විවාහය කෙරෙහි සෙනසුරුගේ බලපෑම


 

ජ්‍යොතිෂය ගැන අඩු වැඩි වශයෙන් දන්නා ඕනෑම කෙනෙකු සෙනසුරුගේ නම ඇසූ පමණින්ම බියට පත්වන ස්වභාවයක් පවතී. එසේ වන්නේ සෙනසුරුගෙන් කිසිවිටකත් යහපතක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. ලෞකික ජීවිත ගතකරන බාල තරුණ මහලු යන ඕනෑම වයස් සීමාවක පසුවන අයට සෙනසුරුගෙන් යහපතක් සිදුවූවා නම් ඒ ඉතා සුළු වශයෙනි. සමහර පුද්ගලයින්ට සෙනසුරුගෙන් යහපත් ප්‍රතිඵල ලබාදී ඇති බව ද සඳහන් කළ යුතුය.   


සෙනසුරු ගැන සඳහන් කිරීමේදී විවාහය කෙරෙහි ඇතිකරන බලපෑම ඉතා ප්‍රබල බව කිව යුතුය. සෙනසුරු ලෞකික ජීවිතය, විවාහ සැපත, සතුට ප්‍රිය කරන ග්‍රහයෙකු නොවේ. සෙනසුරු ලෞකික අනිෂ්ඨ ග්‍රහයෙකු වන අතර විවාහයේ සැපත සතුට ළඟා කරන සඳු, සිකුරු, කුජ සහ ගුරු වැනි ග්‍රහයින් සමග සංයෝග වීමෙන් හෝ එම ග්‍රහයින්ට දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වීමෙන් සෙනසුරු ඇති කරන බලපෑම ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන අයගේත් විවාහවීමට අපේක්ෂාවෙන් සිටින අයගේත් සහ විවාහයක් සිදුකර ගැනීමට නොහැකිව දිගින් දිගටම විවාහ ප්‍රමාද වන අයගේත් දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.   


සෙනසුරු 7 වැන්නේ තැන්පත්වීම විවාහ ප්‍රමාදය කෙරෙහි තදින් බලපෑ හැකිය. විශේෂයෙන්ම සෙනසුරු 7 වැන්නේ ශුභ ග්‍රහ දෘෂ්ටි නොලබා තැන්පත් වීමත් කේන්ද්‍රයක 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු 7 වැන්නේ තැන්පත් වීමත් විවාහ ප්‍රමාදයට තදින් බලපෑ හැකිය. එසේම විවාහ වූ අයෙකුගේ වුවද 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක අධිපති වශයෙන් සෙනසුරු 7 වැන්නේ තැන්පත්වීම විවාහ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කෙරේ. එමෙන්ම සෙනසුරුගේ දෘෂ්ටිය 7 වැන්න වෙත එල්ල වීමද විවාහ ප්‍රමාදය මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම් ඇති කළ හැකිය. සෙනසුරු ලග්නයේ, 5 වැන්නේ සහ 10 වැන්නේ තැන්පත් වූ විට 7 වැන්න සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වේ.   
කේන්ද්‍රයක 7 වැන්න අධිපති විවාහයේ පැවැත්ම සහ විවාහයක් සිදුකිරීමේ වගකීම දරන ප්‍රධාන ග්‍රහයෙකු වශයෙන් හැඳින්විය හැකිය. සෙනසුරු 7 වැන්න අධිපති සමග සංයෝගවීම විවාහ ප්‍රමාදයට මෙන්ම විවාහයේ පැවැත්ම කෙරෙහිද අයහපත් බලපෑම් ඇති කළ හැකිය. විවාහයට සම්බන්ධ අනෙකුත් ග්‍රහයින් වන සඳු, සිකුරු, කුජ, ගුරු දුර්වල තත්ත්වයෙන් කේන්ද්‍රයක පවතින විට 7 අධිපති සෙනසුරු සමග සංයෝග වූ විට විවාහ ප්‍රමාදය දීර්ඝ කාලයක් දක්වා පවතිනු ඇත.   


සඳු සෙනසුරු සමග සංයෝග වීම විවාහය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි තවත් පිහිටීමකි. සඳු සෙනසුරු සමග සංයෝග වී උත්පත්තිය ලැබූ විට උපතින්ම ජන්ම ඒරාෂ්ඨකයක් සමග උපත ලබා ඇත. සඳු ඉතා සෞම්‍ය ග්‍රහයෙකු වන අතර ලෞකිකත්වය සහ සැප සම්පත් ප්‍රිය කරන ග්‍රහයෙකි. සෙනසුරු සමග සංයෝග වූ විට එම සෞම්‍ය ගතිගුණ සෙනසුරු විසින් උකහා ගනී. මකර, කුම්භ, තුලා යන සෙනසුරුට වැඩි බලයක් ඇති රාශිවල මෙන්ම විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථානයක මෙම සංයෝගය යෙදුණ විට විවාහ ප්‍රමාදය තවත් වැඩි කෙරේ. එමෙන්ම කටක, සිංහ, වෘශ්චික යන සෙනසුරුට සතුරු බලයෙන් යුක්ත රාශිවල මෙම සංයෝගය යෙදුන විට එහි අයහපත් තත්ත්වය තවත් වැඩි කෙරේ. 7 වැන්නේ මෙම සංයෝගය යෙදුන විට විවාහයක් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඇතිවිය හැකිය.   


සෙනසුරු සිකුරු සංයෝගය විවාහය කෙරෙහි බලපෑම් ඇති කළ හැකි වැදගත් සංයෝගයක් වශයෙන් සඳහන් කළ හැකිය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කේන්ද්‍රවල විවාහ කාරක සිකුරු වේ. එබැවින් සිකුරු සෙනසුරු සමග සංයෝගවීම විවාහයට තදින්ම බලපෑම් ඇති කළ හැකිය. සිකුරු පුද්ගලයෙකුගේ ආදරය, හැඟීම්, කාමාශාව, සැප සම්පත් විඳීම නියෝජනය කෙ​රේ. සෙනසුරු ලෞකික ජීවිතය ප්‍රිය නොකරන ග්‍රහයෙකු බැවින් මෙම සංයෝගය කේන්ද්‍රයක පවතින විට සිකුරුගේ ඇති සියලුම ප්‍රකෘති ස්වභාවය සෙනසුරු ග්‍රහණය කර ගනී.   


එබැවින් මෙම සංයෝගය විවාහ ප්‍රමාදය තදින්ම ඇතිකරන අතර විවාහයට අතරමගදී නොයෙකුත් ගැටලු ඇති කළ හැකි පිහිටීමකි. මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ට 7 වැන්න අධිපති සිකුරු වන බැවින් එම ලග්න හිමියන්ට මෙයින් වැඩි බලපෑමක් ඇති වේ. මෙම සංයෝගය මකර හෝ කුම්භ රාශිවල යෙදුණ විට සිකුරුගේ බලය දුර්වල වී සෙනසුරුගේ බලය ඉස්මතු වේ. තවද සිකුරු සෙනසුරු ඉතාම කිට්ටු අංශකවල පිහිටි විටද මෙම සංයෝගයේ ප්‍රබලතාව වැඩි වේ. එබැවින් මෙහි අහිතකර බලපෑම ද වැඩි වේ. විවාහයට සම්බන්ධ අනෙකුත් සාධක දුර්වලව කේන්ද්‍රයක පවතින විට මෙම සිකුරු සෙනසුරු සංයෝගය අවිවාහකව සිටීමට ද හේතු වේ.

   
ගුරු සෙනසුරු සංයෝගය ද විවාහය දීර්ඝ කාලයක් ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. සෙනසුරු ලෞකිකත්වයට නැඹුරු නොවූ ග්‍රහයෙකු ලෙස පෙර සඳහන් කරන ලදී. ගුරු ද යහපත් විවාහයක් සිදුකර ගැනීම සඳහා ඉවහල් වන ග්‍රහයෙකු වුවත් ලෞකික ආශාවන් කෙරෙහි නැඹුරු ග්‍රහයෙකු නොවේ. මෙවැනි ලෞකිකත්වයට නැඹුරු නොවූ ග්‍රහයින් දෙදෙනෙකු සංයෝගවීම නිසා එම පුද්ගලයාට විවාහය සම්බන්ධයෙන් පවතින ආශාවන් අඩු කෙරේ. විවාහයට කෙළින්ම සම්බන්ධ 1, 2, 7, 8, 11 යන ස්ථානවල මෙම සංයෝගය යෙදුන විට විවාහය බොහෝ කල් ප්‍රමාද වේ. විශේෂයෙන්ම 7 වැන්නේ යෙදුන විට විවාහය සිදුනොවීමට වුවද හැකියාව පවතී.   


සෙනසුරු කුජ සමග සංයෝග වීම හෙවත් ශනි මංගල යෝගය ද විවාහ ප්‍රමාදයට මෙන්ම විවාහය අසාර්ථක කරන ග්‍රහ පිහිටීමකි. මෙම සංයෝගය 1, 2, 7, 8, 12 යන ස්ථානවල යෙදුණු විට විවාහය ප්‍රමාද වේ. කුජ ශනි යෝගය 3, 6, 11 යන ස්ථානවල යෙදුණ විට විවාහය ප්‍රමාද වුවත් විවාහයක් සිදු කරගත හැකිය. 7 වැන්නේ යෙදුන විට විවාහයක් සිදුකර ගැනීමට අපහසු වේ.   


ඉහත සඳහන් කළ ග්‍රහ සංයෝගවලට අමතරව සෙනසුරු කේතු සමග සංයෝග වීමද විවාහය ප්‍රමාද කිරීමට දායක වේ. සෙනසුරු මෙන්ම කේතු ද ලෞකික ජීවිතය අප්‍රිය කරන ග්‍රහයෙකි. මෙම සංයෝගය විවාහයට සම්බන්ධ ස්ථාන වන 1, 2, 7, 8, 11 යන ස්ථානවල යෙදුන විට විවාහ ප්‍රමාදය ඇතිවිය හැකිය. ශනි කේතු යෝගය 7 වැන්නේ යෙදුණු විට විවාහවීමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකිය.   


මෙම ග්‍රහ සංයෝගවලට අමතරව සෙනසුරුගේ දෘෂ්ටිය සඳු, සිකුරු, කුජ, ගුරු යන ග්‍රහයින්ට එල්ල වූ විට ද එය සංයෝගයක් වශයෙන් ක්‍රියාත්මක වී විවාහය ප්‍රමාද කිරීම හෝ අසාර්ථක කිරීම සිදුවිය හැකිය. විශේෂයෙන්ම ශනි සිකුරු සප්තම දෘෂ්ටිය කුජ ශනි සප්තම දෘෂ්ටිය සහ ශනි සඳු සප්තම දෘෂ්ටිය හැඳින්විය හැකිය. මෙම සඳු, සිකුරු, කුජ, ගුරු වැනි ග්‍රහයින් 7 වැන්න අධිපති වූ විට සහ 7 වැන්නේ තැන්පත් වූ විට එහි අයහපත්භාවය වැඩි විය හැකිය. තවද සෙනසුරුගෙන් 2 වැන්නේ හෝ 12 වැන්නේ සිකුරු තැන්පත් වීමද විවාහයට අයහපත් ග්‍රහ පිහිටීම් ලෙස දැක්විය හැකිය.   


මෙතෙක් සඳහන් කළ සෙනසුරු සම්බන්ධ වී යෙදෙන ග්‍රහ පිහිටීම්වලට අමතරව අනෙකුත් ග්‍රහයින් සම්බන්ධ වී යෙදෙන විවාහ ප්‍රමාදයට සහ විවාහයේ අසාර්ථකත්වයට බලපාන ග්‍රහ පිහිටීම් ද කේන්ද්‍රයක යෙදුණු විට සෙනසුරුගේ බලය ක්‍රියාත්මක කිරීමට තවත් අනුබලයක් ලැබෙන බව ද සඳහන් කළ යුතුය. එමෙන්ම සෙනසුරු කේතු වැනි ලෞකික දියුණුවක් සලසා නොදෙන ග්‍රහයින්ගේ මහ දශාවන් සහ සෙනසුරුගෙන් යෙදෙන ලග්න, ජන්ම හෝ අෂ්ඨම යන ඒරාෂ්ටක කාල වකවානු ගතකිරීමට සිදුවීමෙන් විවාහ ප්‍රමාදවීම, විවාහය අසාර්ථක වීම මෙන්ම විවාහය සිදුනොවීම කෙරෙහිද බලපෑ හැකිය.   


මෙවැනි ග්‍රහ පිහිටීම් කේන්ද්‍රයක යෙදුණු පමණින්ම දීර්ඝ ලෙස විවාහ ප්‍රමාදවීම, අවිවාහක වීම හෝ අසාර්ථක වීම සිදුනොවූ අවස්ථා දක්නට ලැබේ. එසේ වීමට හේතු වනුයේ කේන්ද්‍රයක විවාහයට සම්බන්ධ ග්‍රහයින් වන සඳු සිකුරු කුජ ගුරු 7 වැන්න අධිපති සහ ලග්නාධිපති පෙර සඳහන් කළ අයහපත් ග්‍රහ සංයෝගවල බලය ඉක්මවා යාමට තරම් බලවත්ව කේන්ද්‍රයේ පිහිටා ඇතිවිටය. එමෙන්ම සඳු, සිකුරු, කුජ, ගුරු යන ග්‍රහයින්ගේ මහ දශාවන් හෝ අතුරු දශාවන් අයහපත් ග්‍රහබලය මැඩපැවැත්වීමට තරම් ප්‍රබලව ක්‍රියාත්මක වූ විට ප්‍රමාද නොවී විවාහය සිදු වේ.   


මෙවැනි අයහපත් ග්‍රහ පිහිටීම් තම දරුවන්ගේ හෝ විවාහ ජීවිතයට ඇතුළු වූ අයගේ කේන්ද්‍රවල පවතී නම් අනිසි බියක් ඇතිකර නොගෙන කල්වේලා ඇතිව පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කරවාගෙන එහි ඇති තත්ත්වය නිවැරදිව වටහාගෙන කල්පනාකාරීව සහ ඉවසිලිමත්ව ඊට නිසි පියවර ගත යුතුය.   

 

 


ජ්‍යොතිර්වේදී   
ඉඳුනිල් හපුඅච්චිගේ   
170/2, ශ්‍රී ආරියවංශ මාවත,   
මොල්ලිගොඩ, වාද්දුව