විදෙස් වාර්තාවක් කියන රාවණ පිළිබඳ රහස් තොරතුරු


 

 

රටවල් කිහිපයක් නියෝජනය කරමින් ලංකාවට පැමිණි විදේශීය පරීක්ෂණ කණ්ඩායමක නායකත්වය දැරූ ජයන්තා පෙරේරා, එම විදේශීය කණ්ඩායම සැකසූ වාර්තාවක් ඇසුරෙන් කරනු ලබන මෙම හෙළිදරව්ව රාවණ, රාම, සීතා පුවත නව මානයකින් කියාපායි. ලංකාවේ රාවණ ගැන ලංකාවට නැති කැක්කුමක් විදේශිකයන්ට ඈත අතීතයේ සිටම පහළවීම පිළිබඳ ලංකාව මෙයට වඩා සැලකිල්ලක් දැන්වත් දැක්විය යුතුව තිබේ.   


රාවණ මෙසේ කියා තිබේ.   


ඉතිහාසය අපට සංස්කෘතිය මුණගස්වයි. සංස්කෘතිය අපට විද්‍යාව මුණගස්වයි. විද්‍යාව අපට ස්වභාවධර්මය මුණගස්වයි. අපට මුණගස්වන ඉතිහාසය, සංස්කෘතිය, විද්‍යාව සහ ස්වභාවධර්මය යනු අපගේම අතීත උරුමයයි. එම උරුමය අපට හිමිකරදී තිබෙනුයේ වැඩුණු වයෝවෘද්ධ මිනිසත් භාවයයි. මිනිසත් භාවය එක් යහපත් දෙයක් ලබාදී තිබේ. ඒ සතියයි. සතිය යනු සිහියයි. එය මෙසේ කියයි.   
සිහියෙන් ඒ මොහොතේ ජීවත් වන්න. එසේ කිරීම තුළ ග්‍රහයන්ගෙන් ලැබෙන බලපෑම් ස්වභාවයෙන්ම දියවී යයි.   


රාවණ මෙසේද කියයි.   


විශ්වය ජ්‍යොතිෂය සමගින් බද්ධවී තිබේ. එය ප්‍රශ්න තුනක් අසයි. ඒ මෙම ප්‍රශ්න තුනයි.   
ශාස්ත්‍රඥයා සැමවිට සර්ව බලධරයාද? අපගේ අනාගතය දැනටමත් සැකසී අවසන්ද? අපට එය වෙනස් කළ නොහැකිද?   


රාවණයන් එයට ලබාදුන් පිළිතුර මෙයයි. 


විශ්වාස කරන්න. මෙතෙක් අවිශ්වාස කරනු ලැබූ විශ්ව ජ්‍යොතිෂය සහ ආයුර්වේදය. එය විශ්වයේ රාශි දොළහ සමග බැඳී පවතියි. ජ්‍යොතිෂය සහ ආයුර්වේදය ශරීරය කොටස්වලට බෙදා වෙන්කරයි. ඒ කොටස් දොළහකටයි. බෙදූ කොටස් රාශි දොළහ අයත්කර ගනියි. එම රාශි දොළහ ශරීරයට බලපෑම් කරයි. එම බලපෑමෙන් ශරීරය වෙනස් වෙයි. ජ්‍යොතිෂය සහ ආයුර්වේදය එම වෙනස්වීම්වලට ප්‍රතිකර්ම කරයි. ස්වභාවික විශ්වයේ පැවැත්ම මෙයයි. එය විද්‍යාත්මක බව රාවණ කියයි. රාවණ එය මෙසේ දක්වයි.   


මේ විද්‍යාත්මක නියමය පිළිබඳ වන හැඳින්වීමයි.   


උපකල්පනයන් කිසිවිටෙකත් විශ්වාස නොකරන්න. විශ්වාස නොකළ යුතු උපකල්පන අංශ දෙකක් දක්වයි. ඒ මෙයයි.   
පරම සත්‍යය විශ්වාස නොකිරීම, පරම සත්‍යය විශ්වාස කිරීම, විශ්වාස කිරීමේ පරම සත්‍යය කුමක්ද?, රාම, සීතා, හනුමන්තා, විභීෂණ කතාව, මියගිය රාම විෂ්ණු අවතාරය ලෙස ඉපිද පුද පූජා ලබයි. රාම මියගිය බව එයින් තහවුරු වෙයි.   


මියගිය විභීෂණ, විභීෂණ දෙවියන් ලෙස ඉපිද පුද පූජා ලබයි. විභීෂණ මියගිය බව එයින් තහවුරු වෙයි.   
ඉපිද සිටින විෂ්ණු, විභීෂණ දේව ආත්ම ලැබීමට පෙර මිනිස් ආත්මවල සිටි බව එයින් කියවෙයි.   
විශ්වාස නොකිරීමේ පරම සත්‍යය කුමක්ද? මියගියා යැයි, මියයවනු ලැබුවා යැයි කියන රාවණ රජු තවමත් දේව ආත්මයක නොඉපිද දෙවියකු ලෙස පුද පූජා නොලබන්නේ ඇයි? 

 
රාවණා රජු මිය නොගිය බව එයින් තහවුරු වෙයි.   


මියගියා යැයි කියනු ලබන සීතා දේවිය තවමත් දේව ආත්මයක නොඉපිද පුද පූජා නොලබන්නේ ඇයි?   


සීතා කුමරිය මියනොගිය බව එයින් තහවුරු වෙයි.   


නොඉපදී සිටින රාවණ, සීතා දේව ආත්ම නොලබා භවය සරමින් සිටින බව එයින් කියවෙයි.   
විද්‍යාත්මක උප්කල්පනය, විශ්වාස කිරීමේ උපකල්පනය වන එකම අවස්ථාව මෙයයි. අවස්ථානුගත උපකල්පනය කියනු ලබන එකම සත්‍යය මෙයයි.   
රාවණ රජු තවමත් ජීවත්ව සිටියි. සීතා දේවිය තවමත් ජීවත්ව සිටියි.   


ඒ කොතැනකද?   


ප්‍රශ්නය ගැටලුකාරියි. පිළිතුර සංකීර්ණයි. විමසුම අතිශය මතභේදකාරියි.   


රාවණ යනු කවරෙක්ද?   


රාවණ ද්වග්ණාත මිනිසෙකි. එහි අර්ථය දැකීමේ ශක්තිය ඇති මිනිසා යන්නයි. අනෙක් අර්ථය මිනිසා ඉක්මවා ගිය මිනිසා යන අදහසයි. අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ ජීවත් වන මිනිසා යන්න අනෙක් හැඳින්වීමයි. අතීතය මෙන්ම අනාගතයද දකින මියනොගිය වර්තමාන මිනිසා බවද කියයි.   


රාවණ හැමවිටම වෙනස් දැක්මක් දකියි. ඒ රාවණා නොවන්නන් දකින දැක්ම ඉක්මවා දකින දැක්මයි. රාවණයන් එම දැක්ම දක්වා තිබෙනුයේ මෙසේයි.   


මිනිසාගේ භෞතික ශරීරය විශ්වය සමග සම්බන්ධ වනුයේ පංචමහා භූතයන්ගෙනුයි. මෙම පංච මහා භූතයන් රසායනික මූලද්‍රව්‍ය පහක් හා එකිනෙක බැඳෙයි. ඒ මෙම ආකාරයටයි.   


මහ පොළොව කාබන් සමගින් වන බැඳීම, ජලය, හයිඩ්‍රජන් සමගින් වන බැඳීම, වාතය, ඔක්සිජන් සමගින් වන බැඳීම, අවකාශය, නයිට්‍රජන් සමගින් වන බැඳීම, ගින්න හෙවත් අග්නිය පොස්පරස් සල්ෆේට් සමගින් වන බැඳීම.   


පංච මහා භූතයන් ගිනිය නොහැකි මැනිය නොහැකි මේ මහා විශ්වයේ සියලු ස්ථානයන්හි හැමවිටකම අන්තර්ගතව පවතියි. එය ලොව පවත්වන්නට උපකරී වන ප්‍රධාන බලවේග යුගලය වන ආයුර්වේදය සහ ජ්‍යොතිෂ්‍යය සමගින් බැඳී පවතින බව රාවණ දක්වයි. ආයුර්වේදයත් ජ්‍යොතිෂ්‍යයත් ගොඩනැගී තිබෙනුයේ දිව්‍ය බලය එකතු වීමෙනුයි. විශ්ව මූලධර්මතා කියනුයේ ප්‍රඥාව සහ දිව්‍ය බලයටද පංච මහා භූත බලවේගයන්ගෙන් ගැලවීගත නොහැකි බවයි. රාවණාටද මෙය උරුම බව රාවණයන්ම කියයි.   


විශ්වයේ පැවැත්මට අදාළ බොහෝ විෂයන් තිබේ. විශ්වයට මෙන්ම ජ්‍යොතිෂයට සහ ආයුර්වේදයට පොදු වන විෂයන් ඒ අතර තිබේ එම විෂයන් වනුයේ, භූත විද්‍යාව, මන්ත්‍ර විද්‍යාව, තන්ත්‍ර විද්‍යාව, යන්ත්‍ර විද්‍යාව, බලි යාග ආදියයි. යම් කිසිවකු මෙම විෂයන් සියල්ල මනාව දකියිද ඒ රාවණා පමණයි. යම් කිසිවකු සම්පූර්ණ ශරීරය, මනස පුරවාගත්තේ වෙයිද ඒ රාවණා පමණයි. රාවණා වූකලී අභ්‍යාවකාශයත් පෙළොවත් එකිනෙක සමපාතව එකතුව නිමැවුණු නිර්මාණයක් වෙයි.   


වැඩීම, දියුණුව, ක්‍රියාව, බෝ කිරීම ඇතුළත් බොහෝ වූ සියල්ල නිෂ්පාදනය වනුයේ මෙමගිනුයි. මෙය වූ කලී එකිනෙකට අසමාන වූ ද්‍රව්‍ය හඳුනාගැනීමේ සාධකයයි. සාධකය (වත්මන් නාමය ඩී.එන්.ඒ අණු) පැවතීම හෝ නැතිවීම කිසිදිනෙක නැති නොවෙයි. මෙහි අර්ථය ජීවි වස්තුවක් අජීවි වස්තුවක් බවට පත්වී ඉතා දිගු කාලයක් (වත්මන් නාමය යුගයන්) ගියද සාධකයන්ගේ, ආදීතමයන්ගේ, අනාගතයන්ගේ (වත්මන් නාමය පරම්පරාව) හඳුනාගැනීමට හැකියි.   


ලොව මුල්වරට ඩී.එන්.ඒ. තාක්ෂණය සොයාගනු ලැබුවේ, භාවිත කරනු ලැබුවේ හෙළයේ මහා රාවණයනුයි. ලොව මුල්වරට ජාන ඇසුරු කර මිනිස් අනුරුවක් (වත්මන් නාමය කාබන් පිටපතක්) නිර්මාණය කරනු ලැබුවේ හෙළයේ මහා රාවණයනුයි.   


ලොව මුල්වරට විශ්වයේ රටා (වත්මන් නාමය ග්‍රහලෝක වළල්ල) ජීවින්ට සම්බන්ධ වන බව සොයාගනු ලැබුවේ හෙළයේ මහා රාවණයනුයි.   


පරම්පරා සාධකය හෙවත් ඩී.එන්.ඒ. අනු විශ්වයේ රටාවට (ග්‍රහ තරුවලට) සම්බන්ධ බව හඳුනා ගනු ලැබුවේ හෙළයේ මහා රාවණයනුයි. 

 
රාවණයන් බෙදා දැක්වූ ඩී.එන්.ඒ. අනු ප්‍රභේද නවයට නූතන විද්‍යාව ලබාදී තිබෙන නාමයන් මෙසේයි. ඇඩිනින්, තයිවින්, ග්වනින්, සයිටොසින්, අක්ෂය වටා ඇති හයිඩ්‍රජන් බන්ධන, සීනි පදාර්ථ, පොස්පේට්, ඩී.එන්.ඒ. එක් ප්‍රභේදයක්, ඩී.එන්.ඒ. පොලිමරේස්   


හෙළයේ මහා රාවණයන් ඩී.එන්.ඒ. අනුවලට සම්බන්ධ කළ විශ්වයේ රටා නූතන විද්‍යාව දක්වනුයේ මෙසේයි.   


ගුරු ග්‍රහයා, ශනි ග්‍රහයා, සිකුරු ග්‍රහයා, කුජ ග්‍රහයා, රවි ග්‍රහයා, බුධ ග්‍රහයා, සඳු, රාහු, කේතු   


විශ්ව රටාවන් මිනිස් සිරුරට සම්බන්ධ වන ආකාරය රාවණයන් දැක්වූයේ මෙසේයි.   


 හිස = මේෂ   
 මුහුණ = වෘෂභ   
 බෙල්ල = මිථුන   
 පපුව = කටක   
 බඩ ඉහළ = සිංහ   
 යටි බඩ = කන්‍යා   
 ලිංගික පෙදෙස= තුලා   
 බහිශ්‍රාවීය පෙදෙස = වෘශ්චික   
 කලවා = ධනු   
 දණහිස = මකර   
 කකුල් = කුම්භ   
 යටි පතුල = මීන   


සම්පූර්ණ සංයුතිය කොටස් විසි හතයි. එය ඩී.එන්.ඒ. සහ ආර්.එන්.ඒ. වලින් සැකසී තිබේ. රාවණයන්ගේ මෙම සොයාගැනීම නූතන විද්‍යාව අර්ථ දැක්වූ ආකාරය මෙයයි.   
ඩී.එන්.ඒ. පදාර්ථ සෞරග්‍රහ මණ්ඩලයට සම්බන්ධව සිටියි. රාවණ විසින් දක්නා ලද ජ්‍යොතිෂය මෙයයි. එය අඩුපාඩු රහිතයි. විශ්වයේ සියලු රහස් එහි ගැබ්ව තිබෙයි. විශ්වය මනාව හැදෑරීමට අවශ්‍ය නම් ජ්‍යොතිෂය මනාව හැදෑරිය යුතුයි. එම හැදෑරීම වූ කලි රහස් තොරතුරු හෙළිදරව් කර ගැනීමයි. විශ්ව රහස් හැදෑරීමට විශ්ව රටා වෙතට (වත්මන් නාමය ග්‍රහලෝක) යෑම හෝ පියවි ඇස ඉක්මවා යන වෙනත් සමීප ඇස් (වත්මන් නාමය අධිසංවේදී කැමරා) අවශ්‍ය නොවෙයි. එම විශ්ව රටාවට (ග්‍රහ තරුවලට) හිමි ජ්‍යොතිෂය තොරතුරු (වත්මන් නාමය කේන්දර සටහන) ගණනය කිරීම පමණක් සෑහෙයි.   


ආධ්‍යාත්මික භාවයෙන් ලෞකික භාවය මෙහිදී වෙනස් වෙයි. ඒ කඩඉමයි. ලෞකික භාවයේ අග තැන්පත් සෘෂිවරු ආධ්‍යාත්මික භාවයට පැමිණෙන්නේ ඉතා සෙමිනුයි. ඒ පැවැත්ම සහ පවත්වා ගැනීමේ අරමුණු පෙරදැරි කරගෙනයි. යළි කිසිදින නොඑන, නොඉපදෙන ලෝකයකට යාමට ප්‍රථම ලෞකික භාවය ජයගත යුතු, බල ලබා දිය යුතු බොහෝ දේ ඉතිරිව තිබෙන බව සෘෂිවර මතයයි.   


සෘෂිවර මතය පිළිබඳ මහා භාරතයේ දැක්ම මෙයයි.   


මහා සෘෂි විශ්වමිත්‍ර ලොව බලවත් සෘෂිවරයා වෙයි. සියල්ල ඇතිකිරීම, නැති කිරීම විශ්වමිත්‍ර සෘෂි සතු සුවිශේෂී හැකියාවයි. ජීවත් වන ජීවීන් උප්පත්තිය නැති මරණය නැති ලෝකය කරා යැවීමට සමතෙක් වෙයි. මෙම දක්ෂතා දැක්වූ තවත් සෘෂිවරුන් දෙදෙනෙකු වනුයේ වෛද්‍ය විද්‍යාවේ සෘෂිවරුන් වන ගන්ධාරී සහ කුන්ඨි දෙදෙනායි. මෙම සෘෂිවරුන් තිදෙනාගේ ශක්තිය හිමි ලොව එකම අසුරයා වූයේ හෙළයේ මහා රාවණායි. 

 
රාවණා පිළිබඳ පළමු වරට හෙළිදරව් වන තොරතුරක් තිබේ. ඒ මෙම තොරතුරයි.   


හෙළයේ මහා රාවණ ජාන ඉන්ජිනේරු විද්‍යාවේ පියා වෙයි. ජාන ඉන්ජිනේරු විද්‍යාවේ මූලධර්ම නිපදවූයේ හෙළයේ මහා රාවණායි. එසේ කළේ රාවණයන්ගේ පරීක්ෂණාගාරයේදීයි. රාවණ විද්‍යාගාරය පැවතියේ ජනක් රජුගේ රාජ්‍යය තුළයි. ජනක් රජු ප්‍රසිද්ධ වූයේ අපක්ෂපාතී රජු කෙනෙකු ලෙසටයි. ඒ සුර හෝ අසුර පැතිවලට නොගොස් ස්වාධීනව සිටීම නිසයි.   


ජනක් රජු සමයේ බලවත් වූ අනෙක් රජු ඉන්ද්‍රයි. ඉන්ද්‍ර යනු අග්නි රජු යන්නයි. මධ්‍යස්ථ නොවූ ඉන්ද්‍ර රජු ජනක් රජුට බලපෑම් කළේ රාවණ රජුගේ විද්‍යාගාරය විනාශ කරන ලෙසටයි. ඉන්ද්‍ර රජුගේ බලපෑම් මත රාවණගේ විද්‍යාගාරය ගිනිබත් වූයේ ජනක් රජු අතිනුයි.   


රාවණ, රාම, සීතා චරිත තුනක කථාවක් වෙයි. ඉන්දියාවේත් ලංකාවේත් ලොව බොහෝ රටවලත් මෙම චරිත තුන ඉතා ප්‍රබලයි. ප්‍රබල චරිත තුනෙන් චරිත දෙකකට වරිග පරම්පරාවක් තිබෙයි. ඒ රාවණාට හා රාමාටයි. රාවණා සහ රාම පරම්පරාවන් අදටත් ඉන්දියාවේ සහ ලංකාවේ ජීවත් වෙයි.   


පරම්පරාවක් නැත්තේ සීතාටයි. යම් අයෙකුට පරම්පරාවක් නොමැත්තේ නම් එම අයට මවක සහ පියෙකු නොසිටියි. රාවණා සහ රාම පරම්පරාවන් පිළිබඳ අද ලෝකයම කථා කරතත් සීතා දේවියගේ පරම්පරාව පිළිබඳ ලොව කිසිවෙක් කතා නොකරයි. සීතාගේ වත්මන් පරම්පරාව පිළිබඳ කිසිවෙකුත් විස්තර නොලියයි. සීතාගේ මව පියා පිළිබඳ තොරතුරු නොසපයයි.   


ඒ ඇයි?   


සීතාට මවක පියෙකු පරම්පරාවක් නැත්තේ ඇයි?   


රාවණා රජු තමන්ගේ පර්යේෂණාගාරය තුළ කරනු ලැබූ පර්යේෂණයන් මොනවාද? සැබැවින්ම සීතා දේවිය රාමාගේද? නැතහොත් වෙනත් අයකුගේද? සීතා ගින්දරට පිච්චුණේ නැත්තේ ඇයි?   


මේ මෙතෙක් පිළිතුරු නොලැබූ ප්‍රශ්නයි. විසඳා ගත නොහැකි වූ ප්‍රබල අභිරහසයි. නමුත් දැන් එය විසඳී හමාරයි. විදේශිකයන් සකස් කළ රාවණයන් පිළිබඳ රහසිගත වාර්තාවක් එය අනාවරණය කරයි. එම වාර්තාව පර්යේෂණ නියමයන් කිහිපයක් දක්වයි. ඒ මෙම නියමයි.   


රාවණ පර්යේෂණාගාරය තුළින් ගොඩනැගූ නිමැයුම සහ සංකල්පය.   


ගුණවත් සෘෂිවරු ඩී.එන්.ඒ. නිර්මල රුධිරය විද්‍යාත්මක පර්යේෂණාගාරය ඇතිවීම නැතිවීම සුර අසුර = සීතා.   


විශ්වයේ බලය පිළිබඳ ප්‍රබල සාධකය වනුයේ සීතා දේවියයි. සීතා ලංකාවේ සහ ඉන්දියාවේ බල අරගලය විදහාපාන හොඳම සාධකයයි. එම බල අරගල සටන තුළ වූයේ ලංකාව යටත්කර ගැනීමට ඉන්දියාව ගත් උත්සාහයයි. ලංකාව ඉන්දියාවට යටත් නොවීමට ගත් උත්සාහයයි.   


සීතා යනු භුගෝලීය දේශපාලන බලයයි. රාවණ සීතා නිර්මාණය කිරීමෙන් කරනු ලැබුවේ ලංකාවේ භූගෝලීය දේශපාලන බලය වර්ධනය කිරීමයි. වර්ධනය කිරීමට ගත් උත්සාහය තුළ පැවති අතීත ලංකාව කෙබඳු මුහුණුවරක් ගෙන තිබුණේද? එය පුරාණ පුස්තකයක මෙසේ දක්වයි.   


ලංකාවේ මධ්‍යහ්න රේඛාව ලකේගල කඳු මුදුනයි. ඒ ලංකාවේ දේශාංශකයයි. ලංකාව උස් කඳු පර්වත පහකින් සමන්විතයි. ඒ මෙම කඳු පර්වත පහයි.   
මේරු කඳු මුදුන, තිරුකෝණේෂ්වරම් කඳු මුදුන, පාතම් කන්ද, සුවෙල් කන්ද, ත්‍රිකුණ කන්ද   


රාවණගේ සටහන දක්වන පරිදි කඳු පහෙන් හතරක් අද දක්නට නොලැබෙයි. එක කන්දක් පමණක් ඉතිරිව තිබේ. ඒ ශ්‍රීපාද කන්දයි. අද එය ප්‍රසිද්ධව තිබෙනුයේ ආදම්ගේ කන්ද ලෙසටයි.   


පැහැර හැරීම නොකළ යුතු වගකීමක් ලංකාව පැහැර හැර තිබේ. ඒ අනාගතය උදෙසා වන ගවේෂණයක් තවමත් නොකිරීමයි. ලංකාව දූපතක් වීම තුළ ලංකාව වටකර ඇති සාගරය ගවේෂණය කිරීම අතිශය වැදගත් වනු වෙයි. සාගර විද්‍යා තාක්ෂණය සාගරය අධ්‍යයනය කිරීමට ඇති හොඳම මාර්ගයයි. පුරාතන තාරකා ශාස්ත්‍රය, සාගර සිතියම් වර්තමාන ගවේෂණයන්හි ඉතා වැදගත් පර් යේෂණ මාර්ග වෙයි. රාම රාවණ බල අරගලය හෙවත් ලංකා ඉන්දියා ගැටුමට හේතුවූ සීතාවන් මෙහි ප්‍රධාන මූල බීජයයි.   
සාගර විද්‍යා විශ්ලේෂණයට අනුව රාවණ රාජ්‍ය කාලය තුළ ලංකාවේ දේශසීමා දැනට වඩා විශාලව තිබූ බව දැක්වෙයි. මෙම තත්ත්වය ඉන්දියා තාරකා විද්‍යාඥයෝද තහවුරු කර සිටිති.   


සීතාවන් සම්බන්ධ ලංකාවේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ලංකා සෙල්ලිපි සංග්‍රහයේ තිස් එක්වන පිටුවෙන් ඓතිහාසික සටහනක් දක්වයි. ඒ මෙයයි.   


සීතාදේවී මේ ලංකා නමැති දූපතේ දේවත්වයට පත්වූ අතරම මේ දූපත වසර ගණනාවකට පෙර යම් අවස්ථාවක නම වශයෙන් රාමදාතා යන නාමය ප්‍රදානය කළ බවටත් මිහින්තලා ප්‍රදේශයේ ගල් ගුහාවක් භික්ෂූන් වහන්සේලාට භාවනාව සඳහා පූජා කළ බවටත් සඳහන් කරයි. සීතාදේවි සංකල්පයක් මත මෙවැන්නක් සිදුව ඇති බව පෙනීයයි.   
රාවණයන් ප්‍රිය කළ විෂයක් තිබේ. ඒ ජාන ඉංජිනේරු විද්‍යාවයි. ජාන ඉංජිනේරු විද්‍යාවේ රාවණයන් වඩාත් ප්‍රිය කළේ මිනිස් අනුරූප නිර්මාණය කිරීමටයි. මෙම මිනිස් නිර්මාණ පිහිටියේ එක් මූලධර්මයක් මතයි. ඒ බලය යන්නයි. බලය පිළිබඳ රාවණයන්ගේ දැක්ම වූයේ රාජ්‍ය පාලනයෙහිලා වර්ධනය කළ යුතු බලයයි. බල වර්ධනය තුළ ගැටුමක් නිර්මාණය විය යුතු බව රාවණ න්‍යායයි. රාවණ ඒ පිළිබඳ දැක්වූ අදහස මෙයයි.   

 


බලය උදෙසා වන ගැටුමට වඩාත් සුදුසු නිමැවුම කුමක්ද? එහි උපත කුමනාකාරවූ සාධක මත රඳා පැවතිය යුතුද?   


රාවණයන්ගේ පිළිතුර මෙයයි. මූලධර්ම මතින් මිනිසුන් නිර්මාණය කිරීම. මෙම මූලධර්මය කුමක් විය යුතුද?   


එය නිර්මල විය යුතුයි. රක්ත ධාතුවක් වීම අනිවාර්යයි. ආධ්‍යාත්මික තලයක පැවතිය යුතුයි. බලය උපත ලැබිය යුත්තේ ස්වභාවික තත්ත්වයන් යටතේ කෘත්‍රිමව සැකසූ පරිසර තත්ත්වයන් තුළයි. එතුළ උපතට ඇවැසි සාධක නොඅඩුව තිබිය යුතුයි.   


බලයන්හි උපත බයිනරි තාක්ෂණයයි. එය 0-1 සංකේත ලෙස දැක්වෙයි. සරල අර්ථය එක් පසක් ධන වීමයි. අනෙක් පස සෘණ වීමයි. ධන යනු ඇතිවීමයි. සෘණ යනු නැතිවීමයි. මෙය සමගාමී වෙයි. සමගාමී බව සුර, අසුර, රාක්ෂ, රාවණ, රාම නම් ගනියි. මෙය සත්‍යයක් වෙයි. එය න්‍යායක් නිර්මාණය කරවයි. ඒ මෙයයි.   


රාවණ - රාම සංකල්පය   


රාවණ රාම සංකල්පය මේ මහා විශ්වයට අයත් වෙයි. එය විශ්ව සමතුලිතතාවට සෘජු ලෙස බලපායි. සමතුලිතතාව රැකුමේ ප්‍රධාන සාධකය එය බව එයින් කියයි. මෙහි සරල අර්ථය විශ්ව සමතුලිතතාව රැකුමේ වැදගත් සාධකය ලෙස ධන- සෘණ සෘජුවම බලපාන බවයි.   


බලය සඳහා වන ගැටුම පිළිබඳ ලියැවුණ පුස්තකයක් තිබේ. එම පුස්තකය අයත් වනුයේ ජෛන ආගමටයි. එහි එක් විශේෂ වගන්තියක් ලියැවී තිබේ. ඒ මෙම කොටසයි.   
ජෛන ආගමේ අද්භූත රාමායනය.   


සීතා දේවිය නම් ගත් දේවිය රාවණයන්ගේ දියණියක වෙයි. සීතා යනු රාවණයන්ගේ නිර්මාණයක් බව සැබැයි. සීතා, බලය ලබාගැනීම වන ගැටුමට හෙළයේ මහා රාවණයන් නිර්මාණය කළ ප්‍රබල සාධකයයි. සීතා නිර්මාණය කරනු ලැබුවේ රාවණ විද්‍යාගාරය තුළයි.   


ජනක් රජු ඉන්ද්‍ර රජු ලවා රාවණයන්ගේ විද්‍යා පර් යේෂණාගාරය ගිනි තැබුවේ සීතා විනාශ කිරීමටයි. එම ගින්නෙන් සීතා විනාශ වූයේ නැත. එයට බලපෑ එකම සාධකය මෙයයි. ඒ සීතා නිර්මාණය වූයේ නිර්මල සෘෂිවරුන්ගේ නිර්මල ධාතුවලින් වීමයි. එයට නිර්මල ලේ ධාතුන්ද අයත්ව තිබීමයි. නිර්මල ඩී.එන්.ඒ. සහ නිර්මල ආර්.එන්.ඒ. ද අයත්ව තිබීමයි. අග්නි පූජාව තුළ සීතා ගින්දරට දැවී නොගියේද එනිසයි. රාවණ මේ පිළිබඳ මෙසේ කියයි.   


සීතා යනු, බලයේ සාධකයයි. එය බලය ලබාගැනීමේත්, ලබාගත් බලය පවත්වාගැනීමේත්, බලය තුළින් හිමිවන අමරණීයත්වයේත් ජීවමාන සාධකයයි. කිසිදින නොපරදියි. කිසිදින මිය නොයයි.   


වාර්තාව සැකසූ විදෙස් පර් යේෂණ කණ්ඩායම සිය අවසන් නිගමනය දක්වා තිබෙනුයේ මෙසේයි.   


රාමායනය අතපත ගාමින්ම අඳුරේ ජීවත් වන ලංකාව, රාමායනය ඉක්මවා තොරතුරු මූලාශ්‍ර සැඟවී පවතින හෙළ ඉතිහාසය ගවේෂණය නොකරන තාක් කල් රාවණ, රාම, සීතා කතාව විශ්මයජනක කතාවක් ලෙස ගනිමින් නන් දොඩවමින් සිටිනු ඇත.   

 


අරුණඩේල් විජේරත්න