වසර 100කට පසු හොල්මන් කරන පාරාවන්ගේ ශාපය


 

 

පුරාණ ඊජිප්තුව මිසරය නමින් හැඳින්වෙන අතර මිසරය පාලනය කළ රජවරුන් හැඳින්වෙන්නේ පාරාවෝ යනුවෙනි. පාරාවන් අතරින් කැපී පෙනෙන තැනැත්තකු ලෙස තුතන්කාමන් සැලකෙයි. ‘ළමා රජ්ජුරුවෝ’ යන නමින් ද හැඳින්වෙන තුතන්කාමන් රජු, මිසරය පාලනය කළේ මීට වසර 3,000කට පෙර ක්‍රි.පූ. 1332 සිට 1323 තෙක් කාලයේය.   
තුතන්කාමන් ‘ළමා රජ්ජුරුවෝ’ යන නමින් හැඳින්වෙන්නේ, රජකම ලබද්දී ඔහුගේ වයස අවුරුදු 10ක් බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් අනාවරණය කරනු ලැබ තිබීමය. තුතන්කාමන් වයස අවුරුදු 19 දී අබිරහස් අන්දමින් මියගියේය. එය ඝාතනයක් හෝ හදිසි අනතුරක් හෝ විය හැකි යැයි තර්ක විතර්ක පවතී.
තුතන්කාමන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය තැන්පත් කළ සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ 1922 දීය. සොහොන් ගැබ සොයා ගැනීම සිදුවූයේ ‘තුත් අක්හ් අමුන්’ පළාතෙනි.   
පසුගිය දා තුතන්කාමන්ගේ දේහය සහිත රනින් කළ ඒ මිනී පෙට්ටිය ගීසා පිරමීඩ ඇති ස්ථානයට නුදුරින් අලුතින් ඉදිකළ ‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ වෙත රැගෙන යෑම සිදුවිය. තුතන්කාමන්ගේ මිනී පෙට්ටිය පමණක් නොව ඔහුගේ සොහොනේ ඇති කෞතුක වස්තූන් රැසක් ද නව කෞතුකාගාරයට මාරු කෙරුණි. ඒ සමඟ තුන්කාමන්ගේ සොහොන් ගැබ සහ එය විවර කිරීම සම්බන්ධයෙන් පවතින සාපය ගැන බියක් ද කරළියට පැමිණියේය.   


ගීසා පිරමීඩවලට නුදුරින් ‘මහා ඊජිප්තු කෞතුකාගාරය’ ඉදිකිරීම ආරම්භ වූයේ මීට පහළොස් වරසකට පෙරය. ඒ, ජපන් රජයේ ආධාර සහ අනුග්‍රහය යටතේය. එය ලබන වසරේ එනම් 2020 දී සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සිදුවනු ඇතැයි පැවැසෙයි. මේ වනවිට විවෘත කර ඇත්තේ නව කෞතුකාගාරයේ අංගණ කිහිපයකි.   


තුතන්කාමන්ගේ මිනීපෙට්ටිය තැන්පත් කළ සොහොන් ගැබ සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හවඩ් කාටර් විසිනි. ඒ, 1922 දී, ලුක්සෝර් හි ‘රජුන්ගේ නිම්නය’ නමින් හැඳින්වෙන පළාතෙනි. සොහොන් ගැබ තුළ මිනී පෙට්ටිය පමණක් නොව කෞතුක භාණ්ඩ 5,000කට වැඩියෙන් ඇත. කාටර්, වැළලී ගොස් තිබුණු තුතන්කාමන්ගේ සොහොන් ගැබ සොයා ගනිමින් විවෘත කළ අවස්ථාවේදී බියක් පැතිර ගියේය. ඒ තුතන්කාමන්ගේ සාපය නිසාය.


සොහොන් ගැබ කෙළෙසීම හේතුවෙන් ඊට සම්බන්ධ වූ සැවොම සාපයට ලක් වෙනවා යැයි පැවැසිණි. සොයා ගැනීමට සම්බන්ධ වූවන් එකිනෙකා පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අය පවා අබිරහස් අන්දමට මිය යන්න විය. සමහරු හිතා ගැනීමටවත් අමාරු විදියේ රෝගවලින් මිය යද්දී සමහරු හදිසි අනතුරුවලට ගොදුරු වූහ. මේ මරණ අහඹු සිදුවීම් නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.   


තුතන්කාමන්ගේ සොහොන් ගැබ විවර කළේ 1922 නොවැම්බර් 19 වැනිදාය. එහි සාපයට ගොදුරු වී මිය ගියේ යැයි පැවැසෙන පුද්ගලයන්ගේ ලයිස්තුව මෙහි දැක්වෙයි.   


කානර්වොන් ආදිපාදවරයා 1923 අප්‍රේල් 23 වැනිදා මියගියේය. කාටර්ගේ ගවේෂණයට මුදල් යෙදවූයේ මොහුය. මියගියේ මදුරු දෂ්ටනයකිනි. ජෝර්ජ් ජේ ගෝව්ල්ඩ් මියගියේ 1923 මැයි 16 වැනිදාය. මොහු සොහොන් ගැබ විවර කළ අවස්ථාවේදී ඊට ඇතුළු වූ අයෙකි. මියගියේ උණක් හේතුවෙනි. අලී කමෙල් ෆහ්මී බේ කුමරු, 1923 ජුලි 10 වැනිදා මියගියේ බිරිඳ කළ වෙඩි තැබීමකිනි. මොහු ඊජිප්තු කුමාරයෙකි. කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරු කර්නල් ඕබ්රි හර්බට් 1923 සැප්තැම්බර් 26 මියගියේ දතක් පිරවීමෙන් පසු සිදුවුණු විස වීමක් හේතුවෙනි. ශ්‍රීමත් ආචිබෝල්ඩ් ඩග්ලස් රේඩ් 1924 ජනවාරි 15 වැනිදා මියගියේය. තුතන්කාමන් දේහය සහිත මිනී පෙට්ටියේ එක්ස් කිරණ ඡායාරූප ගත් විකිරණවේදීයා මොහුය. මියගියේ අබිරහස් රෝගයකිනි. ශ්‍රීමත් ලී ස්ටැක් 1924 නොවැම්බර් 19 වැනිදා මියගියේය. මොහු සුඩානයේ ආණ්ඩුකාරවරයා විය. ඊජිප්තුවේ කයිරෝ අගනුවර වෙත මෝටර් රියකින් යද්දී ඝාතනය විය.   


එම්.ඒ. මැකේ මියගියේ 1928 අප්‍රේල් 6 වැනිදාය. මොහු කාටර්ගේ ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකි. මියගියේ ආසනික් විස වීමෙනි.   


මර්වින් හර්බට් මියගියේ 1929 මැයි 26 වැනිදාය. මොහු ද කානර්වොන් ආදිපාදවරයාගේ අඩ සොයුරෙකි. මියගියේ මැලේරියාව රෝගයෙනි. කැප්ටන් රිචඩ් බෙතෙල් මියගියේ 1929 නොවැම්බර් 15 වැනිදාය. මොහු හවඩ් කාටර්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළේය. මේෆෙයාර් සමාජ ශාලාවේ මරණය සිදුවුණේ අබිරහස් අන්දමින්ය.
රිචඩ් ලුට්රෙල් පිල්කිංග්ටන් බෙතෙල් යනු රිචඩ් බෙතෙල්ගේ පියාය. මොහු මියගියේ 1930 පෙබරවාරි 20 වැනිදාය. මහල් නිවාසයෙන් පැන දිවි නසා ගත්තේය. හවඩ් කාටර් මියගියේ 1923 පෙබරවාරි 16 වැනිදාය. තුතන්කාමන් සොහොන් ගැබ විවර කළේ කාටර්ය. හොඩ්ජ්කිං රෝගය වැලඳී මියයද්දී, ඔහුගේ වයස අවුරුදු 64ක් විය. කාටර්ගේ වැඩිමල් සොයුරු විලියම් ද එම වසරේ මියගියේය.   

 

 


ලුසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි