වැලි මාලිගාවේ රජතුමා


 

වැලි මාලිගාවක් තම නිවහන කරගත් රජකු පිළිබඳව බ‍්‍රසීලයේ රියෝ නුවරින් වාර්තා වෙනවා. ඔහු 44 හැවිරිදි මාර්සියෝ මිසායෙල් මෙටොලියස්. බ‍්‍රසීලයේ ධනවතුන් වැඩි පිරිසක් වාසය කරන බරා ඩා ටියුකා වෙරළ තීරයේ ජීවත් වන මාර්සියෝ පසුගිය වසර 22 පුරාවටම ජීවත් වූයේ තමා විසින් වෙරළේ නිර්මාණය කරගත් වැලි මාලිගාවක. එක් මාලිගයක් කඩා වැටුණු පසු තවත් මාලිගයක් තනා ගන්නා ඔහු එහි රජකු මෙන් ජීවත් වෙනවා. අසල්වැසියන් හා ඔහුගේ මිතුරන් මාර්සියෝ අමතන්නේ ‘රජතුමා’ යන අන්වර්ථ නාමයෙන්.   

අනෙකුත් රජ මාලිගා හා සැසඳීමේදී ඔහුගේ මාලිගය කුඩා වුවද ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම එහි තිබෙනවා. වෙනත් රජවරුන් මෙන් නොව මාර්සියෝට බිසෝවරු, අන්තඃපුර, දරු මල්ලන් හෝ අතවැසියන් හෝ නැහැ. තම සියලු කටයුතු මෙන්ම මාලිගයේ නඩත්තු කටයුතු සියල්ල සිදුවන්නේ මාර්සියෝ අතින්මයි. මාර්සියෝ රජතුමාගේ මාලිගයේ ඇත්තේ එක් පුද්ගලයකුට පමණක් ජීවත් වන්නට අවශ්‍ය ඉඩකඩ පමණයි.   
වැලි මාලිගය වියැළී කඩා වැටීම වැළැක්වීමට එයට වරින් වර ජලය ඉසීම රජතුමා වශයෙන් ඔහුට පැවරී ඇති එක් රාජකාරියක්. ඔහුගේ රාජකීයත්වයට කිසිවකුගෙන් තර්ජනයක් එල්ල වන්නේ නැහැ. අවිවාහකයකු වන මාර්සියෝගේ වැලි මාලිගය සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි. හිස මත කිරීටයක් පැළඳ සෙංකෝලයක් අතින් ගෙන තම මාලිගය ඉදිරිපස සිහසුනක වාඩිවී සිටින මාර්සියෝ සමඟ ඡායාරූප ගැනීමට සංචාරකයන් විශාල පිරිසක් එහි පැමිණෙනවා.   


කෙතරම් අඟහිඟකම් තිබුණත් මාර්සියෝ ඉතා සතුටින් ජීවත්වන පුද්ගලයෙක්. ඔහුගේ එකම ආදායම් මාර්ගය තමන් සමඟ ඡායාරූප ගන්නා සංචාරකයන්ගෙන් ලැබෙන සුළු ආධාරය පමණයි. බරා ඩා ටියුකා වෙරළ තීරයේ වාසය කරන පුද්ගලයන් මාර්සියෝ රජතුමාට බෙහෙවින් ආදරය කරනවා. ඔහුගේ මාලිගයේ පොත්පත්, බිලිපිති සහ ගොල්ෆ් ක්‍රීඩා උපකරණ දැකිය හැකියි. පොත්පත් කියවීම සහ බීච් ගොල්ෆ් ක්‍රීඩාව ඔහුගේ ලොකුම විනෝදාංශයි. ඔහුට ඇත්තේ බාධක දෙකයි. එකක් වැසි සමය. අනෙක ග්‍රීෂ්ම සෘතුවේ වෙරළේ ඇතිවන උෂ්ණත්වය. ඇතැම් දිනවල රාත්‍රී කාලයට පවා වැලි උණුසුම්. එවැනි දිනවල ඔහුට තම මාලිගයේ රැය පහන් කිරීමට අපහසු බැවින් අසල සිටින තම මිතුරකුගේ නිවෙසේ රැය පහන් කරනවා. කෙසේ වුවත් මුහුදු වෙරළේ සැතපී සිටිනු තරම් සතුටත් තවත් නොමැති යැයි ඔහු පවසනවා.   

 

 

මේ සරල දිවි පෙවෙත හැර වෙනත් ජීවන ක‍්‍රමයක් පිළිබඳව තමන්ට සිතිය නොහැකි යැයි පවසන මාර්සියෝ හැදී වැඩුණේ රියෝ අගනුවර අසල පිහිටි ගුවන්බරා බොක්ක ආසන්නයේ පිහිටි නගරයක. එහෙයින් ළමා වියේ සිටම ඔහුගේ කාලය ගෙවුණේ මුහුදු වෙරළේ. ‘‘වෙරළාසන්නයේ ජීවත්වීම සඳහා කුලී නිවෙස්වලට අපේ මිනිස්සු විශාල මුදලක් වැය කරනවා. මගේ මාලිගයට සතයක්වත් වැය වන්නේ නැහැ. මෙහි ඉතා සතුටින් ජීවත් වන මට බිල් ගෙවන්න අවශ්‍ය නැහැ.’’ යනුවෙන් ඔහු පවසනවා.   


බරා ඩා ටියුකා වෙරළට සංචාරකයන් පැමිණෙන් තෙක් ඔහුට තම දිවි පෙවෙත ගෙන යෑමට බාධාවක් නැහැ. වසර 22ක් තමා විසින් නිර්මාණය කර ගත් වැලිමාලිගවල ජීවත් වන්නට ඔහුට හැකි වුණේ එහෙයින්. දිළින්දකු වුවත් ලොව සියලු රජවරුන්ට වඩා සතුටින්ම සිටින රජතුමා මාර්සියෝ බව නම් නොඅනුමානයි.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා