වසර ලක්ෂ එකහමාරකට පෙර ජීවත්වූ මිනිසාගේ ඇටකටු


 

 

ඉතාලියේ ඇල්ටමීරා නගරය ආසන්නයේ මුර්ජියා ප්‍රදේශයේ ලැමලු‍න්ගා ගුහාව පරීක්ෂා කිරීමේ දී 1993 වර්ෂයේ දී සොයාගත් හිස්කබල හා අස්ථි සමූහය වර්තමානය වනවිට ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇත. නූතන මිනිසා පරිණාමය වීමට පෙර මිහිමත සිටි හෝමෝ නියැන්ඩතාල් නමැති මානවයාට අයිති මෙම අස්ථි සමූහය මනාව ආරක්ෂා වී ඇත. 


නමුත් සාමාන්‍යයෙන් මෙවැනි නිදර්ශක ඉවත්කර විද්‍යාගාර පරීක්ෂණ සිදුකර පසුව කෞතුකාගාරවල තැන්පත් කිරීම සිදුවුව ද මෙම අස්ථි කිසිසේත්ම එම ස්ථානයෙන් ඉවත්කිරීමට හැකියාවක් නැත. පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ එය පර්වතය තුළට කා වැදී ඇති බවයි. වසර ලක්ෂ ගණනක් පුරා ගුහාවේ ඉහළින් ඇදවැටුණු කැල්සියම් අයන අස්ථි සැකිල්ල වටා බිඳිති වශයෙන් එකතුවී එය ගුහා බිත්තිවලට ඉතා ශක්තිමත් ලෙස සවිකර තිබේ. ඇටසැකිල්ල මත මේ කැල්සියම් අපූරු රටාවක් ද සකසා තිබේ. දැන් මෙය පූර්ණ ෆොසිලයක් බවට පත්ව ඇත. 

 

 


මෙම අස්ථි කොටස් එම ස්ථානයෙන් ඉවත් කළ නොහැකි බැවින් පරීක්ෂණ කටයුතු වසර 20ක් පුරා ස්ථානීය නිරීක්ෂණ මත පමණක් සිදුකෙරිණි. ඒ හේතුවෙන් මේ මියගොස් සිටින හෝමෝ නියැන්ඩතාල් කවර වයසකට අයත්වූයේ ද යන්න නිගමනය කළ නොහැකි විය. 


එසේ වුව ද ෆොසිලය නියැන්ඩර්තාල් මානවයකුගේ බව ස්ථිර වූ අතර අස්ථි වසර 128,000 ත් 187,000 අතර කාලයකට අයත් බව තීරණය කෙරිණි. කෙසේ වෙතත් මෙය යුරෝපයෙන් මෙතෙක් හමුවූ වඩාත්ම සම්පූර්ණ ඇටසැකිලිවලින් එකකි. එහි නාසයේ ඇතුළත අස්ථි කොටස් පවා මෙතෙක් ආරක්ෂාවී තිබීම පුදුම සහගතය.  


සජීව විජේවීර