විදු ඇසින් හා බුදු ඇසින් දකින කර්මය සහ විපාකය


ලෝකයේ භෞතික හා අධ්‍යාත්මික යන අංශවලින් දියුණු රටවල මිනිසුන්ගේ සිත්වලින් නිකුත් වෙන්නේ ප‍්‍රබල සිතුවිලි තරංගය. ඒ අංශ දෙකෙන්ම පිරිහුණ රටවල මිනිසුන්ගේ සිත්වලින් පිටවෙන්නේ දුර්වල චිත්ත තරංගයන්ය. ඒ නිසා රටක් දියණුවෙන්නට නම් එම රටවල මිනිසුන්ගේ සිත්වලින් ප‍්‍රබල චිත්ත තරංග නිකුත් විය යුතුය. ස්වාභාවික ආපදාවලට පවා මිනිසුන්ගේ සිත්වලින් නිකුත්වන දූෂිත තරංග හේතුවෙන බව මම මීට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ ‘‘ආධ්‍යාත්මික ගුණ පිරිහීම ව්‍යසනවලට හේතුවයි’’ යන ලිපියෙන් පෙන්වා දුන්නෙමි. (2017.06.18 දින) අප රටේ බැලු බැලූ අත මිනිසුන්ගෙන් පිටවෙන්නේ දූෂිත චිත්ත තරංග බව මේ සිදුවන විපත්වලින් (ස්වභාවික හා අනෙකුත් ආපදා) මොනවාට පැහැදිලි වෙන්නේද? 
  
අපගේ සිතුවිලි තරංග පිළිබඳ කර ඇති පර්යේෂණවලට කැනඩාවේ මැග්ගිල් සරසවියේ ආචාර්ය බර්නාඩ් ග්‍රෑඩ්ගේ පර්යේෂණ ප‍්‍රසිද්ධ වේ. ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කරන ඔස්කාර් එස්ටර්බෙනී, ආචාර්ය ග්‍රෑඩ්​ෙග් උපදෙස් පරිදි තම අතේ තබාගෙන සිටි වතුර භාජනයේ වතුර බාර්ලි පැළවලට දැමූ අතර එම පැළ ඉතා සාර්ථකව වැඩුණු බව පෙනුණි. ඒ අයුරින්ම මානසික රෝගියෙකු අත තබාගෙන සිටි වතුර දැමූ පැළ මැළවී මැරී ගියේය.

(A Tele Kinetic Effect on Plant Growth International Journal of Parapsychology, Vol 5, No. 2, 1963 and Vol 6, No. 4 1964 Bernard Grad) 


අපගේ ශරීරයෙන් හඳුනානොගත් යහපත් හා අයහපත් කිරණ විශේෂ නිකුත් වන බවත් මේවා ගහකොළ, සතුන් හා මනුෂ්‍ය ජීවිතවලට බලපාන බවත් ආචාර්ය ග‍්‍රෑඩ් පෙන්වා දී ඇත. කෙනෙකුගේ සිතුවිලිවලට අනුකූලව මේ ශක්තිකිරණ යහපත් හෝ අයහපත් ප‍්‍රතිඵල ඇති කරවන බව තවදුරටත් ඔහු පෙන්වා දී ඇත. 


සිතුවිලි තරංගවල සියුම් බලපෑම එසේ සිදු වුවද අපට ඇසට පෙනෙන භෞතික සිද්ධි‎ කීපයක් ගතහොත් මිනිස් ක‍්‍රියාවල ප‍්‍රතිඵල වශයෙන් ඒවා සිදු වී ඇතිබව පෙනී යයි. උදාහරණ වශයෙන් බෑවුම් සහිත කඳුකර ප‍්‍රදේශවල රූස්ස ගස් කපා තේ වගාව කරන විට හා මාර්ග සංවර්ධනයට විශාල පිහිටි ගල් පර්වත ගල්බෝර ඩයිනමයිට් දමා කඩන විට එම පස් ස්ථරවලට බලපාන අධික කම්පන නිසා පස් ස්ථර බුරුල් වී වැස්ස කාලයට ඒවා තුළින් ජල පාරවල් ගලා යනවිට එම පස් කුටිටියම නායයෑම්වලට භාජනය වීම සිදුවේ. විශාල ගස්වලින් පස බදාගෙන වැඩී ඇති විශාල මුල් පද්ධති නැති වූ විට පස හෝදාගෙන ගොස් නායයෑම්වලට හේතු නොවන්නේද? 
මා දන්නා තවත් උදාහරණයක් නම් රත්නපුර මුවගම පාලම ආශ‍්‍රිත තණකොළ කොටුව නමින් ප‍්‍රසිද්ධ වගුරු බිමක් කළුගඟ ආශ‍්‍රිතව තිබුණි. ග​ෙඟ් වතුර වැඩි වූ විට පහළට ගලා යෑම මෙම වගුරු බිම හරහා එකල සිදුවිය. දැන් එම වගුරු බිමේ බිම් අඟලක් නැතිව ගොඩකර විශාල ගොඩනැගිලි සාදා නොයෙක් ව්‍යාපාර කිරීමට එම තට්ටු ගොඩනැගිලි ඉදි කිරීම හේතුවෙන් සාමාන්‍ය වැස්සකදී පවා එම ජලය ගඟට යන්නට අවහිර වීම හේතුකොටගෙන සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවේ. 


සංවර්ධනයට විරුද්ධ නොවෙමි. පරිසරය විනාශ නොකර දුර දිග බලා ගොඩනැගිලි සෑදීමට වගබලා ගන්නවානම් මෙවැනි ව්‍යාසන සිදුවීම අඩුවන්නේ නැද්ද? ගස් කොළන් කපන විටද ගල් පර්වත විනාශ කරන විටද පාරිසරික බලපෑම් ගැන මීට වඩා සාමාන්‍ය පුරවැසියන්ද වගකිව යුතු අයද බැලිය යුතුව ඇත.  


අලි-මිනිස් ගැටුම හා තවත් සත්ව - මිනිස් ගැටුම ඇති වෙන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් නිසාමය. සතුන් ඉතා අහිංසකය. ඒ අයට ජීවත්වෙන්නට ඇති වනාන්තර විනාශ කරමින් සංවර්ධනය වෙනවිට ඒ අහිංසක සතුන් ගම් වදින්නේ නැතිව කොහාට යන්නද? එම සතුන්ට ජීවත් වෙන්නට ඉඩක් තිබිය යුතුය. කෑමට ගහකොළ තිබිය යුතුය. එය විනාශ කරනවානම් ව්‍යසනය ගැන කියනුම කවරේද? සතුන්ට වඩා හිතන්නට හිතක් ඇති උසස් සිතක් ඇතැයි කියන මිනිසා මේ වගේ ආත්මාර්ථකාමී වී ඇත්තේ කෙසේද? ඔහු ලබන අධ්‍යාපනය හා අධ්‍යාත්මික ගුණය අනුව සිතුවිලි වෙනස් වෙන්නේය. කුඩා කල සිට ගුණධර්ම සහිත අධ්‍යාපනයක් දිය යුතුයි කියා මා කියන්නේ ඒ නිසාය. 


ලෙනින් ග‍්‍රෑඞ් සරසවියේ ආචාර්ය ‘‘ගර්නඩ් ගුල්යාඊව් ඇතුළු විද්‍යා කණ්ඩායමද සිතුවිල්ලක් සමඟ සිරුරේ මාංශ පේශියක ඇතිවන සුළු වෙනස්කම් පවා මැනියහැකි උපකරණ නිපදවා ඇත. ශරීරයට ඈතින් සිට චේතනාවක් සමඟ ගමන් කරන ශක්ති කිරණ මැන ඒ තුළින් සිතුවිලි ස්වභාවය හඳුනාගැනීම මේ උපකරණවලින් කළ හැක. ඒ තුළින් සිතුවිළි ස්වභාවය හඳුනා ගැනීමට හැකිවිය. එසේම එම සිතේ ශක්ති කිරණ මෙම උපකරණ මගින් තීව‍්‍ර කර භෞතික ද්‍රව්‍ය චලනය කිරීම වැනි ක‍්‍රියාදාමයන්හි යෙදවීමටද මේ විද්‍යාඥයෝ පර්යේෂණ කරති.

(Psychics Discoveries Behind the Iron Curtain - Shella Ostrander and Lynn Schroder - Bontam Books U.S.A. 1971 May) 


මෙම සියුම් උපකරණ නිපදවන ඇමෙරිකන් ජාතික ඬේවිඞ් තොම්ප්සන් හා ආචාර්ය පැක් වෝඩ් පවසන අන්දමට එක පුද්ගලයෙකුගේ සිරුරෙන් පිටවන ශක්ති කිරණ පද්ධති තවත් පුද්ගලයෙකුගේ එම කිරණ පද්ධතියට බලපෑම් ඇති කරන බවත්, පුද්ගලයෙකුගේ සිතකින් තරහ, බය, දුක, ආදරය පිටකරන තරංග කිරණ තව කෙනෙකුට වහා දැනෙන බවත් පෙන්වා දෙයි. 


ආචාර්ය ජෝර්ජ් වොෂිංටන් ක‍්‍රයිල් නම් විද්‍යාඥයා ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ සෑම පරමානු අංශුවක්ම තමන්ට ආවේනික වූ සංඛ්‍යාත රටාවකට අනුව (Generic Pattern)  කිරණ නිකුත් කරන බවකි. එයින් පැහැදිලි වෙන්නේ සෑම ජීවියෙකුම තමන්ට පමනක් ආවේනික වූ සංඛ්‍යාතයක් අනුව කිරණ නිකුත් කරන බවය.

(The Bipolar Theory of Living Processes G.W. Crile Macemilan New York 1926) 


බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරු ජෝර්ජ් ඩී. ලාවෝ පවසන අන්දමට කෙනෙකුට ආවේනික වූ කිරණ සංඛ්‍යාතයටම ගැලපෙන කිරණ බාහිර තැනක සිට විසුරුවා හැරියහොත් එම කිරණ එම තැනැත්තා වෙතටම ගමන් කරයි. 
(The Secret Life of Plants Peter Tompkins and Christopher Bird Arkana - England 1991) 


ආගමික ඉතිහාසයට අනුවත් ගුප්ත දර්ශණ තොරතුරුවලට අනුවත් මෙම රශ්මි මාලාව ප‍්‍රබලවම විහිදුන ශරීරයක් ඇති පුද්ගලයා වෙන්නේ බුදුරජාණන් වහන්සේය. සෝපාක වැනි අසරණයන්ට මේ රශ්මි මාලාව යොමුකොට පිළිසරණ වී ඇති උන්වහන්සේගේ මෙම රශ්මි මාලාව සැතපුම් දෙසීයක් දුරට විහිදුන බව How to Read the Aura යන පොත ලියූ W.E. Beetler නැමැති බ්‍රිතාන්‍ය ලේඛකයා පවසයි. 


අප ලේ මස් ඇට නහර වලින් සෑදුන සිරුරක් ඇති මනුෂ්‍යයන් මෙන්ම ශක්තීන් හා කිරණ තරංගවලින් දිදුලන්නක් බවද අපට වැටහෙන්නේය. සිතේ බලය, භාවනා ඵල, අත්ගුණය, ඇස්වහ- කටවහ, සෙත්කවි, වස්කවි, යාඥා යාදිනී, කිලි, යන්ත‍්‍ර මන්ත‍්‍ර මෙන්ම කර්මය පවා ශක්තීන්ගේ ක‍්‍රියාකාරීත්වයන් බව තවදුරටත් මේ තොරතුරු වලින් අපට වැටහෙන්නේය. 


බුදුදහමට අනුව චේතනාවම කර්මය වේ. කර්ම බලයේ විපාකය රඳා පවත්නේ චිත්ත සන්තතිය තුළය. එසේම සිතේ ශක්තියේ ක‍්‍රියාකාරීත්වයම කර්ම ශක්තිය ඇති කරන බව පැහැදිලි වේ. කර්මය යනු සිත මගින්ම ඇති කරනු ලබන ප‍්‍රතික‍්‍රියාවක් මෙන්ම එහි ඵලයේ රඳා පැවැත්මද ඒ අනුව සිදුවන බව බුදුදහම අනුවද විද්‍යාත්මක ගවේෂණ අනුවද පෙනීයයි. 


නිව්ටන්ගේ තුන්වැනි නියමය අනුව සියළු ක‍්‍රියාවන්ට සමාන වූ මෙන්ම ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රතික‍්‍රියාවක් ඇති බව අප කුඩා පංතිවලදී පවා ඉගෙනගෙන ඇත. නමුත් ආධ්‍යාත්මික තත්ත්වයට අනුව බලන විට සෑම ක‍්‍රියාවකටම සමාන වූද, අසමාන වූද, ශුන්‍ය වූද, ප‍්‍රතික්‍රියා ඇතිබව කර්මවාදය අනුව සිතාගත හැක. සමහර කර්මවලට ප‍්‍රබල ප‍්‍රතික්‍රියාද සමාන ප‍්‍රතික්‍රියාද, අහෝසි වෙන ප‍්‍රතික‍්‍රියාද ඇතිබව බුදු දහම පෙන්වා දෙයි. 


විද්‍යාඥයන්ට අනුව අප ඇතුළු මුළු පොලෝ තලයම ශක්ති කිරණ තරංග සාගරයක ගිලී සිටී. අපට නොපෙනෙන මේ අනේක විධ වූ කිරණ තරංග ශක්තීන් අපව වසා සිටී. එහෙයින් අප කුමක් කළත්, සිතුවත් විශ්වය තුළ ඒ නිසා ඇති සියුම් තත්ත්වයන් නිමක් නැති ප‍්‍රතික‍්‍රියා සිදුවිය හැකි වේ. අපගේ සෑම ක‍්‍රියාවක්ම පරිසරයේ යම්කිසි ශක්ති සටහන් ඇති කරන බව චෙක් විද්‍යාඥයන්ගේ නිගමනයයි. 

(The Cycels of Heaven -Guy lyon Playfair and Scott Hill - Pan Book London 1979) 


අප සිදුකරන කර්මයට අනුව හා එම චේතනාවට අනුව යම් ශක්ති සටහනක් මෙම කිරණ තරංග සාගරය තුළ ඇතිවන බව බටහිර ලෝකය තුළ කර්ම බලය ගැන මහත් ආන්දෝලනයක් ඇතිකළ ඇමෙරිකන් ජාතික එඩ්ගා / කේසී කියා ඇත. වෛද්‍යවරුන්ට සුවපත් කිරීමට නොහැකි වූ රෝගාබාධවලට හේතුව පෙර ආත්මයේදී කළ පාප ක‍්‍රියා නිසා බව ඔහු කියන්නේ මේ අකාශයික සටහන් අනුව බව පෙන්වා දී ඇත. 

(Many Mansion - Gina Cerminara A Signet Book - New York U.S.A.) 


අධිමානසික නින්දකට වැටී තමන්ට ඉදිරිපත් කළ රෝගීන්ගේ නම් ගම් ඇතුළු තොරතුරු අනුව සැතපුම් දහස් ගණනක ඈතක සිටින ලෙඩෙකුගේ රෝගී තත්ත්වය ගැනත් එයට හේතුවත්, රෝගය සුවකළ හැකි ප‍්‍රතිකාරයත් නියම කිරීමට හේතුවත්, රෝගය සුවකළ හැකි ප‍්‍රතිකාරයත් නියම කිරීමට කේසීට හැකි විය. මෙහි ආශ්චර්ය වෙන්නේ ඔහු නියම කළ ආකාරයට කටයුතු කළ රෝගීන් සැමදෙනාම ඔහු සඳහන් කළ ආකාරයටම සුවපත් විමයි. කෙනෙකු කරන කර්මය තරංග ආකාරයෙන් අවකාශයට ගොස් එයට අනුකූල තරංග රටාව අනුව ආකාශයික සටහන ලැබී එහි ප්‍රතික්‍රියාව අනුව තමන්ට යහපත් හෝ අයහපත් ප්‍රතික්‍රියා ඇතිවන බව ඔහු තවදුරටත් පෙන්වා දී ඇත. එම සිද්ධාන්තයට අනුව පූර්ව කර්ම නිසා දැන් ඇතිවෙන ලෙඩදුක් ගැන යම් අදහසක් ඇතිකරගත හැක. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ලියා ඇති ‘‘මෙලොව ඵලදෙන කර්ම’’ යන පොතේ ඒ ඒ පුද්ගලයා විසින් කරන ලද අපරාධවලට ප‍්‍රතික‍්‍රියා වශයෙන් තමන්ටම විඳින්නට සිදු වූ අනේකවිධ දුක් දොම්නස් ගැන මොනවාට විස්තර කර තිබේද. 


ඉරිදා ලංකාදීප පත‍්‍රයේ ‘‘කළ කම් ඵලදීම’’ යන ලිපි පෙළද උදාහරණ වශයෙන් මේ සම්බන්ධව ගත හැක. එය ඵල දෙන්නේ කෙසේද යන්න ඉහත සඳහන් ආකාශයික සටහන් තරංග (චේතනා සිතුවිලි) අනුව විස්තර කළ හැක. මේවා ධර්මයේ සඳහන් වූවාට මිනිසුන්ට ප‍්‍රත්‍යක්ෂ වී නැති බව පෙනී යයි. මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ එම ප‍්‍රත්‍යක්ෂ බව ඇති කිරීමට යම් උදව්වක් කිරීමය. 


මහනුවර බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමිතිය මගින් ප‍්‍රකාශයට පත්කරන ලද (2008 වසර) පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමියන්ගේ ‘‘කර්ම විපාක ඵල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්’’ යන පොතින් උපුටාගත් උදාහරණ අනුව තවදුරටත් මෙය පැහැදිලි කර ගනිමු. 


‘‘බලු පැටව් තම්බා තමනුත් තැම්බුණ හැටි’’ යන පුවත විමසා බලමු. එහි සඳහන මෙසේය. 


දිනක් මම ගමනක් යන අතරමඟ රත්නපුරයට නොදුරුව කුඩා කඩපොළක් ඇති සන්ධිස්ථානයක අවශ්‍ය කරුණකට සුළු වේලාවක් නතර උනෙමි. ඒ මොහොතේ කිසිම වැස්සක් නොමැතිව අහස ගොරවා හෙණක් පිපිරුවා. ස්වල්ප වේලාවකින් ඒ අසල කුඹුරක සිටි වයස 15 තරම් පිරිමි ළමයෙක් මිනිසුන් ඔසවාගෙනවිත් එතැන තැබුවා. මා දුටුවේ ඔහු සුදු වී තැම්බී ඇති අයුරුයි. මම එතනින් නික්ම යනවිට එම ගමෙහි එක් මිනිසෙක් කියපු කතාවෙන් මට පුදුම හිතුණා. මෙන්න සිද්ධිය. 


ඔය හෙණ වැදී ඇති ළමයා ඒ පවුලටම සිටි එකම පිරිමි දරුවා. ඒ ළමයා දින කීපයකට උඩදී මහ නපුරු වැඩක් කළා. බැල්ලියක් අලුත පැටව් දමා තිබුණා. වතුර හැළියක් උතුරුවා ගෙනවිත් අර කිරි පැටවුන්ට වක්කළා. පසුව වළලා දැම්මා. 


දෙමාපියන් මේ වගේ ළමයින් පව් වැඩකරන විට ඒවායින් වලකා ගත යුතුයි. සතුටු නොවිය යුතුයි. මේ පව්කම්වල කොටසක් දෙමාපියන්ට යන නිසා හෙනගසා තැම්බුණ ළමයාගේ දෙමාපියන් මොන තරම් දුකක් පසුව විඳින්නට ඇද්ද. 


ඉහත සඳහන් විද්‍යාත්මක තොරතුරු අනුව මෙය විමසන්ට නොහැකිද? නිමක් නැති තරංග සාගරයේ සිටින මිනිසා සහ සතුන්ගේ ශරීරවලින් තරංග නිකුත් වේ. එම ළමයා කළ පාපක‍්‍රියාවේ තරංගය අවකාශයේ තරංග සටහනට ගොස් එහි ප‍්‍රතික‍්‍රියාව වශයෙන් තමන්ටම තැම්බී යන්නට හේතුවිය. එය සිදුවන්නේ කර්ම නියාමය, චිත්ත නියාමය හා ධමම් නියාමය අනුව බව බුදුදහමට අනුව විස්තර කළ හැක. 


එම පොතේ තවත් උදාහරණයක් සඳහන් කිරීම පාඨකයාට වැදගත් වෙනු ඇතැයි සිතමි. 


දරුවන් රැකීමට නයින්ට වෙඩිදමා දරුවොත් අහිමිව උන්හිටිතැන්ද අහිමිව වෙඩිවලින්ම තම ජීවිතයත් අහිමි වීම යන සිද්ධිය. 


එක් පුද්ගලයෙක් තම නිවස ළඟට පැමිණෙන නාගයින් දෙදෙනෙකු දැක තම දරුවන්ට මෙම නාගයින්ගෙන් විපත් වේ යයි බියෙන් ඩයිනමයිට් ගෙනවිත් තබාගෙන සිට නයින් වසන තුඹස තුළට නයින් පිවිස ගත්විට එම වෙඩි දැමූහ. එයින් තුඹස දෙදරාගොස් එම නයින් දෙදෙනාද ඔවුන් රැකි බිත්තර පොට්ටනි දෙකක්ද විනාශ වූහ. 


ගතවූයේ ටික දිනකි. ඔහුගේ වයස අවු. 3 ක් පමණ වූ පිරිමි දරුවා හිටිගමන් ලෙඩ වී මරණයට පත්විය. ඊට ටික දිනකට පසු වැඩිමහල් දරුවාද ලෙඩ වී මරණයට පත්විය. නයින්ගේ බිත්තර පොට්ටනි දෙකට සමාන දරු දෙදෙනාගේ මරණය සිදු වී ටික දිනකින් ඔහුගේ අතේ පිළිකාවක් සෑදී බොහෝ දුක්විඳ පසුව සනීප විය. ඔහු සිටි නිවසද අහිමි වී මුළු පවුලටම යන්නට සිදුවිය. පසුව දරපලන්නට ගිය ඔහුට තමන්ගේ පොරෝපහරින් තම පාදයේ මහපටගිල්ල කැඞී වෙන්විය. පසුව ගල්වෙඩිල්ලක් හිර කිරීමේදී එය පත්තු වී එක ඇසක් අන්ධ විය. ඉන්පසුව පත්තු කරන ලද ගල් වෙඩිල්ලකින් විසි වූ ගල් කැබැල්ලකින් ඔහුගේ හිසේ පැත්තක් කඩාගෙන ගොස් දින කීපයකින් දුක්විඳ මරණයට පත්විය. 


මෙය ආදීනව නොදැන සත්ව හිංසා කරන අයට ඉගෙනීමට හොඳ පාඩමකි. අහිංසක නයින්ට කළ අපරාධය අවකාශයේ තරංග සටහනට ඇතුළු වී එහි ප‍්‍රතික‍්‍රියාව වශයෙන් තමන්ට අනන්ත දුක් විඳින්නට සිදු වී මරණයට පත්වෙන්නට සිදුවූ බවයි. 


යහපත් වැඩවලට යහපත් ප‍්‍රතිඵලත් අයහපත් වැඩවලට අයහපත් ප‍්‍රතිඵලත් ඇතිවන්නේ ඒ අයුරිනි. එය කර්ම නියාමය සහ ධම්ම නියාමයයි. 


එසේනම් දැනට සිදුකරන්නාවූ විවිධ දූෂණ වංචා අපරාධවලට ස්වභාව ධර්මයෙන්ම ප‍්‍රතික‍්‍රියා ඇති වී ඒවා ඵලදෙන ආකාරය කෙසේ වෙන්නේදැයි අපට සිතා ගැනීමට නොහැකිද? අධ්‍යාත්මික ගුණ වගාවෙන් පෝෂණය වූ විට මිනිසාට සතුන්ට පමණක් නොව ගහකොළ හා පරිසරයටද යහපතක් වෙන්නේ ඒ අයුරිනි. නමුත් පැරණි ගතානුගතිකව ඉගෙනගත් විද්‍යාව නිසා මිනිසුන් අවිද්‍යාවට පත්වී ඇත. කර්මය හෝ ධර්මයට පිටුපා වැඩ කරන්නට පෙළඹී ඇත්තේ අසම්පූර්ණ අධ්‍යාපනය නිසාය. ඉහළ තනතුරු දරණ නිලධාරීන්ද බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම පමණක් බලා එම තනතුරුවලට පත්වීමද එක් හේතුවක් වෙන බව පෙනී යන්නේ ඉහළ තනතුරු දරණ උදවියද නොයෙක් අල්ලස් දූෂණ වංචාවලට පෙළඹී ඇති අයුරු දකින විටය. ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පොහොසත් කිසිම නිළ දරුවෙක් එම දූෂිත ක්‍රියා නොකරනු ඇත. ඉතා හොඳින් අවංකව සේවය කරන අය කොතෙකුත් අද සිටිති. ඒ අය නිසා මෙපමණකින් හෝ යහපත උදා වී ඇති අයුරු පෙනී යයි. 


රට කරවන තැනදී හෝ මහමඟදී සමහර මිනිසුන් ක‍්‍රියාකරන ආකාරය දෙස බලනවිට මොනතරම් අයහපත් තරංග මෙම පරිසරයට නිකුත් වෙනවා ඇද්ද. එම අයහපත් තරංග නිසා මොනතරම් මිනිසුන්ට හානිවෙනදේ සිදුවෙනවා ඇද්ද. අපගේ අධ්‍යාපන පද්ධතියටද ගුණධර්ම යහපත් ආකල්ප කුඩා දරුවාගේ පටන් සෑදිය යුතුය. නමුත් මේ අධ්‍යාපන පද්ධතිය තාක්ෂණ හෝ විද්‍යාත්මක දියුණුව ගැන පමණක් අවධානය යොමු කරන බව පෙනේ. මෙයින් අංග සම්පූර්ණ මිනිසකු බිහිවන්නේ නැත. 


මංගල සූත‍්‍රයේ එන ‘‘බාහු සච්චංච සිප්පංච විනයෝ ච සුසික්ඛිතො - සුභාසිතාච යා වාචා ඒතං මංගල මුත්තමං’’ යන ගාථා පාඨය මෙහිදී සිහිපත්වේ. 


එහි අදහස නම් බොහෝ ශිල්ප ශාස්ත‍්‍ර අසා බලා ඇති දැනීමද දස අකුසලින් විරහිත යහපත් ශිල්පයක් පිළිබඳ දැනීමද සුශික්ෂිත (විනය නම් වූ හික්මීමද) දුසිරිතෙන් තොර නිවනට මග සලසන යහපත් බසක් වේ නම් එයද යන මේ කරුණු හතර උතුම් මංගල කරුණුය. 


එසේ ඇතිවන ආකල්පයන් මිනිසුන් තුළ තිබේ නම් මීට වඩා අප රට දියුණු වෙනවා ඇත. නැත්නම් අප යන්නේ අගාධයටය. 


අද විද්‍යුත් ජන මාධ්‍ය ජාල බොහෝ ඇත. ඒවායේ සාකච්ඡා සම්මන්ත‍්‍රණවලින් ආකල්ප සංවර්ධනය වෙන වැඩසටහන් තිබේදැයි මට නම් නොපෙනේ. පූර්ව කර්ම විපාක නැත. ජ්‍යොතිෂය අසත්‍ය, යල්පැන ගිය ශිල්ප අවශ්‍ය නැත ආදී වශයෙන් ඇති අදහස් නම් ඕනෑතරම් තිබෙන බව පෙනේ. 


භෞතිකවාදී චින්තනය පමණක් ඇති අය කර්ම විපාක පිළිගන්නේ නැති අයද මේ අල්ලස්, දූෂණ, වංචා හා අපරාධවලට එක්තරා වගකීමක් ගතයුතු ඇත. පව් හා පින් වශ​ෙයන් ආගම ධර්මයේ උගන්වන්නේ මේවාය. 
ආගමික වශයෙන් වගකීම් දරණ උදවියද වැඩි වැඩියෙන් මේ ආකල්ප සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. එසේ නොකරනවා නොවේ. තව තවත් ඒවා ශක්තිමත් කළ යුතුය. යථාරූපී යනු යමක යථා තත්ත්වය අවබෝධ කරවීමයි. දැනට අසන්නට ලැබෙන යථාරූප එකැස් අන්ධයන්ගෙන් යථාරූපයක් බව සමහර අවස්ථාවලදී පෙනී යයි. 


භෞතික හා අධ්‍යාත්මික අංශ දෙකේම සමබර මිනිසුන් බිහිවිය යුතුය. තමන් කරන්නේ කවර වැඩක්ද එය පින් සිදුවීම පිණිසත් පව් සිදුවීම පිණිසත් ඉටු කළ හැක. ඒ ඒ අයගේ ආකල්පවල වෙනස්කම් අනුව තමන්ටත් අනුන්නටත් අවැඩක් වෙන වැඩද තමන්ටත් අනුන්ටත් වැඩක් සැලසෙන වැඩද සිදුකළ හැක. 


සියලු වගකිවයුතු අයගේද, සාමාන්‍ය ජනතාවගේද සිත්වලින් යහපත් කිරණ තරංග විහිදේවා යනුවෙන් පතන්නේ සතා සිව්පාවාට, ගහට කොළට, ඇළ දොළ ගංගාවලට, වායුගෝලයට, මහ පොළවට එයින් සෙතක් ශාන්තියක් සැලසෙන බැවිනි. 

 

 

 

 


මනෝවිද්‍යා උපදේශක 
ආචාර්ය ජී. හල්ගස්වත්ත