විල්පත්තුවේ තරුණිය ඝාතනය චිත්‍රපටයක් වුණේ මෙහෙමයි


සලරුවක කතාව

 

 

1959 මාර්තු 14 වැනි දින රෑ මැදියමට ආසන්න වේලාවක පුත්තලම් - අනුරාධපුර මාවත ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් ගත් ලොරියකි. එහි රියැදුරු එමලියානුය. විසිහතහමාරේ සැතපුම් කණුවට මදක් ඔබ්බෙන් විල්පත්තු අභය භූමියට හැරෙන ස්ථානය අසලදී ලොරියේ පහන් ආලෝකයට යොමුවූ යමක් එමලියානුගේ අැස ගැටිණි. එය මහ මග හරහා වැටී තිබුණු තරුණ කාන්තා සිරුරකි. මෝටර් වාහනයකට යටකර සිතා මතා මරා දමනු ලැබ සිටි ඇය නුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අසල ගමක් වූ පල්ලෙතලවින්නේ ඇඩ්ලින් විතාරණ බව පසුව හඳුනා ගන්නා ලදී.   


විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.සී. අලස් විසින් ලියන ලදුව නීල් ශ්‍රී විජේසිංහ විසින් 1976 වසරේදී පරිවර්තනය කොට ප්‍රකාශිත විල්පත්තු සිහිවටන කෘතිය ආරම්භ කරන්නේ ඒ අයුරිනි.   


මෙම අපරාධය එදවස රට පුරා මහජන සිත් සතන් කම්පා කරවීමට තරම් හේතුවූ අපරාධයක් වූයෙන් ඒ පිළිබඳ දැඩි පරීක්ෂණය පොලිසිය විසින් ඇරඹූ බවද, ඉන් වසරකට පමණ පසු (1960 මැයි 27) අනුරාධපුර අපරාධාධිකරණය හමුවේ ඉංග්‍රීසි භාෂිත ජූරි සභාවක් විසින් කළුතර ඥානෝදය විද්‍යාලයේ තරුණ ගුරුවරයකු වූ ජයලාල් ආනන්දගොඩ නම් තැනැත්තා ඇඩ්ලින් විතාරණ මරා දැමීමේ සිද්ධියට වැරදිකරු කරන ලද බවත් අවසානයේ 1962 ජුනි 21 වැනි දින ආනන්දගොඩ බෝගම්බර බන්ධනාගාරයේ පෝරකයට නැංග බවද එම කෘතියේ සඳහන් කර ඇත. එම සිද්ධිය චිත්‍රපටයකට නැගුවේ වසන්ත ඔබේසේකර විසිනි.   


එදා ඉමහත් ආන්දෝලනයකට ලක්වූ විල්පත්තු මිනීමැරුම ඇසුරෙන් වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ දඩයම චිත්‍රපටය 1983 මැයි මස 20 වැනිදා තිරගත විය. වසන්ත ඊට පෙර කඩුගන්නාවේ කොළඹ 14 ආමර් වීදියේ මුද්‍රණාලයක් හිමියකුගේ දියණියක් වූ රාණි නම් තරුණියව මරා දැමූ ටෙනිසන් නම් මුද්‍රණ ශිල්පියාගේ ප්‍රේමය හා මිනීමැරුම ආශ්‍රයෙන් පළඟැටියෝ (1979) නමින් අපූරු චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී.   


දඩයම චිත්‍රපටයේ කතාව විකාශනය වන්නේ මේ ආකාරයටය. රන්මලී ඉගෙනීමට දක්ෂ පාසලේ වැඩ කටයුතුවලදී මුල්තැන ගෙන සිටි ක්‍රියාශීලී, එඩිතර ශිෂ්‍යාවකි. පාසලේ නෙට්බෝල් කණ්ඩායමේ ද නායිකාව ද ඇයය. ඇගේ පියා ජාකෝලිස් බේකරි හිමියෙකි. ක්‍රමයෙන් ඉහළ සමාජයට නැගීමට අරඅඳින පුද්ගලයකි. පියා සිතුවේ රන්මලී වෛද්‍යවරියක කිරීමටය. මුල්වරට රන්මලීට ජයනාත් හමුවන්නේ දුම්රියේදීය. ජයනාත් කාන්තාවන් වසඟයට ගැනීමේ මන්ත්‍රය දැන සිටියේය. රන්මලී ඔහුට වසඟ වූවාය. ජයනාත්ගේ තිබූ ආදරය හුදෙක් විනෝදයට සීමාවූ බව රන්මලී දැන නොසිටියාය.   


ජයනාත් පාසල් ගුරුවරයෙකි. ඔහු පාසලට පැමිණියේ දුටුවන් සිත්ගත් මෝටර් රථයකිනි. ඔහු දිනකට ඇඳුම් කට්ටල දෙකක් ඇඳි ජැන්ඩියට සිටි, තරුණ ශිෂ්‍යාවන්ගේ සිත් දිනාගත් පුද්ගලයෙකි. බෙන්සන් හෙජස් දුම්වැටි උරමින් සන්ග්ලාස් යුවළකින් මුහුණ වසාගෙන සිටියේය. පසු කලෙක ඔහුගේ පාලනයට නතුව තිබූ ගණිකා මඩමක තමා ඉගැන්වූ තරුණ ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු ද සිටියහ.   


ඔහු විනෝදකාමී, සරළ සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. තමා විවාහ අපේක්ෂිත රේණුකාගේ ධනවත් මාපියන් දැකීමට නිතර ගිය අතර ඔහු සෙල්ලක්කාර රාගික ආශාවන් ඉටුකර ගැනීමට අමතක නොකළේය. ඔහුගේ එ්කායන පැතුම වූයේ ධනවත් ඉහළ සමාජයට නැගීමටය.   


ජයනාත් විවාහ අපේක්ෂිත තරුණයෙකු බව රන්මලී දැන නොසිටියාය. ඇය ඔහුට තිබුණේ අවංක අචල ආදරයකි. රන්මලී ඔහු සමග රෙස්ට් හවුසියට ගියේද ඔහු ගැන තිබූ විශ්වාසය නිසාය. රන්මලීට දරුවෙකු ලැබීමට යන බව දැනගත් ඇගේ පියාගේ සියළු සිහින බිඳ වැටුණි. රන්මලී නිසා ඔහු දැඩි කම්පනයකට පත්විය. ඔහු සිහිවිකල් විය. ජයනාත් රන්මලී මගහැරීමට උත්සාහ ගත්තේය. එතැන් සිට රන්මලී ඔහු පසුපස ලුහු බැන්දාය.   


එහෙත් ජයනාත් එය හිතුවේ තමා මෙතෙක් කළ තවත් දඩයමක් පමණයි කියාය. ඔහු පරිසරය වෙනස් කළේය. එහෙත් ඔහු ගොදුරක් කරගන්න සිතූ රන්මලී ජයනාත් පිටුපස හඹා ගියාය. දැන් ඇයට ඇත්තේ පලිගැනීමේ චේතනාවකි. ඇය වරක් ඔහු ඉගැන්නූ පාසලටත් ගොස් තමා විවාහ කරගන්නැයි ඔහුට බලකර සිටියාය. එවර ද සුපුරුදු සැහැල්ලු ගතියෙන් ඔහු බොරු විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙකු ළඟට ගෙන ගොස් ඇය මුළා කළේය. වරෙක තම මව සහ නැගණිය බව කියමින් බොරු ගැහැනුන් දෙදෙනෙකු පෙන්වා ජයනාත් ගෙදරකට කැඳවාගෙන ගිය නිවස ගණිකා මඩමක් බව රන්මලීට දැන ගන්න ලැබෙන්නේ එදින රැයේදීමය. රන්මලී අවසාන වශයෙන් සිතුවේ මේ දඩයක්කාරයා පසුපස ඉක්මනින්ම හඹා යා යුතු බවය.   


ජයනාත් කොටුකර ගත් රන්මලී ඔහුට කතා කළේ වෛරය, ක්‍රෝධය, ආවේගය සහිත වාග් මාලාවකිනි.   


​ෙම් වන විට ඇයට දෙවෙනි දරුවාත් කුස තුළ වැඩෙමින් තිබූ කාලයකි. ඇගේ පියා දරුණු මානසික රෝගයකින් පීඩා විඳිමින් ගෙදර සිටියේ ඇඳක ගැට ගසාය. මේ පරිසරය තුළින් ඇය ඔහුගෙන් පලිගෙන මියයාමට සිතුවාය. ඇය ඔහු හමුවීමට ඉතා හදිසි බව දන්වා ලිපියක් යැව්වාය. ඔවුන් හමුවූයේ මුලින්ම හමුවූ රෙස්ට් හවුසියේදීමය.   


අද මූද හරි සැරයි වගේ, ඔන්න මැතිනිගෙ විධානෙ පරිදි මං ආව. උඹ කවුද මට විධාන දෙන්න. උඹ කවුරු කියල ද හිතා ඉන්නේ. උඹට ඕන්නං මට නඩු දාපන්... ඉස්කෝලෙට ඇවිත් පිස්සු නටපං ජයනාත් කියයි.   


උඹට වගේ තිරිසන් වැඩ කරන්න පුළුවන් මැරවරයෝ මට නෑ. උඹට ඕනේ දෙයක් කරපං රන්මලී උස් හඬය ඒ.   


මං තිරිසනෙක් නම් ඇයි උඹ මාව බඳින්නෙ.   


බඳින්නෙ අපේ පව් දරුවන්ගේ පිටින් යවන්න බැරි හන්දා.   


නිශ්ශබ්දතාවයකි. නැවතත් ඈ කතා කළාය.   


බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන් වෙඩි තියලා මරලා දාන්න ඕනේ. එහෙම නැත්නම් අල්ලලා බඳින්න ඕනේ. ඒක නිසා මං උඹව බඳිනව.   
කවුද යකෝ බල්ලා   


කරපු මිනිහ දන්නවා ඇතිනේ.   


දඩයම චිත්‍රපටයේ රන්මලී ලෙස ස්වර්ණා මල්ලවාරච්චිත්, ජයනාත් ලෙස රවීන්ද්‍ර රන්දෙනියත්, ප්‍රධාන චරිත රඟපෑ අතර රන්මලීගේ පියා වූ ජාකෝලිස් ලෙස සොමී රත්නායකත්, මව ලෙස රත්නාවලී කැකුණවලත්, ජයනාත්ගේ පෙම්වතිය රේණුකා ලෙස ශිරානි කෞශල්‍යාත් රඟපෑහ.   


දඩයම චිත්‍රපටයේ ජයනාත් විසින් රන්මලී මරාදමන දර්ශනය සිංහල සිනමාවේ ත්‍රාසජනකම අවස්ථාවලින් එකකි. ඒ පිළිබඳව චිත්‍රපටයේ සම තිරනාටක රචක හා සහාය අධ්‍යක්ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තවමත් මතක් කරන්නේ එය එදා කෙසේ සිදුවීදැයි මවිතයෙනි.   


ජයනාත් රන්මලීවත් තම රතු පැහැති ෆොඩ් කැප්රි රථයේ නංවාගෙන යන අවසාන ගමන යන දර්ශනය රූපගත කිරීමට වසන්ත, ක්‍රිස්ටි, කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න, කලා අධ්‍යක්ෂ ලයනල් සිල්වා හා නිෂ්පාදන කළමනාකරු හෙක්ටර් හපුගොඩත් ගොස් ඇත්තේ දුෂ්කර ගමනකි. ඇත්ත සිද්ධිය වූයේ අනුරාධපුර පුත්තලම පාරේය. එහෙත් එයට සමාන රූප ගත කිරීමට හොඳට ඉඩකඩ තියෙන වැලි සහිත දූවිලි නැංවෙන පරිසරයක් සොයා ගිය මේ පිරිසට කතරගම කිරින්ද පැත්තෙන් එය හමුවිය.   


චිත්‍රපටයේ උද්වේගකර අවස්ථාව තිබුණේ රන්මලී පොල්ලක් ගෙන ජයනාත්ගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසීමේ අවස්ථාවය.   


​ෙම් සඳහා ලී පොල්ල ප්‍රමාණවත් නොවන නිසා කලා අධ්‍යක්ෂක ලයනල් යකඩ විල්ලක් දාලා බර හිටින්න ලී පොල්ලක් හදලා දුන්නා. දැන් තියෙන්නේ ජයනාත්ට රඟපාන රවීන්ද්‍ර රන්දෙණියට ඉතා වේගයෙන් මෝටර් රථය පදවාගෙන රන්මලීව (ස්වර්ණා) යටකර ගන්න. කළු පැහැති සන් ග්ලාස් දෙක දාගෙන රවීන්ද්‍ර කිලෝමීටර් 70 ක පමණ වේගයෙන් කාර් එක පදවා ගෙන එනවා. ඊට වඩා වේගය ගන්න උත්සාහ කළත් වැලි පොළොව නිසාත් රථය එරෙන නිසාත් උපරිම වේගයට තමයි රවින්ද්‍ර ආවේ. ඒ එන විට දූවිල්ල නැගෙන්නත් ඕනෑ. කලා අධ්‍යක්ෂ රවීන්ද්‍ර එන පාරේ ගෙවල්වල ගාන සමර කුඩු අතුරලා තිබුණා. මොකද දූවිලි නැගෙන්න ඕන නිසා.   


​ෙම් දර්ශනය රූගත කරන්න කැමරා ශිල්පි ඩොනල්ඩ් ලෑස්තියි. රවීන්ද්‍ර පදවන මෝටර් රථයේ තව කැමරාවක් හයිකරලා. කැමරා ශිල්පියෙක් නෑ. ඒක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් කැමරා යුනිට් එකෙන් ගෙනාපු මිලිමීටර් 16 වයිඩ් ඈන්ගල් කාචයක් සහිත කැමරාවක්.   

 


ඔන්න දැන් රවීන්ද්‍ර කාර් එක පදවාගෙන එනවා. ස්වර්ණා කාර් එක ළඟට පොල්ලත් අරන් යනවා. අපේ ඇඟේ ලේ වතුර වෙලා. මොකද ස්වර්ණාගේ ආරක්ෂාව ගැන හිතලා. මේ දර්ශන ගත්තේ ස්ලෝමෝෂන් විදිහට. ස්වර්ණා දෑත බදලා පොල්ලෙන් ගැහැව්වා. වින්ඩ්ස් ක්‍රීන් එක හරි ගණනට බිඳිලා. මල් රටා සහිතව ඒ තුළින් රවීන්ද්‍රගේ මුහුණේ වීදුරුවලට කැපුණ තුවාල. ඔහුගේ පිටුපස තිබුණ කැමරාවේ වයිඩ් ඈන්ගල් ලෙන්ස් එක බිඳිලා රාමුව පිටින්ම. පස්සේ එවැනි කාචයක් ජර්මනියෙන් ගෙන්වන්න බැලුවා. බැහැ කිව්වා. අලුත්ම ‘ලෙන්ස්’ එකක් ගන්න චිත්‍රපටයේ නිෂ්පාදක රබීන් චන්ද්‍රසිරි ලෙස්ටර් මහත්තයට රුපියල් 40,000ක් දුන්නා. ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු කීවේය.  


මේ දර්ශනය ගැනම ජයනාත් ලෙස රඟ පෑ රවීන්ද්‍ර මට මෙසේ කියා තිබුණි.  


‘‘දඩයමේ අන්තිම දර්ශනයේ මමත් (ජයනාත්) හා රන්මලී (ස්වර්ණා මල්ලවාරච්චි) මෝටර් රථය තුළදී බහින් බස් වන අවස්ථාවක් තිබුණා. මේ ගැටුම උත්සන්න වී රන්මලී මගේ මුහුණ හූරනවා. ජයනාත්ගේ චරිතය හැටියට ඔහු තම මුහුණටත්, කාර් එකටත්, අසීමිතව ආදරය කරන කෙනෙක්. ඔහු ඇයව රථයේ දොර ඇර ඉවතට තල්ලු කරනවා.   
ජයනාත් කාර් එකේ කණ්ණාඩියෙන් තමාගේ මුහුණ බලනවා. ඔහුගේ මුහුණින් ලේ ගලනවා. කේන්ති ගිය ජයනාත් රත්මලී දුව යන පැත්තට වේගයෙන් රථය ධාවනය කරනවා. දූවිලි වළා මැදින් ඇයව යටකරලා මරන්න. අැය අතේ පොල්ලක්. ඇය තමා වෙත රථය එන විටම අතේ තිබුණ පොල්ලෙන් වින්ස්ඩ්ක්‍රීන් එකට ගහනවා. පොල්ල වැදිලා වින්ඩ්ස්ක්‍රීන් එක වීදුරු විසුරුවමින් කැඩෙන විටම පොල්ල ආපසු ස්වර්ණාගේ පපුවට වැදිලා බිම වැටුණා. දූවිලි වළා නගමින් වීදුරුව මල් විසිරෙන්න වගේ ‘දඩාස්’ ගාලා විසිරිලා ගියා. දර්ශනය ඉවරවෙලා මම මොහොතක් අන්දමන්ද වෙලා බලා හිටියා. හොඳටම හෙම්බත් වෙලා මම හිටියෙ. මුහුණේ සීනි කැට තරම් තුවාල. ඇත්තටම මමත් ස්වර්ණාත් මේ දර්ශනයට මුහුණ දුන්නා.  


‘‘ස්වර්ණා, ඔයා පොඩ්ඩකටවත් බය වෙන්න එපා. ​ඔයා කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකට පොල්ලෙන් ගහලා ඉවර වෙන කොට මම ඔයාට ගෑවෙන නොගෑවෙන විදිහට ළඟින්ම යනවා. හොඳට මතක තියා ගන්න වැටෙන්න ගියොත් පිටි පස්සට වැටෙන්න.’’  


මේ දර්ශනය ස්වර්ණා අපූරුවට රඟපෑවා. අපි දෙන්නාගේ (ජයනාත් හා රන්මලීගේ) චරිත දෙකට මටත් ස්වර්ණාටත් වසරේ හොඳම නළුවා හා නිළියට හිමි සරසවිය හා ජනාධිපති සම්මාන ලැබුණා. රවීන්ද්‍ර අතීතයට යමින් පැවසීය.  


රන්මලී ලෙස රඟ පෑ ස්වර්ණා මල්ලවආරච්චි මට කියා තිබුණේ ‘‘දඩයම’’ චිත්‍රපටයෙන් තමාගේ රඟපෑම් සියල්ලම වසන්ත ඔබේසේකර සූරාගත් බවය. ‘‘මේ තරම් මනුෂ්‍ය ජීවිතයේ සියුම් තැන් විනිවිද දුටු චරිතයක් මම රඟපාල තිබුණේ නෑ.’’ ඇය කීවාය. ඇය මෙසේ ද කීවාය. 

 
‘‘වසන්ත ඔබේසේකර ලියූ (ක්‍රිස්ටි සමඟ) තිර නාටකය කිය වූ විට මගේ සිත තුළ බලවත් කුතුහලයක් හා සැකයකුත් ඇති වුණා. මේ ගැඹුරු හා සංකීර්ණ චරිතය මෙහෙය වූ වසන්තට ගෞරවය හිමි විය යුතුයි. පාසල් සිසුවියක, පෙම්වතියක ලෙස තානායම්වල ලැග සිටි ගැහැනියක, ගැබ්බර කාන්තාවක, මවක් හා පියකු නැති දරුවකු වෙනුවෙන් හා දෙවන ගැබ්බර වී තමා අනාථ කළ කපටියෙකු හඹා ගිය ගැහැනියක රන්මලීගේ චරිතයේ සැඟවී තිබුණා’’   


චිත්‍රපටයේ ශෝචනීය දර්ශනය වූයේ රවීන්ද්‍ර විසින් ස්වර්ණාව හප්පා යටකර දැමීමය. සිංහල සිනමාවේ අප දුටු දරුණුම දර්ශනයන්ගෙන් එකකි එය.  


‘දඩයමේ’ දර්ශනවලින් 75% පමණ රූපගත වී ඇත්තේ නිෂ්පාදක රබීන් චන්ද්‍රසිරිගේ ගම් පළාත වූ අම්බලන්ගොඩ පැත්තේය. රන්මලීගේ පියා වූ ජාකෝලිස්ට (සොමී රත්නායක) අයත් බේකරිය අම්බලන්ගොඩ ගමක කලා අධ්‍යක්‍ෂක විසින් ඉදිකර ඇත. එය පැති දෙකකින් රූප ගත කළ හැකි ආකාරයටයි නිර්මාණය කර ඇත්තේ. ජාකෝලිස් තම දියණිය නිසා නින්දා අපහසා ලබමින් උන්මත්තකයෙකු වී බේකරියට ගිනි තබන දර්ශනයක් තිබිණ. ඒ ගැනත් ක්‍රිස්ටි අපට කීවේ මෙසේය. 

 
‘‘මේ දර්ශනය රූපගත කරන විට උමතුවෙන් වගෙ හිටිය සොමී බේකරියේ ගින්න දෙස කෝපයෙන් බලන් සිටින අයට පාන් ගෙඩිවලින් ගහනවා. මේ විදිහට පාන් පෙට්ටි දෙක තුනක් පාරට විසි කළා. ඇත්තටම අවට මිනිස්සු පාන් ගෙඩි අරන් රූපගත කිරීම බලන් හිටියා. මේ පාන් බේකරියකින් හදල ගෙනාපු උණු උණු පාන්. කොහොම හරි පාන් ගෙඩි 400ක් පමණ ගෙනත් තිබුණා. ඒ පාන් වැඩි හරිය සොමී පාරට විසි කළා. සොමි පාරට වීසි කරපු පාන් ගෙඩිවලට අමතරව ඉතුරු ටික අවට සිටි අයට අපි බෙදා දුන්නා. පුදුමය නම් මේ රූප ගත කිරීම සඳහා බිමට වීසි වන පාන් ගෙඩි දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි බල්ලෙක් පාන් ගැන තඹ දොයිතුවක උනන්දුවක් නැතිව නිදා ගෙන බලා සිටීමය.  
‘‘බලන්නකෝ මහත්තයෝ මේ බල්ලා අද උපාසකයෙක් වගේ ඉන්න හැටි. වෙනදා නම් පාන් ගෙඩියක් කාලමයි යන්නේ.’’ කවුදෝ කියනු ඇසුණා.’’  


ක්‍රිස්ටි ෂෙල්ටන් තවත් දර්ශනයක් ගැන මෙසේ කීවේය.  


ගණිකාවක් සිටින ගෙයක් බව නොදැන රන්මලී රැයක් ගත කරන දර්ශනයක් තිබී ඇත. මේ දර්ශනයේ රන්මලීගේ චරිතයට නවක අතිරේක නිළියක් රඟපා ඇත. එය රාත්‍රී දර්ශනයකි. සල්ලාල පුද්ගලයකු ඇය වෙත එන දර්ශනයකි ඒ. අම්බලන්ගොඩ පැත්තේ කෙනෙකු මේ චරිතයට රඟපෑමට කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇත.  
‘‘හා දැන් ඔය යට ඇඳුම පිටින් මේ දර්ශනය කරන්න’’ අධ්‍යක්‍ෂ වසන්ත ඔහුට උපදෙස් දී ඇත.   


ඔහු මඳක් පැකිළී ඇත. වට පිටද බැලීය.  


‘‘ඇයි මොකක්ද ප්‍රශ්නෙ...? ඔයා කැමැත්තෙන්මනේ ආවේ.’’  


‘‘මම යට ඇඳුමක් නැතිව සර් ආවේ. සර් කිව්වෙන ‘රේප්’ සීන් එකක් කියලා. මම හිතුවා උපන් හැටියෙන් රඟපාන්න.’’  


ඔහු කියන විට හැමෝටම විනාඩි දෙකක් පමණ හිනා ගොස් ඇත.  


සම තිරනාටක රචක හා සහාය අධ්‍යක්‍ෂ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අපට කීවේ ‘‘දඩයම’’ චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට වසන්ත ඔබේසේකර සමඟ පොලිස් වාර්තා, පුවත්පත් වාර්තා සොයමින් මාස 6ක් පමණ වෙහෙස වූ බවය. තමා උගන්වමින් සිටි පාසලින් නිවාඩු ගෙන ඔහු මේ සඳහා කැප වී ඇත.  


‘‘වසන්ත සර්ගේ ගම වූ මතුගම ළඟම ඥාතියකුගේ ගෙදර නැවතී තිර නාටකය කපමින්, අලුතින් ලියමින්, මාස 06ක් දුෂ්කර ක්‍රියා කළා. ඒ තුළින් ඉතා පැහැදිලි නිරවුල්, නිර්මාණාත්මක තිර නාටකයක් බිහි වුණා. දෙබස් වුණත් ඒ ඒ දර්ශනයට අවශ්‍යම සංවාද පරෙස්සමින් ලියමින් හැම​ ලොකු කුඩා චරිත වලට අතිශයින්ම උචිත නළු නිළියන් තෝරා ගැනීමට අපි උත්සාහ ගත්තා. ප්‍රවේශම් වුණා.’’ ඔහු කීවේය.   


සිංහල සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් වෙනුවෙන් බුද්ධිමය දේපළ පිළිබඳ පැවරූ නඩු තීන්දුවෙන් ප්‍රකාශිත නිගමනයක් ගැන ‘‘බලය’’ සඟරාවේ 2000 වසරේ නොවැම්බර් කලාපයට සමරසිංහ ගුණසේකර ලියා තිබුණි. ලියුම්කරු ලියා තිබුණේ බුද්ධිමය දේපළ නීතියේ නිම් වළලු පුළුල් කරන නඩු තීන්දුවක් බවය. එය අභියාචානාධිකරණ නඩු අංක 730/92 වසන්ත ඔබේසේකර එදිරිව ඇත්තනි ක්‍රිස්ටෝපර් අලස්’’ය   


ලියුම්කරු පවසා ඇත්තේ පොත් කතුවරුන්, පරිවර්තකයන්, සංගීත, චිත්‍රපට, නාටක ආදී විවිධ කලා ක්ෂේත්‍රවල නිර්මාණකරණයෙහි යෙදී සිටින නිර්මාණකරුවන්ට මෙන්ම ප්‍රකාශනයේ නිරතවන්නන් ආදීන්ට බෙහෙවින් වැදගත් නඩු තීන්දුවක් බවය.  


අපරාධ අධිකරණයේදී ඒ.සී. අලස් මහතා 1959 විල්පත්තු මිනීමැරුමේ නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥයාය. ඔහු සුප්‍රකට මිනීමැරුම් නඩු ඇසුරෙන් ග්‍රන්ථ කිහිපයක් ලියා ඇත. ඒ ග්‍රන්ථ නවකථාවක් ලෙස සරළ බසින් සිත්ගන්නා අයුරින් ලියා තිබුණි. ඒවා අතර ‘‘71 කැරැල්ල’’ Famous Criminal cases and of Sri lanka පොත් පෙළේ The White house Murder Case, The Turf Club Robbery and Murder, The Kadugannawa Postal and Murder, Alfred de Zousa and The Kalattawa Murders, The Assassination of Prime Minister S.W.R.D. Bandaranayake, The Sathasivam Murder Case, The Kularatne Poisoning Case, Pauline de Croos A Verdict in Dispute, Tragedy at Tismada, The Attygalle Murder Case, The Duff House Murder Case, The Pope Murder Case, The Wirawila Tank Murder Case, The Sepala Ekanayke Skyjack Trial, Ranjani Taxi Cab Murder Case, The Trial of Walisinghe Harischandra and Others කෘති කැපී පෙනෙයි.  


සමරසිංහ ගුණසේකර ‘‘බලය’’ සඟරාවට ලියූ ඒ ලිපිය අවසන් කර තිබුණේ මෙසේය.  


‘‘සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ වසන්ත ඔබේසේකර විසින් නිර්මාණය කළ ‘‘දඩයම’’ චිත්‍රපටයට පාදක වූයේ මේ මිනීමැරුම් නඩුවයි. එම චිත්‍රපටය නිර්මාණය කිරීමේ දී බුද්ධිමත් දේපළ පනතින් සුරක්‍ෂිත කර ඇති තම කර්තෘ හිමිකම උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් අලස් මහතා වසන්ත ඔබේසේකර මහතාට විරුද්ධව ගල්කිස්ස දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පැවරීය. එහිදී අලස් මහතාගේ කර්තෘ හිමිකම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔබේසේකර මහතා වරදකරු වූ අතර, අලස් මහතාට රුපියල් දෙලක්‍ෂයක වන්දියක් ගෙවීමටද නියමවිණි.  

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්