විවාහ සහකරු ගැන කියන ග‍්‍රහයෝ


විවාහය, විවාහ සහකරු හෝ සහකාරිය හෝ සමග ඇති සම්බන්ධය ගැන කේන්ද්‍රයේ 7 වැනි කොටුව පරික්ෂාවේදී කරුණු සොයාගත හැකිවේ. මෙහිදී අපි 7 වැන්නේ සිටින ග‍්‍රහයන් අනුව විවාහ සම්බන්ධය ඇතිවන හැටි සලකා බලමු.  
 
මෙහිදී 7 වැනි කොටුවේ ග‍්‍රහයන් නොමැති අවස්ථා හමුවේ. එහිදී 7 වැන්නට අධිපති ග‍්‍රහයා ගැන සලකා බැලීමෙන් කරුණු සොයා ගත හැකිවේ. මෙහිදී යහපත් තත්ත්වයන් උදාවීමට නම් එම ග‍්‍රහයන් කේන්ද්‍රය තුළ බලවත්ව හෝ ශුභ අයුරින් පිහිටා තිබිය යුතුය. නැතිනම් ප‍්‍රබල ග‍්‍රහයන්ගේ දෘෂ්ටි වැටී තිබිය යුතුය. තදබල පාපීන්ගෙ දෘෂ්ටි වැටී නොතිබිය යුතුය. එවිට එම තත්ත්ව තුළ සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම වැටෙනු ඇත.  
 
දැන් අපි එක් එක් ග‍්‍රහයා 7 වැන්නේ සිටීම තුළ තොරතුරු සොයා බලමු. රවි 7 වැන්නේ සිටීනම් විවාහය මදක් කල් පසුවීමට ඉඩ තිබේ. නමුත් ලැබෙන සහකරු හෝ සහකාරිය කාරුණික අයෙකි. මනා සෞභාග්‍යයෙන් යුතු අයෙකි. රවි බලවත් විට පිරිසිදුව ආදරය කරයි. තරමක් වයසින් වැඩි අයෙකු හමුවෙන ලක්ෂණයකි.  
 
සඳු 7 වැන්නේ නම් ලස්සන පැහැපත් අයෙකි. උගත්කම මෙන්ම ආදරවන්තකමද පිහිටයි. නිරෝගී වන අතර ඉතා ඥානවන්ත අයෙකුද වේ. 7 වැන්නට සුබ දෘෂ්ටි වැටේ නම් සහකරු පිළිබඳව සුභඵල වඩාත් වැඩිවේ. සහකරු තමාගේ අදහස්වලට වඩාත් ගරුකරයි.  
බුධ 7 වැන්නේ පිහිටි අයට ලැබෙන විවාහ සහකරු උගත් බුද්ධිමත් අයෙකි. ලාබාල මෙන්ම රූමත් අයෙක්ද වේ. සැම දෙයක්ම පිළිවෙලකට කරන සහකරුවෙක් හෝ සහකාරියක් හමුවෙනු ඇත. කථාවෙහි දක්ෂ අයෙකි. ශරීරය එතරම් වෙහෙසවා වැඩ කරන අයෙක් නොවේ.  
 
සිකුරු 7 වැන්නේ සිටින ජන්මියාට ලැබෙන සහකරු හෝ සහකාරිය ඉතා යහපත් ගුණවත් අයෙක් වේ. කලාකාමි අයෙකි. සැප විඳීමට ඉතා කැමති අයෙකි. 7 වැන්න වෘශ්චික හෝ මකර රාශිය නොවීනම් නිසිකාලයේදී විවාහය සිදුවනු ඇත. විවාහ සහකරුට ඉතාමත් ආදරය කරන අයෙකි.  
 
කුජ ග‍්‍රහයා 7 වැන්නේ සිටින අයගේ සහකරු හෝ සහකාරිය හෝ ශක්තිමත් සිරුරක් ඇති අයෙකි. අණදීමේ සමත්ය. නිර්භීතය. ඉක්මනින් කේන්තියට පත්වෙන අයෙකි. දියුණුවට ලැදි බුද්ධිමත්ව අනාගතය ගැන සිතන අයෙකි. කුජ දුබලව හෝ පාපි ග‍්‍රහ දෘෂ්ටි ඇතිනම් මේ ප‍්‍රතිඵල වෙනස්විය හැකිය. ඔබගේ කේන්ද්‍රයේ සිටින 7 වැන්නේ තැන්පත් ග‍්‍රහයා ගුරු නම් ලැබෙන සහකරු උගත්ය. කථිකත්වයට දක්ෂතා පෙන්වයි. සමාජය තුළ පිළිගත් ජනප‍්‍රිය අයෙකි. චරිතවත්ය. කාර්යශූරය. ආර්ථික වශයෙන් දියුණු වන අයෙකි. උගත් අය ඇසුරු කරන රූමත් අයෙකු වේ.   
 
සෙනසුරු නැතිනම් ශනි 7 වැන්නේ සිටින කේන්ද්‍ර හිමිකරුගේ සහකරු හෝ සහකාරිය ඉතා ඉවසීමෙන් කටයුතු කරන අයෙකි. දරු සම්පත් අඩුවිය හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දක්ෂතා ඇත. විවාහයෙන් පසු දියුණු තත්ත්වයට පත්වේ. නීතිගරුක අයෙකි. ආගම ධර්මයට එතරම් නැඹුරුතාවක් නොමැති අයෙකි. බොහෝ උසස් අය ආශ‍්‍රය කරයි.  
 
ඔබගේ කේන්ද්‍රයේ රාහු 7 වැන්නේ පිහිටා ඇතිනම් විවාහයට ලැබෙන ජන්මියා ලෞකික ආශාවට බර වූ අයෙක් වෙයි. දෙදෙනා අතර වයස පරතරය අඩුය. මුලදී විවාහ ජීවිතය ඉතා රසවත් වෙන අතර කල්යාමේදී කරදර බාධක පැමිණිය හැකිය. රාහුගේ පිහිටීම බලවත් සහ යහපත් ගෘහ දෘෂ්ටි ඇතිව නම් හමුවෙන සහකරු හෝ සහකාරිය සමග ගෙවන ජීවිතය යහපත් වනු ඇත.  
 
කේතු 7 වැන්නේ සිටින ජන්මියාට ලැබෙන සහකරු ලෞකික සැපත සඳහා ලොල් වූ පුද්ගලයකු නොවේ. ශාන්ත සිතිවිලි ඇති අයෙකි. සමාජයට පෙනෙනවාට වඩා අඹු - සැමි සම්බන්ධය ඉතා දියුණු එකක් වේ. කල්යාමේදී කාලයක් ගතවෙන ඉක්මනට සුව නොවන අසනීප ඇතිවිය හැකි බැවින් දෙදෙනාම සැලකිල්ලෙන් ජීවත්විය යුතුය.  
 
ඉහත සඳහන් කළ කරුණු ග‍්‍රහයාගේ බල දුබලතා සහ පිහිටි රාශියේ බල දුබලතා මත වෙනස්විය හැකිය. සාර්ථක කේන්ද්‍ර පරික්ෂණයකින් මේවා නිරාකරණය කර ගැනීමට බොහෝ දුරට හැකිවනු ඇත.   
 
 
ජ්‍යොතිෂවේදී  
සේනානන්ද කරුණාරත්න  
31/10 හපුගහතැන්න පාර,  
කළගෙඩිහේන