විවාහ ප‍්‍රමාදය හා දෝෂ භංගවීම


සති අන්ත පුවත්පත් දෙස බලනවිට අති මහත් වූ විවාහ අපේක්ෂකයන් පිරිසක් දැන්වීම් මඟින් තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට වෙහෙසෙති. මෙසේ දැන්වීම් දමන බොහෝමයක් කේන්දර නොගැලපීම් නිසාවෙන්ම එසේ කරති. මෙහිදී කේන්දර ගලපන්නේ දෛවඥයා නොවේ. කපුකම් කරන අයවලුන්ය. 

ඔවුන් දන්නේ ‘හතපේන’ වචනය පමණි. හතපේන කේන්ද්‍රයක් නම් හතපේන එකක්ම වෙන්න ඕන යයි ඔවුන්ගේ විශ්වාසයයි. ජ්‍යොතිෂ්‍ය විෂය පිළිබඳව දැනීමක් නැති දෙමාපියන් ද මේ නිසා අසීරුතාවට පත්වේ. විවාහ ප‍්‍රමාද වේ. සුදුසු සහකරු නැති වේ. 


පළමුවෙන්ම කිව යුතු කාරණය විවාහ දෝෂ මොනවාදැයි හඳුනා ගැනීමයි. ප‍්‍රධාන වශයෙන් කුජ දෝෂය නැතහොත් අංගාර දෝෂය මංගලික දෝෂය යනු කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක ශුභ දෘෂ්ටිවලින් තොරව කුජ සිටීමයි. 


මේ පිළිබඳව ඉන්දීය ජ්‍යොතිර්වේදීන්ට පර්යේෂණ කර අදහස් ඉදිරිපත් කර ඇත. නටරාජන් චෞදි, රාවෝ ඒ අතර ප‍්‍රධානය. ඉහත කුජ දෝෂය යෙදුණත් සක‍්‍රියව කුජ ක‍්‍රියාත්මකවීම ඉතා අඩු බව පෙන්වාදෙන අතර ජ්‍යොතිර්වේදීන්ගේ වැරදි උපදෙස් නිසා සුදුසු කේන්ද්‍රය මගහැරී නුසුදුසු කේන්ද්‍රයක් ගලපාදීම ජීවිත කාලයටම නිවැරදි කර ගැනීමට නොහැකි වැරැද්දක් බව පෙන්වා දෙයි. 


මොවුන්ගේ ජ්‍යොතිෂ පර්යේෂණ අනුව වැදගත් කරුණු කීපයක් පාඨක ඔබට දැනගැනීම පිණිස දක්වන අතර අපේ ජ්‍යොතිර්වේදීන් අතළොස්සක් මේවා අනුමත නොකරනු විය හැක. ඒත් ඔවුන් පිළිගත් ජ්‍යොතිෂවේදීන්ය. 
වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්බ යන රාශිවලින් උපන් අයට කුජ කුමන රාශියේ සිටියත් සක‍්‍රිය බලපෑමක් නැති බව හා සැලකිය යුතු නැති බවකි. මෙහිදී සලකා බලන එක් කේන්ද්‍රයක කුජ දෝෂය ඇත්නම් අනෙක් කේන්ද්‍රයේ කුජ ශනි රාහු කේතු වැනි පාපයෙක් සිටීමෙන් දෝෂ භංග වේ. 


එය 1, 2, 4, 7, 8, 12 රාශිවලය. තවද අනෙක් කේන්ද්‍රයේ කුජ - රාහු එක්ව සිටීම සඳු සිකුරු දෙවැන්නේ සිටීම මකර - කුම්භ රාශිවල ඉපදී කුජ 7 වැන්නේ සිටීම පුරසඳු කුජ සමග යෝගවීම මකර හෝ කටක රාශිය 7 වැන්න වී කුජ සිටීම සිංහ හෝ කුම්භ රාශියක කුජ සිටීම වයස 28 ඉක්මවා සිටීම (දෙදෙනාම) ආදී දෝෂ භංග වන ක‍්‍රම ගණනාවක් ඇති නිසාත් කුජ දෝෂය භංග නොවී තිබුණහොත් විවාහයේ ප‍්‍රශ්න ඇති වන බවත් පැවසේ. කෙසේ වෙතත් කුජ දෝෂය සක‍්‍රියව ක‍්‍රියාත්මකවීම ඉතා අඩු බව කියැවේ. 


ගුරු ග‍්‍රහයා කුජ දැකීම සහ කුජ - ගුරු යෝග වී සිටීම කුජ දෝෂය උදාසීනවේ යයි ප‍්‍රකාශ වේ. 


කුජ දෝෂයට අමතරව ශනි මංගල දෝෂය ද ඇත. මෙය කුජ - ශනි එක් රාශියක නවාංශක 3 ක් ඇතුළත සිටීමෙන් යෙදේ. එසේම කුජ - ශනි ඔවුනොවුන් දැකීම ද ශනි මංගල දෝෂයට සමානය. මෙහිදී විවාහයේ ප‍්‍රථම අත්දැකීම කඩා වැටුණ අවස්ථා ඇත. එය හැඳුනුම්කමක් හෝ ආසන්න සිදුවීමකට යෙදී තිබූ යෝජනාවක් හෝ විය හැක. දෙදෙනාගේම ශනි මංගල දෝෂය ඇත්නම් ප‍්‍රශ්නයක් නොවේ. 


තවත් දෝෂයක් නම් විෂ කන්‍යා යෝගයයි. යම් ස්ත‍්‍රියක් දොළොස්වක තිථිය යෙදෙන ඉරිදාවක අස්ලිස, කැති, සියාවස නැකැත්වලින් ඉපදීම. 


දියවක තිථිය සමග කුජ දිනයේ සියාවසයෙන් ඉපදීම සතවක යෙදුණ කුජ දා විසා නැකත යෙදීම. 


දියවක තිථිය සමග සෙනසුරාදා අස්ලිස නැකත වීම. සතවක තිථිය සමග සෙනසුරාදා කැති නැකත වීම. 


විෂ කන්‍යා යෝග ලෙස දැක්වේ. මෙම ස්ත‍්‍රින් විස සහිත බවක් දරුවන් සම්බන්ද ප‍්‍රශ්න යෙදෙන බවත් පැවසේ. 


මෙහිදී කන්‍යා, මීන වැනි ස්ත‍්‍රී යුග්ම රාශියක ඉපදී බුධ, ගුරු, කිවි, සඳු බලවත්වීමෙන් ඉහත දෝෂය භංග වන අතර 7 අධිපති 7 වැන්නේම හෝ ශුභයෙක් 7 වැන්නේ සිටීම විෂ කන්‍යා යෝගය උදාසීනවේ. විෂ කන්‍යා යෝගය වැන්දඹු, වඳ කාන්තාවන් බව පැවසෙසත් එසේම නොවන අතර යම් තරමක අඩුපාඩු පෙන්වයි. 


තවද පොරොන්දම් ගැලපීමේදී ග‍්‍රහ පොරොන්දමේ පාපාංශක ගණනය කිරීම වැදගත් වේ. කේන්ද්‍ර දෙකේම පාපාංශයක ගණන් වෙන වෙනම ගැන ගත යුතුය. මෙහිදී ලග්නයෙන් 2, 7, 8 වශයෙන් ද චන්ද්‍රයාගෙන් 2, 7, 8 වශයෙන් ද සිකුරුගෙන් 1, 2, 7, 8 වශයෙන් ද පාපාංශක ගණනය කරයි. ශනි, රාහු, කේතු, කුජ, රවි පාපයින් ලෙස සලකා නීච හෝ සතුරු, මිත‍්‍ර, සම, ස්වක්ෂෙත‍්‍ර, උච්ච ආදී වශයෙන් බල දුබලකම් බලා ග‍්‍රහයාට හිමි පාපාංශක වෙන වෙනම සලකනු ලැබේ. 


එක සමානනම් ග‍්‍රහ පොරොන්දම ශුභයි. පරතරය අධික නම් අශුභයි. ලග්නය හෝ 7 වැන්න ගුරු විසින් දකීනම් දෝෂ භංග වේ. මෙය වෛධව්‍ය දෝෂය ලෙස හැඳින්වේ. (වෛධව්‍ය) පරතරය අඩු නම් දෙදෙනා අතර බැඳීම සමගිය වැඩිය. පරතරය වැඩිනම් නිතරම දුරස්වීමට බලයි. මෙම දෝෂය වැන්දඹු දෝෂයක් සේ සැලකේ. 


මෙම තත්ත්වයේදී පොරොන්දම් ගැලපීම සියලු කරුණු ආවරණය වන පරිදි පරීක්ෂා කිරීමේදී පරිගණකයෙන් රු 100/- ට පොරොන්දම් බැලීම ගැන පාඨක ඔබම තක්සේරු කරගන්නා මෙන් දන්වනු කැමැත්තෙමි. එසේම හොඳින් ගැලපෙන කේන්ද්‍ර යුගල් නොගැලපෙන බව පවසා විවාහය ප‍්‍රමාද කිරීම තැපෑලෙන් උගත් ජ්‍යොතිෂ්‍යවේදීන් නිසා බව පවසමි.

 

 

 

 

 


ජ්‍යොතිෂවේදී පාරම්පරික 
ඒ.ඩබ්. සරත් ආනන්ද 
පැලෑන උතුර වැලිගම