වසර විසිපහකට කලින් ඉතාලි ගිය දුෂ්කර ගමන


ඉතාලි ගිය කොල්ලො  වෙන්නප්පුවේ හැදූ පුංචි ඉතාලිය-2 

වෙන්නප්පුව නගරය

 

  • එදා වැටුප රුපියල් දොළොස්දාහක් විතර වුණා. 2010 දී ලක්ෂ හතරක මාසික වැටුපක් ගත්තා.   
  • රුසියාවට ගුවනින් ගිහින් එතැනින් රටවල් ගණනක් හරහා දුම්රියෙන්, බස්රියෙන් සහ කුඩා බෝට්ටුවක දුෂ්කර ගමනක යෙදුණා.   

 

 

අද පුංචි ඉතාලිය ලෙස සැළකෙන වෙන්නප්පුවේ අතීත කතාව ඉතා රසවත් එකකි. චූලවංශයේ සඳහන්වෙන පරිදි ක්‍රි.ව. 1153-1186 කාලය තුළ වෙන්නප්පුව ජනාවාස වූ බව පෙනේ. එකල රජකළ පැරකුම්බා රජු තම කුමර අවධියේදී තබ්බෝව සිට පස්දුන් කෝරළය දක්වා බටහිර වෙරළබඩ වගුරු බිම් ගොවි බිම් බවට සංවර්ධනය කර වැව් 2376 ක් තැනවූ බව කියැවේ. ඒ වැව් අතුරින් මහවැව, මාදම්පේ, වෙන්නප්පුව, කටුනේරිය, ලුණුවිල හා දුම්මලදෙණියේද වැව් පහක් ඉදිකළේය.   


මුල් කාලයේදී වෙන්නප්පුව නමින් ගමක් නොතිබූ අතර මීට වසර 800 කට පෙර වෙන්නප්පුව අවට ගම් කීපයක නම් ලංකා ඉතිහාසයට සම්බන්ධ වී ඇති ලේඛනවල හා ලිපිවල, සන්නස්පත්‍රවල සඳහන්ව ඇති බව පෙනේ. අලගියවන්න මොහොට්ටාල (සුභාෂිත කර්තෘ ක්‍රි.ව. 1593-1614) වකවානුවේ සම්පාදිත ‘තෝම්බුවේ වෙනපුරෙ’ යන ගම ගැන ඇති බදු ගෙවීම් පිළිබඳ සඳහනක් 1777 වසරේ ලියැවී ඇති ‘ලන්දේසි පාසල් තෝම්බුවේ’ සඳහන් ‘වෙන්තීපුරී’ යන සඳහනත් හැරුණ විට ලංකාවේ ඉංග්‍රීසි යුගය වෙනතුරුම කිසිදු ලේඛනයක ‘වෙන්නප්පුව’ යන නම සොයා ගැනීම අපහසුය. වන්නියාර්පුර, වෙනපුර, වර්ණපුර, වන්නම් පොන්නේ යන නම්වලින් වරින්වර හැඳින්වුවද ‘වෙන්නප්පුව’ යන නමින් පැහැදිලිව ලියාපදිංචි වී ඇත්තේ 1871 දී ඉංග්‍රීසින් විසින් සකස් කළ ජන සංගණන ලේඛනයේය.   


වෙන්නප්පුව අදවෙන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකකින් සමන්විත විශාල ප්‍රදේශයක් හා ලක්ෂ ගණනක් ජනතාව වාසය කරන ප්‍රදේශයක් වුවද ඉංග්‍රීසීන් විසින් 1814 අප්‍රේල් 15 දින කරන ලද ප්‍රථම ජන සංගණනයේදී වෙන්නප්පුවේ ජනගහනය වූයේ 248කි. ඒ වැඩිහිටි පිරිමි 52කි. ගැහැනු 57 කි. පිරිමි ළමයින් 85ක් හා ගැහැනු ළමයින් 54ක් වශයෙනි. 1824 ජන සංගණනයට අනුව ජනගහනය 256කි. 1871 ජන සංගණනයට අනුව 1738ක්ද, 1881 සංගණනයට අනුව 2786ක් වශයෙන්ද වෙන්නප්පුවේ ජනගහනය වර්ධනය විය.   
කෙසේ වෙතත් වෙන්නප්පුවට සංවර්ධනයේ අරුණලු උදාවෙන්නේ ඉතාලියේ රැකියා අවස්ථා ලැබීමෙන් පසුවය. එලෙස ඉතාලියේ රැකියාවලට ගිය මුල්ම කණ්ඩායමේ අයෙකු අපට හමුවිය. ඔහු ජනක හෙට්ටිආරච්චිය. වසර 25ක් ඉතාලියේ සේවය කර දැන් මෙරටට පැමිණ වෙන්නප්පුවේ විදේශ මුදල් මාරු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.   
‘මම ඉතාලියට ගියේ 1985 දී. ඊට පෙර 1983 දී මගේ අයියා එහේ ගිහින් රැකියාව කරමින් හිටියා. මට ඉතාලියට යන්න වියදම් වුණේ රුපියල් 25,000ක් විතරයි. ‘දෙහිවල රංජි’ නමැති අයෙකු ඒ දිනවල කට්ටිය ඉතාලි රැගෙන ගියා. රුසියාවේ මොස්කව්වලටත් හංගේරියාවටත්, ගුවන් මගින් ගිහින්, යුගෝස්ලෝවියාවට දේශසීමා හරහා බස්වල ගිහින් ඉතාලියට ගියා. යුගෝස්ලෝවියාවේ ඉඳලා බෝට්ටුවක වැනීසියට ගියා. ‘කොපර්’ නමැති ජැටියට අපි 30ක් රැගෙන ගියා. එහිදී කිව්වා ගිනිකූරක් ගහලා ඉටිපන්දමක් පත්තු කරන්න කියලා. ඒ එළිය දැක්කාම බෝට්ටුවක් ආවා. අපි තිස්දෙනාම ඒකට නැග්ගා. පැය 2-3ක් පමණ ගමනකින් පසුව ‘වැනීෂියට’ ගියා. ඊට පසුව 1991 මගේ එක් මල්ලි කෙනකුත් 1995 අනිත් මල්ලිත් ඉතාලියට ආවා. අපේ පවුලේ පිරිමි හතර දෙනයි. ඒ සියලුම දෙනා ඉතාලි ගියා.’   


ජනක හෙට්ටිආරච්චි මහතා පවසන පරිදි ඔහුගේ පළමු වැටුප වූයේ මිල්ල 400කි. (ලංකා මුදලින් රුපියල් 12000/=කි) ඔහු අවසන් වරට ලබාගත් වැටුප 2010 වසරේදී යුරෝ දෙදහසකි. (ලංකා මුදලින් රුපියල් ලක්ෂ හතර ඉක්මවයි).   

 

වෙන්නප්පුව ප්‍රදේශයෙන් ගලායන මා ඔය

 


ඔහු පවසන පරිදි 1985 දී තමා ඉතාලි යද්දි වෙන්නප්පුව නගරයේ ඉඩම් පර්චස් එකක මිල රුපියල් අසූදහසකි. අද එය රුපියල් ලක්ෂ 30 කි. එදා විදුලිය හෝ නොමැතිව තිබූ නගරය අදවෙන විට දියුණු නගරයක් බව ඔහු කියයි.   


වසර 25ක් ඉතාලියේ රැකියාව කළ අඹුසැමි යුවලක් අපට හමුවිය. සමන් අරුණ හා දිස්නා ප්‍රනාන්දු යුවලයි. මේ සමන් අරුණ මහතා කී කතාවයි.   


“මම 1990 දී කටුනේරියේ අජිත්ට රුපියල් 160,000ක් දීලා ගියේ. පළමුව රුසියාවේ ‘ඩුප්ලොනික්’ නගරයට ගියා. අපි 13 දෙනෙක් (පිරිමි 10 ගැහැනු 03) බස් එකකින් යුගෝස්ලෝවියාවට සංචාරයක් වගේ ගියා. ගිහින් හෝටලයක නතර වුණා සති දෙකක් විතර. පසුව ‘සුබ්ලානා’ කියන ගමකට ගියා. ඒ ගමන කිලෝ මීටර් 400ක් පමණ දුරයි. දුම්රියෙන් ගිය ඒ ගමනට පැය 5ක් විතර ගතවුණා. අපිව භාරව හිටියේ ‘ජෝශප්’ කියලා කළු ජාතිකයෙක්. ඔහු මාෆියා කල්ලි නායකයෙක්. පසුව ටැක්සියකින් අපිව රැගෙන ගියා ජෝෂප් ගේ ගෙදරට. අපි එහි යනවිටත් තවත් 20ක් පමණ දෙනා එහි හිටියා. ලංකාවේ දෙමළ අයත් හිටියා. අපිට උයාගෙන කන්න හාල් එහෙම දුන්නා.   


‘දින හතරකට පස්සෙ මුහුදු වෙරළක් ළඟට රැගෙන ගිහින් පැය එකහමාරක් බෝට්ටුවක රැගෙන ගියා. අපිව බෝට්ටුවේ ඉන්ඳවලා උඩින් රෙද්දක් දැම්මා. පස්සෙදි කැලයක් ළඟින් බස්සවලා කැලේ මාදින් අරගෙන ගියා. ටැක්සි තුනක් ඇවිත් අපිව වෙරෝනා දුම්රිය ස්ථානයට රැගෙන ආවා. සිසිලියට යන්න දුම්රියට නැග්ගත් මිලානෝවලින් බැස්සා. තවත් දෙන්නෙක් නාපොලිවලට භාර දෙන්න කියා මට භාරදුන් නිසා ඒ දෙන්නා නාපොලිවලින් බස්සවා මම ‘සිසිලි’ වලට ගියා.’   


සමන් අරුණ මහතා වසර 25ක් ‘සිසිලි’ දූපතේ කටානියා නගරයේ සේවය කළේය. පසුව ඔහුගේ බිරිඳ දිස්නා ප්‍රනාන්දු මහත්මියද එහි ගෙන්වා ගත්තේය. එම දෙදෙනාට අනුව ඉතාලියේ නගරවලින් ශ්‍රී ලංකාවට සමාන දේශගුණයක් පවතින්නේ ‘සිසිලි’ දූපතේය. ලංකාවේ සිට ගිය වැඩිම පිරිසක් සිටින්නේද එහිය. අගෝස්තු මසදී සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට ආසන්නව උෂ්ණත්වය වැඩිවන අතර එහි රැකියාවල නිරතවූවන්ට අගෝස්තු මාසයේදී දින 21ක පඩි සහිත නිවාඩුවක් ලබාදෙයි. ඒ කාලය තුළ තම යහළුවන් සමග විනෝදවීමට අවස්ථාව උදාකර දෙයි.   


දිස්නා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ රැකියාවල විවිධ රටවල පිරිස් නිරත වුවද ඉතාලි ජාතිකයින් ඉතා කැමැති ශ්‍රී ලාංකිකයින්ට හා පිලිපීන් ජාතිකයින්ට බවය. ඒ ඔවුන් සතුව ඇති පිළිවෙළට වැඩ කිරීමේ හැකියාව හා විශ්වාසවන්තකමයි. ශ්‍රී ලාංකිකයින්ට අමතරව මොරොක්කෝව, මුරුසි, පිලිපීන, රුමේනියා, ඇල්බේනියා, සෙනගල්, ඊන්දියානු, බංගලිදේශ, පකිස්ථාන්, ජාතිකයින්ද ඉතාලියේ ගෘහ සේවය ඇතුළු රැකියාවල නිරත වෙති.   


ඉතාලියේ සේවය කරන සියලුම විදේශිකයන් සේවයේ යොදවා ගැනීම වෙනුවෙන් ඉතාලි හාම්පුතුන් විසින් එරට රජයට බද්දක් ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු වෙනුවෙන් එය මසකට යුරෝ 5-6ක් පමණ වේ. එම මුදල් අරමුදල යොදාගෙන අවුරුදු 67ට වැඩි ජනතාවට ඉතාලි රජය පිං පඩියක් ගෙවයි. එය ඉතාලි භාෂාවෙන් ‘හේෂාලේ’ ය. එම පිං පඩියේ වටිනාකම යුරෝ 480කි. (ලංකා මුදලින් රුපියල් 96480/= පමණ) ඉතාලි ජාතිකයින්ට මෙන්ම විදේශිකයන්ටද එම පිං පඩිය ලැබෙන්නේ විශ්‍රාම වැටුපට අමතරවය.   
ඉතාලියේ ලබන වැටුපට සමාන්තර අගය අනුව ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවෙන් ගිය පිරිසටද හිමිය. ඒ පුද්ගලික මූල්‍ය ආයතනවලින්. එහෙත් ඉතා ඉහළ ණය මුදල් ලබාගෙන ඒවා ගෙවීම පැහැර හැර ලංකාවට පැන ආ පුද්ගලයෝද සිටිති. එය රටට මහත් කැළලකි.   

 

 

 

සමන් අරුණ මහතාගේ වැඩිමහල් සොහොයුරාවන ලෙස්ලි වර්ණකුලසූරිය මහතාද 1987 දී ඉතාලියට ගිය අයෙකි. ඔහුගේ පුතුන් තිදෙනාම ඉතාලියේ උසස් රැකියාවල නිරතව සිටින අතර වැඩිමහල් පුත්‍රය වන උදාර වර්ණකුලසූරිය තරුණයා ඉතාලියේ ගුවන්තොටුපොළ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කරයි. ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ගිය දේවිකා දිල්හානි මහත්මියද වෙරෝනාහි දුම්රිය රියැදුරකු ලෙස සේවය කරමින් සිටින්නීය.   


සමන් අරුණ හා දිස්නා ප්‍රනාන්දු යුවල නැවතී සිටි සිසිලි දූපතේ කටානියා නගරයේ අචිරියාල නම් ගම ආසන්නයේ ගිනි කන්දක් පිහිටා තිබේ. නිතර සක්‍රිය වෙන ගිනි කන්දෙන් ගලන ‘ලාවා’ වලින් කපාගත් ගල්වලින් ප්‍රදේශයේ නිවාස සෑදීම සිදුකරන බවත් ඔවුහු කියති. නිතර භූ කම්පන සිදුවෙන එම ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පා පිළිබඳවත් ඔවුන් ඊට මුහුණ දුන් ආකාරයක් පිළිබඳව විස්තර අප හා කීහ.   


අවසන් වරට අපට හමුවූයේ ඉතාලි ගමන අමුතුම ආකාරයකට ගිය කාන්තාවකි. නම් ගම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ ඇය ධීවර අමාත්‍යාංශයට අයත් ‘නාරා’ ආයතනයේ සේවය කළ අයෙකි. ඒ වෙනවිට ඇගේ සැමියාද ඉතාලි රැකියාවේ යෙදී සිටියේය. 1992 සැප්තැම්බර් 17 දින මොස්කව් දක්වා ගුවනින් ගිය ඇයගේ වීසා අවසරපතද දින තුනකින් අවසන් විය. සැප්තැම්බර් 21 දින රුසියාවේ ‘කිචිනර්’ නගරය දක්වා දුම්රියෙන් පැමිණි ඇය ඇතුළු පිරිසට 22 ක පිරිසක් ඇතුළත් වූහ.   


ඔක්තෝබර් 03 දින වසා දැමුණු කන්ටේනර් පෙට්ටියක රුමේනියාවේ ‘බ්‍ුඩාදේ සිටි’ දක්වා පැමිණි ගමන අති බිහිසුණු අත්දැකීමකි. හුස්ම ගැනීම පවා තරමක් අසීරු වූ එම පෙට්ටිය අඩි 6x8 ප්‍රමාණයේ එකකි. පුරා පැය 26ක් ඒ තුළ ගමන් කිරීමට ලැබීමම ජීවිත ආශාව ඉවත්කර ගැනීමට සිදුවූ සිදුවීමක් බව ඇය කියයි.   


කන්ටේනර් පෙට්ටිය තුළ 30ක් සිටි අතර පසුව ඉන් එළියට ගෙන ට්‍රක් රථයකට නග්ගවා පිදුරු වැනි දෙයකින් සියලුම දෙනා වසා දැමීය. එහි පැය 6ක් ගමන් කළේය. පසුව රුමේනියාව ඝන කැලයක් තුළින් හා ඇළ මාර්ගයක් තරණය කිරීමේදී ඇය සමග ගිය කටුනේරිය ප්‍රදේශයේ කාන්තාවක් මිය ගියාය. ඒ ඇළ මාර්ගයේ එරීමෙනි.   
රුමේනියා - බල්ගේරියා දේශ සීමාවද, බල්ගේරියා - ඔස්ට්‍රියානු දේශ සීමාවද පසුව ඔට්‍රියානු - ඉතාලි දේශ සීමාද පසුකර ‘වෙරෝනා’ දක්වා පැමිණි දුෂ්කර ගමන සිහිකර ඇය අදටත් කඳුළු සලයි. අත්පා චලනය කරගනු බැරිව පැය 20 කට අධික කාලයක් ගිය ඒ ගමනේදී ඇය සමග ගිය තවත් තිදෙනෙක් මිය ගියහ.   


ඇය තවමත් ඒ පිළිබඳව කම්පාවෙයි.   


මෙවැනි අත්දැකීම් ලත් පිරිස් ‘පුංචි ඉතාලියේ’ සුලභය. ඒ හැම කතාවක්ම ලියන්නට අවස්ථාව නැත. නමුත් එකක් පැහැදිලිය. පුංචි ඉතාලිය ගොඩනැගී ඇත්තේ වෙන්නපුවේ ජනතාවගේ ලෙයින් කඳුළින් හා දහදියෙන් බවය. තම ජීවිත අවදානමද නොතකා මුලින්ම ‘මිල්ල’ සොයා ගියේත්, පසුව ‘යුරෝ’ සොයා ගියේත් අපේම මිනිසුන්ය. ගැහැනුන්ය. ඔවුන් අතර ජීවිත පූජා කළ පිරිස්ද සිටිති. මේ දිරිමත් මිනිසුන්ට අපගේ ප්‍රණාමය පුදකළ යුතුය. ඒ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම පිළිබඳවය.   


(ලබන සතියේ තව කොටසක්)   


සටහන - ඡායාරූප
දොම්පෙ අජිත් මදුරප්පෙරුම