වසර මිලියන තුනකට කලින් මිනිසුන්ගේ හැටි කියන ර්‍ණලුසී”


හරියටම මීට වසර හතළිස් තුනකට පෙර එනම් 1974 නොවැම්බර් 24දා උදෑසන “ඩොනල්ඞ් ජොහැන්සන්” සුපුරුදු පරිදි අවදි වුයේ ඉතියෝපියාවේ හේඩාර් කැණීම් බිමේ ගෙවෙන තවත් එක් වෙහෙසකර දිනකට මුහුණ දීමට සුදානම්වය. එහෙත් ඊට පෙර නොදැනුණු ආකාරයේ කිසියම් තෘප්තිමත් හැඟිමකින් ඔහුගේ සිත පිරී තිබිණි. නිශ්චිතවම කුමක් නිසාදැයි කීමට නොහැකි වුවත්, එදින තම දිවියේ වාසනාවන්තම දිනය වනු ඇති බව ඔහුට දැනෙමින් තිබිණි.   


ෆොසිල විද්‍යාඥයෙකු මෙන්ම ක්ලීව්ලන්ඞ් හි “කේස් වෙස්ටර්න් රිසර්ච්” විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකුද වු ජොහැන්සන් තම ජාත්‍යන්තර තලයේ ක්ෂේත‍්‍ර කණ්ඩායම සමග හේඩාර් නුවර කැණීම් අරඹා සති කිහිපයක් ගතව තිබුණු අතර, ආදී මානව මුතුන්මිත්තන් අයත්වු ද්විපාදික ප‍්‍රයිමේටා කුලයේ නොහොත් හොමිනිඞ් වංශිකයින්ගේ ආදිතමයින්ට අයත් පාද අස්ථි හා හකුපාඩාවල ෆොසිල කිහිපයක් මතුකර ගැනීමට ඒ වන විට ඔහුට හැකිව තිබිණි.  


 නමුත් තම “නියම සොයාගැනීම” ඊට වඩා බෙහෙවින් සුවිශේෂීවුද ලෝකයේම කතාබහට ලක්වන්නාවුද දැවැන්ත සොයාගැනීමක් බවත්, එය තවමත් කල් මරමින් සිටින බවත් ජොහැන්සන්ගේ සවනේන්ද්‍රියට දැනෙමින් තිබුණේ කලක සිටමය. මේ නිසා කැණීම් කටයුතු හා ඒවා සිතියම්ගත කරමින් ගෙවුණු දුෂ්කර දිනයක අවසානයේදී ඔහුගේ කණ්ඩායමේ සිටි ඇ​ෙමරිකානු ජාතික සිසුවෙකු වු “ටොම් ග්‍රේ‍” තම වාසනාව උරගා බැලීමට, ඊට ඔබ්බෙන් වු ෆොසිලවලින් ගහන වෙනත් කැණීම්බිමකට යන බව පැවසු කල එම අවස්ථාව මඟහැර සිටිමට ජොහැන්සන්ට සිත දුන්නේම නැත. ගිනිගහන අව් රශ්මියද නොතකා ග්‍රේ සමඟ ලෑන්ඞ්රෝවරයට ගොඩවු ජොහැන්සන් ඊට සැතපුම් හතරක් ඔබ්බේන් වු අගල්වලින් පිරිගත් වියළි ගිය ආදිකල්පික වැව් ඉවුරු ප‍්‍රදේශයට යෑමට තමා තුළින්ම ප‍්‍රබල පෙළඹවිමක් ඇතිවු බව ජොහැන්සන් පසුව කියා තිබිණි. අදහාගත නොහැකි විස්මිත යමක් සිදුවන්නට යන බව ඉවෙන් මෙන් ඔහුට දැනෙන්නට විය.  


මුලදී ඔවුන්ගේ කැණීම්වලින් සැලකිය යුතු යමක් පාදා ගැනීමට හැකිවුයේ නැත. පැය කිහිපයක් අව්වේ දැවෙමින් වියළි කර්කශ මහා පොළොව සමග ඔට්ටුවු ජොහැන්සන් හා ගේ‍්‍ර තවත් එක් දුෂ්කර දිනයකයට සමුදී කඳවුරට යාමට තීරණය කළේ ඇඳිරි වැටෙමින් තිබුණු නිසයි. ෆෝවීල් ලෑන්ඞ්රෝවරයෙන් අතුරු මාර්ගයක් ඔස්සේ කඳවුරට යාමට ජොහැන්සන් යෝජනා කළේ යන ගමනේදී නිකමට මෙන් ඒ අවටද පරික්ෂාවක නිරත වීමේ අදහස පෙරදැරිවයි. වැඩිදුරක් යාමට මත්තෙන් වියළිගිය පසෙන් උඩට මතුව නෙරා තිබු හොමිනිඞ් වංශිකයෙකුට අයත් යැයි සිතිය හැකි වැලමිට අස්ථියක් දුටු කැණීම් සගයින් දෙදෙනා යන ගමන නවතා වහ වහා ඒ අවට පස පෙරළමින් පරික්ෂා කරන්නට වුයේ මහත් උද්යෝගයකිනුයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස එකම සැකිල්ලකට අයත් බවට සිතිය හැකි කලවා අස්ථියක්, කශේරුකා හා පර්ශු කිහිපයක් ඒ අසලම තිබි සොයා ගැනීමට ඔවුන්ට හැකිවුයේ වැඩි අසීරුතාවක් නැතුවමය. ජොහැන්සන් බලාපොරොත්තු වුවාක් මෙන්ම එය ඔවුන් සියලුදෙනාගේම දෛවය වෙනස් කළ දැවැන්තම සොයා ගැනීමක් විය. ඉනික්බිතිව තවත් දෙසතියක් පුරා සිදුකළ කැණීම්වලින් පසු සම්පුර්ණ හොමිනිඞ් සැකිල්ලකින් 40%කට අයත් ෆොසිල අස්ථි කොටස් මතුකර ගැනිනි. එය එතෙක් හමුවු වඩාත්ම අංගසම්පුර්ණ හොමිනිඞ් අස්ථි සැකිල්ල ලෙස විසිවැනි සියවසේ සුවිශේෂිම ප‍්‍රාග් ඓතිහාසික සොයාගැනීම් ලැයිස්තුවට එක් විය.  


ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් (Austraopithecus afarensis) නැමැති ප‍්‍රාග් ඓතිහාසික මානව විශේෂයකට අයත්, වසර මිලියන 3.2ක් ඉපැරණි මෙම අස්ථි සැකිල්ල ලොව පුරා ජනප‍්‍රිය වුයේ “ලුසි” ලෙසයි. ලුසිට ඒ නම ලැබුණු ආකාරයද ඇගේ සොයාගැනීම හා බැඳුනු රසවත් කතාවකි. ජොහැන්සන් හා ගේ‍්‍ර මෙම දැවැන්ත සොයා ගැනීම සිදුකළ දින රාත‍්‍රිය ඔවුන්ගේ මුලු කණ්ඩායමටම ජය මංගල දිනයක් විය. හේඩාර් නුවර කැණිම් බිමේ කඳවුරුලාගෙන සිටි පිරිස බියර් බිඳක් තොල ගාමින් රාත‍්‍රි ආහාරය සප්පායම් වුයේ මෙම ජයග‍්‍රහණයේ ප‍්‍රීතිය එකිනෙකා සමඟ බෙදාගනිමිනුයි. සාදයේ රස වැඩි කරන්නට පසුබිමින් වාදනය වෙමින් තිබුණු ස්ටීරියෝ ගීත නාදයෙන්ද ලැබුණේ ආශ්වාදජනක දිරිගැන්වීමකි. අහඹුවකින් මෙන් ඉන් බොහෝවාරයක්ම වාදනය වු, එකල සුප‍්‍රකට ගායන කණ්ඩායමක් වු බීට්ල්ස් සංගීත කණ්ඩායමේ “Lucy in the sky with diamonds” නැමැති ජනප‍්‍රිය ගීයට පිරිස තාලය අල්ලන්නට වූහ. ඒ වන විට තමන් සොයාගත් සැකිල්ලේ ප‍්‍රමාණය අනුව එය ස්ත‍්‍රි ලිංගිකයෙකුට අයත් විය යුතු බව ජොහැන්සන් අනුමාන කර ඇති බව පිරිසේ කාටත් රහසක් වුයේ නැත. “ඇයි අපි එයාට ලූසි කියන්නේ නැත්තේ?” පිරිසේ සිටි අයෙක් මෙම අලුත් අස්ථි සැකිල්ල ලූසි යනුවෙන් හඳුන්වන්නට කළ යෝජනාව එලෙස ස්ථිර වු අතර, එතැන් පටන් ඇය මුළු ලෝකයටම “ලූසි” වුවාය.   


අස්ථි සැකිල්ල සම්පූර්ණ කළ විට නිර්මාණය වුයේ මීට වසර මිලියන 3.2ට පෙර මේ මහ පොළව මත දෙපයින් ඇවිදගිය ලූසිගේ පෙනුම දක්වන මනස්කාන්ත චිත‍්‍රයකි. ඇය ප‍්‍රමාණයෙන් පුදුමාකාර ලෙස කුඩා වුවාය. උසින් අඩි 3 - 3 1/2 ත් අතර වු ඇගේ බර රාත්තල් 60 - 65ක් අතර විය. ඇගේ ශ්‍රෝණි විවරය විශාලව පිහිටිමෙන් ඇය ගැහැණු සත්වයෙකු බවට ජොහැන්සන් දැරූ මතය තවදුරටත් තහවුරු විය. ලොමින් වැසුණු ශරීරයකින්ද, දිගු ගාත‍්‍රාවලින් හා ඉදිරියට නෙරා ආ උදරයකින්ද යුතුවු ලූසි පෙනුමින් නූතන මානවයෙකුට වඩා සමානකම් දැක්වුයේ වානරයෙකුට වුවත් මිටිකරගත් පූර්ව ගාත‍්‍රාවලට බරදී සිව් ගාත‍්‍රාවලින් ඇවිද ගිය වානරයින්ට වඩා ඇගේ කැපී පෙනෙන විශේෂත්වය වුයේ ද්විපාද සංචරණයයි. එනම් සිරුර සමබර කරගනිමින් දෙපයින් ඇවිදීමට ලූසිට තිබු හැකියාවයි. ඇගේ සමස්ත සැකිල්ලම නිර්මාණය වී තිබුණේ එලෙස දෙපයින් ඇවිද යාම පහසු කරවිමටයි. දිගුකාලිනව දෙපයින් සෘජුව සිට ගැනීම සඳහා ඇවැසි වන කොඳු ඇට පෙළේ වක‍්‍රතාවන් පවා ලූසිට පිහිටා තිබු බවට ඇගේ කශේරුව සාක්ෂි දැරීය.

එපමණක්ද නොව ගස් නගින වානරයන්ට අවශ්‍යයෙන්ම තිබිය යුතු දෙපයේ මහපටැඟිල්ලේ හසුරු කුසලතාවන් පවා අඩාළ කරමින් ද්විපාද සංචරණය සඳහා ඇගේ මහපටැඟිලි හා වළලු කර සැකසී තිබුණේ ගස් නැඟීමට වඩා දෙපයින් ඇවිදීම ලුසිට වඩා වැදගත් වු බව සාක්ෂි ඇතුව ඔප්පු කරමිනුයි. එවැන්නක් මීට පෙර ප‍්‍රාග් ඓතිහාසික ෆොසිල විද්‍යාඥයින් දැක තිබුණේ නැත.  


ලුසිව සොයා ගැනීමට පෙර මානව විද්‍යාඥයින් අතරවු පිළිගැනීම වුයේ හොමිනිඞ් වංශිකයින් දෙපයින් ඇවිදීමට පටන් ගත්තේ ඔවුන්ගේ මොළය විශාලත්වයෙන් වැඩිවි, බුද්ධිය වර්ධනය විමත් සමඟ බවයි. නමුත් ලුසිගේ කපාලයේ ප‍්‍රමාණයෙන් පෙනී ගියේ ඇගේ මොළය දොඩමකට වඩා විශාල නුවු බවයි. 1981දී ලුසී ගැන ලියා පළකළ පොතකින් ජොහැන්සන් මෙසේ කියා තිබිණි. “දෙපයින් ඇවිද්ද ලුසි වානරයෙකු සතු කුඩා ප‍්‍රමාණයේ මොළයකින් යුතු වුවත්, ශ්‍රෝණියේ හා ගාත‍්‍රාවල ක‍්‍රියාකාරීත්වයෙන් නූතන මානවයාට හරි හරියට සමානකම් දැක්වුවාය.” එලෙස බුද්ධියෙන් වර්ධනය වීමට පෙරම ආදි වානරයින් දෙපයින් ඇවිදීමට පටන් ගත් බව ලූසි ලෝකයට ඔප්පු කළාය.  


දෙපයින් ඇවිද ගියද ලූසි ගස් නැඟීම මුළුමනින්ම අත්හැරියේද නැත. නමුත් පතන (සැවානා) තණබිම් ක‍්‍රමයෙන් ප‍්‍රමාණයෙන් විශාල වී ගස් අතර පිහිටි පරතරය වැඩිවීමත් සමඟ ආහාර සොයා ඇයට පහළට ඒමට සිදුවු අතර දෙපයින් ඇවිද යාමට ඇයව පෙළඹවු ප‍්‍රධානම සාධකයද එය වුවාට සැක නැත. ඒ වන විට ඔස්ට‍්‍රලෝපිතිකස් විශේෂයේ ආහාර රටාවද ක‍්‍රමයෙන් වෙනස්ව තිබුණු බව ලුසිගේ දත් අතර රැඳී සංරක්ෂිතව තිබු ආහාර කොටස් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යනයන්ගෙන් පෙනී යන්නකි. ගස්වලින් නළා ගත් ඵලවැල කමින් සිටි ලුසි ක‍්‍රමයෙන් තෘණ වර්ගත් මාංශ වර්ගත් රස බලන්නට පටන් ගත් අතර බිත්තර වර්ගද ඇගේ ආහාර වේලට එක් විය. කොටින්ම ඇය මිය යන විටත් අසලවු ජලාශයකින් කිඹුල් හා කැස්බෑ බිත්තර එකතු කරමින් සිටි බව ඇගේ අස්ථි කොටස් අසල තිබි සොයාගත් බිත්තර ෆොසිලවලින් සනාථ වෙයි.  


ලුසිව සොයා ගනු ලැබු හේඩාර් ප‍්‍රදේශයෙන් මතුකරගත් ප‍්‍රයිමේට් වංශිකයින්ගේ සෙසු ෆොසිල සමඟ සංසන්දනය කිරීමේදි ලුසී කණ්ඩායමක් සමඟ එක්ව සමාජශීලි ජීවිතයක් ගෙවු බව අනාවරණය විය. චිම්පන්සින් මෙන් ඔස්ට‍්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් විශේෂයේ සාමාජිකයින්ද කල්ලි ගැසී ජීවත්වු අතර බොහෝවිට පිරිමි සත්වයෙකුගේ නායකත්වයෙන් යුතු එක් කණ්ඩායමක ගැහැණු සතුන් කිහිපදෙනෙකුම සිට ඇත. ඉතා ලාබාල වයසක සිටම තම ආරක්ෂාව තමන්ම සපයා ගනිමින් ස්වාධීන ජීවිතයක් ගත කිරිමට සිදුවු ලුසිගේ ළමා කාලය නුතන මානවයන්ට වඩා බෙහෙවින් කෙටි වුවකි. ඇය මිය යනවිට මෙලොවට බිහිවි ගතව තිබුණේ වසර දොළහක් වැනි කෙටි කාලයක් වුවත්, ඒ වන විටත් ඇය වැඩිහිටි විය කරා එළැඹ තිබීමෙන් මේ බව කියන්නට පුළුවන. ඇගේ සියලුම අස්ථිවල කෙළවරවල් මෙන්ම කපාලයේ වර්ධනයට ඉඩදෙන සුලු හිදැස්ද සම්පුර්ණයෙන් හාවී තිබුණු අතර, ඥාණ දත් සියල්ලම පාහේ ආහාර ඇඹරීමෙන් ගෙවී ගිය ලක්ෂණ දැරීය. ඇය මිය යනවිට සාපේක්ෂව ලාබාල වුවත්, සම්පුර්ණයෙන් වැඞී පරිණතව සිටි බව ඔප්පු කිරීමට මේවා හොඳම සාක්ෂිය.  


ලුසීව ලෝකය හඳුනා ගත් අවධියේදී නූතන මානවයාගේ ආදිතම මුතුන්මිත්තා ලෙස සැලකුණේ ඇයයි. මේ නිසා ඇගේ සොයාගැනීම මිනිස් පරිණාම වංශකතාවේ හිස්තැන් බොහෝමයක් සම්පූර්ණ කිරීමට සමත් වු අතර ඇගේ සොයා ගැනීමෙන් වසර හතළිස්තුනකට පසු අදටද ඇගෙන් ලෝකය ඉගෙන ගනිමින් සිටින දේවල් අවසන්ව නැත. අද වන විට ඇගේ අස්ථි සැකිල්ල ඇසුරින් තැනුනු ආකෘති හා ත‍්‍රිමාණ මුර්ති ලොව නන්දෙස ෆොසිල විද්‍යා කෞතුකාගාරවල දැකගත හැකි නමුත් සැබෑ ලුසි ආරක්ෂිතව සිටින්නේ ඇගේ නිජබිම වු ඉතියෝපියාවේ අඞීස් අබාබා නුවර ජාතික කෞතුකාගාරයේ ඇය වෙනුවෙන්ම තැනු විශේෂිත සේප්පුවක් තුළයි. 2000 වර්ෂයේදි ඇය සිය ආරක්ෂිත මුර කඩොලුවලින් පිටතට විත් නිරතවු ලෝක සංචාරයේදි ඇයව නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිස දුටු කල වසර මිලියන 3.2කට පසුවත් තමා මෙතරම් ජනප‍්‍රිය ඇයිද කියා ලුසිටත් පුදුම සිතෙන්නට ඇත. ඊට වසර නවයකට පසුව පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇයව සොයාගත් ඇගේ නොනිල හිමිකරුවා වන ඩොනල්ඞ් ජොහැන්සන් ඇගේ කුතුහලය සංසිඳවන ලද්දේ මෙවන් පිළිතුරක් ලබා දෙමිනුයි.   


“මනුෂ්‍යයෙකු යැයි හැඳින්වීමට නම් සිදුවිය යුතු යැයි පොදුවේ පිළිගන්නා අන් සියලුම වෙනස්කම්වලට පෙරාතුව දෙපයින් ඇවිදීම හෙවත් ද්විපාදිකතාව නැමැති හැකියාව ලැබිය යුතු බව ලුසී අපට ඔප්පු කළාය. අපේ ආදිතම මුතුන්මිත්තන්ගේ හැඩරුව ගැන අපට ඡායාමාත‍්‍රයක් ලබා දුන්නේ ලුසීයි.”   


රුක්ලන්ති පෙරේරා