විවාහය ප්‍රමාද කරන ග්‍රහයෝ


යොවුන් වියට පා තබන යෞවන යෞවනියන්ගේ ඉමහත් බලාපොරොත්තුව වන්නේ සතුටින් පිරුණු සාර්ථක ප්‍රේම සම්බන්ධතාව ගොඩනගාගෙන ඉන්පසු සාර්ථක යුග දිවියක් ආරම්භ කිරීමටයි. එහෙත් මෙම ප්‍රේම සම්බන්ධතා අතරමග බිඳවැටීම් හෝ සඵලවීම් තම ජන්ම කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ බල දුබලතා මත සුබ හෝ අසුබ ප්‍රතිඵල උදාවනු ඇත.  
විශේෂයෙන් තම ජන්ම කේන්ද්‍රයේ පස්වැන්න ප්‍රේම සාගරයේ උල්පත බඳුය. මිථුන මකර මීන ලග්න හිමියන්ගේ පස්වැන්නේ සඳු සිකුරු බුධ ගුරු යන සුබ ග්‍රහයන්ගේ යෝගවීමද පස්වැන්නාධිපති හා හත්වැන්නාධිපති යෝග කාරක බලයෙන් යුතුව ඉහත ස්ථානවල පිහිටියේ නම් එය ඉතා ආදර බැඳීමකින් යුතු ශක්තිමත් යුග දිවියකට මංපාදනු ඇත.  
එහෙත් කුජ සිකුරු හෝ කුජ සඳු බුධ යන ග්‍රහයින් කුජ හෝ රාහු සමග යම්කිසි ජන්මියකුගේ කේන්ද්‍රයේ පස්වැන්නේ පිහිටි කල ළාබාල වියේදීම ප්‍රේම සම්බන්ධතා ඇති කරගනු ලැබුවද එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත. කුජ රාහු වැනි පාප ග්‍රහයින් පස්වැන්නේ පිහිටි කල ප්‍රේමය ආදරය නිසා මානසික පීඩාවන්ට ලක්වනු නොඅනුමානය. මෙවැනි ග්‍රහ පිහිටීම් ඇති අය අනුන් රැවටීමේ දක්ෂයෝ වෙති.  


​ෙම් අය විවාහ දිවියට පත්වුවද ආරවුල්වලින් පිරි කටුක යුගදිවියක් වනු ඇත. එපමණක් නොව කේන්ද්‍රයේ හත්වැන්නද විවාහයට මූලිකව ගෙනදෙන ස්ථානය බැවින් පස්වැන්නේ හෝ හත්වැන්​නේ බලයෙන් ප්‍රේමය ආදරය දිනා ගත්තත් හත්වැන්නේ සෞම්‍ය ග්‍රහ බලයක් නැතිනම් ශනි කේතු කුජ රාහු වැනි පාප ග්‍රහයින් යෝග වී එම ස්ථානයේ සිටීම නිසා විවාහක යුවළ අතර ආරවුල් වියවුල් නිතර සිත් වේදනා ඇතිවීමෙන් හේතුවක් නොමැතිව අඩදබර ඇතිවීමෙන් කායික හා මානසික සුවය දියුණුව පිරිහී යනු ඇත.  


විශේෂයෙන් ස්ත්‍රියකගේ විවාහය ප්‍රමාදයට හේතු වන කාරණා රැසක් තම ජන්ම කේන්ද්‍රය තුළින් දැකිය හැකිය. එනම් දෙක, හත සහ අට වැන්නේ කුජ රාහු කේතු රවි ශනි යන බලවත් පාපී ග්‍රහ බලය මෙන්ම හය හත අට යන ස්ථානවල මෙම ග්‍රහයින් යෝගවීම හා පරිවර්තනය වූ විට පාප කර්තරී යෝගය පිහිටා ඇත්නම් විවාහයක් සිදුනොවීමටද ඉඩකඩ ඇහිරෙන අවස්ථා ඇතිවිය හැකිය. කේන්ද්‍රයක ශනි මංගල යෝගය මෙන්ම චන්ද්‍ර මංගල යෝග උදාවී ඇත්නම් කොතරම් දැන උගත් වත්පොහොසත් හා රූමත්කම කඩවසම් බව තිබුණද ප්‍රේම සම්බන්ධතා අතර මග වේදනාකාරී ලෙස විසිරී යනු ඇත. එහෙත් ඇතැම් අය මේ සියල්ල විඳ දරාගෙන තම යුගදිවිය ජීවිත කාලය තුළ කටුකව හෝ ගෙන යනු ඇත?  
කෙසේ නමුදු පෙර අත්බවයන්හි කළ අකුසල් මත තම ජන්ම පත්‍රයේ විවාහ දෝෂ ඇති වුවද මේ අත්භවේ යහපත් කුසල් කිරීමෙන් සහනයක් ලබාගැනීමට හැකිවී නම් මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍රයෙන් ශාන්ති ක්‍රමවේද මගින් ද යහපත උදාකර ගැනීමට හැකිවනු ඇත.  


මෙවැනි ග්‍රහ බලය ඇති අය ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමෙන් යුග දිවියේ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.  

 

 


ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද  
ජේ.එම්. ජයන්ත ඒකනායක  
සියපත කාර්යාලය  
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල