වානරයාගේත් මානවයාගේත් අහිමි පුරුක හමුවෙලා


 

පරිණාමයේ කතාවට අනුව, මානවයා පරිණාමය වූයේ වානරයන්ගෙනි. එය අසුරු සැණින් සිදුවූවක් නොවෙයි. වසර දහස් ගණනක සිදුවීම් සමුදායක ප්‍රතිඵලයකි. වානරයන් සහ මානවයන් අතරේ සම්බන්ධය ඇති කරන ඒ, වානර හෝ මානව විශේෂය කවුරුන්ද යන්න ප්‍රහේලිකාවකි. විද්‍යාඥයන් එම වානරයා හෝ මානවයා ‘අහිමි පුරුක’ ලෙස හඳුන්වයි. එයින් අදහස් වනුයේ අප මේ සත්වයා කවුරුන්දැයි නොදන්නා බවය. මේ ‘අහිමි පුරුක’ ගැන කිසිදු හෝඩුවාවක් හෝ පොසිල සාක්ෂියක් හෝ හමුවී නැත. කෙසේ නමුත් පසුගිය දා විද්‍යාඥයන් කියා සිටියේ තමන්ට මේ ‘අහිමි පුරුක’ ගැන පොසිල සාක්ෂි ලැබුණු බවය. විද්‍යාඥයන් මෙසේ පැවැසුවේ, වානරයකුට වඩාත් සමාන මානවයකු වැනි සත්වයකුගේ පොසිල අස්ථි කොටස් හමුවීමෙනි. මෙම අස්ථි කොටස් සොයා ගැනීමට හැකි වී ඇත්තේ, ජර්මනියේ බැවේරියාවේ කළ කැණීම්වලදීය. 


මීට පෙර ද මේ වානරයාගේ පොසිල අස්ථි කොටස් බැවේරියාවේ කළ කැණීම්වලදී සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වුවත්, ඒවා විශ්ලේෂණය අපහසු විය. ඒ, එම අස්ථි කොටස් අසම්පූර්ණ වූ බැවින්, ඒවා කුමන විදියේ වානරයකුගේ ද නැතිනම් මානවයකුගේ ද පැහැදිලි කර ගැනීම අසීරු විය. අලුතින් සොයා ගැනීමට හැකිවී ඇති පොසිල අස්ථි කොටස් ගණන 21 කි. ඒ අනුව, මෙම වානරයා, වානරයන්ගේත් මානවයන්ගේත් ‘අහිමි පුරුක’ විය හැකි යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. 


අස්ථි කොටස් ගලපා, ස්කෑන් කර, පරිගණක ගත කිරීමෙන් පසු, පරිගණක ඇසුරින් නව වානරයාගේ පෙනුම ප්‍රති නිර්මාණය සිදුවිය. මේ සටහන සමඟ පළ වන්නේ පොසිල සාක්ෂි අසුරින් කළ සිතුවමකි. පුළුල් පපුවක් ඇති මෙම වානරයා නම් කර තිබෙන්නේ ‘ඩැනුවියස් ගුගෙනොමෝසි’ යන නමිනි. 


ඩැනියුවියස් යනු කෙල්ටික් වැසියන් (කෙල්ටික් යනු පුරාණයේ යුරෝපයේ වාසය කළ ගෝත්‍රික වැසියන් පිරිසකි.) ඇදහූ ගංගාවකට අධිපති වූ දෙවියෙකි. මේ දෙවියා ගමන් කර ඇත්තේ අසාමාන්‍ය අයුරිනි. ඩැනුවියස් ද පාදවලින් ඇවිද ගොස් ඇති බව පොසිල අස්ථි සනාථ කර ඇත. කෙසේ නමුත් ඩැනුවියස් ගුගෙනොමෝසි පය තබමින් ඇවිද ගොස් ඇත්තේ අප මනුෂ්‍යයන් අද පය තබන ආකාරයට නොවෙයි. ඒ අනුව, පළමුවෙන් දෙපයින් ගමන් කළේ ඩැනියුවියස් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. 


‘ඩැනියුවියස්ගේ අත් දිගයි. ඒත් ඒවා වර්තමානයේ අප දකින ගොරිල්ලන්ගේ සහ ගිබන් වඳුරන්ගේ මෙන් නොව, කෙටිය. පෙනුමින් ඩැනියුවියස් වානරයකුට සමානයි. ඒත් මානවයකුගේ ගති ලක්ෂණ එයාට තිබෙනවා. ඒ නිසයි අප විශ්වාස කරන්නේ වානරයන් මානවයන් බවට පරිවර්තනය වූයේ ඩැනියුවියස් හරහා බව’ යැයි සොයා ගැනීමට දායක වුණු මහාචාර්යවරියක වන මැඩෙලයින් බොහ්මී පවසයි. ඩැනියුවියස්ගේ අස්ථි කොටස් සොයා ගැනීම සිදුවී ඇත්තේ, ඕල්ගෝ පළාතෙනි. හමුවුණු අස්ථි අතර හකු අස්ථි කොටස්, ඉළඇට කොටස්, කොඳු නාරටි කොටස් සහ ඇඟිලි අස්ථි කොටස් තිබේ. අස්ථි පරීක්ෂා කර බලද්දී ඩැනියුවියස් පිරිමි සතුන් දෙදෙනකු, ගැහැනු සතුන් දෙදෙනකු සහ කුඩා පැටවකු සිටින බව තහවුරු විය. 


දෙපයින් ගමන් කිරීම මෙම වානරයාට අලුත් දෙයක් වීම ඊට හේතුවය. දෙපයින් ඇවිදීම ඩැනුවියස්ට නුහුරු දෙයක් වී තිබේ. ඇවිදීමට පමක් නොව, පහසුවෙන් ගස් නැගීමට ද හැකිවන අයුරින් මෙම වානරයාගේ අත් පා සැකසී තිබේ. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට වැඩුණු ඩැනුවියස් පිරිමි වානරයකුගේ උස අඩි 3 1/2 කි. බර කිලෝ ග්‍රෑම් 32 ක් පමණය. ගැහැනු වානරියකගේ බර කිලෝ ග්‍රෑම් 19 ක් යැයි පැවැසෙයි. විද්‍යාඥයන් ඩැනියුවියස්ගේ උස බර මෙසේ සඳහන් කරන්නේ පොසිල අස්ථි කොටස් පරීක්ෂා කිරීමෙන් පසුවය. 

 


ලුසිත ජයමාන්න 
‘ද සන්’ ඇසුරිනි