විල්වත්තේ මාරක දුම්රිය අනතුරට වසර පනස් පහයි


 .

 

 

  • මගීන් 22ක්  මියගියා:ඉන්දියාවේ සිට හොරෙන් ආ අයත් ඒ අතර

 

මගීන් 22කට පමණ මරු කැඳවමින් ද තවත් මගීන් සියයකට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුකරමින් ද විල්ලෝරාවත්තේ මාරක දුම්රිය අනතුර සිදුවී තිබුණේ 1964 වසරේ ඔක්තෝබර් මාසයේ 17 වැනිදා අලුයම් කාලයේය.  


එම අනතුර සිදුවී මේ මස 17 වැනිදාට හරියටම වසර 55ක් සපිරෙයි.  


මේ සටහන ඒ නිමිත්තෙනි.  


තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා එමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි විල්වත්ත රේල් ගේට්ටුව අසලදී පීලි පැනීමකට ලක්වී පෙරළීයාමෙන් මෙම මාරක අනතුර සිදුවිණ.  


මාරක දුම්රිය අනතුරින් මියගිය අය අතර ඉන්දියාවේ සිට හොර රහසේ තලෙයිමන්නාරම මුහුදු වෙරළට පිහිනා ආ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙක් ද ඉන්දීය කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවෙක් ද වූහ.  


මේ අය කල්ලතෝනින් ලෙස හැඳින්වේ. 24 දෙනකුගෙන් යුක්ත වූ එම පිරිසෙන් 7 දෙනෙක් මියගිය අතර සෙසු අය තුවාල ලැබූහ.  
තලෙයිමන්නාරමේදී පොලිස් අත්අඩංගුවට පත්වූ මොවුහු එහි රැඳවුම් කඳවුරක සිට දුම්රියෙන් කොළඹට ගෙන එමින් සිටි අය වෙති.  
මෙම අය බාරව ඔවුන්ට ආරක්ෂාව සැපැයීමට ආ තලෙයිමන්නාරම පොලිසියේ සැරයන්වරයෙක් ද මියගිය අය අතර විය.  
මගී පෙට්ටි දෙකක් දුම්රිය පීලි පැනීමෙන් සුන්බුන් ගොඩක් බවට පත්ව තිබිණ.  


මෙම පෙට්ටි දෙක තුළ සිරවී සිටි මගීන් ගණනාවකගේ අතපය ගැලවී සිරුරුවලින් එල්ලෙමින් තිබෙන අයුරු විපතට පත්ව සිටි මගීන් බේරාගැනීමට ආ අයට දැක ගැනීමට හැකිවිණ.  


එදා ඒ මාරක දුම්රිය අනතුර සිදුවූ මීරිගම විල්වත්තට ගිය දහස් ගණනක් වූ ජනතාව අතරේ එන්.ඒ. ජයශාන්ත නම් පාසල් වියේ කොලුගැටයෙක් ද සිටියේය.  
ජයශාන්ත මහතා පොලිස් රාජකාරියේ නිරතව සිට අද වනවිට විශ්‍රාම ලබා සිටින පොලිස් අධිකාරීවරයෙකි.  


ලොකු අක්කාගේ විවාහ මංගල්‍යයට අවැසි බඩුමුට්ටු ගෙන ඒමට ජයශාන්ත ඔහුගේ ඥාතියකු සමග මීරිගම නගරයට ගොස් සිටි අවස්ථාවේ විල්වත්තේදී දුම්රියක් පෙරලී ඇති බව දැන ගැනීමට ලැබී එහි ගොස් ඇත.  


ඒ ගැන හොඳ මතකයක් විශ්‍රාමික පොලිස් අධිකාරී ජයශාන්ත මහතාගේ මතක ගබඩාවේ තවමත් නොනැසී පවතී.  


“ඔය කාලේ අපි පදිංචිවෙලා හිටියේ පල්ලේවෙල ප්‍රදේශයේ. ඒ වෙනකොට මම ඉස්කෝලෙ යනවා. මගේ ලොකු අක්කා ඩල්සි චන්ද්‍රලතා. එයාගෙ මගුල් ගෙදරට ගෙදර උදවිය ලකලෑස්ති වෙමින් සිටියේ. මගුල් ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු වගයක් ගන්න අපේ ළඟම ඥාතියෙක් මීරිගම ටවුන් එකට එදා දවසේ ආවා. මමත් ඒ ඥාතියා එක්ක මීරිගම ආවා. විල්වත්තේදී ලොකු කෝච්චි අනතුරක් සිද්ධවෙලා කියා අපිට දැනගන්න ලැබුණා. ගොඩක් කට්ටිය අනතුර බලන්න වැලනොකැඩී යනවා දැක්කා. ආපු කාරිය පසෙක දමා මගේ ඥාතියා මාත් කැටිව අනතුර සිදුවී තිබූ ස්ථානයට දිව ගියා. මට මතක හැටියට අපි එනකොට අනතුර සිදුවෙලා පැයක්වත් ගතවෙලා තිබුණේ නෑ.  


පොලිසිය, යුද හමුදාව ප්‍රදේශවාසීන් ද එක්ව පෙරළී ගිය දුම්රිය මැදිරිවල සිරවී සිටි මගීන් එළියට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා දැක්කා. ඔවුන් යකඩ ඉනි, අලවංගු ආදිය යොදාගනිමින් සුන්බුන් අතර සිරවී මරළතෝනි දෙමින් සිටි අය බේරාගෙන ගිලන් රථ මගින් රෝහල් කරා යැව්වා.  


වෛද්‍යවරුන් හෙදියන් හා රෝහල් කාර්යමණ්ඩලයේ කණ්ඩායම් ද එහි පැමිණ බරපතළ තුවාලකරුවන් බේරාගැනීමට යුහුසුළුව අවශ්‍ය මූලික ප්‍රතිකාර දුන්නා.  
බරපතළ තුවාල ලැබූ ඇතැම් මගීන් සිරවී සිටි දුම්රිය මැදිරිවලින් එළියට ගන්නකොටත් ඔවුන්ගේ අතපය බිඳී සිරුරු එල්ලෙමින් තිබෙන අයුරු මම දැක්කා. එම මගීන්ගේ සිරුරු ලේවලින් නැහැවී ඔවුන් ඇඳ සිටි ඇඳුම් පැලඳුම් පවා ඉරී ගොස් තිබුණා. හැම පැත්තෙන්ම ඇසුණේ මරළතෝනි හඬ හා කෙඳිරිලි හඬ. සිය ගණනක් මේ අනතුරින් තුවාල ලබා ඇති බවට දැනගන්න ලැබුණා.  


ඉන්දියාවේ සිට හොර රහසේ මුහුදෙන් ඇවිත් සිටියදී තලෙයිමන්නාරමේදී අල්ලාගෙන එහි කඳවුරක රඳවා සිටි ඉන්දීය ජාතිකයන් 25 දෙනෙකු විතර මේ කෝච්චියෙන් ගෙනවිත් තිබෙනවා. කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන ඉඳලා නැවතත් ඔවුන්ගේ රටට යවන්න තමා මේ අය කොළඹට ගෙන එමින් සිට තිබෙන්නේ. මේ අය අතරින් කුඩා දරුවකු ඇතුළු හත්දෙනෙක් විතර මියගොස් අනෙක් අයත් තුවාල ලබා තිබෙන බව අපිට පස්සේ දැනගැනීමට ලැබුණා. ඒ විතරක් නොවේ මේ අයගේ ආරක්ෂාවට පැමිණි පොලිස් සැරයන් සහබ්දීන් ද මිය ගොස් තිබෙනවා.  


තුවාල ලැබූ මගීන් කොළඹ මහ ඉස්පිරිතාලෙට ඇතුළත් කර තිබෙනවා. බරපතළ තුවාලකරුවන්ට ලේ පරිත්‍යාග කිරීමට කැමැති අයට පැමිණෙන ලෙස ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළා මට මතකයි. හමුදාවේ සෙබළුන් සැලකිය යුතු පිරිසක් ද ලේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව ඇසුණා.” ජයශාන්ත මහතා පැවැසුවේ එදා මෙය රටම කම්පාවට පත්කළ රටම හැඬවූ මහා ඛේදවාචකයක් වූ බවයි.  


“වසර 55ක් ගතවෙලත් මීරිගම විල්වත්ත පහුකරගෙන යන අවස්ථාවලදී අදටත් මට ඔය සිද්ධිය මතක් වෙනවා. දුම්රිය අනතුරින් මියගිය හා තුවාල ලැබූවන්ගේ අඹුදරුවන් හා ඥාතීන් විළාප දෙමින් හැඬූ ආකාරයත් පේනවා වාගෙයි.  


කෝච්චියේ අධික වේගය මෙවැනි මාරක අනතුරක් සිදුවීමට බලපා තිබූ බව ඒ කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණා.” වසර 40ක පොලිස් රාජකාරියෙන් ඉසඹු ගෙන ජයශාන්ත මහතා මේ වනවිට පදිංචිව සිටින්නේ සපුගස්කන්ද විද්‍යාල මාවතේය.  


ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් වින්සන්ට් ස්වර්ණාධිපති මහතා මෙම මාරක දුම්රිය අනතුරින් මියගිය අයගේ මරණ පරීක්ෂණ පවත්වා ඇත්තේ මීරිගම රෝහලේදීය.  
පොලිස් අධිකාරී ලයනල් සේනානායක සහ මීරිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ඩබ්ලිව්. අබේරත්න යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.  

 


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

 

 

ඡායාරූපය අන්තර්ජාලයෙනි