ව්‍යාපාරික ඝාතනයේ සැකකරු වසර 23කට පසු පොලිස් දැලට පැටලුණු හැටි


පොලිස්  පොතෙන්

 

කේ.පී. විජේසේන අත්තනායක මහතා ධනවත් ව්‍යාපාරිකයෙකි. ඔහු මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් කටුවැල්ලේගම පළුගහවෙල ප්‍රදේශයේ විසුවේ බිරිඳ සමගය.   


දරුවන් නොසිටියත් අත්තනායක මහතා සහ බිරිය හොඳ පවුල් ජීවිතයක් ගත කළහ.   
මරඳගහමුල ප්‍රදේශයේ හාල් මෝලක් ද ගඩොල් කපා විකිණීමේ ව්‍යාපාරයක්ද කරගෙන ගිය ඔහු සතුව අක්කර 08ක පමණ සරුසාර පොල් ඉඩමක්ද යාන වාහනද විය.   


පළුගහවෙල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී අත්තනායක මහතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් අතර මත්පැන් බෝතලයක් සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන එය අවසන් වූයේ ගැටුමකිනි.   
මේ ආරවුලට සම්බන්ධ වූ අයකුගේ නිවසක් ගිනිබත්වීමට පවා ගැටුම දුරදිග ගියේය.   
ගින්නට අසුවී සිටි ඒ නිවසේ අයිතිකරුගේ දරු දෙදෙනා ජීවිතය බේරාගෙන ඇත්තේ අනූනවයෙනි.   
නිවස ගිනිලෑම අත්තනායකගේ වැඩක් බවට සැක කර මහමගදී ඔහු ඝාතනය කර තිබුණේ තියුණු ආයුධවලින් කපා කොටා දැමීමෙනි.   


මෙය විසිතුන් වසරක් පැරණි සිද්ධියකි.   


එනම් 1997 වසරේ පෙබරවාරි මාසයේ 18 වැනිදාය.   


ධනවත් ව්‍යාපාරික අත්තනායකගේ ඝාතනයට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයන් හතර දෙනකු එම ඝාතනය සිදුවූ 1997 වසරේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසිය විසිනි. ඔවුන් සිවු දෙනාම සමීප ඥාතීන් වූහ.   


ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකූ පුද්ගලයා ප්‍රදේශය අතහැර පලාගොස් තිබිණි.   
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය.   
අත්අඩංගුවට ගත් හතර දෙනා රිමාන්ඩ් බාරයට පත් කෙරුණු අතර එක් සැකකරුවකු මියගොස් තිබුණේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරමින් සිටියදීය.   


කාලයකට පසු ඉතිරි සැකකරුවන් තිදෙනාම අධිකරණය මගින් ඇප මත මුදාහැර තිබිණි.   
මීගමුව මහාධිකරණයේ මෙම නඩුව විභාග වී ඇත්තේ ප්‍රධාන සැකකරු නොමැතිවය.   
සෙසු සැකකරුවන් හතර දෙනාට වසර 03ක සිරදඬුවම් මීගමුව මහාධිකරණය මගින් නියම කෙරිණි.   
අධිකරණය මගහැර සිටි සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් මීගමුව මහාධිකරණය මගින් නිකුත් කර තිබේ.   
සිරදඬුවම් ලැබූ එක් පුද්ගලයෙක් මියගියේ බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටි අතරවාරයේය.   
අත්තනායක කියන ධනවත් ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ආගිය අතක් සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.   


ඒ නිසා එම පුද්ගලයා ගැන මතකය කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය.   
‘සර් අත්තානයක කියලා බිස්නස් කරපු කෙනෙක්ව මීට අවුරුදු 23කට විතර කලින් මරා දැම්මා. ඒ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයෙක් වෙස්වළාගෙන මේ ළඟකදී ඉඳලා ගමට ඇවිත්’ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් ඊ.ජී.කේ. ලක්මාල් (37801) මහතාට දුරකතනයෙන් කතා කර කියා ඇත්තේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවෙකි.   
මිනිහා ආයෙත් ගමට ආපු වෙලාවක කතා කරල කියන්න යැයි කොස්තාපල් ලක්මාල් මහතා ඔහුගේ ඔත්තුකරුට උපදෙස් දී ඇත.   


වැඩිකල් නොගියේය.   


මිනිහා ගෙදර ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන් වේවි යැයි කියා කොස්තාපල් ලක්මාල්ගේ ජංගම දුරකතනයට ආ ඇමැතුමක් අනුව පොලිස් කණ්ඩායමක් කටුවැල්ලේගම, පළුගහවෙල ප්‍රදේශය බලා ඒ මොහොතේම පිටත්ව ගියහ.   
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන විශේෂ කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පියසිරි, පොලිස් සැරයන් සෙනෙවිරත්න (55466), පොලිස් කොස්තාපල්වරුන් වන ඊ.ජී.කේ. ලක්මාල් (37801), ගාමිණී (55485) සහ අනුරාධ (74084) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු සැඟවී සිටි නිවස වැටලූහ.   
එම අවස්ථාවේ පලායාමට උත්සාහ කර ඇතත් බලවත් පරිශ්‍රමයක් දරා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වූහ.   


අත්තනායක නමැති ධනවත් ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ එම ඝාතන සිද්ධියෙන් වසර 23ක් වැනි කාලයකට පසුව පසුගිය 05 වැනිදාය.   
සැකකරු මිනුවන්ගොඩ පොලිස් වසමේ කටුවැල්ලේගම, පළුගහවෙල පදිංචි මාදම්පගේ චන්දා පුෂ්පකුමාරය.   
මෙම සැකකරුගේ ඡායාරූපය යොදා ආරච්චිගේ සිසිර කුමාර යන ව්‍යාජ නමකින් පෙනී සිටිමින් සකස් කර ගෙන තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ද පොලිස් බාරයට ගැනුණේ ඔහුගේ නිවසේ සඟවා තිබියදීය.   
ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා ඇත.   


එහිදී සැකකරු මෙසේ පාපොච්චාරණය කර ඇත.   


මාව පොලිසියෙන් හොයන නිසා 1997 වසරේ මේ ඝාතනය සිදුවූ කාලයේම ලෙබනනයට පැන ගත්තා.  මගේ නෝනා ලෙබනන් රටේ රැකියාවක නිරතව සිටියා. ඇය තමා මාව ඒ රටට ගෙන්වා ගත්තේ. අනතුරුව කාලයක් සැඟවී සිටියා.   
ලෙබනන් රටට ගියේ 1997 වසරේ. 2011 වසරේ අගභාගයේ ලංකාවට ආවා. හීනටියන ප්‍රදේශයේ සැඟව සිටියා. ඒ ආපු වේලාවේ දරුවෝ දෙන්නා බලන්න වෙස්වළාගෙන ගමට ගියා. 2012 වසරේ මම යළි ලෙබනන් ගියා. ඒ අවස්ථාවේ ලෙබනන්වලට ගියේ ආරච්චිගේ සිසිර කුමාර කියන බොරු නමකින්. ඒ බොරු නම යොදා මම පාස්පෝර්ට් එකක් සාදා ගත්තා. ඒ සඳහා රුපියල් 30,000ක පමණ මුදලක් වැය කළා. හොර පාස්පෝර්ට් එක සාදා දුන්නු කෙනා ගැන දැන් මතකයක් නැහැ.   


බොරු නමකින් පෙනී සිට ලෙබනනයට පැන්න කුමාරට එහි ගත කිරීමට සිදුව ඇත්තේ මාස 03ක පමණ කාලයකි. යළි මෙරටට පැමිණ මිනුවන්ගොඩ, හිනටියන ප්‍රදේශයට පැමිණි කුමාර රැවුල හා කොණ්ඩය වවාගත්තේ ඔහුගේ මුල් ස්වරූපය වෙනස්කර ගැනීමටය.   
හීනටියන ප්‍රදේශයට පැමිණි කුමාර නිකම් හිටියේ නැත. ඔහු පස් කපා විකිණීමේ ජාවාරමකට සම්බන්ධව සිට තිබෙන බව පොලීසිය පවසයි.   


සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මෙසේද පවසා තිබේ.   


ටික කාලයක් ගියාට පස්සේ මම දරුවෝ දෙන්නා බලන්න පළුගහවෙල ගමට යන්න එන්න පටන් ගත්තා. මේ ඝාතනය වෙනකොට මගේ වයස අවුරුදු 26ක් විතර වෙනවා. තරුණ පෙනුමක් නොමැති නිසාත් ස්වරූපය වෙනස් කරගෙන සිටි නිසාත් මාව කිසිම කෙනෙක් හඳුනා ගනීවි කියලා නිකමටවත් හිතුවේ නැහැ. අත්තනායකගේ ඝාතනය වෙච්ච කාලයේ ඒ ගැන පරීක්ෂණ කරපු පොලිස් නිලධාරීන් දැන් මිනුවන්ගොඩ පොලිසියේ නැති නිසා හිතට කිසිම බියක් හෝ සැකයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා තමා ආයෙත් ගමට ආවේ. හීනෙකින්වත් හිතුවේ නැහැ මෙච්චර කාලයක් ගිය නිසා මාව ආයෙත් පොලිසියට කොටුවෙයි කියලා. මේ වෙච්ච දේ මට අදහාගන්නවත් බැහැ. පොලිසිය ගේ වටලද්දී පැනලා යන්න හැදුවා. ඒත් බැරිව ගියා.   
අපරාධයක් සිදුකර සැමදා සැඟව සිටිය නොහැකිය යන ධර්මතාව කුමාරටද පොදුය. සෑම අපරාධයකම කෙරවල දඬුවමක්ද තිබේ. එම දඬුවම සොබාධර්මය විසින් තීරණය කරනු ඇත. 

 
මනුෂ්‍ය ඝාතන චෝදනාවට අමතරව කූට ලේඛන සකස් කිරීම හා අන්‍ය අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාවක්ද කුමාරට අලුතින් පොලිසිය ගොනුකළ චෝදනා විය.   


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ මුල සිටම සිදුකොට ඇත. 

 

 

සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය