විජයගේ කටහඬ ‘‘පාර දිගේ’’ ගිය හැටි...


සලරුවක කතාව

 

1.ස්වර්ණා (ඉන්දිරා අබේසේන) චන්දරේ (විජය කුමාරතුංග)

 

2.මධූ (වසන්ති චතුරානි) චන්දරේ (විජය කුමාරතුංග)

 

 

 

‘‘තම ගම හා සම්බන්ධව කෙරෙන අක්මුල් කඩා බිඳගත් තරුණයෙක්. පාවෙන ජීවිතයක් - පිටස්තරයෙක් - ප්‍රති වීරයෙක්. ගමෙන් කොළඹ නගරයට සංක්‍රමණය වූවෙක් වුවද ගමත් නගරයත් අහිමි ඒ දෙකටම ආගන්තුකයෙක්. ස්ථිර රැකියාවක් නැති අවිවාහක තමාටම කියා නිවහනක් නැති, පවත්නා මොහොතක මිස හෙට දිනය ගැන සිතිය නොහැකි ඔහු ගෙවන්නේ බෝඩිංකාර ජීවිතයක්. වෘත්තිය වශයෙන් කාර් බ්‍රෝකර් කෙනෙක්. යම් මූල්‍ය සමාගමක් (ෆිනෑංස් කොම්පැණියක්) හා සම්බන්ධකම් පවත්වන ඔහු කලට වේලාවට ෆිනෑන්ස් වාරිකය නොගෙවූ කාර් එම සමාගම සඳහා පැහැර ගන්නා ‘‘කාර් සීසර්’’ කෙනෙක්ද වෙනවා. ආ​ෙරා්හ පරිනාහදේහයෙන් හා කාය ශක්තියෙන් යුත් ඔහු (වයස 32) තම ජීවිකාව කොටගෙන ඇත්තේ මෙසේ අනුන් සඳහා ගුටි බැට දෙන අනුන්ගෙන් ගුටි බැට කන වෘත්තියක්. තම වෘත්තීය වැඩවලට තමා හා හවුල් වෙන්නන් තමා ඇසුරු කරන්නන් සහ කුළුපගයින් ඔහුට හිටියත් තම දුක්ඛ දෝමනස්ස කියා හදවතින් සම්බන්ධ විය හැකි තම ඇතුළාන්තය හෙළි කළ හැකි කිසි මිතුරෙක් ඔහුට නෑ. එහෙයින් ඔහුට නමක්ද නෑ. ඇත්තේ නමක අර්ධයක් පමණයි. ‘‘චන්දරේ’’ එහෙයින් නිර්නාමිකයි.   


මීට වසර 26කට පෙර තිරගත වූ ධර්මසේන පතිරාජගේ ‘‘පාර දිගේ’’ චිත්‍රපටයේ අජිත් තිලකසේනයන් විසින් ලියූ තිර නාටකය ආරම්භ වෙන්නේ ඔය විදිහටය.   


අජිත් තිලකසේන සතුරෝ, පිටුවහල් කර සිටිද්දී, සුන්නද් දූලී, රාත්‍රියේ පූර්ව භාගය - සුබ රාත්‍රියක් අහවරයි - වන්දනාව ආදි කෙටිකතා සංග්‍රහ කළ සිංහල කෙටිකතාවෙහි මෙන්ම සිංහල අක්ෂරවලද විප්ලවයක් කළ ලේඛකයෙකි.   


අජිත් තිලකසේනයෝ මගේ පාසල් ගුරුවරයෙකි. එ් මීට වසර 62කට පෙර එනම් 1957 දීය. එකල මම අවුරුදු 10ක පමණ පාසල් ශිෂ්‍යයෙකමි. ඔහු පන්තියේ මේසය අසල පුටුවේ සිටි ඇතැම් විට අපි හොරා පොලිස් අල්ලමින් ද, ගුඩු අදිමින්, කකුල් මාට්ටු දමමින් තීන්ත වලින් අනික් ළමුන්ගේ කමිසවලට ඉසිමින්ද සෙල්ලමේ පසුව සිටියෙමු.   


මේ සිදුවීම් අළලා අජිත් තිලකසේනයන් 1960 වසරේ ලියූ ‘‘සතුරෝ’’ කෙටිකතා සංග්‍රහයක් පළ කළ අතර එහි එන ‘‘පිය​සෝම කොච්චර හොඳ ළමයෙක්ද? නම් කෙටිකතාවට ඇතුළත්ව ඇත. මමද එහි චරිතයක් වීමි. පාසලෙන් ඉවත් වී පුවත්පත් කලාවට යොමු වූ මට ‘‘අජිත් සර්’’ සම්බන්ධය බිඳ නොවැටිණි. අපි අවහන්හලකට ගොස් තේ බොමින් සාහිත්‍ය, සිනමාව හා අලුතින් නිකුත් වූ පොත පත ගැන කතා කළෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් ‘‘කලාව කලාව සඳහාය’’ යන ඔහුගේ සංකල්ප​ෙය් පිහිටා 1973 දී මම කෙටි පුස්තිකාවක් ලියූ නිසා රැකියාව බේරාගත්තේ අනූනමයෙනි.   


රංජිත් මම චිත්‍රපට තිර නාටකයක් ලිව්වා. නිවිහැනහිල්ලේ කියවලා අදහස් කියන්න.   

 

 

තිර නාටකයේ නව මුද්‍රණයේ පිට කවරය

 

 

 


මගේ ආදරණීය ගුරුවරයා​ෙග් කෙටිකතා කියවා රසවිඳි මම ඔහුගේ සිනමා තිරනාටකය ඉතා ඉක්මනින් ගෙදර ගෙන ගියේ කුතුහලයෙනි. එය නොතිත් ආසාවෙන් කියවූ මා ගුරුවරයා හමුවෙන තෙක් සිටියේ නොඉවසිල්ලෙනි. ඔහු දිනක් පැමිණියේය.   
‘‘සර්, පාර​ දිගේ තිර නාටකය විශිෂ්ටයි’’   


‘‘කවුද අධ්‍යක්ෂණයට හිතන්නේ’’   
‘‘පතිරාජ’’   
‘‘සර් ගේ තීරණය හරියටම හරි’’   
‘‘කවුද චන්දරේගේ චරිතයට ගැළපෙන්නේ’’ ඔහු මගෙන් ඇසීය.   
‘‘විජය කුමාරතුංග තමයි මේ චරිතයට හරියටම හරි’’   


‘‘මමත් හිතුවා. අද හෙටම පතිරාජව හම්බ​ වෙන්න. තොරණ හන්දියේ එයා ඉන්න තැනට යන්න හිතන් ඉන්නේ (එවකට පතිරාජ බිරිඳ මාලනි සමග නැවතී සිටියේ කැලණියේ තොරණ හන්දියේ තැපැල් කාර්යාලයේ පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේය)   


අපි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කෙනෙකුත් සොයමු. විජයව මම ඉක්මනට හම්බවෙලා කතා කරන්නම්. නිෂ්පාදකයෙක් හොයා ගන්න එයත් උදව් කරාවි. මම විශ්වාසය පළ කරමින් කීවෙමි.   


මට විජය හමුවීමට අවස්ථාවක් ලැබුණේ විහාර මහා දේවී උද්‍යානයේ රූපගත කිරීම් අතරතුරෙහිය. මගේ මතකය හරි නම් එය යසපාලිත නානායක්කාරගේ චිත්‍රපටයකි. මාලනී ෆොන්සේකා සමග විජය රඟපාමින් සිටියේය. රඟපෑමෙන් විරාමයක් ලැබෙන තෙක් මම බලා සිටියෙමි. විරාමයේ විජය විවේකීව සිටි තැනට ගිය මම මේ ආරංචිය දුන්නෙමි.   
‘‘වි​ෙජ්, හොඳ තිර නාටකයක් තියෙනවා. ඒකේ කාර් සීසර් කෙනෙක්ගේ චරිතයක් තියෙනවා. ඔයාට අගේට ගැළපෙනවා.   


‘‘කවුද ලියලා තියෙන්නේ’’?   


‘‘අජිත් තිලකසේන. අලුත් විදිහට කෙටිකතා ලියන කෙනෙක්. මගේ ගුරුවරයෙක්. පතිරාජ කැමති නම් එයා කැමති තිර නාටකය දෙන්න. පතී එයා ගැන දන්නවා එයාගේ කෙටිකතා කියවන නිසා.   


‘‘අපි මිස්ටර් ගොඩමාන්නට කියලා බලමු’’   


මා තුළ සියුම් සතුටක් ඇති විය. ඇල්බට් ගොඩමාන්න මහතා මා උපන් කොස්ගස් හන්දියේ පිහිටි ‘‘නයින් හාට්ස්’’ ස්ටුඩියෝවේ අධිපතිය. ඔහුගේ පුත් තිලක් ගොඩමාන්න ධර්මරාජයේ සිට ආනන්දයට පැමිණ අප හා ඉගෙන ගත් ඡායාරූප කලාවට සිනමාවට ආදරය කළ ශිෂ්‍යයෙකි. පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘‘බඹරු අැවිත්’’ චිත්‍රපටයේ නිෂ්පාදකයා ඔහුය. ගොඩමාන්න පවුලේ අය මගේද සමීප හිතවතුන් නිසා මේ චිත්‍රපටය කෙරෙන බව මම සිතුවෙමි. එය පළ දැරුවේය.   


මගේ සිත ‘‘පාර දිගේ’’ සිනමා තිර නාටකය වෙත යළිත් යොමු විය.   


මේ තිරනාටකයේ චන්දරේට අමතරව තවත් ප්‍රධාන චරිත දෙකක් තිබුණි. ඒ ස්වර්ණා හා මධු.   


ස්වර්ණාගේ චරිතයේ පසුබිම චිත්‍රපටයේ දැක්වෙන්නේ නැත. අෑ සුවිශේෂි ගති පැවතුම් ඇත්තියක් නොව වැටුපෙන් ජීවත්වෙන, කොළඹ බෝඩින්කාර ජීවිතයක් ගතකරන සාමාන්‍ය නගරබද තරුණියකි. උස හීන්දෑරි වයස අවුරුදු 25ක පමණ යතුරු ලේඛිකාවකි. මධූ ස්වර්ණාගේ බෝඩින් කාමරයේ ඈ හා හවුලේ එහෙත් වෙනත් කාර්යාලයක සේවය කරන වයස අවුරුදු 23ක පමණ තරුණියකි. ඇය ධනවත් ව්‍යාපාරිකයන් ඇසුරු කරන මව්පිය උරුමයෙන් උඩරට නිවසකට උරුම කීවත් දෙමාපියන්ගේ බැඳීම්වලින් මිදී කොළඹ පදිංචිව ස්වාධීනත්වය අගය කරන්නියකි.   


චන්දරේ - ස්වර්ණා - මධූ තුන් ඈදුත්තක් ලෙස අජිත් තිලකසේනයෝ හඳුන්වති.   


චිත්‍රපටයේ දී චන්දරේට ස්වර්ණා මුල්වරට හමුවන්නේ නිතර හමුවෙන භෝජනාගාරයේ උඩ තට්ටුවේදීය. ඇය එහිදී කියන කාරණයක් නිසා චන්දරේ කලබලයට පත් වෙයි. එය නම් චන්දරේ විසින් ඇයට දරු ගැබක් තෑගි කොට ඇති බවය. මේ අාරංචිය නිසා චන්දරේ උත්සාහ ගන්නේ ඈ කෙරෙන් පලා යාමට හෝ මඟ හැර යාමට නොවේ. ස්ථිර ආදායමක් නැති සැලසුම් සහගත අනාගතයක් නැති චන්දරේ තීරණය කරන්නේ දරු ගැබ නැසීමටය. සැකයෙන් හා භීතියෙන් තොරව සුරක්ෂිතව මේ නීති විරෝධී ක්‍රියාව කර ගැනීමට රු. 3000ක් වහාම අවශ්‍ය වෙයි. ඒක චන්දරේට විශාල මුදලකි. එහෙත් ස්වර්ණා දරු ගැබ නැති කර ගන්න කැමති නැත. මේ නිසා ඇය ඔහුට ආධාර වෙමින් අසහනය තුරන් කිරීමට ඔහුට හැකි පමණ උර දෙන්න ඉදිරිපත් වන්නීය   


කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලන චන්දරේ මධූට මුදල් වංචා කළ පුද්ලයෙකුගෙන් මුදල් ලබා ගෙන තමාගේ අවශ්‍යතාව පසෙක ලා දුව යන්නේ ඒ මුදල් නැවත මධූට දීමටය. චන්දරේ වෙත ඇදී ගිය සිතින් යුතු මධූ සැඟවුණු කිසිවක් ඉව අල්ලමින් චන්දරේ ස්වර්ණා අතර සමීප ඇසුර නරඹන්නේ ඊර්ෂ්‍යාවෙන්. චන්දරේ තමා වෙත දිනා ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් මධූ උඩරට චාරිකාවක් යෝජනා කළාය. ඒ ගමනේදී ඇය ඔහුට තව තවත් සමීප කර ගැනීමේ අරමුණින් වත් පොහොසත්කම් ඔහුට ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙයි. එහෙත් ගමන නොසිතූ ලෙස ශෝකාන්තයක් බවට පත්වෙයි. ගමන නිමාවට ප්‍රථම අෑ තම පරාජය පිට කරන්නේ කඳුළින් හා ඉකිගැසීමෙනි. චන්දරේ දිනා ගැනීමට නොහැකි බව දැන ඈ බෝඩිමෙන් පලා යන්නේ ස්වර්ණා මුහුණ දී ඇති තත්ත්වය ගැනද කිසිවක් ​ෙනාදැනය. මේ අතර චන්දරේට විදුලි පණිවිඩයක් ලැබෙයි. ඒ ගෙදරින් ආ පණිවිඩයකි චන්දරේ වසර දෙකකින් පමණ ​ගෙදර ගොස් නැත. ​ෙගය ගරා වැටෙන ලකුණින් යුතු සොල්දර ගෙයකි. රෝගීව එක්තැන් වී මව හාන්සි පුටුවකය. ඔහුගේ විවාහක තිස් හැවිරිදි නැගණිය මව බලාගනිමින් ඒකාකාරි ජීවිතයක් ගත කරන්නීය. ඇගේ සැමියා ගෙදර එන්නේ ඉඳහිටය.   


ගෙදර ආ චන්දරේ ගම පුරාත් ගේ ඇතුළේත් මිදුලේත් සිහින ලෝකවල පැටලි පැටලී ඇවිදියි. තම ඉලක්කය සඳහා රු. 2600ක් සොයා ගත් ඔහු පිය නගන්නේ අඩමාන භූමියකට. ඉතිරි මුදල් සම්පූර්ණ කර ගැනීමේ අදහසින් ඔහු කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවට ඇතුළු වෙයි. මහ රෑ කැසිනෝ මේසයෙන් සියල්ල පැරදී බීමත්ව සිහිසුන්ව හිස් බෑගය පමණක් ඇතිව ඔහු තම බෝඩින් ගුලට යන්නේ අාරක්ෂක නිලධාරින්ගේ කරෙනි.   


ස්වර්ණා තම ප්‍රශ්නයට විසඳුම ගැන අසන විට ඔහු ඈට පොඩි විහිළුවක් කරයි. මගීන් වෙන කවුරුත් නැති තට්ටු දෙකේ බස් රියක චන්දරේත්, ස්වර්ණාත් එක ළඟ වාඩි වී ගමන් ගනිති. ඔවුන්ගේ සිතිවිලි වේගයෙන් ධාවනය වෙයි. ඔහු ඇයත් සමග විවාහ ලේකම් කාර්යාලයේ වෙත පියනගයි. ප්‍රශ්න එන එන හැටියට විසඳන චන්දරේ මේ වර වෙනත් විසඳුමක් පතා අහම්බෙන් හමුවූ දෙදෙ​ෙනක් සාක්කිකරුවන් කොට විශේෂ බලපත්‍රයකින් විවාහ වෙති.   


විවාහ ලේකම් කාර්යාලයේ සිට ඔවුන් නැවත පිය නගනුයේ කිසිදු හව්හරණයක් නැති පාර දිගේ ය. චන්දරේ දවසේ වැඩි හරියක් ගෙව්වේ තම වෘත්තියෙහි යෙදුනේත් පාරේ ය. මෙවර චන්දරේ පමණක් නොව ස්වර්ණාද පාර දිගේය.   


‘‘චන්දරේ, කොහේද අපි යන්නේ’’   
‘‘මන් දන් නෑ’’   


1980 ඔක්තෝබර් 24 වැනිදා ‘‘පාර දිගේ’’ චිත්‍රපටය තිර ගත විය.   


‘‘පාර දිගේ’’ චිත්‍රපටය ගැන වඩාත් සතුටට පත් වූයේ විජය කුමාරතුංගය. ඔහු හා මා කළ සංවාද කිහිපයක්ම එකල ‘‘සරසවිය’’ පත්‍රයේ පළ විය.   


‘‘මම මෙතෙක් රඟ පෑ ​ෙහාඳම හා සාර්ථකම චරිතය කුමක්දැයි කිසිවෙකු ඇසුවොත් ම​ා එකවරට දහස් වරක් කියන්නේ ‘‘පාර දිගේ’’ චන්දරේ චරිතය බවයි.   


එදා විජය මට කීවේය. (1977 - 10 - 04 සරසවිය)   


පාර දිගේ - චන්දරේට විජය හැර ආදේශකයෙක් නැහැ අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ කියා තිබුණි.   


අජිත් තිලකසේන විසින් ලියනු ලැබූ තිර නාටකය පතිරාජ කිය වූ දා සිට එහි වැඩකටයුතු ඇරඹෙන තෙක් එහි රූප ගත කිරීම් අතර සාකච්ඡා වැඩිපුරම කෙරී ඇත්තේ ද පාර දිගේ ය.   


‘‘මෙවන් කතා බහ වැඩිපුරම සිද්ධ වූයේ පාර අයිනක ඇති පෙට්ටිකඩයකින් හිටගෙන තේ බි බී බස්රිය එන තෙක් මමත් පතිරාජත් බස් නැවතුමක අාවරණය යට හෝ පාර දිගේ බව ඒවා සිද්ධ වී වසර 43ක් ගතව ඇති මේ අවස්ථාවේ මා මතකයට නගා ගන්නේ පහන් සංවේගය දනවන කාරණා වශයෙන් යැයි අජිත් තිලසේනයෝ කීහ.   


පතිරාජ මාධ්‍යවේදී අරුණ ගුණරත්නට කියා තිබු​ෙණ් අජිත්ගේ තිර නාටකය දුටු විගස චන්දරේ සඳහා සුදුසුම විජය බව තමා නිගමනය කළ බවය.   


අධ්‍යක්ෂකවරයෙකුගේ එබඳු නිගමනයක් නළුවෙකුට චරිතයක් හඳුනාගෙන නිරූපණය කිරීමට ඉණිමඟක් වන්නේය. එය ආධාරයක් ද වෙයි. චන්දරේ ගමට යන අවස්ථාවේ ඔහු ගැමියෙකි. ඔහු ගමට ආගන්තුකයකු නොවුවද අක්මුල් සිඳී ගිය තරුණයකු හැටියට ගමට අමුත්තෙක් වේ. මේ ගමට අමුත්තෙකු වෙන අයුරු දැනුවත්ව අරෝපණය කර ගැනීමේ හැකියාව විජයට තිබුණි.   


‘‘පාර දිගේ’’ චිත්‍රපටයේ චන්දරේ ලෙස විජයත් ස්වර්ණා ලෙස ඉන්දිරා අබේසේනත්, මධූ ලෙස වසන්ති චතුරානිත් ප්‍රධාන ච​රිත රඟපෑහ. සෝමසිරි දෙහිපිටිය, සුනිලා අබේසේකර දෙනවක හාමිනේ, ජෝ අබේවික්‍රම, චිත්‍රා වාකීස්ට, ආනන්ද බස්නායක, චන්ද්‍රා කළුආරච්චි, ජී.ටී. වික්‍රමසිංහ, රත්මලී ගුණසේකර, විමල් කුමාර ද කොස්තා, රත්නාවලී කැකුණවෙල, රූබී ද මැල්, සූනේත්‍රා සරච්චන්ද්‍ර, ඇන්ජලා සෙනෙවිරත්න, ගාමිණී ගනේගොඩ, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි, බන්දුල බස්නායක, ලියෝ පැස්කුවල් ආදීහු රඟපෑහ.   
ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙය වූ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ප්‍රේමසිරි කේමදාසය. කේමදාස විසින් විජය කුමාරතුංග චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස හඳුන්වා දුන්නේය. ඒ ගීතය රචනා කළේ ඩබ්ලිව්. ජයසිරි. සහාය ගායනය අබේවර්ධන බාලසූරිය, සුනිලා අබේසේකර හා සුභාෂිනි අරංගාය. මේ ඒ ගීතයේ ගේය පද රචනයයි.   


‘‘ පා වෙලා යන පාර වටේ   
කඳු හෙල් කටුගේකට දාලා   
අපි ගමනක් යනවා.   
ඉර හඳ දේදුනු සළු පිළි ගලවා   
නිරුවත් වූ මහ පොළවේ හුස්මෙන්   
දෑස විදා යළි දෑස වසා   
සුවඳක් උපදිනවා   
කොළ අතු ඇඳගත් - දුනු හී අමුණා   
ගිනියම් වූ මහා ගින්නේ රස්නෙන්   
සීත වෙළා එන දෑස පුරා   
උණුසුම සැතපෙනවා   


‘‘පාර දිගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන විට විජය කුමාරතුංග ගේ නමත් කටහඬත් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම තහනම් කිරීම නිසා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වෙන පාඩුව රුපියල් ලක්ෂ දස දහසක් බව 1980 ඔක්තෝම්බර් 28 වැනි බදාදා ‘‘දිනකර’’ පුවත්පතේ පළ වී තිබුණි.   


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට විරුද්ධව ප්‍රබුද්ධ කලාකරුවන් විසින් රජය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සමට අත්සන් කළ ප්‍රකට ගුවන් විදුලි ශිල්පීන්ට දොර වැසීම නිසා උද්ගත වී ඇති ශ්‍රාවක විරෝධය මධ්‍යයේ ආණ්ඩුව අන්දුන් කුන්දුන් වී ඇත. සංගීත විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේව, නන්දා මාලනී, සුගතපාල ද සිල්වා, විජය කුමාරතුංග යන ගායක ගායිකාවන් ගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය මුළුමනින්ම තහනම් කර ඇත.   


‘‘පාර දිගේ’’ චිත්‍රපටයේ නිෂ්පාදක (ඇල්බට් ගොඩමාන්න) ගුවන් විදුලියේ විජය කුමාරතුංගගේ නම ප්‍රචාරය කළ නොහැකිව තීරණයක් ගෙන ඇති නිසා තම චිත්‍රපට ප්‍රචාරය කිරීම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක් අරඹන බව එම පුවත්පත ප්‍රකාශ කොට ඇත.   


‘‘ගුවන් විදුලියේ තහනම් විජයගේ හඬ පාර දිගේ’’ එම පෝස්ටරයේ සඳහන් වී තිබුණි.   


මෙම පෝස්ටරය කොළඹ හා අවට ප්‍රදේශවල අලවා තිබෙනු දක්නට ලැබිණි.   


කලාකරුවන් වෘත්තිය වශයෙන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ගුවන් විදුලි අධිකාරියට නියෝග කර ඇති බව ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් සරත් අමුණුගම මහතා 1980 ඔක්තෝ‍බර් 27 වෙනිදා දිනකර පුවත්පතට කී බව සඳහන් වී තිබුණි.   


කෙසේ වුවද ‘‘පාර දිගේ’’ චිත්‍රපටය සිංහල සිනමාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන චිත්‍රපටයකි. පතිරාජ පවසා ඇත්තේ තමන් නිර්මාණය කළ චිත්‍රපට අතර ඉතාමත් දුෂ්කර විෂයක් තේමා කර ගෙන තිබෙන සිනමා කෘතිය එය බවය. ඔහු තවද මෙසේ කියයි.   


‘‘පාර දිගේ චිත්‍රපටය අන්තර්ගතය කෙළින්ම යථාර්ථවාදීයි කියලා ගන්න අමාරුයි. ප්‍රථම වරට චිත්‍රපටයක පිටස්තරයා මේකේ ඉන්නවා. එහෙත් ඔහුගේ මනුෂ්‍ය සම්බන්ධතා ගත්තාම බොහෝම යථාර්ථවාදී පදනමක් ඒ චරිතෙට තියෙනවා. තරුණ පරපුරේ තියෙන පිටස්තරකම චිත්‍රපටය නිෂ්පාදනය වෙච්ච කාලෙට වඩා අද දැනෙනවා. ඒ කාලේ හැටියට ගත්තහම පොඩි අනාගතවාදී කමක් තිබුණා ඒ ශෛලියේ.   


සිංහල චිත්‍රපටයක සිනමා තිර නාටකයක පස්වැනි මුද්‍රණයක් නිකුත් කිරීමේ වාර්තාව තබා ඇත්තේ ‘‘පාර දිගේ’’ය එහි පස්වැනි මුද්‍රණය සරසවි ප්‍රකාශයක් වශයෙන් නිකුත් විය.   
පාර දිගේ තිරගත වූ දා සිට පියවි පොත් ප්‍රකාශකයන් මේ කෘතිය පළ කිරීම අරභයා පියසේන වික්‍රමගේ මගෙන් කළ විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් එහි මුල් මුද්‍රණය 1985 නිකුත් වුණා. 1993 කොළඹ එල්ෆින්ස්ටන් හි පැවැත්වුණු අහස් ගව්වෙන් ඔබ්බට ධර්මසේන පතිරාජ චිත්‍රපට උළෙලේදී ‘‘පාර දිගේ’’ තිර නාටක පොත ගැන තරුණ පිරිස විසින් විමසීම් කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පස්වැනි මුද්‍රණය වෙන තෙක් එය දුර දිග ගියා. එහි ස්තූතිය හිමි විය යුත්තේ ඇල්බට් ගොඩමාන්න හා තිලක් ගොඩමාන්න මහතුන්ටයි’’ අජිත් තිලකසේන පැවසීය.   


එකල තරුණයන්ව සිටි පරපුරට වඩාත් සිත් ගත් දර්ශනයක් පාර දිගේ චිත්‍රපටයේ තිබුණි.   


බාර් එකක්. අභ්‍යන්තරයේය. රාත්‍රී 8.00 පමණ. මද විදුලි ආලෝක​ෙය් චන්දරේ තවත් තුන් දෙනෙක් සමඟ කනප්පුවක් වටා වාඩි වී බිබී ඉන්නවා ඔවුන්ගේ දෙන්නෙක් (2 වැන්නත් 3 වැන්නාත්) චන්දරේගේ පාසල් මිත්‍රයෝ.   


1 වැන්නා - උඹල දිගටම එකටද හිටියේ?   


2 වැන්නා (3 වැන්න දිහාට මූණ හරවමින්) මූ අටේදී අස්වුණා.... මට මතකයි ඒ කාලේ (3 වැන්නාගෙන්) හතේදී නේද? කැප්පෙටි​ෙපාළ ගැන වාක්‍ය රචනයක් ලියන්ඩ කිව්වේ.   
ගුරුවරයා කළුලෑල්ලේ මාතෘකාව ලියන විලාශය 2 වැන්නා අභිනයෙන් දක්වනවා.   


‘‘මූ (චන්දරේ දෙසට ඇඟිල්ල දිගු කරමින්) ලිව්වා........   


බෙහෙවින් ගම්බද පෙදෙස්වල වැවෙන දෙපැත්තේම බූව තියන කොළ විශේෂයකි.’’ කියලා   


1 වැන්නා (හිනැහෙමින්) මිනිහ ලියලා තියෙන්නේ කැප්පෙටිකොළ ගැන.   


3 වැන්නා අපි අපේ වීරයෝ අඳුනන් නෑ.   


චන්දරේ අපි අහක විසි කරල තියන එඬරු දඬු වගේ. අපිට මුල් නෑ. ඒත් දළු එනවා.   

 

 


ඒ.ඩී.රන්ජිත් කුමාර 
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්