වසර 70 ක් පිරෙන වයිට් හවුස් කොල්ලය


අවිගත් දඩබ්ම

 

ලංකාවට නිදහස ලැබෙන්නටත් පෙර සිට සංවිධානගත වූ අපරාධ කල්ලි විවිධ කොල්ලකෑම්, මිනීමැරුම් සිදුකළහ. අද පාතාලය ලෙස හඳුන්වන්නේ ද මේ අපරාධකරුවන්මය. එදා අපරාධ කල්ලි නායකයා අද පාතාල නායකයාය. අදට වඩා එදා වෙනසකට ඇත්තේ අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද නොවීමයි. 


නිදහස ලැබූ 1948 අවුරුද්දේ නිදහස ලබා මාස දෙකක් ඉකුත් වෙත් ම කොළඹ-රත්නපුර පාරේ පණුකැරෑපිටියේ දී මහමඟ සිදු වූ මිනිස් ඝාතනයකින් හා මුදල් කොල්ලයකින් රට ම කැළඹිණි. සංවිධානාත්මකව කළ මේ අපරාධයේ නායකයා වූයේ බණ්ඩාරගම ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන ගිය ප්‍රකට අපරාධකරුවකු වූ ලෑතර බාස් නොහොත් පීටර් පෙරේරා ය. 


වයිට් හවුස් කොල්ලය නමින් ප්‍රකට මෙම අපරාධ සිද්ධියට අදට වසර හැත්තෑවකි. මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා එහිදී මියගියේ ය. 


රත්නපුර-කොළඹ පාර මේ කියන කාලයේ තනි මංතීරුවක තාර දැමූ පාරකි. මේ කියන කාලයේ වාහන ඉතා අඩුය. පැය භාගයකට, පැයකට වරක් ධාවනය ​ෙවන කොම්පැණි බස් රථවලට අමතරව පුද්ගලික මෝටර් රථයක් පැයකට දෙකකට වරක් ගමන් කළේය. ඊට අමතරව ලොරියක් දෙකක් ධාවනය විය. 


රත්නපුර හරහා ඕපනායක දක්වා පුංචි කෝච්චිය තිබූ බැවින් කොළඹ සිට වැඩිපුර බඩු ගෙනාවේ කෝච්චියෙනි. අද මෙන් පාසල් බස් සේවාවක් නොතිබුණ එදවස තිබූ රේල් බසය පාසල් දරුවන් රැසකගේ පාසල් බසය විය. 
අද මෙන් නොව එදා සිටි පුරවැසියන් අතරින් වැඩි දෙනෙක් අතපය හොල්ලා වැඩ කළ නිරෝගී පුද්ගලයෝ වූහ. කොළඹ රත්නපුර පාරේ පණුකැරෑපිටිය පසුකර අමුතාගොඩ ගමට යන වංගුව පසුකර මීටර් එකසිය පනහක් දෙසීයක් ඉදිරියට යද්දී දකුණු පැත්තට තවත් වංගුවකි. වංගුව ආරම්භ ​ෙවන තැනම පාර හරහා දැමූ කුඩා පාලමකි. එය හැඳින්වූයේ ඇඹිල්ලවලේ පාලම යනුවෙනි. ඒ පාලම යටින් පහළ පිහිටි අඹගහදෙණිය කුඹුර ඇතුළු කපුගල්ල වෙල්යායේම කුඹුරුවලට වතුර ගන්නා කුඩා වාරි ඇළ ගමන් කරයි. 


මේ පාලම පසුකර තවත් මීටර් හැත්තෑ පහක් පමණ යනවිට හමු​ෙවන්නේ මහඇළයි. මහඇළ හරහා ද පාලමක් ඇත. ඉංග්‍රීසීන් තැනූ මේ පාලම යකඩ ගේඩර්වලින් නිම කළ එකකි. තනි වාහනයකට පමණක් එහා මෙහා යාහැක. මේ පාලම එකල හැඳින් වූයේ මැඩිල්ලවළේ පාලම යනුවෙනි. මැඩිල්ල වළේ පාලම පසුකරනවාත් එක්කම දකුණට තවත් වංගුවකි. වංගුව පසුකරනවාත් සමගම පාරේ වම් පැත්තේ තේ කඩයකි. තේ කඩයක් කිව්වාට එදා එය ‘හෝටලයකි’. හෝටලය පසුකර මීටර් එකසිය පනහක් පමණ ඉදිරියට යන විට වමට මහා වංගුවකි. වංගුවෙන් පොඩි දුරක් ඉදිරියට යද්දී අමුතාගොඩ පන්සලයි. 


මේ කියන මහ අපරාධය සිදුවූයේ මේ කියන ප්‍රදේශයේ මුලින් කී පාලම් දෙක අතරදී මහ දවාලේය. අද කිලෝමීටර් අනූ තුනේ කණුව පසුකර රත්නපුර දෙසට ඇත්තේ කෙළින් පාරකි. නමුත් මේ කියන කාලයේ ඉංග්‍රීසි යූ අකුරේ හැඩැතිව එය තිබුණේය. අනූ තුනේ කණුවත් එය පසුකර යනවිට ඉදිරියෙන් අද ඇති ශ්‍රී සාක්‍යසිංහ මහා සමාධි බුදුපිළිමයත් අතර හමුවෙන පාලමෙන් වම් පැත්තේ මේ සිද්ධිය වී තිබේ. එදාට වඩා අද එතැන සම්පූර්ණයෙන් ම වෙනස්ය. 


මේ අපරාධය ගැන වැඩිහිටියන්ගෙන් අසා දැනගත් තොරතුරු බොහෝමයක් ඇති රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබ පොදු සමාජසේවාවල නිරත අමුතාගොඩ පදිංචි එස්.පී. සුමනදාස මහතා ඒ අතීතය සිහිපත් කළේ මෙසේය. 
“ඇත්තටම මේ සිද්ධිය වෙනකොට මට මාස හතරක් පහක් ඇති. නමුත් අපේ තාත්තා, ප්‍රේමදාස මාමා, අයි.ඩී. මහත්තයා, බෝධිපාල රාළහාමි වගේ අයත් ගමේ හිටපු තවත් වැඩිහිටියනුත් මේ ගැන ඉස්සර නිතරම කතා වෙනවා”. 


එස්.පී. සිරිසේන මහතා සුමනදාස මහතාගේ පියාය. ප්‍රේමදාස මාමා කිව්වේ අමුතාගොඩ ජේ.ඇම්. පුංචිමහත්තයා මහතාය. අයි.ඩී. මහත්තයා කිව්වේ අයි.ඩී. චාර්ලිස් අප්පුහාමි මහතාය. ගැමියෙකු වූ ඔහු තීක්‍ෂණ බුද්ධියකින් යුතු ඉතා දැඩි සෙවිල්ලෙන් පසු වූ කෙනෙකි. බෝධිපාල රාළහාමි කිව්වේ වසමේ ග්‍රාම සේවක රාළහාමි වූ ජී.ජී. බෝධිපාල මහතාය. ගමේ අය ඔහු හැඳින්වූයේ බෝධිපාල රාළහාමි හෝ ගුරුලුවාන රාළහාමි යනුවෙනි. අද මේ කිසිවෙකුත් ජීවතුන් අතර නැත. 


අයි.ඩී. මහත්තයා හෙවත් අයි.ඩී. චාර්ලිස් අප්පුහාමි මේ කියන 1948 අප්‍රේල් නව වැනිදා ඔහුගේ නව හැවිරිදි හේමපාල පුතාත් සමග මහ ඇළට දිය නාන්නට ගියේය. දිය නා අවසන්ව නිවසට එන්නට ඇළෙන් ගොඩවන විටම රතිඤ්ඤා කිහිපයක් පත්තුවෙන හඬක් ඇසිනි. පාරට ගොඩවෙද්දීම කළු පැහැති මෝටර් රථයක් කොළඹ දෙසට හැරී යනවා දැක හේමපාල කොලු ගැටයා එහි අංකය වූ X 3025 හිතේ තියා ගත්තේ ය. ගෙදර ගිය පසු තාත්තා වූ අයි.ඩී. මහත්තයාට ඒ අංකය කියූ විට අයි.ඩී. මහත්තයා ඒ කාලේ තිබූ ඇක්සයිස් පොතක තම පුතා මතකයෙන් කියූ X 3025 අංකය සටහන් කර තැබීය. ලංකාවේ නමගිය අපරාධකාරයන් හතර දෙනෙකු වූ හල්පේ මාටින්, කොටි ඇල්බට්, ලෑතර බාස් හෙවත් පීටර් පෙරේරා සහ සුරුබියෙල් යන අය එල්ලුම් ගස් යවන්නට එය විශාල හෝඩුවාවක් වූ බව සුමනදාස මහතා පැවසුවේය. 


“අයි.ඩී. මහත්තයා හරි සෙවිල්ලෙන් හිටිය කෙනෙක්. හරිම ඉවක් තිබුණ කෙනෙක්. පොලිස් නිලධාරියෙකුගේ ඉවක් එයාට තිබුණේ. ඒත් සාමාන්‍ය ගැමියෙක්. දරුවන්ට හොඳට ඉගැන්නුවා. පුතෙක් ආණ්ඩුවේ ඒජන්ත කෙනෙක් විදියටත් වැඩ කළා. අයි.ඩී. මහත්තයා අංකය ලියාගත්තු කාර් එක ගැන තොරතුරු ලැබුණේ පස්සේලු. රතිඤ්ඤා සද්දේ වගේ ඇහිලා තියෙන්නේ වෙඩි තියන සද්දයක්. සිංහල අවුරුද්දට දවස් පහක් තියැද්දි මේ සිද්ධිය වූ නිසා වැඩි දෙනෙක් හිතලා තියෙන්නේ රතිඤ්ඤා පත්තු කළා කියලා”. 


“වයිට් හවුස් කියන සුදු මහත්තයාට වෙඩි තියලා පඩි සල්ලි කොල්ල කන්න හදපු සිද්ධිය පස්සේ තමයි ආරංචි වෙලා තියෙන්නේ. වයිට් හවුස් කියන සුදු මහත්තයා වෙඩි වැදිලා මැරිලා. එයාගේ නෝනයි, තව සුදු නෝනලා දෙන්නෙකුයි ඒ කාර් එකේ ඉඳලා තියනවා. වෙඩි වදින වෙලාවේ කාර් එක පදවලා තිබුණේ වයිට් හවුස් මහත්තයාගේ නෝනා. එයාටත් තුවාල වුණා කියලා වැඩිහිටි අය කියලා තියනවා. කොහොම නමුත් මහත්තයාට වෙඩි වැදුනට පස්සේ සුදු නෝනා කාර් එක පදවගෙන පාර්ම්ගාඩ්න් වත්තට ගිහිං වත්තේ අධිකාරී ලෙස කටයුතු කළ කෝල් බොවන් මහත්මයාට සිද්ධිය කියලා වයිට් හවුස් මහත්තයා ලොරියකින් රත්නපුරේ ඉස්පිරිතාලෙට ගිනිහිං තියනවා. එතකොටත් එයා මැරිලාලු. මේ සේරම ආරංචි වුණේ සිද්ධිය වෙලා ගොඩ වෙලාවකට පස්සේ”. 


“ජේ.ඇම්. පුංචිමහත්තයා මාමාට ගමේ අපි කිව්වේ ප්‍රේමදාස මාමා කියලා. එයාගේ සම වයසේ අය කිව්වේ ප්‍රේමදාස අයියා කියලා. එයා රස්සාවට ඒ කාලේ කළේ බයිසිකල් එකෙන් පාන් ​ෙගනියන එක. පණුකැරෑපිටියේ බේකරියක් තිබුණා. ඒ බේකරියෙ හදන පාන් හිදැල්ලන, පාර්ම්ගාඩ්න් පැත්තට ගෙනියන්නේ ප්‍රේමදාස මාමා. වයිට් හවුස් සුද්දට වෙඩි තියපු දවසෙ සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ ප්‍රේමදාස මාමා පාන් අරං හිදැල්ලන පැත්තට බයිසිකලේ ගිහිං තියනවා. එහෙම යනකොට හිදැල්ලන හන්දියට මෙහා වංගුවේ පාර අයිනේ පිස්තෝලයක් වැටිලා තියනවා දැකලා ඒක අහුලලා. අහුලාගත්තු පිස්තෝලේ අරගෙන ප්‍රේමදාස මාමා ආපහු ඇවිත් පණුකැරෑපිටියේ වසම බාර ග්‍රාමසේවක රාළහාමිට ඒ කියන්නේ බෝධිපාල රාළහාමිට දීලා. ඉස්සර ටෙලිෆෝන් පහසුකම් තිබුණ කාලයක් නෙවෙයිනේ. බෝධිපාල රාළහාමි ඒ පිස්තෝලෙ අරගෙන ගිහිං පොලිසියට දීලා තියනවා” සුමනදාස මහතා කියයි. 


සුමනදාස මහතා කියන පරිදි මේ පිස්තෝලය වයිට් හවුස් මහතා සන්තකයේ තිබූ ආයුධය විය යුතුය. වයිට් හවුස් මහතාට වෙඩි වැදුණු පසු වයිට් හවුස් මහත්මිය කාර් එක පදවාගෙන යද්දී මේ පිස්තෝලය වැටෙන්නට ඇති බව ඒකාලේ වැඩිහිටියන් කතා කළ බව මතක යැයි සුමනදාස මහතා පැහැදිලි කළේය. 


අද මෙන් අපරාධයක් හෝ යම් සිදුවීමක් වූ එසැනින් ජනතාවට දැනගැනීමේ ක්‍රමවේදයක් එදා තිබුණේ නැත. ඒ නිසා රතිඤ්ඤා සද්දයක් පිටවී ඇත්තේ මංකාල්ලයකට ආ අපරාධකරුවන් අතින් බව සිද්ධිය වූ අවට අය දැනගන්නා විට හෝරා කිහිපයක් ගෙවී ගොසිනි. 


“ඔය වෙඩිතැබීම වෙන වෙලාවේ අපේ තාත්තා තව හත් අට දෙනෙක් එක්ක අඹගහදෙණිය කුඹුර වපුරමින් ඉඳලා තියෙන්නේ. අඹගහ කුඹුරේ ඉඳලා සිද්ධිය වූ තැනට මීටර් දෙතුන් සීයක් විතර ඇතිලු. වෙඩිතැබීමක් වුණා. කාර් දෙකක් දෙපැත්තට ගියා. වුණේ මොකක්ද කියලා පස්සේ තමයි දැනගෙන තියෙන්නේ. කොටින්ම කිව්වොත් ප්‍රේමදාස මාමා පිස්තෝලේ අහුලනකොටවත් මේ වෙච්ච සිද්ධිය දැනගෙන ඉඳලා නෑ. එහෙම දැනගත්තා නම් සමහරවිට ඒක එයා අතට නොගන්නත් ඉඩ තිබුණා.” සුමනදාස මහතා පැහැදිලි කළේය. 


“මැඩිල්ලවළේ පාලමෙන් එගොඩ කොළපාට කාර් එකක් නවත්වලා බොනට් එක ඇරගෙන මොනවදෝ කරනවා කිහිප දෙනෙක්ම දැකලා තිබුණා. එතන තිබුණ හෝටලේට කාර් එක ළඟ හිටපු නොණ්ඩිගහන මනුස්සයෙක් ගිහිං සිගරට් අරගෙන තියනවා. එතන වාහන නවත්වන කඩයක් හින්දාත් වාහනේ බොනට් එක ඇරලා කාර්මික දෝෂයක් වූ විදියට කට්ටිය හැසුරුණ නිසාත් කවුරුවත් සැකයක් හිතලා තිබුණේ නෑ කියලා පසු කාලීනව ඔය සිද්ධිය ගැන තාත්තා කියලා තියනවා මතකයි.” සුමනදාස මහතා විස්තර කළේය. 

ඔහු කී ආකාරයට එතැන තිබූ කොළපාට කාර්එක වයිට් හවුස් මංකොල්ලයේ සැලැස්මට අයත් එකකි. එහෙත් ඒ කොළපාට මෝටර් රථය මිනිස් ඝාතනයක් කර මුදල් කොල්ලයට ආ බව කිසිවෙකුත් සැක නොකළේය. සිද්ධිය ​ෙවන විට ඒ කොළ පැහැති මෝටර් රථය තිබුණේ මැඩිල්ලවළේ පාලමෙන් එගොඩ රත්නපුර පැත්තට ​ෙවන්නටය. සිද්ධිය ​ෙවන වෙලාවේ පානදුර ප්‍රවාහන සමාගමට අයත් රතු පැහැති බස් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් පැවතින. 


මාදම්පේ වතුයායේ වතු කළමනාකරු වූ ජෝන් එඩ්වඩ් ෆ්‍රෑන්ක් වයිට් හවුස් මහතා වත්තේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා කොළඹ චාර්ටඩ් බැංකුවෙන් ගත් රුපියල් තිස්පන් දහසක් වූ මුදල් රැගෙන ආ ඔස්ටින් 10 සැලූන් රථයත්, කළු පැහැති මෝටර් රථ දෙකකුත්, බස් රථයත් මැඩිල්ලවළේ පාලමත් ඇඹිල්ල වළේ පාලමත් අතර විය. ඒ අපරාධ සිදුව තිබුණේ පාලම් දෙක අතරය. 


පොලිසිය මේ අපරාධයේ විමර්ශන ආරම්භ කර තිබුණ ද සිද්ධිය වූ අවස්ථාවේ ඇසින් දුටු සාක්කිවලට තිබුණේ වයිට් හවුස් මහත්මියගේ සහ මෝටර් රථයේ ඇය සමග සිටි ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් පමණි. සිද්ධිය ​ෙවන වෙලාවේ මැඩිල්ලවළේ පාලමෙන් රත්නපුර පැත්තට ​ෙවන සේ නවත්වා බොනට්ටුව ඇර තිබූ කොළ පැහැති කාරයේ සිටි නොණ්ඩිගහන පුද්ගලයා සිගරට් එකක් සහ ගිනිපෙට්ටියක් ගත් බවත් ඔහු බොහෝ වේලාවක් ඒ අසල කැරකි කැරකි සිටි බවත් කොළ පාට මෝටර් රථයේ අංකය Z 4476 බවටත් හෝටලයේ සිටි දෙදෙනෙක් දුන් ප්‍රකාශත් පොලිසියට සිය පරීක්‍ෂණ කරගෙන යාමට පිටිවහලක් විය. 


නමුත් මේ සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ භාරව කටයුතු කළ පොලිස් අධිකාරී ඩී.ඩී. දිසානායක මහතා හමු වූ තොරතුරු ගැන සෑහීමකට පත් නොවීය. ඒ අතර දී අයි.ඩී. චාර්ලිස් අප්පුහාමි මහතා සිය පුතා විසින් මතකයේ තබාගෙන පසුව ලියා සටහන් කරගෙන තිබූ X 3025 මෝටර් රථයේ අංකයත් රැගෙන ඒ අය සමග දුටු දේ සටහන් කරගෙන තිබුණි. 


කොළ පාට මෝටර් රථයේ Z 4476 අංකය ඔස්සේ කළ පරීක්‍ෂණවලින් එය බණ්ඩාරගම ලෑතර් බාස් නම් තැනැත්තෙකුගේ ගරාජයේ තිබූ මෝටර් රථයක් බවට සොයා ගැනිනි. නමුත් සිද්ධිය වූ අප්‍රේල් 09 දින උදේ එය ගරාජයේ නොතිබුණ බවත් මෝටර් රථය සමග ලෑතර් බාස් ද නොසිටි බවත් පොලිසිය සොයා ගත්තේය. පොලිසිය ගරාජයට ඔත්තුකරුවන් යොදා සුපරීක්‍ෂාවෙන් සිටියේ ය. සවස් වනවිට දුර ගමනක් ගොස් පැමිණි ලක්‍ෂණ පෙන්නුම් කරමින් මඩ සහ දූවිල්ලෙන් වැසී ගිය අංක Z 4476 මෝටර් රථය ගරාජයේ විය. රථය වහාම අත්අඩංගුවට ගැණිනි. රියැදුරු කරෝලිස් පෙරේරා සමග Z 4476 දරන රථය රත්නපුර පොලිසිය වෙත ගෙනෙනු ලැබිණි. 


ගරාජ් හිමි ලෑතර් බාස්, ඒ.පී. පෙරේරා, එම්. ජයසුන්දර පෙරේරා ඇතුලු දොළොස් දෙනෙක් ඒ ​ෙවනවිට මේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි. නමුත් සිංහල අවුරුද්දට පෙර දින එනම් අප්‍රේල් 12 දින එවකට රත්නපුර මහෙස්ත්‍රාත්ව සිටි ටී.සී.පී. ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී අත්අඩංගුවට පත් කිසිම කෙනෙක් අඳුනාගන්නට නොහැකිවිණි. 


මේ අතර සිංහල අලුත් අවුරුද්ද ද උදාවෙමින් තිබුණි. ඒ ​ෙවනවිට ලංකාව නිදහස ලබා මාස කිහිපයක් නිසා සුදු අධිරාජ්‍යවාදීන් පාලනයේ සිටියේ ය. මියගොස් ඇත්තේ ද සුදු ජාතිකයෙකි. සිංහල අවුරුද්ද කියා පරීක්‍ෂණ ප්‍රමාද ද කළ නොහැකිය. පරීක්‍ෂණ භාර පොලිස් අධිකාරී ඩී.ඩී. දිසානායක මහතා ඇතුලු කණ්ඩායම අත්අඩංගුවට පත් Z 4476 අංක දරන මෝටර් රථය අසල ගැවසුණු නොණ්ඩි පුද්ගලයා ගැන විපරමෙන් සිටියේය. පාදුක්කේ එවැනි නොණ්ඩියෙක් ඉන්න බවට පොලිසියට තොරතුරු ලැබිණි. 


“අයි.ඩී. මහත්තායගේ පුතා වාහනේ අංකය ලියාගත්තු එක ගැන සාක්කි දීම සම්බන්ධයෙන් අයි.ඩී. මහත්තයාගේ පවුලේ අය ටිකක් කලබලයට පත්වෙලා තිබුණේ. හේමපාල මහත්තයාගේ සහෝදරයෙක් වූ ආණ්ඩුවේ ඒජන්ත කෙනෙක් ලෙස වැඩ කළ ධනපාල මහත්තයා පවුලේ අයට කියලා තිබුණා මේ තොරතුරු දුන් බව අපරාධකාරයෝ දැනගත්තොත් ඇවිත් කරදර කරාවි කියලා” එස්.පී. සුමනදාස මහතා ඇසූ කරුණක් සිහිපත් කළේය. 


“මේ සිද්ධියෙන් පස්සේ මැඩිල්ලවළේ පාලමේ නමත් වෙනස් වුණා. ඒක ‘වයිට් හවුස් පාලම’ වුණා. දැන් තියන අලුත් පාලමට කියන්නෙත් වයිට් හවුස් පාලම කියලා. හැබැයි අද ඉන්න ගොඩාක් අය ‘වයිට් හවුස් පාලම’ කියන්නේ ඇයි කියලා දන්නේ නෑ. ඔය අපරාධය වුණ තැන පාර දැන් නෑ. ඒ සිද්ධිය වූ තැන ගෙයක් හදලා තියනවා.” සුමනදාස මහතා පැහැදිලි කළේය. 


වයිට් හවුස් මහතා ඝාතනයේ සැකකරුවන්ට වැඩි කලක් නිදැල්ලේ ඉන්නට පොලිසිය ඉඩ නොදුන්නේ ය. අපරාධයෙන් මාස දෙකක් යනවිට සැබෑ අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නට පොලිස් නිලධාරීන් සමත් විය. 

 

 


ඉතිරි කොටස ලබන සතියේ... 

 

 


සටහන - ඡායාරූප :
අජිත්ලාල් ශාන්තඋදය