වික්ටෝරියා කුමරිය හමුවෙන්න ආ පුංචි කුමරිය


වික්ටෝරියා කුමරිය හමුවී...

 

හත් හැවිරිදි එමීලියා හුරුබුහුටි ස්වීඩන දැරියකි. ඇය බොහොම කරුණාවන්තය. ප්‍රියමනාපය. කුමරියක වන්න තිබුණා නම්, එමීලියාගේ පැතුම ද එයයි. ස්වීඩනය යුරෝපා රටකි. ස්වීඩනයට රජ කුමරියක සිටී. ඇය වික්ටෝරියාය. පසුගිය දා වික්ටෝරියා කුමරියගේ විශේෂ ඇරැයුමකට අනුව, එමීලියා රජ මාලියට කැඳවන ලදී.   


පුංචි එමීලියාගේ කතාව සුන්දර එකක් නොවෙයි. ඇයගේ මොළයේ ගෙඩියකි. (මෙම රෝගී තත්ත්වය හැඳින්වෙන්නේ එපෙන්ඩිමෝනා යනුවෙනි.) ඇයට ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් පමණය. 42 හැවිරිදි වික්ටෝරියා කුමරිය, එමීලියාට රජ මාලිගයට එන්නැයි ඇරැයුම් කළේ කුමරියක වීමේ ඇගේ අහිංසක සිහිනය සැබෑකරදීමටය. සැබෑ කුමරියක හමුවීම එමීලියාගේ ජීවිතේ අමතක නොවන දිනය විය. ඇගේ ලොකුම පැතුම ඉටු විය. සැබෑ කුමාරියක හමුවී, කුමාරියක වෙන්නේ කෙසේදැයි ඇගේ රාජකාරි මොනවාද එමීලියා දැනගත්තාය. එමීලියා, වික්ටෝරියා කුමරිය සංවිධානය කළ රාජකීය තේ පැන් සංග්‍රහයකට ද එක් වූවාය. රජ මාලිගයේ ඇවිදිමින් එහි සිරි නැරැඹුවාය.   


එමීලියාගේ සිහිනය සැබෑ වූයේ ‘මින් ස්ටෝරා ඩැග්’ ස්වීඩන සමාජ සේවා සංවිධානයේ මැදිහත් වීමෙනි. ‘මින් ස්ටෝරා ඩැග්’ යනු ස්වීඩන බසින් ‘මගේ සුවිශේෂී දිනය’ යන අදහසය. මෙම සංවිධානය මැදිහත් වී, මාරක රෝගී තත්ත්වයන්ට ගොදුරු වී සිටින ස්වීඩනයේ ලොකු කුඩා කාගේත් සිතට ධෛර්යය සහ ශක්තිය ලබා දීමටත් ජීවිතයට සතුටක් උදා කර දීමටත් උත්සාහ දරයි. ‘මින් ස්ටෝරා ඩැග්’ ආයතනය වික්ටෝරියා කුමරිය සම්බන්ධ කර ගනිමින්, එමීලියාගේ ලොකුම ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වූයේ එලෙසිනි.   

 

.

මව පියා සහ නැගණිය සමග කුමරිය හමුවී...

 


එමීලියා රජ මාලිගයට ගියේ තනිවම නොවෙයි. අම්මා තාත්තා සහ නැගණිය ද සමඟය. එමීලියාගේ නැගණිය මාජා ය. එමීලියා සහ පවුලේ අය ජීවත් වන්නේ ස්ටොක්හෝම් නගරයේ නොවෙයි. ඔවුන් ජීවත් වන්නේ නගරයෙන් පිට සැතපුම් 400 ක් දුරින් කුඩා නගරයකය. එහෙයින් අගනගරයේ සිටින රජ පවුලේ සාමාජිකයන් දක ගැනීමට එමීලියාට අවස්ථාවක් නොලැබෙයි. එමීලියාගේ මව පවසන්නේ තම දියණිය වික්ටෝරියා කුමරිය ඇතුළු රජ පවුලේ සාමාජිකයන් ගැන පළ වන වැඩසටහන් සහ සජීවී විකාශයන් නොවරදවා මහත් ආසාවෙන් නරඹන බවය.   


රජ කුමරියට සමුදී මාලිගයෙන් යද්දී, එමීලියා පුදුම කරවීමට වික්ටෝරියා කුමරිය සමත් වූවාය. එමීලියා අශ්වයන්ට බෙහෙවින් කැමැතිය. වික්ටෝරියා කුමරිය එමීලියා සහ පවුලේ අය වෙනුවෙන් රාජකීය අශ්ව කරත්තයක් සූදානමින් තැබුවාය. අශ්ව කරත්තයේ නැගී රවුමක් යෑම ද එමීලියාට අපූරු අත්දැකීමක් විය. ලොව වඩාත් ජනප්‍රිය රජ පවුල වන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලය. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් සුපිරි තරු බවට පත් වී සිටිය ද ස්වීඩන රජ පවුල එසේ නොවෙයි. ඔවුන් බ්‍රිතාන්‍ය රජ පවුල තරම් ජනප්‍රිය නැත. වික්ටෝරියා කුමරිය යනු ස්වීඩනයේ පහළොස් වැනි කාර්ල් ගුස්ටාෆ් රජුගේ වැඩිමහල් දියණියයි. වික්ටෝරියා කුමරිය ද කුඩා දියණියකගේ මවකි. කුමරියක වුවත් ඇය නිහතමානී කරුණාවන්ත තැනැත්තියක බව ස්වීඩන වැසියන්ගේ අදහසය. ඒ නිසාම රජ පවුල කෙරෙහි ජනතාවගේ ගෞරවය ඉහළය. වික්ටෝරියා කුමරියගේ සැමියා ඩැනියෙල් කුමරුය. වික්ටෝරියා කුමරියට දරුවෝ දෙදෙනෙකි. ඒ දියණියක සහ පුතකු වශයෙනි. දියණිය එස්ටෙල් ය. ඇගේ වයස අවුරුදු 8 කි. පුතා ඔස්කාර් ය. ඔහුට අවුරුදු 4 කි. ස්වීඩන රජ පවුලේ කිරුළ දැරීමට සිටින දෙවැනියා වන්නේ එස්ටෙල් ය.   


ලුසිත, ඩේලිමේල් ඇසුරිනි.