විරුද්ධ ග්‍රහයින්ගේ ග්‍රහ දශා කාලවලදී විවාහය සිදුවීම ශුභ නැත


විවාහය ජීවිතයේ සන්ධිස්ථානයකි. මෙය ශුභවාදීව සිදුවුවොත් අනාගතය සෞභාග්‍යමත් වේ. තම දරුවාගේ ඉදිරි ජීවිතය සතුටින් හා වාසනාවන්ත ලෙස ගතකරනවා දැකීම මාපියන්ගේ උතුම් අභිලාෂයකි.  


​ෙම් නිසා පුරාණයේ පටන් පැවැත එන චාරිත්‍රයක් වී ඇත්තේ පොරොන්දම් ගළපා ශුභ අශුභ තත්ත්වයන් ගැන සොයා බැලීමය. මෙහිදී භාවිතයේ පවතින පොරොන්දම් ක්‍රම කීපයක්ම තිබේ. විසි පොරොන්දම දස පොරොන්දම අෂ්ටකූට හා එ්ක දින පොරොන්දම ආදී වශයෙනි. බොහෝ අවස්ථාවල ප්‍රධාන වශයෙන් විසි හා අෂ්ටකුට පොරොන්දම් ගළපා බැලීම සිදුකරයි.  


නොගැළපෙන යුවලක් ඇතිකරගන්නා විවාහ සම්බන්ධ යුගදිවිය අවුල් වන අසාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නකි. විවාහ ජීවිතයේ සාර්ථකත්වය පොරොන්දම් ගැළපීමකින්ම පමණක් විසඳිය නොහැකිය. එසේ සිතීම සාධාරණද නැත. එහෙත් නිසි අන්දමට පොරොන්දම් ගැළපීමකින් විවාහභිමුඛ යුවලකට සරුඵල ඇති යුග දිවියක් ගත කිරීමට අත්වැලක් විය හැකිය.  


මෙහිදී ජ්‍යොතිර්වේදියාට ලොකු වගකීමක් පැවරේ. එමනිසා කේන්දර දෙකක පොරොන්දම් පරික්ෂාවේදී රාශිවල ගැළපීම්ද බැලීම අවශ්‍යය. මේෂ, සිංහ, ධනු වන තේජෝ රාශිවලින් උපත ලද අයට මිථුන, තුලා, කුම්භ වන වායෝ රාශිවලින් උපත ලද අයද වෘෂභ, කන්‍යා, මකර වන පඨවි රාශිවලින් උපත ලද අයට කටක, වෘශ්චික, මීන වන ජල රාශිවලින් උපත ලද අයද හොඳින් ගැළපෙන බවද හොඳින් සිහිපත් කළ යුතුය.  


විරුද්ධ ග්‍රහයින්ගේ දශා කාල සීමාවන්හිදී විවාහය සිදුවීමෙන් කරදර ඇතිවීමට ඉඩ තිබේ. එම නිසා විවාහයේ සාර්ථකත්වය ඇතිවීම සඳහා පොරොන්දම් බලනවාත් සමග විවාහය සිදුකළ යුතු ශුභ ග්‍රහ දශා කාල සීමා ගැනද සොයා බැලීම අගනේය. ලග්නය කුමක් වුවත් කුජ ශනි යෝගය (ශනි මංගල යෝගය) යෙදී තිබීම අයහපත්ය. ඉන් විවාහය ප්‍රමාදවීම සමහරවිට පළමු විවාහය අසාර්ථකවීම අවුරුදු කීපයක් තිබූ පෙම් සබඳතා වුවත් කඩාකප්පල්වීම සිදුවීමට ඉඩ තිබේ. කුජ, ශනි, රවි යෝගයද කුජ ශනි රාහු යෝගයද කුජගෙන් හත්වැන්නේ ශනි සිටීමද කුමන ආකාරයකින් හෝ හත්වැන්නට ශනිගේ බලපෑමක් තිබීමද විසි දෙවන දෙර්කානාධිපතියා කුජ ගුරු සිකුරු වීමද විවාහය ප්‍රමාද කරවන යෙදුම්ය.  
පොරොන්දම් ගැළපීමේදී කේන්දරයේ 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක කුජ තැන්පත්ව ඇත්නම් කුජ භෞම දෝෂය යෙදී ඇත. එම කුජ භෞමදෝෂය භංගවීම සඳහා අනෙක් කේන්දර කේන්දරයේ එම ස්ථානවල කුජ තැන්පත්ව සිටීම සුබ වන අතර එසේ නැත්නම් ශනි රවි රාහු වැනි ග්‍රහයෙක් හෝ තැන්පත්ව සිටීම හොඳය. ගුරු ගේ දෘෂ්ටිය කුජ වෙත යෙදී තිබීමෙන්ද දෝෂ භංග වේ.  


ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ සතරවිධ සම්පත්තියෙන් විවාහය කාම සම්පත්තියට අයත් වේ. සමහරවිට ධර්ම, අර්ථ සම්පත්තිය අග්‍ර තත්ත්වයට පත්වූවෙකුට ශනිගේ හත්වැන්නට බලපෑම ලැබීම නිසා ලෝකෝත්තර පැත්තට වඩා නැඹුරුවීමක් සිදුවිය හැකිය. කුජ සිකුරු හත්වැන්නේ තැන්පත් කේන්දරයක් හිමි යුවතිය සංගීතය, චිත්‍රපට බැලීම වැනි විනෝදයට හා ශෘංගාරාත්මක දේට ආශා කරයි.  


එවැනි ග්‍රහ යෙදුම් ඇති කෙනෙකුට හත්වැන්නේ ශනි තැන්පත් කේන්දරයක් හිමි පුරුෂයෙකු නොගැළපේ. එවැන්නෝ මුළු කාලයම මුදල් ඉපයීමට යොදවති. ඔවුන්ගේ විනෝදය මුදල් ඉපයීමය. විනෝදයට කැමති යුවතියක් ඔහු හා සරණ ගියොත් අඩදබර ඇතිවී යුගදිවිය අවුල්වීම සිදුවේ. ආයුෂ පෙන්වන ස්ථානය මෙන්ම මාරක ස්ථානය වන අටවැන්නද විශේෂයෙන් පරික්ෂා කළ යුතුය.  


විවාහය පෙන්වන හත්වැන්නෙන් දෙවැන්න දෙවැන්න කුටුම්භස්ථානය හෙවත් ධනස්ථානය ලෙස හැඳින්වේ. රන්, රිදී, මුතු, මැණික්, ස්වර්ණාභරණ, බැංකු ගිණුම්, චංචල නිශ්චල දේපළ උරුම හිමිකම් පමණක් නොව අඹුදරුවන් ගැනද කියැවෙන දෙවැන්න මනාව පරික්ෂා කිරීමද වටී.  


පොරොන්දම් විස්සක් පරික්ෂා කිරීම විසි පොරොන්දමයි. එයින් අටක් ගෙන ඒ සඳහා ලකුණු 36 ක් දීමේ ක්‍රමය අෂ්ටකූට පොරොන්දමයි. ලකුණු 18 ට වැඩියෙන් ලැබුණොත් සුබ ලෙස ගණන් ගනී. (නාඩි 8 රාශි 7 ගණ 6 රාශ්‍යාධිපති 5 යෝනි 4 නක්ෂත්‍ර 3 වශ්‍ය 2 වර්ණ 1 වශයෙනි) දස පොරොන්දමේදී නැකැත් ගණ මහේන්ද්‍ර ස්ත්‍රී දීර්ඝ යෝනි රාශි රාශ්‍යාපති, වශ්‍ය රජ්ජු වේධ යන පොරොන්දම්වල සුබ අශුභ හා මධ්‍යම තත්ත්වය ගළපා බැලීම කරයි.  


ඒක දින පොරොන්දම නම් ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම නැකතක උපත ලැබීමෙන් කරන පරික්ෂණ ක්‍රමයයි. ඒ අනුව ස්ත්‍රී පුරුෂ දෙදෙනා උපන් දෙක රෙහෙණ අද පුෂ මා හත සුවණ උත්‍රපුටුප රේවතී නම් විවාහයට ශුභයි. අස්විද කැති මුවසිරස පුනාවස උත්‍රපල් සිත අනුර උත්‍රසල මධ්‍යම තත්ත්වයේ නැකත්ය.  


බෙරණ අස්ලිස පුවපල් සා විසා දෙට මුල පුවසල දෙනට සියාවස පුවපුටුප නැකත් අශුභ තත්ත්වයේ ඒවා හැටියට ගනී. මෙම ඒක දින පොරොන්දම ගැළපීමෙන් පසු රාශි හා රාශ්‍යාධිපති සහ ග්‍රහ පොරොන්දම් ගැළපේදැයි බැලීම අවශ්‍යය. ඒවා ගැළපේ නම් එම විවාහය සුබදායක වන බව සැලකේ.  


යුග දිවියකට එළැඹෙන තරුණ තරුණියන් මේ ගැනත් සිතන්න. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ පංච ධාතූන්ගෙන් සැදුම් ලත් මිනිස් ශරීරය විකෘති නොවන අන්දමට පවත්වාගෙන යාමයි. සිත හා ගතෙහි ක්‍රියාකාරිත්වය ඒකාබද්ධව පවතී.  


ඔබ මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේ ශරීරයට ඇතුළු කළොත් එයින් මනසට බලපෑමක් ඇතිවී මනස අවුල්වෙයි. මානසික විකෘති තත්ත්වයක් ඇතිව යුග දිවියේ මිහිර විඳින්නට යාමෙන් ගතකරන කායික සම්බන්ධයකින් බිහිවන ජන්මියා සමහරවිට අංග විකල හෝ මානසික තත්ත්වය දුර්වලයෙකු වීමට බොහෝවිට ඉඩ තිබේ. ඔබ යුග දිවියට පත්වීමෙන් කාලයකට පසු ලබන දරුවා සම්පතක් හැටියට ඔබටත් ඔබේ මව්පියන්ටත් සතුටුවීමට මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වැළකීම ඉතා මැනවි.  

 

 


ජ්‍යොතිෂ ශාස්ත්‍ර ශූරී ඩී.බී. වීරතුංග  
(වෛදික ජ්‍යොතීර් සම්මාන)  
ශ්‍රී සම්පත් ජ්‍යොතිෂ කාර්යාලය   
304, දේවාල පාර, බටකැත්තර  
පිළියන්දල.