වැඩිහිටියන් නැති රටක්


ලෝකෙන්  ටිකක්

එදා සිටි ළාබාල තරුණයන් මේ වනවිට වයසින් තරමක් වැඩී ඇත ද පසුගිය කාලයේ එරට වැඩිහිටියෙකු දක්නට ලැබුණේම නැත. සමහර විට ඔවුන්ගේ මළ මිනී පසට යටව ඇත. සමහර හිස් කබල් තාමත් ඒ ඒ පිට්ටනිවල දක්නට ලැබේ. තවත් තැනක ඇටකටුය. විදේශිකයන්ට පවා හොඳින් ප්‍රදර්ශනය වන (Killing Field) මරණයේ සොහොන්බිම දැක්මද වේදනාවක් වන්නේ එහි ඇති හිස් කබල් අප වැනිම මිනිසුන්ගේ යයි සිතෙන විටය. ඒ කාගේ දැයි කිසිදු තීරණයක් නැත. මේ යම්කිසි වරදක් කළ අපරාධකරුවන්ම නොවේ.   


පිරිමින් පමණක් නොව කාන්තාවන්, දරුවන් සහ භික්ෂුන් ඇතුළු මිලියන දෙකකට වැඩි පිරිසක් මෙසේ මරා දමා ඇත්තේ නිකරුණේය. ඒ අසරණ ජනතාවයි. එවන් අඳුරු යුගයක් එදා පැවතුණ ද අද එම දේශය සංචාරක නිකේතනයකැයි කිව හැකිය. එතරම් ආකර්ෂණීය ය. ඒ කාම්බෝජයයි.   


නිරක්ෂ රේඛාවට අංශක 15ක් පමණ උතුරින් වියට්නාමය, තායිලන්තය සහ මැලේසියාවට මැදිව පිහිටි කාම්බෝජය වරෙක හඳුන්වන ලද්දේ ආසියාකරයේ ස්වර්ණ විමානයක් ලෙසය. දකුණු ආසියාකරයට උරුම ස්වභාවික සම්පත් සහ ගහ කොළවලින් යුතු මෙරට කෘෂිකර්මය අතින් ද දියුණු මට්ටමක පැවතුනි. ඒ තුළින් සෑහෙන සමෘද්ධි බවක් විය. ඉතා ඈත කාලයේදී මෙහි ගල් යුගයේ ජනතාවද වාසය කර තිබේ.   


භාරත දේශය ඈතින් පිහිටියද ආදි යුගයේ හින්දු බෞද්ධ ආගම් කාම්බෝජයේ පැතිර තිබුණු බවට පුරා විද්‍යා නටබුන්වලින් තහවුරු වෙයි. ශිව විෂ්ණු වැනි හිංදු දේව රූප සහ බුද්ධ රූප සහිත ආගමික සිද්ධස්ථාන මෙරට එමටය. සමහර ග්‍රාම නාම සහ රාජනාමවලින්ද පෙනෙනුයේ ඈත යුගයේ කාම්බෝජය හා භාරත දේශය සමඟ සමීප සබඳතාවක් පැවැති බවයි. එමෙන්ම චීනය හා වෙනත් ආසියාතික රටවල් සමඟද සබඳතා පැවැති බවට සාධක වෙයි.   
ඒ සඳහා ප්‍රවාහනයට යොදාගෙන ඇත්තේ බෝට්ටු සේවාවය. මැද පෙරදිග රටවල් චීනය සමඟ කෙරුණ ගනුදෙනුවලදී මෙරට එයට සම්බන්ධව ඇත. කාම්බෝජයේ දීප්තිමත්ම ස්වර්ණමය යුගය වූයේ ක්‍රි.ව. 09 සිට 15 වන සියවස් අතර කාලයයි. මෙවන් වූ දේශය පසුගිය කාලයේ ඉතාම ඛේදජනක තත්ත්වයකට මුහුණ දුන් බව ලොවම දනී.   

 


ආදි යුගයේ මෙරට හැඳින්වූයේ කම්පූචියා යනුවෙනි. එමෙන්ම එදා අගනුවර වූයේ චක්ටොමික්ය (Gcehak Tomuk) චක්ටොමික් යන්නෙහි අර්ථය සිව් කොන් හෙවත් සතර දිසා යන්නයි. ඉන්පසු අන්කෝර් අගනුවර විය. කාම්බෝජ යන්නෙන් අදහස් කරනුයේ ද ඉඩම හෙවත් භූමිය යන්නය. පසුකලෙක මෙහි අගනුවර නොම්පෙන් විය. මීකොන් ගඟ අසල වූ එම නගරයේ ඉතිහාසය ද ජනප්‍රවාදයෙහි එයි. එම ගඟ අසල එක්තරා ස්ත්‍රියක් දර කඩමින් සිට ඇත. ඇගේ නම පැනෝන්ය.   


ඇය එකවරම එම ගඟේ පාවෙන රූප හතරක් දැක ඇත. ඉන් පැහැදිලි රූප දෙකක් වූයේ බුද්ධ හා විෂ්ණුය. මේ සුභ සාධකය සිද්ධියෙන් අගනුවර ඇන්කෝර්වලින් නොම්පෙන් නම් වෙනත් ස්ථානයකට මාරු කෙරිණ. මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව ඒ අසල වූ කුඩා කඳු ගැටයකට නැඟ ඇත. ඒ ස්ථානය අදත් වට් පැනොන් නමින් සඳහන් වෙයි. සමහරුන් එය තාමත් හඳුන්වනුයේ (Hill and the Lady) කන්ද සහ කාන්තාව යනුවෙනි. මේ කාන්තාවගේ නමින් එම පළාත් ද පැනොන් නම් විය.   


බුදුන් වැඩි රටක් නොවූවද කාම්බෝජය බෞද්ධ රටකි. පැරැණි අගනගරය වූ ඇන්කොරිහි වෙහෙර විහාර 300ක් පමණ වෙයි. එම විහාරස්ථානවලට යාම සඳහා දොරටු ඇත්තේ සිමිරිප් නගරයේය. සිමිරිප් යනු කාම්බෝජයේ සර්ව සම්පූර්ණ ආකර්ෂණීය නගරයයි. ඇන්කෝර් හි ඇති ලොව විශාලම බෞද්ධ සිද්ධස්ථානය නරඹන්නන් විස්මයට පත් කරවයි. කිලෝමීටර් පහක් පමණ දිග වට වේදිකාවක් මෙහි පසුබිමය. අපූරු පාෂාණ හා වැලිවලින් නිර්මිත මේ සිද්ධස්ථානය සාදා ඇත්තේ 12 වන සියවස සූර්යවර්මන් රජ දවසය. එහි තවත් ඇගයීමක් වන්නේ කාම්බෝජ ජාතික කොඩියේද මෙය සංකේතවත් වීමයි.   
සිමිරිප් නගරයෙහි ශිව දෙවියන් සඳහා දේවාල රාශියක් වෙයි. එමෙන්ම විෂ්ණු දේව රූප සහිත කෝවිල් ද එමටය. හිංදු බෞද්ධ ආගම් දෙකම එකල මෙහි ඇදහූ බවට නටබුන් ද එමටය. චීන ඉන්දියා වානිජ කටයුතුවලදී කාම්බෝජය ඊට මැදිහත්වූ බවත් කියවේ. සමහර විට ඉන්දීය මුතුන් මිත්තන් එකල මෙරට පදිංචිවන්නට ඇත. එබැවිනි බෞද්ධ හින්දු ආගම් මෙහි ස්ථාපිත වූයේ.   


16 වන සියවස වනවිට පෘතුගාල ස්පාඤ්ඤ වැනි බටහිර රටවල් ද කාම්බෝජයට සමීප වුවද එහි සැබෑ වෙනසක් නොවිණි. රටෙහි සැබෑම වෙසක් ඇති වූයේ 1975 උදා වූ පොල්පොට් යුගයේය. ඒ අඳුරුම අඳුර යුගයකි. ඒක පාක්ෂිකයකු වූ පොල්පොට් එරට ජනතාව මරා දැමුවේ යක්ෂාරූඪයෙන් මෙනි. ඔහුගේ බලය යටතේ කෙනෙකුට කනකර පැළඳීම පවා තහනම්ය. බොහෝ දෙනකු බන්ධනාගාර තුළට දමා දස වධ දී ඇත. බන්ධනාගාර තුළ ද රැඳවියන් සිටිය යුතු වූයේ බිම දිගා වීය. තවෙකෙකු සමඟ කතා කිරීමට හෝ සිනාසීමට ඔවුනට නොහැක. සමහරුන්ගේ අත්පා කපා දැමිණ. කොටින්ම රටම මළ ගෙයක් බවට පත් කිරීමටය පොල්පොට්ට උවමනා වූයේ. ඒ ඔහුගේ විකෘති මානසික දේශපාලනයයි. ඒ තුළින් කාම්බෝජය වැඩිහිටියන් නැති රටක් විය.   


නොම්පෙන් නගරයේ සිට නිරිත දෙසට පැමිණි විට දක්නට ලැබෙන කිලිං ෆීල්ඩ් (Killing Field) අමු සොහොන සංචාරකයන්ගේ සිත් කම්පා කරවයි. මිනිස් ඇට කටු හිස් කබල් නිහඬව පවසනුයේ අතීතයේ බිහිසුණු බවය. රට සංවර්ධනයට යයි අමුතුම ලොවක යමින් මිනීමරු පොල්පොට්ගේ අඳුරු අතීතය ලොවටම අමතක නැත. අවසානයේ නිවාස අඩස්සියේ සිටි ඔහු පසුව තම ගරිල්ලාවරු සමඟ වනයේ සැඟවී සිට සිය දිවි නසාගෙන ඇත. ඒ සොබා දහමේ දඬුවමයි.   
කාම්බෝජයේ එදා රජවරුන් විසින් තනන ලද තවත් ආගමික ගොඩනැගිලි රාශියක් අද සංචාරකයන්ගේ අවධානයට ලක්වෙයි. විශේෂයෙන්ම ඇන්කෝර් නගරය පුරාම ඇති පැරැණි බෞද්ධ හින්දු ආගමික ස්ථාන තුළින් පැහැදිලිවන ඓතිහාසික වටිනාකම අගනේය. එමෙන්ම ෂිම්රිප් නගරයේ ඇති වසර දහස් ගණනක් පැරැණි පාලම් බෝට්ටු සේවාව යොදා ඇති දූපත් ආශ්චර්යමත්ය. දේශීය සම්පත් යොදා නිෂ්පාදනය කෙරෙන අත්කම් මෙහිලා විශේෂය. නවීන ක්‍රමයේ පැදුරු කපුරෙදි මූර්ති කැටයම් ඒ අතර වෙයි. මුහුදු වෙරළ ආසන්නයේ ඇති විවිධාකාර සර්කස් අප්සරා නැටුම් වැනි රැඟුම් ද සිත් ගන්නා සුලුය. මීකොන් ගඟ අසබඩ කවෝඩයි නගරය විශේෂිතය. ඉතා සුන්දරය.   


මීකොන් ගඟේ බෝට්ටු සවාරියද චමත්කාරය. ඉතා සුන්දරය. බෝට්ටු මඟින් ළඟාවිය හැකි සිල්ක් දූපතද සුවිශේෂීය. එහි අත් යන්ත්‍ර මැෂින් ක්‍රමයේ සිල්ක් රෙදි නිෂ්පාදනය දැකිය හැක. මේ අතර නොම්පෙන් නගරයේ රාත්‍රි වෙළෙඳපොළ ඉතා වැදගත්ය. සවස 5.00ට විවෘත වන මෙය බොහෝ දුරට විදේශීය සංචාරකයන් සඳහාය. එහි විවිධ සංදර්ශන ද පැවැත්වෙයි. මෙරට ආහාරපාන ද ඒ ඒ රටවලට අවශ්‍ය පරිදි සැකසෙයි. ගමනාගමනය ගැන සඳහන් කළහොත් විදේශිකයන්ට ඉහළ මට්ටමේ කාරයේ සිට ටුක් ටුක් මෝටර් සයිකල් දක්වා පහසුකම් සැපයෙයි. අඳුරු යුගයේ කොතරම් අසීරුතාවක් පැවතුනද වර්තමානයේ ආසියාකරයේ සුන්දරම රාජ විමානය කාම්බෝජයයි කිව හැකිය. එමෙන්ම දෙරට අතර සුහදතාව වර්ධනය වුණ ජපන් මිත්‍රත්ව පාලම ද ජීවන මිනිසාටත් වඩා මිත්‍රත්වය සදාකාලිකව රකිනු ඇත.   


ජේ. ශීලා වික්‍රමරත්න