙසද තම ස්වාමියාට සලකයි. මෙසේ පිහිටි සඳු ගුරුගේ දෘෂ්ටියට ලක්වී ගජකේෂරී යෝගය යෙදුණත් අතිශය නිවුණු තැන්පත් ගතිගුණ ඇති නිහතමානී වාසනා ගුණයෙන් පිරි අයෙක් වේ. වෘෂභ රාශියේ සඳු සිටීමද එවැනිම වාසනාවන්ත පිහිටීමක් වේ. අනෙකුත් ලග්න හා ලග්නාධිපති ග්‍රහයින්ද එම ග්‍රහයින්ගේ ස්වභාවය මත 1 කොටුවේ සිටීම සුබ පිහිටීමකි.   


වාසනාවන්ත විවාහයක් සඳහා සිකුරු ග්‍රහයාද මූලිකවේ. උච්ච හෝ ස්වක්ෂේත්‍ර සිකුරු 1, 4, 7, 10 කොටුවල පිහිටා පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී යෝගය යෙදීම ඉතා සුබ පිහිටීමකි. උදාහරණයක් ලෙස තුලා ලග්නය වී සිකුරු 1 සිටීම, කටක ලග්නය වී සිකුරු 4 සිටීම, මේෂ ලග්නය වී සිකුරු 7 සිටීම මකර ලග්නය වී සිකුරු 10 සිටීම සියලු යස ඉසුරින් පිරි සමෘද්ධිමත් ජීවිතයකට හේතුවේ. සැපවත් විවාහ ජීවිතයක් ගත කරයි.   


කේන්ද්‍රයේ සිව්වැන්න කෙනෙකුගේ හදවතයි. උසස් ගතිගුණ හා දේපළ කේන්ද්‍රයක 4 වැන්න බලවත් වීමෙන් යෙදේ.   


කේන්ද්‍රයක හත්වැන්න බලවත් වීමෙන් උසස් විවාහයක් යෙදේ. සහකරුට හෝ සහකාරියට දියුණුව සැලසේ. කුමන ග්‍රහයෙකු හෝ හත්වැන්නේ බලවත්වීම සුබදායකය. විවාහය ස්ථිර එකක් වේ. ලිංගික ශක්තීන් බලවත්වේ. හත්වැන්න කොතෙක් ගැළපුණත්, දුස්සීල ගති බේබදුකම්, අයාලේ යන වනචර ගති, ලෙඩ රෝග, නපුරු කුහක ගති, මාපියන්ට නොසලකන විවාහයෙන් පසු දියුණුව නැති දසාවල් ලැබීම අකල් මරණ, දික්කසාදවීම් ආදී කරුණු සඳහා හේතු වන වෙනත් ග්‍රහ පිහිටීම් ඇතොත් විවාහයට බාධාවකි.   
7 අධිපති ග්‍රහයා 7 වැන්නේ උච්චම හෝ ස්වක්ෂේත්‍රව යෙදීම ස්ථිර වාසනාවන්ත විවාහයකට හේතුවේ. උදාහරණයක් ලෙස කටක ලග්නය වී ශනි ග්‍රහයා 7 වැන්නේ යෙදී සස නම් පංච මහා පුරුෂ යෝගය යෙදුනු විට කුමන බාධා පැමිණියද දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුතුව උසස් අයුරින් විවාහ දිවිය ගත කරයි. ස්ථිර සැපවත් උසස් විවාහයක් වේ. ඕනෑම කේන්ද්‍රයක් හා ගැළපීමට සුදුසු වේ.   


සුභ ග්‍රහයෙකු ලෙස සැලකෙන ගුරු 7 වැන්නේ යෙදීම මුලදී උසස් අයුරින් විවාහය ගෙන ගියත් පසු කාලීනව අවුල් ගති ඇතිවීමට ඉඩ ඇති බවට මත පවතී. වෙනත් ප්‍රබල (3) ග්‍රහ යෝග මත සුබ ඵල ඇති වියහැක.   


හත අධිපති ග්‍රහයා කොතැනක හෝ නීච වීම ලිංගික රුචිකත්වය පිළිබඳ දුර්වලතා ඇති විය හැක. සිකුරු ග්‍රහයා 7 හි හෝ වෙනත් කොටුවක නීච වුවද ලෞකික දියුණුව සෙමිනි. සිකුරු සඳු ග්‍රහයින් 7 හෝ වෙනත් තැනක බලවත්වීම ඉතාම සුබ පිහිටීමකි. සමාන ග්‍රහ පිහිටීම් තුළින් පමණක් දෝෂ භංග නොවේ. රවි, රාහු, කුජ 7 වැන්නේ යෙදීම විවාහ දිවිය තුළ අවුල් ඇතිවීමට ඉඩකඩ ඇත. කුජ 1, 2, 4, 7, 8, 12 ස්ථානවල යෙදීම වෛදව්‍ය දෝෂයකි.   


කේතු ග්‍රහයා 7 වැන්නේ යෙදීම මධ්‍යස්ථයි. ගුරු දෘෂ්ඨිය හත්වැන්නට ලැබීම හෝ හංස යෝගය යෙදීම බොහෝ දෝෂ භංග කරයි. උදාහරණයක් ලෙස කටක ලග්නය වී ගුරු 1 කොටු වී සිටීම.   


කේන්ද්‍රයක 1, 4, 7, 10 ස්ථාන බලවත්වීමද වාසනාවන්ත දිවියකට හේතුවේ.   


මේ ආකාරයක ඕනෑම ලග්නයක කේන්ද්‍රස්ථාන හතරෙන් කීපයක් හෝ බලවත්වීම සුබයි. එවිට කෙනෙකුගේ චරිතය, පෙනුම, සෞඛ්‍ය, මනස, දේපළ හා යානවාහන, විවාහ සහකරු, රැකියාව යන අංග ප්‍රබලත්වයට පත් කරයි.   


කේන්ද්‍රයක 5 අධිපති 5 වැන්නේ හෝ වෙනත් සුභ තැනක බලවත් උසස් ඉගෙනීම ප්‍රේමය, දියුණුවන දරුවන් ලැබේ. මේෂ ලග්නයේ රවි 5 වැන්නේ වෘෂභ ලග්නයේ බුධ 5 වැන්නේ මිථුන ලග්නයේ සිකුරු 5 වැන්නේ කටක ලග්නය කුජ 5 වැන්නේ සිංහ ලග්නයේ ගුරු 5 වැන්නේ කන්‍යා ලග්නයේ ශනි 5 වැන්නේ ආදී වශයෙනි. 5 වැන්නේ ග්‍රහයින් 5 අධිපතියා සඳු සිකුරු ගුරු කුජ ග්‍රහයින් හා කිරි වෘක්ෂ හිමිවීම නාඩි මහේන්ද්‍ර පොරොන්දම් සුබවීමද දරුවන් උසස් කරයි.   


කේන්ද්‍රයක 9 වැන්න බලවත් වීමෙන් පෙර පින් වාසනා බලයද 10 වැන්න බලවත් වීමෙන් උසස් රැකියාද 11 වැන්න බලවත්වීමෙන් ලැබීම් ද ඇති කරයි. කුජ, ගුරු, රවි 10 වැන්නේ යෙදීම සුබයි. කේන්ද්‍රයක රවි උච්චවීම මෙන්ම නීච වීමද උසස් සුභ ඵල උදාකරයි.

   
නීච ග්‍රහයෙක් උච්ච ග්‍රහයෙක් සමග යෙදීමෙන් නීච භංග රාජයෝග යෙදේ. විවාහයට කේන්ද්‍රයක් තේරීමේදී 7 වැන්න පමණක් නොව ලග්නය, ලග්නාධිපති, 7 අධිපති හතර කේන්ද්‍රස්ථාන රාජයෝග, ධන යෝග, කුජ දෝෂ, කනවැන්දුම් යෝග ආදී සුබ අසුබ දෙපැත්තම පරික්ෂා කළ යුතුයි. වාසනාවන්ත ග්‍රහ රටා පිරි ග්‍රහ සිත්තමක් ඔබේ දුවට පුතාට තෝරා දීමට මෙම මූලික කාරණ යම්තාක් දුරකට ප්‍රයෝජනවත් වනු ඇත.   


කෙනෙකුට එවැනි කේන්ද්‍ර පිහිටන්නේ පෙර භවවලදී කරන ලද අපමණ පුණ්‍ය බල ශක්තීන් නිසාය. යහපත් ලෙස කටයුතු කිරීමෙන් බොහෝ දුර්වලතා මගහැරී යන අතර විශේෂතා තවතවත් සුවිශේෂී වනු ඇත. ප්‍රබල හෝ දුබල ග්‍රහ පිහිටීම් තිබුණද කර්ම ශක්තීන් ඵලදීම එකිනෙකාට වෙනස් විය හැක. එය ඉතාම නිවැරදිව දැකිය හැක්කේ බුදුවරයෙකුට පමණි.   


විවාහයෙන් පසුව පරික්ෂා කරන සමහර කේන්ද්‍ර සටහන්වල විවාහය අවුල්වීමට හේතුවී ඇත්තේ නොපෙනෙන ග්‍රහයින්ගේ නොගැළපීමම නොව, භෞතික පැත්ත බලා කරන සමහර තේරීම්ය. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් විවාහයට තෝරාගනී. ටික දිනකින් වෛද්‍යවරයා ලංකාවේ උතුරු කොනේය. වෛද්‍යවරිය දකුණු කොනේය. දරුවන් කොළඹ පාසල්වලය. විවාහයද අසාර්ථක වී ඇත.   


අනාගතය ගැන නොහිතා ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පඩිය තත්ත්වය ගැන සිතමින් නොගැළපෙන වෘත්තිකයින් විවාහයට තෝරා ගැනීමෙන් අසාර්ථක වන විවාහයට ග්‍රහයින්ට දොස් පවරා වැඩක් නැත. කොතරම් මුදල් ඉපයුවද ටික කලකින් කලකිරීමෙන් ඔවුහු ජීවත් වෙති. එක්කෝ දෙදෙනාගෙන් එක් අයෙක් පිටරටය. එක්කෝ එක්කෙනෙක් දවල් වැඩය. අනෙකා රෑ වැඩය. දරුවෝ මහගෙදරය.   


ජීවිතයට එක් වරක් පමණක් කරන විවාහයට දෙදෙනාම එක හා සමානව කාර්යය බහුලවීම පසුකාලීනව ගැටලු ඇතිවීමට මූලික හේතුව වී ඇති බව අසාර්ථක විවාහක අයගේ කේන්ද්‍ර සටහන් පරික්ෂා කිරීමේදී පෙනී යයි. ග්‍රහයින්ද මෙවැනි පවුල් දෙස බලා දුක් වනවාට සැකයක් නැත. නිවැරදි තීන්දු තීරණ සමග වාසනාවන්ත කේන්ද්‍ර සටහනක් හිමි අයෙකු තෝරාගැනීම ජීවිතයේ සාර්ථකත්වයට හේතුවනු ඇත.   

 

 


ජ්‍යොතිර්වේදී 
සිරිනේරිස් අප්පුහාමි   
දැරණියගල