වසර 150ක් පිරුණු ලංකාවේ ප්‍රථම ජන සංගණනය


ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සංගණනය පවත්වා මාර්තු 27 වැනි දිනට වසර 150ක් සම්පූර්ණ විය. 1871 මාර්තු 27 වැනි දින පවත්වා ඇති එය, දකුණු ආසියාවේ පැවැති ප්‍රථම ජන සංගණනය ද වේ. ශ්‍රී ලංකාව තුළ එතැන් සිට ජන සංගණන 14ක් පවත්වා ඇති අතර, ඉන් අටක්ම පවත්වා ඇත්තේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. නිදහසින් පසුව ජන සංගණන පැවැත්වීම ඒ සඳහාම පිහිටුවා ඇති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබේ. අප රට තුළ අවසන් වරට ජන සංගණනයක් පවත්වනු ලැබුයේ 2012 මාර්තු 20 වැනි දිනය. වසර දහයකට වරක් පවත්වාගෙන එනු ලබන ශ්‍රී ලංකාවේ ජන සංගණන මාලාවේ මීළඟ සංගණනය මෙම වර්ෂයට යෙදී ඇත.   


ශ්‍රී ලංකාව තුළ ප්‍රථම ජන සංගණනය පැවැත්වීමට පෙර පුද්ගලයින් ගණන් ගැනීම් කිහිපයක්ම සිදුකර ඇත. මුලින්ම පුද්ගලයින් ගණන් ගැනීමක් සිදුකර ඇත්තේ දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසීන් විසිනි. ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම මඟින් පාලනය වූ දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වී ඇති එය පවත්වා ඇත්තේ වෑන් ද ග්‍රාෆ් නම් ලන්දේසි ආණ්ඩුකාරයා විසින් 1789 වර්ෂයේදීය. 1796 දී ලක්දිවට පැමිණ ඇති ඉංග්‍රීසීන්, 1802 දී මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඔවුන් යටතට පත් කර ගැනීමෙන් අනතුරුව 1814 දී එම ප්‍රදේශවල ද, 1815 දී කන්ද උඩරට පාලනය සතුකර ගැනීමෙන් පසුව 1821 දී එම ප්‍රදේශවලද පුද්ගල ගණන් ගැනීම් දෙකක් සිදුකොට ඇත. ඒ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ (1812-1822) පාලන කාලයේ දීය. ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වීමෙන් පසුව ඉංග්‍රීසින්ගේ යටත් විජිත ආණ්ඩුව 1824 දී මුළු දිවයිනම ආවරණය වෙන පරිදිත් පුද්ගලයින් ගණන් ගැනීමක් කර ඇත. ඒ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් (1824-1831) විසිනි.   


ඉංග්‍රීසීන් විසින් ශ්‍රී ලංකාව තුළ ‘සංගණනය’ යන අර්ථයෙන් මුලින්ම පුද්ගලයින් ගණන් ගැනීමක් සිදුකර ඇත්තේ 1871 මාර්තු 27 වැනි දින දීය. ඒ 1833 කෝල්බෘක්-කැමරන් ප්‍රතිසංස්කරණ යටතේ ස්ථාපිත කරගෙන ඇති ව්‍යවස්ථාදායක සභාවේ නියමයන්ට යටත්ව, ජන සංගණනය පැවැත්වීම සඳහාම පිහිටුවා ගෙන ඇති 1868 අංක 5 දරණ සංගණන ආඥා පනතේ කොන්දේසි සහ නියමයන්ට අනුකූලවය. පළමු ජන සංගණනයෙන් පසුව සෑම වසර දහයකටම වරක් ජන සංගණන පැවැත්වීම ආරම්භ කරමින් 1881 දී ද අනතුරුව 1891, 1901, 1911, 1921 සහ 1931 යන වර්ෂවලදීද ජන සංගණන පවත්වා ඇත. එක්දහස් නවසිය එකේ සිට ජන සංගණන පවත්වනු ලබන්නේ 1900 වසරේදී පූර්ණ බලතල සහිතව අලුතින්ම පිහිටුවා ගෙන ඇති 1900 අංක 9 දරණ සංගණන ආඥා පනත යටතේය. නොකඩවා ‘1’න් අවසන් වෙන වර්ෂවල ජන සංගණන පවත්වමින් පැමිණියද, පසුව අවස්ථා කිහිපයකදීම ඊට බාධා පැමිණ ඇත. දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් 1941 සංගණනය පවත්වා ඇත්තේ ප්‍රමාදවී 1946 දීය. එය පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ ‘ජනලේඛන’ නමින් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවා ඇත. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නිදහසින් පසුව එය ‘ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව’ ලෙස නම්කර ඇත. නිදහසින් පසුව පවත්වා ඇති පළමු ජන සංගණනය කඩදාසි හිඟයක් හේතුවෙන් 1953 දී ද, ඊළඟ සංගණනය ඉන් දස වසරකට පසුව 1963 දී ද පවත්වා ඇත.   


එක්සත් ජාතීන්ගේ නිර්දේශයක් හේතුවෙන් ‘0’ න් හෝ ‘1’න් අවසන් වෙන වර්ෂයක ජන සංගණන පැවැත්වීම නැවත ක්‍රියාවට නංවමින්, ‘1’ න් අවසන් වෙන වර්ෂයක ජන සංගණන පැවැත්වීම 1971 දී ආරම්භ කර 1981 සහ 2001 යන වර්ෂවලදීද පැවැත්විණ. දිවයිනෙහි උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහි එවකට පැවැති කලබලකාරී වාතාවරණය හේතුවෙන් 1991 පැවැත්වීමට තිබූ ජන සංගණනය අත්හැර දැමීමට සිදුවූ අතර, 2001 සංගණනයේදී ද එම පළාත් දෙකට අයත් දිස්ත්‍රික්ක අතුරින් සංගණන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ පමණි.


ඉන් අනතුරුව පැවැත්වීමට තිබූ 2011 ජන සංගණනය අවසාන මොහොතේ පැන නැගුණු නොවැළැක්විය හැකි හේතුවක් නිසා ප්‍රමාදවී 2012 මාර්තු මාසයේ දී පවත්වන්නට යෙදුනද, එහිදී වසර 31 කට පසුව මුළු දිවයිනම ආවරණය කිරීමට හැකි විය. ශ්‍රී ලංකාවේ දස වසරකට වරක් පවත්වාගෙන එනු ලබන ජන සංගණන මාලාවේ මීළඟ සංගණනය මෙම 2021 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව ඇත.  

 

 

ඩබ්.එල්. දොන් පද්මන් ද අල්විස් ගුණතිලක   
(ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් නියෝජ්‍ය අධ්‍යක්ෂ)