වළාකුළු මැද සැඟවුණු උඩ මළුව


ක්‍රියාදාම චාරිකා

මහ වැසි මැද අවාරේ සිරිපා වන්දනාව (2)  

 

සාම විහාරය

අවාරේ උඩ මළුව

මාවුස්සාකැලේ ජලාශය​

​ෙමා්හිණී ඇල්ල

ගවරවිල කඳු වැටියෙන් ඇද හැළෙන දියඇළි

වර්ෂාව නිසා ඇද හැළෙන දිය ඇළි​

 

 

පරිසරය නිහඬ නැත. වන්දනාමාන හඬක් හෝ වෙනත් කිසිදු මිනිස් වාසයක් පිළිබඳ හඬකුදු නොමැති මහ වනයේ ගව් ගණනක් දුර ඇවිද අප සමනොළගිර අවාරයේ තරණය කළේ උඩමාලිබොඩ - දැරණියගල මාර්ගයෙනි. පෙර දින මහ වැස්සේ ගස් කඩා වැටීම, ප්‍රචණ්ඩ සීත ගඟුල සහ නොකඩවා සැම තැනකින්ම ගලා යන දිය දහරාවන් රාශියක් හරහා යමින් කීරි ගැහෙන සීතලේ වන අලි ගිය මංකඩ පසුකොට මැදහින්න අම්බලම අසලින් එරත්න මාර්ගයට වැටී පසුව හැරමිටිපාන අම්බලම අසලින් රජ මාවතට සේන්දු වී ආඬියාමලතැන්න අම්බලමට ගොඩවැදුනේ අඳුරත් තුරුළු කරගෙනය. ඒ පසුගිය සතියේ ලිපියේ කථාවය.   


පසුදින දැඩි සේ වෙහෙසට පත්ව තිබූ හෙයින් රාත්‍රී ආහාර ගෙන නින්දට වැටුණද පසුදින උදෑසනින් අවදිව උඩ මළුවට යා යුතු බව අපගේ සිහියේ තිබුණි. මැදියම් රැයේ එක් අවස්ථාවක අප තිගැස්සී ඇහැරු​ෙණ් එලියේ වූ ලී ​ෙකාටයක් බිමට වැටෙන සද්දෙට විය. යන්තම් වර්ෂාව අඩුව තිබූ හෙයින් වල් ඌරන් රංචුවක් අසල වූ ප්‍රදේශයේ සැරිසරන බව අප දුටුවේ විදුලි පන්දම් එළියෙනි. කෑලි කැපෙන ඝන අන්ධකාරය මුළු ප්‍ර​ෙද්ශය පුරා පැවතුණු අතර අම්බලම් ශාලාවේ දොර අප ලෑලි යොදා වැරෙන් වසා තිබුණද ගොඩනැගිල්ලේ අඩක් විවෘතව පැවතියේ සම්මත ඉදිකිරීම පරිද්දෙනි. ඒ නිසාවෙන් ශාලාවට හොඳ හැටි මීදුම ගලන්නට විය.   


සගයන් හිසේ සිට දෙපතුල තෙක් පොරෝනවලින් වසාගෙන සිටියේ අධික සීතලට වූ බැවින් අප සියල්ලෝ මිනිස් වාසයෙන් ගව් ගණනක් දුර නින්දට වැටුණි. ඔරලෝසුවේ එලාම් හඬට අප අවදි වන විට වෙලාව තවම පාන්දර 4.30 පමණ විය. තවමත් අඳුරේ කිසිදු වෙනසක් නොතිබුණි. සතා සිවුපාවා මේ කණිසමේ ගමන් කිරීම සුලභ වූ හෙයින් අප පාන්දර පහ වන විට මහගිරිදඹ තරණය කිරීමට සැරසුනෙමු. ආඬියාමලතැන්න අසල වන පියසට ගමන් කරන මාර්ගයක් තිබූ අතර එය හැටන් මාර්ගයේ මහගිරිදඹ ආශ්‍රිතව සම්බන්ධවන වනගත අඩි මාර්ගය විය. වාරයේ හැටන් මාර්ගයේ තදබදය අධික වූ විට සෙසුජනයා හට මෙම අඩි මාර්ගය ඔස්සේ පැමිණ රත්නපුර මාර්ගය ඔස්සේ මහගිරිදඹ නැග උඩ මළුවට ළඟා විය හැකිය.   


ලෑලි දොර පළු පසෙක තබා අප සිටි ස්ථානය පිරිසිදු කළ පසු අපි යන්තමින් හිරු මෝදුවෙන කණිසමට පෙර යා යුතු වූ බැවින් ආඬියාමළතැන්නට සමුදී මහගිරිදඹ තරණයට සූදානම් විමු. පඩිපෙළ ආධාරක වූ යකඩ වැට ඇල්ලිය නොහැකි තරම්ය. සීතල පින්න වැටී ඒවා තව තවත් සීතල වී තිබුණි. උදැහැනැක්කෙම වූ හෙයින් අපට කඩිනමින් හුලං කපොල්ල ආසන්නයට ළඟාවීමට ගතවූයේ සුළු වේලාවකි. දෙපොතකන්ද - මුක්කුවත්ත මාර්ගය රජ මාවතට එකතු වන ස්ථානයද පසුකරමින් අපි සුළං කපොල්ලට ළඟා වුණෙමු. එහි සුළඟ අධික වූ අතර මීදුමද ඊට සහයට එකතුව සිටි හෙයින් දැඩි වෙහෙසක් මැද සීතල දරාගෙනම අප සුළං ක​ෙපාල්ල පසුකර උඩමළුවට ළඟා වීමට පය ඉක්මන් කළෙමු. තවමත් මුළු මහගිරිදඹ වසාගෙනම අැත්තේ සුදු මීදුම පමණකි.   


කෙසේ හෝ හිරු උදාවට පෙර අප මහගිරි දඹ තරණය කර උඩමළුවට ළඟා වුවද හිමිදිරි අරුණ තවමත් දෙරණත සිප ගැනීමට පැමිණි වග දුටුවේ නැත. පාන්දර 5.30 පසුවූවද හිරු උදාවක් සිරිපා රක්ෂිතයට නූයේ ප්‍රදේශයේ වලාකුළු සහ මීදුම අධික වූ හෙයිනි. කෙමෙන් කෙමෙන් අවට කඳු හා ඈත ගම් දනව් පෙනීමට ගත් නමුදු ඉර සේවයක් අද දිනයේ දක්නට නොලැබුණි.   

 

ශ්‍රී පාදස්ථානයට පෙනෙන කොළඹ නගරය

නල්ලතන්නියට පෙනෙන සමනොල ගිර

වළාකුළුවලට ඉහළින්

 

 


මොහොතකට අප වලාකුළු උඩ සිටිනා සිතුවිල්ලක නතර වූයේ අප සිටි උඩ මළුව වටා අංශක 360 ම එකම සුදු පාට මීදුමෙන් වැසී තිබුණු හෙයිනි. මිදුම් යාය කොතරම් ප්‍රබලද යත් ඒවා වලාකුළු මෙන් තදට තිබුණි. ඉතාමත් ඈත දුරක් දක්වා උස් කඳුවල මුදුන් ඉහළට එසවී තිබුණේ සුරලොවක අප සිටිනා පරිද්දෙනි.   


හිරු උදාවුවද හිරු කිරණ තවමත් නාවේ වැසිබර වලාකුළු මුළු ගගනතම වසාගෙන සිටි නිසාවෙනි. කුණුදිය පර්වතය, බෑන සමනල, හීන් පිදුරුතලාව, ග්‍රේට් වෙස්ටර්න්, පිදුරුතලාගල, ඩෙල්, නමුණුකුල, කොටගල, කොනිකල් ආදී කඳු සේම නකල්ස් වනයේ කඳු වන නකල්ස් වැටිය, අලුගල්කන්ද, කොබෝනීලගල සහ දුම්බානාගලත් අපට දැකීමට හැකිවිය. සමස්ත දිශා අවට අප නිරීක්‍ෂණය කරන්නට වූ අතර බටහිර දිශාවෙන් යන්තමට කොළඹ වරාය හා අවට පරිශ්‍රයද, නෙලුම් කුලුන සහ තවත් උස් ගොඩනැගිලි මැනවින් දැක ගැනීමට හැකිවිය.   


වලාකුළුවලටත් උඩින් අවාරයේ සිරිපා මළුවේ සිට දැකිය හැකි මෙම සුන්දරත්වය නැරඹීමට පෙර දවසේ අප විඳි වෙහෙස හා පීඩාව ගත යුතුම විය. එය අපතේ නොගිය බව අප දුටු​ෙව් මෙම සුන්දරත්වය නිසාමය. තවද හැටන් මාර්ගයේ සාම චෛත්‍යයට ඉහළින් පිහිටි බල්ලබැඳිගල කන්ද යනු යකා ඇඬූ ඇල්ල වැටෙන මහා පර්වතයකි. එය අද වන විට දිය ඇලි සමූහයකින් සමන්විතව තිබුණි. වර්ෂාව නිසාවෙන්ම එහි කන්ද මුදුනේ සිට පහළට වැටෙන දියඇලි ගණන 7 කට අධික විය. ඒ සියල්ල එකිනෙකට මදක් සමීපව පිහිටා තිබූ බැවින් එම පර්වතයේ සුන්දරත්වය පැවසීමට වචන රහිත තරම්ය. විටෙක කඳු වැටියට පහළින් මීදුම් සළු යායට එළා ඊට ඉහළින් වැටෙන වතුර පහරවල් මීදුම් සළු යට සැඟව තිබෙන දසුන දැකීමට තරම් අපට වාසනාව තිබුණි.   


බල්ලාබැඳිගල යනු මහ පිදුරුතලාවට යාබද කන්ද වන අතර සප්ත කන්‍යා කඳු වැටියටද අසල්වැසි වෙයි. හැටන් පා​ෙර් සීත ගඟුලේ උපත සිදුවන්නේ මහ පිදුරුතලාව කන්දෙන් වන අතර මහ පිදුරුතලාව යනු දන්නා තරමින් තවමත් කිසිවෙකුත් තරණය නොකළ ඉසව්වකි. එය තනිකරම ඝන වනාන්තරයක්වන අතර එහි ඇති දේශීය ශාක හා පැලෑටි ගණන මිල කළ නොහැකි වේ.   


දෙහෝරාවකට ආසන්න කාලයක් අප උඩ මළුව ආශ්‍රිතව සිටි අතර තුරුහිස් යායට උඩින් තැවරුණු මීදුම් සළු කෙමෙන් කෙමෙන් වියැකී ඈත ගම් දනව් දක්නට ලැබුණු හෙයින් අපගේ සගයන් වූ නිරෝෂ් සහ සමිදුගේ තෙවැනි ඇසට විවේකයක් නොලැබුණි. ඒ අතර සමීර සොයුරා ඔබමොබ දුවන වලාකුළු පටිගත කරන්නට වූයේ හිරුකිරණක් අහස් කුසෙන් එබෙන්නට වෙර දරන ඇසිල්ලේදීය. උඩ මළුව අවාරයේ විවෘත නොකරන නමුත් එහි සිටිනා හාමුදුරු නම සමග කතා කිරීමේදී අප විඳි අත්දැකීම්වලට වඩා දෑ දැනගත හැකි විය. සුවාන් සොයුරා එලෙස විස්තර දැන ගන්නා අතරතුර අවාරයේ වුව උඩමළුව ආශ්‍රිතව සිටින බල්ලන් හට බිස්කට් කිහිපයක් ලබාදීමට තරම් බන්දුජීව සොයුරා කාරුණික විය.  
සගයන් සියලු දෙනා තම කාර්යයන් අහවර වූ පසු අප හැටන් පාර ඔස්සේ පල්ලම් බැසීමට තීරණය කළෙමු. රත්නපුර පාරට වඩා හැටන් පාරේ මහගිරිදඹ පඩි සැකසුමේ දැඩි නැග්මක් තිබුණද පාලුවට ගිය මහගිරිදඹේ රිසි සේ නිදහසේ පල්ලම් බසින්නට වූයේ සිරිපා වාරයේ මේ අවට කෙතරම් තදබදයක් තිබේදැයි සිතමිණි. මහගිරිදඹ අවසන් වනවාත් සමගම දකුණට කුඩා අඩි මාර්ගයක් විය. එය සඳගල තැන්න - මරේ වත්ත මාර්ගයේ පිවිසුම වූ අතර වර්ෂාව හේතුවෙන් පඩි රහිත එම මගේ යාම මදකට පසෙකලා අද දවසේ වැඩි වෙහෙසක් නොදරාම හැටන් මගේ යාමට තීරණය කළේ බල්ලාබැඳිගලේ දියඇලි සමූහය සමීපයෙන් දැක ගැනීමට අවශ්‍ය වූ හෙයිනි.   


පෙරදින වැස්සට පඩිපේළිය තවමත් තෙතබරිතව තිබූ අතර අවාරයේ දළුලා වැඩුණු තුරුලතා පඩි පේළි දිගේ මාර්ගය මත වැටී තිබුණි. තවමත් පින්න අතු අග දිලෙන්නට වූ අතර චිරි චිරි ගාමින් වන පියස තුළ එහෙ මෙහේ ගලන දිය සීරා ගණනාවක හඬ අපගේ සවන් වැකුණි. ඈතින් උතුරු දිසාවේ කඳු ශිඛර, මාඋස්සාකැලේ ජලාශය සහ ගවරවිල තැන්න පවා දැක ගැනීමට ලැබුණු අතර මෑතින් වන​ෙගාමුවට ඉහළ ගල් වැටි මතින් මීදුම් සළු ඈත්වෙමින් හරිත වර්ණයේ විවිධ පැහැයන් අපට දක්නට ලැබුණි.   


ක්‍රම ක්‍රමයෙන් පඩි පේළි බැස අප සීත ගඟුලට ළඟා වූ අතර ප්‍රචණ්ඩව ගලන සීත ගඟුල සහ එහි වූ දිය ඇලි යුගළය පෙණ දමා පින්න පඩි පේළි මතටත් විසි කරමින් ගලන්නට විය. කුඩා පාලමට යටින් අපට යාමට නොහැකි වූයේ ජල පහරේ ප්‍රබලත්වය නිසාවෙනි. එහෙයින් අපි පාලම මතින් ගමන් කර අසල අම්බලමේ මද විවේකයක් ගත්තෙමු.   


පසුව නැවතත් ගමන පටන් ගත් අතර එක යායට දුරට විහිදෙන පඩි පේළියේ දෙපස කොන්ක්‍රීට් බැම්ම වසාගෙන පාසි බැඳී තිබෙනු දුටු ස්ථාන ආශ්‍රිතව වනරොද පෙනුනේ ස්වර්ගයට යන ද්වාරයක් ලෙසිනි. මෙවැනි සුන්දර දර්ශන අපට දැකීමට ලැබීම සමන් දෙව් අඩවියේ වාසනාවක් යැයි අපට සිතුණි. විටෙක වම් පසින් වනය තුළින් ගලා එන ජලකඳ පඩි පේළි දිගේ ලියැදි ක්‍රමයට ගලා යමින් අනෙක් පසට පැන වනයේම අතුරුදන්වූ අතර වනතුරු ලතා සහ කෘමීන්ගේ ඡායාරූප ගනිමින් අපි නිදහසේ ගමන් කරන්නට වීමු.   
හෝරා කිහිපයකට පසු අප යකා ඇඬූ ඇල්ල පිහිටි සාම චෛත්‍ය අසලට පැමිණි අතර ඊට ළඟා වීමට ප්‍රථම අපි අලංකාර දියඇලි සමූහයක් අසල කන්දෙන් ඇදහැලෙනු දුටුවෙමු. බල්ලාබැඳිගල මුදුනේ අැළයට පිහිටි විශාල සමතලා බිම වර්ෂා කාලයට එකම වැසි ජලය රූටාගෙන එන ඉසව්වකි. එම වැසි ජලය කන්ද මුදුනේ විවිධ බෑවුම් අතරින් පහළට වැටෙන්නේ ගල් තලා දිගේය. මීටර 50 කට වැඩි උසක දී වැටෙන මෙම ඇලි ගල් බිත්තිය වෙන්වන ස්ථානයකදී නැවතත් ඇලි බවට පත්වන්නේ දුර සිට මෙහි සුන්දරත්වය බලන්නෙකුට අලංකාර දියඇලි සයක් පමණ පෙන්වමිනි. මෙම ඇලි සක්‍රීය වන්නේ වැසි සමයට පමණක් වන නමුත් සාම චෛත්‍යය මුදුනේ පිහිටි යකා ඇඬූ අැල්ල නිරන්තරයෙන් පවතින ඇල්ලකි.   


ඇලි සියල්ලේ විවිධ ඡායාරූප ගත් පසු අප ගමන නැවතත් පිටත් වූ අතර එක එල්ලේ අප පල්ලම් බැස්සේ මකර තොරණ අසලටයි. ගම්වැසියන් දෙතුන් දෙනෙකු මේ අසලදී අපට හමුවූ අතර තවමත් දහවලට ළං නොවූ හෙයින් අප මේ ඉසව්වේ වනය තුළ පවතින රජමාලේ ඇල්ල බැලීමට ගියෙමු.   


ඉතා පිරිපුන්ව කඩා වැටෙන රජමාලේ ඇල්ලේ දියවර මාඋස්සාකැලේ ජලාශයට ගලාගෙන යයි. පසුව අපි නල්ලතන්නියට පැමිණ ජලාශය දෙසට ගමන් කළෙමු. මාඋස්සාකැලේ ජලාශය අතිශය සුන්දර විය. ඈතින් ගාලුමෝර් දියඇලි යුගලය කන්ද මතින් ඉතා පිරිපුන්ව ඍජුවම කඩා වැටුණේ ජලාශයටයි. ඊට අමතරව ඉහළ ගාලුමෝර් ඇලි ගවරවිල කන්දෙන් කඩා වැටෙනු අපි දුටුවෙමු. සිරිපාකන්ද අලංකාරව දැකගත හැකි සේම අහස් වියනේ වර්ණ රටා මැද හරිත දනව්ව නිල් දියවරට සුන්දරව තිබුණේ තෙල් සායමක් පරිද්දෙනි. අප මේ අවට තව තවත් ඇවිද යමින් සුන්දරත්වය නරඹන්නට වූයේ හැටන් වෙත යන බස් රථය පිටත්වීමට තවත් වේලා තිබුණු හෙයිනි.   


විසල් තුරු මුදුන් විසින් සැකසූ උඩු වියන සහ සීතලත් තුරුලුකරගෙන සමන්දෙව් අඩවියේ අත්දැකීම් හිත දරාගෙන අප සෙමින් ඇවිද ගියේ මෝහිණී ඇල්ල දෙසටයි. බස් මාර්ගයේම පිහිටි මෝහිණී ඇල්ල කුඩා ලක්ෂපාන ඇල්ල ලෙසද හඳුන්වනු ලැබේ. මීටර 30 ක් පණ උසැති ඇල්ල ඉතා පුළුල්ව කඳු වැටියේ ඉහළ සිට කඩා වැටුණි. එම දියවරද අනෙක් පස පිහිටි මාඋස්සාකැලේ ජලාශයට ගමන් කරයි. නල්ලතන්නිය සහ මස්කෙලිය අවට වර්ෂාකාලයේදී විශාල දියඇලි ප්‍රමාණයක් නැරඹිය හැකිය. 

 
විශේෂයෙන් සමනල, ගවරවිල කඳුවැටිවලින් ගලන දියවරින් උපදින දියඇලි සියල්ලේම ජලය ගමන් කරනුයේ මාඋස්සාකැලේ ජලාශයට වන බැවිනි. මහ වැස්සේ අවාරේ දෙදිනක් සමනල රක්ෂිතය තුළ සැරිසරා අප විඳි අත්දැකීම නැවත ආවර්ජනය කරමින් උණු පොල් රොටීවල රස බලා හැටන් බලා යන බස් රථයට ගොඩවූයේ සමන් දෙවි අඩවියෙන් ආශිර්වාද ලබා ගනිමිනි. 

 

මාවුස්සාකැළේ ජලාශයට පෙනෙන සමනොලගිර

 

 

 

 
සංචාරක සටහන හා ඡායාරූප  
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු