වලාකුළුවලටත් උඩින් ඉන්න නාරංගල කන්ද නගින්න


ක්‍රියාදාම චාරිකා

මීදුමෙන් වටවුණු අසල්වැසි කඳුවැටිය

 

මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්්ත්‍රික්කවල පිහිටි රටේ උස් කඳුකර භූමිය දකුණින් ඌව පළාතින් අවසන් වේ. එය වචනයේ අර්ථයෙන්ම දැක බලා ගත හැකි කදිම ඉසව්ව වනුයේ බෙලිහුල්ඔය සිට හපුතලේට යන විට මාර්ගයේ දකුණු පස පිහිටි විශාල​ හෙල ඔස්සේ විහිදුණු පහත් බිම්ය. බෙරගලින් එහාට බදුල්ල දක්වා දිවෙන ඌව පළාත් මායිම ආසන්නයේ සුන්දර ඉසව් රාශියක් පිහිටා ඇත. විශේෂයෙන් මෙම පළාතේ තිබෙන කඳු මතට පහත් බිම් හරහා ගමන් කරන වලාකුළු හා මීදුම හරි අපූරුවට දැක ගත හැකිය. ඌව පළාතේ පවතින කඳු අතරින් උසින් සය වෙනි තැන ගන්නා නාරංගල කන්ද ද එවැනි කදිම ඉසව්වකි.   


පිළිවෙළින් ඌව පළාතේ උසම කඳු වන උඩවේරිය I කන්ද (මීටර 2060), නමුණුකුළ (මීටර 2036), උඩවේරිය II කන්ද (මීටර 2016), බෙරගල කන්ද (මීටර 1780), ඉදල්ගස්ගින්න කන්ද (මීටර 1615) හා නාරංගල කන්ද (මීටර 1527) යනු හල්දුම්මුල්ල සිට ඔහිය හා හපුතලේ අතර සීමාවේ පවතින දැවැන්ත කඳු කිහිපයකි. ඉන් නමුණුකුළ සහ නාරංගල හාලි ඇළ නගරය ආශ්‍රිතව පිහිටා ඇති බැවින් බදුල්ලට ආභරණයක් ලෙස දක්නට ලැබේ. නාරංගල යනු ඉතාමත් වෙනස් හැඩයකින් යුත් අපූරු කන්දක් වන අතර නමුණුකුළ යනු පැහැදිලිව දැකගත හැකි කදු මුදුන් 9ක් පමණ සහිත කඳු යුගළයක් වේ. මෙම උසැති කඳු සියල්ලෙම මුදුනට ගිය විට නැගෙනහිර හා දකුණු වෙරළ තෙක් පුළුල් පරිසරයක් දැක ගත හැකිය. මන්ද දකුණට විහිදෙන පහත් බිම නිසාවෙනි.  


ලංකාවේ කඳු නගින්නන් අතර තරමක් ප්‍රචලිත කඳු රාශියක්ම බෙලිහුල් ඔය සිට බදුල්ල දක්වා ඇති අතර බොහෝ විට ළඟාවීමේ පහසුව සහ සිත් පිනා යන දර්ශන පථයක් තිබීම ඊට හේතුව විය හැක. නමුත් මෙම ප්‍රදේශය මධ්‍යම කඳුකරයේ බෑවුම නිසාවෙන් බොහෝ විට වියළි කාලගුණයක් උසුලයි. එම නිසාම වසරකට වතාවක් මෙම කඳු ස්වභාවික ලෙස ගිනි ගැනීම හෙවත් ලැව්ගිනි ඇති වීම සිදුවේ.  


විශේෂයෙන්ම හාවාගල, පරවියන්ගල, වංගෙඩිගල කඳු පන්තිය, බෙරගල, උඩදියලුම, ඇල්ල කන්ද, ලුනුබිස්ස, නාරංගල, උඩවේරිය සහ අවශේෂ කුඩා කඳුවල පවතින අධික මාන පඳුරු නිසාවෙන් බොහෝ කාලයක් මුළුල්ලේ පායන විටදී තද අව් රශ්මියට ස්වභාවිකවම ගිනි ගැනීමක් ඇති වේ. මීට දෙමසකට පෙර අපි වංගෙඩිගල ආශ්‍රිත කඳු පන්තිය ගිනිගන්නා ආකාරය දුටු අතර ඊටත් පෙර ගිනිගත් උඩ දියලුම, පරවියන්ගල වැනි කඳු දැක ඇත්තෙමු. තවද කලාතුරකින් විය හැකි තවත් සිද්ධියක් නම් මිත්‍යා විශ්වාස වල එල්බ සිටින ගම්මුන් වර්ෂාව අපේක්‍ෂාවෙන් මෙලෙස ලඳු කැලෑ ගිනිබත් කිරීමය.  


නාරංගල යනු අප අවස්ථා දෙකකදී තරණය කළ කන්දකි. මීට දෙවසරකටත් එපිට සංචාරකයින්ගේ නෙතින් වසංව තිබූ නාරංගල කඳුවැටියේ සැබෑ සුන්දරත්වය අපගේ මුහුණුපොත ‘‘සොබාසිරි’’ පිටුව හරහා හෙළි කළ අතර ඉන්පසු ගත වූ කාලය තුළ නාරංගල සුන්දරත්වය නැරඹීමට බොහෝ පිරිස් ගියහ. නාරංගල කඳු මුදුනත යනු නෙත් වශීකරන සහ සිත් පැහැර ගන්නා තරම් සුන්දරත්වයකින් යුතු කන්දකි. මන්ද කඳු මුදුනටත් තෘණ සහ මානා පිහිටීමේ අපූර්වත්වයයි.  


නමුත් බොහෝ අයට රාත්‍රී කඳවුරු බැඳීම මගහැරුණද ඇතැමුන් කඳවුරු බැන්දද ඔවුනට පවා මහහැරී ගිය සුන්දර දසුන් කිහිපයක් පසුගිය වරෙක නාරංගල චාරිකාවේ යෙදුණු මිත්‍ර ශශී ගයාශාන් හට විඳගැනීමට ලැබුණි. ගුවන් යානයක යන විට අඩි දහස් ගණනකට උඩදී කවුලුවෙන් පිටත බලන විට පහළින් වලාකුළු රොද පෙනෙනා දර්ශනයම අපට නාරංගල කඳු මුදුනේ දැක ගැනීමට ලැබුණි.  


කොළඹ සිට බදුල්ල පාරේ රත්නපුර, බලංගොඩ පසුකොට බෙරගල හරහා හපුතලේට දිවෙන මාර්ගයේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමට වදන් ගැළපෙන්නේ නැති තරම්ය. මන්ද පසෙකින් දැවැන්ත ගල් බිත්තියත් අනෙක් පසින් මහා ප්‍රපාතයන් ඒ තුළ ක්ෂිතිජ ඉමට දිවයන පහත් බිම් කඩත් දුටුවෝ සිත නිතැතින්ම මාර්ගය අසල රථවාහන නතර කොට එම සුන්දරත්වය විඳීමට ප්‍රිය කරති. එ් නිසාම ස්ථාන කිහිපයක ආරක්‍ෂාකාරී නැරඹුමේ ස්ථාන කිහිපයක් වර්තමානය වන විට මාර්ගය අසල ඉදිකොට ඇත.  


දකුණු දෙසින් සමනල වැව, උඩවලව හරහා පැහැදිලි දිනක දකුණු වෙරළ තීරය දක්වා වුව දැකගැනීමට හැකි බව නොරහසකි. හපුතලේ නගරය පිහිටියේ මධ්‍යම කඳුකරයේ බෑවුමත් පහත් බිමේ ප්‍රපාතයට ඉහළිනුත් නිසාවෙන් හපුතලේ නගරය බොහෝ විට මීදුමෙන් හා සුළඟින් වෙලී යන නගරයකි. හපුතලේ සිට බොරලන්ද, මාර්ගය හරහා හෝර්ටන් තැන්නටත්, තවත් පසෙකින් බොරලන්ද, වැලිමඩ හරහා නුවරඑළියටත් අනෙක් පසින් බදුල්ලටත් යා හැකි වේ. හපුතලේ පසුකොට හරිත යායෙන් වෙළාගත් තේ වතු අතරින් වංගු ගැසී යන මාර්ගයේ දියතලාව පසුකොට බණ්ඩාරවෙලට සේන්දු වේ.  


බණ්ඩාරවෙලින් ඔබට දඹේතැන්නට යන මාර්ගයේ ගොස් ලංකාවේ දිස්ත්‍රික්ක රාශියක් එක් ස්ථානයක දැකිය හැකි ලිප්ටන් සීට් වෙත යා හැකිය. තවද බණ්ඩාරවෙල පසුකොට යන විට හමුවන කුඹල්වෙල මංසන්ධියෙන් දකුණට හරවා පිටරැටියනගේ දේශීය ගම වන ඇල්ල නගරයට ගොස් එහි ඇති සොබා නිර්මාණ සේම දෙමෝදර අරුක්කු නවයේ පාලම වැනි විශ්චිත මිනිස් නිර්මාණ පවා බලා ගත හැක.   

 

කන්දේ කෙළවර සිට පැමිණෙමින්

වළාකුළුවලට ඉහළින් ඇති නාරංගල කන්ද

නමුණුකුල සහ අවට පිහිටි කඳු

 


ඉන්පසු කුඹල්වෙල හන්දියේ සිට අපි හාලිඇළ දක්වා පැමිණ කන්දෙගෙදරට යන මාර්ගයට හැර විය. පසුව දුෂ්කර මග දිගේ අවට පරිසරයේ සුන්දරත්වයත් ගමනාන්ත ඉසව්වත් දුරතියාම බලාගෙන කීනකැලේ වෙත පැමිණියෙමු. කීනකැලේ කුඩා ගම්මානක් වන අතර තේ වතු ආශ්‍රිතව දිවි ගෙවන තංගමලේ වත්තේ අහිංසක වතු කම්කරුවන් ජීවත් වේ. මග තොට අසාගෙනම අප ඊළඟට පිවිසියේ ගමන් නිශ්චිතව පා ගමනින් ආරම්භ කළ යුතු ස්ථානය වෙතය.   


කුඩා​ කෝවිලක් පිහිටි ස්ථානයට නුදුරින් ගමන ඇරඹිය යුතු අතර ප්‍රථමයෙන් තේ වතු යාය අනුව ගමන් කළ යුතුය. ක්‍රමවත් අඩිපාරක් ඇති හෙයින් මග සොයා ගැනීම අපහසු නොවේ. කෙසේ හෝ එම මග දිගේ ඉදිරියටම යන විට නාරංගල කඳුවැටිය දිස්වන අතර තේ දලු සමඟ හැපෙන ජීවිත බොහෝමයක් දැකගත හැකිය. තේ වතු යාය පසුකළ පසු ලඳු කැලයකට අවතීර්ණ වන අතර මෙම ගමන යාමේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාමට අමතක නොකරන්න. ලඳු කැලය පයිනස් ගස් කිහිපයකින්ද මාන පඳුරු යායකින්ද සමන්විතය. වැසි සමයේදී මෙම ප්‍රදේශය දැඩි තෙත් බවකින් හා මීදුමකින් ගහණව පවතින අතර එම දිනවලදී මෙම මාර්ග සියල්ලේම කූඩැල්ලන් බහුලව දක්න්ට ලැබේ. එහෙයින් සාමාන්‍ය වර්ෂාවකට පසු හොඳින් පායන වකවානුවේ නාරංගල තරණය කිරීම වඩාත් පහසු වේ.  


තවත් මීටර කිහිපයක් ගිය පසු අපි දළ නැග්මකින් අනතුරුව නාරංගල කන්දේ එක් කෙළවරක පිහිටි බෑවුම ඉහළට පැමිණියෙමු. සුන්දර ක්‍රීඩාපිටියක් ලෙස ඉතාමත් දිගින් සහ පුළුල්ව කඳුවැටිය දක්නට ලැබුණු අතර වටපිටාවේ සුන්දරත්වය දැකීමට හැකි වුණි. මෙතැන් සිට සම්පූර්ණ අඩිපාරම ඇත්තේ ගුවනට විවෘත අවකාශය තුළ මාන පඳුරු යාය අතරිනි. අසළ වූ වෙනත් කඳුවැටියක ලඳු කැලය හැරුණු විට සමස්ත කන්දම එකම හරිත පැහැයකින් දක්නට ලැබුණි.  


දැඩි හිරු රශ්මිය පවතින දිනක මෙම කන්ද තරණය ඔබට වෙහෙසකර විය හැකි වන්නේ කඳුමුදුන මුළුමනින්ම විවෘත වූ නිසාවෙනි. එසේම ජලයේ වටිනාකමද එහිදී නො අඩුව දැනෙනු ඇත. කාලය හොඳ හැටි වූයෙන් අපි පරිසරයේ සුන්දරත්වය වඩ වඩාත් දකිමින් අඩි පාර දිගේ ඉදිරියටම ගමන් ක​ෙළමු. ඒ අසල පිහිටි විශාල ගල් කුට්ටියක් මත හිඳගනිමින් අවට සුන්දරත්වය තවත් විඳගත්තෙමු. මෙලෙස ගමන් කළ පසු අපි කඳු මුදුනට ආසන්නතම ස්ථානයට පැමිණියෙමු. එහිදී විශාල කළු ගල් බිත්ති පිරුණු මාන යායක්ද දක්නට ලැබුණු අතර ඉන් තරමක් ඉහළට නැගගත් පසු අප ළඟා වූයේ නාරංගල කඳු මුදුනටයි.  


මුහුදු මට්ටමේ සිට මීටර 1527ක් පමණ ඉහළින් පිහිටි නාරංගල කඳු මුදුනට නකල්ස්, යහන්ගල, නමුණුකුළ, පිදුරුතලාගල, ඇල්ල, මොණරාගල දක්වා ප්‍රදේශ දැකගැනීමට ලැබුණි. කන්ද මුදුනේ කුඩා චෛත්‍යයක් ඇති අතර එය වර්තමානය වන විට ගම්මුන් ප්‍රයෝජනය ගන්නාවගක් නම් දැකගත නොහැක. මන්ද එහි ටකරං ගැලවී අබලන් මට්ටමේ ඇති හෙයිනි. කෙසේ හෝ ඒ ආශ්‍රිතව ඕනෑම තරම් කුඩාරම් ඇටවීමට ඉඩ පවතින නමුත් අපි මාන පඳුරු ගහණය අවට ස්ථානයක් සොයා ඒවා මට්ටම් කොට කූඩාරම් තැබිය හැකි ලෙස රැදෙව්​ෙවමු.  


අතිශය වියළි කාලගුණය නිසාවෙන් කිසිදු ලෙස රාත්‍රී ගිනිමැලයක් නොගැසීමට තීරණය කළෙමු. මන්ද යත් පවතින සුළං ප්‍රවාහය මත ගිනි අඟුරු කැබලි පවා විසි වී ගොස් වේළුණු ගස් උඩට වැටී මහා ගින්නක් සාදනු ලැබීමට ඉඩකඩ තිබූ හෙයිනි. එම නිසා වියළි කාලයේ ගිනිමැල පත්තු කිරීමෙන් කන්දේ මාන පඳුරු දැවී ගොස් මුළු කන්දම කළු පැහැ ගැන්වෙනු ඇත. මන්ද මීට දෙසතියකට පෙර හටගත් ගින්නකින් නාරංගල කඳුමුදුන පිච්චි ගිය එකම කළු පැහැති ප්‍රදේශයක් විය.  


කූඩාරම් ගසා සඳ ඇති රැයක නාරංගල මුදුනේ ඉන්නට ඇත්නම් එය කෙතරම් සුන්දරත්වයක් විය හැකි දැයි අපට සිතුණි. කුඩාරම් ගැසුවද මාන පඳුරු නොමැති කුඩා ඉඩක ප්‍රවේශමෙන් ආහාර අවශ්‍යතා සඳහා ගිනිමැලයක් ගැසුවද ඊට අවශ්‍ය දර සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර විය. කෙසේ හෝ රාත්‍රිය පහන් වී අලුයම උදා වූ විට දක්නට ලැබුණේ ඇස් අදහාගත නොහැකි දසුනකි. බදුල්ල, මොණරාගල, බිබිල සිට දකුණු හා නැගෙනහිර පළාත් දක්වා වලාකුළුවලින් වැසී තිබුණි. නාරංගල මුදුනේ අප සිටි කඳු ගැටය හැර අනෙක් සියලුම ප්‍රදේශ ඝන වලාකුළු රොදවලින් පිරි තිබුණි. එය ඉතාමත් සුන්දර දසුනක් වූ අතර අප සිටි කන්දට අනෙක් පසින් යුත් කන්ද ද මේ අතර කපොල්ලද මීදුමෙන් වෙළී තිබුණි.  


එක යායට වලාකුළු පිරී තිබුණු ප්‍රදේශය උඩින් සිටින විට හැඟෙන්නේ ගුවන් යානයක සිට පහළ බලන අවස්ථාවයි. සංචාරකයෙකුට තම වාසනාව ඇති පරිදි බොහෝ විට මෙවැනි සුන්දර දර්ශන අත්විඳිය හැක. ඌව පළාතේ සිව්වැනියා මත සිටින විට ඈත ක්ෂිතිජ ඉම දක්වා නොපෙනෙන තරම් අහස් කුස හා යාවුණු වලාකුළු සමූහය වැඩි වෙලා එලෙස නොරැඳුණේ නැගෙනහිරින් මෝදු වන සූර්යයාගේ කිරණ හිමි හිමිහිට එබෙන්නට වූ නිසාවෙනි. රක්ත පැහැපත් හිරු සහ ඒ අවට වෛවර්ණයෙන් බබලන අහස් කුස තුළ ගැබ්ව තිබුණේ ඉතාමත් ප්‍රෞඪ බවකි.  


ඔබමොබ දුවන මීදුම් සහ වලාකුළු රෑන හිමි හිමිහිට අපටත් නොදන්වා ඈත් වන්නට විය. ක්‍රමයෙන් රක්ත බෝලයක් වැනි හිරු නැගෙනහිර අහසින් ඉහළට ඇදුණු අතර අප වටා තිබූ වලාකුළුද ක්‍රමයෙන් ඈත්ව යන්නට විය. හිමිදිරියක කුඩාරමක් මතින් එළියට පැමිණි විට කන්දක් උඩ රැඳෙමින් මෙවැනි සුන්දර දසුන් දැකීම සැබවින්ම වාසනාවකි. හුදෙක් සංචාරය විනෝදයක් නොකර අත්විඳීමක් ලෙස දක්නට මෙම දසුන් කදිම නිදසුනක් වේ.  
අප ගෙන ආ දිරාගිය කොටන්වලින් තවමත් හීනියට දුමක් දමමින් පැවතුණු අතර ළා හිරු රැස් වැටෙන මීදුම් සළු ගත හැපෙන හිමිදිරි උදයේ නැවුම් කෝපි කෝප්පයක රස බැලීමට අප සූදානම් වූයේ රාත්‍රියේ සුව නින්දක් අත්විඳි හෙයිනි. මීදුම් සළු ඈත්ව ගිය පසු ඈතින් හා පහළින් පෙනෙන නගර හා ප්‍රදේශ අපට දැකගැනීමට ලැබුණි. පිදුරුතලාගල සහ නකල්ස් දක්වා විශාල දුරක් දැකගත හැකි වීම සත්‍ය වශයෙන්ම පුදුම සහගත විය. අව් රශ්මිය වැටී නාරංගල නැවතත් ආලෝකවත් විය.  


කන්ද මුදුනේ සිට අප පැමිණි කඳුවැටිය දෙස බලන විට තණ පිට්ටනියක් ලෙස පෙනෙන අතර එහි සුන්දරත්වය දෙස ඇසිපිය නොහෙළා වුව බලා සිටීමට හැකිය. පරිසරය යථා තත්ත්වයට පත් වූ අතර සුපුරුදු සුළඟ ගත දැවටෙන කණිසමේ අප නැවතත් නාරංගල බැසීමට තීරණය කරන ලදී. ආපසු යන ගමන තරමක් පහසු වූ අතර හරිත පැහැගත් තණ පිට්ටනියක් වැනි නාරංගල කන්දට සමුදුන්නේ නැවත දිනක එහි පැමිණෙතැයි සිතමිනි.   
කන්ද බැසගත් අපි කීනකැලේ ප්‍රදේශයට පැමිණියෙමු. නැවතත් ආ මගේම අප ගමන අරඹා තවත් ඉසව්වක් බලා යාමට තීරණය කළේ අද දවසේ තවත් කාලය අපට ඉතිරිව තිබූ හෙයිනි. එහෙයින් හාලි ඇළ සිට බණ්ඩාරවෙලට පැමිණි අපි හපුතලේ බලා යන අතරමග පරිසරයේ සුන්දරත්වය විඳීමට අමතක නොකළෙමු.  

 

නැගෙනහිරෙන් හිරු උදාවස සහ වලාකුළුවලින් වැසුණු පරිසරය

කඳුවැටියේ කෙළවර සිට චෛත්‍ය දෙසට ඇති අඩි පාර

නාරංගල කන්ද

 


ක්‍රමයෙන් හපුතලේ හරහා පෙර දින පැමිණි දුර්ගය බැසීමට පටන්ගත්තේ බෙරගල තෙක් පිහිටි එම කොටසේ සුන්දරත්වය නැවතත් නරඹමිනි. පසුව අප හල්දුම්මුල්ල පසුකොට කළුපහන හන්දියෙන් ලංකාවේ උසම දිය ඇල්ල ​ෙවත ගමන් කරන මාර්ගයට හරවන ලදී. මෙම මාර්ගය ‘යක්ෂයාගේ පඩිපෙළ’ ලෙස හඳුන්වන බෙලිහුල් ඔය සිට ඔහිය හරහා හෝර්ටන්තැන්නට යා හැකි ළඟම මාර්ගය වේ. නමුත් මෙම මගේ දුෂ්කරතාව ඉතා වැඩිය.  


මිට බොහෝ කලකට පෙර අපි යතුරුපැදි මගින් ගල් බොරලු, ගල්කැබලි, විශාල වළවල් සහ තිරිවාන ගල් කැබලි පිරුණු දැඩි අබලන් මාර්ගයේ ගමන් කළෙමු. වංගෙඩිගල සිට බළකඩුව හරහා ගොම්මෝලි කන්ද පැහැදිලිව දැක ගත් අතර තවත් පසෙකින් අපි ගලපිටගල කන්ද දැක ගත්තෙමු. හීන් සීරුවට කිසිදු හදිසියකින් තොරව කඩා වැටෙන බඹරකන්ද දියඇලි කොමළිය දුටු අතර යතුරුපැදි නවතා ටිකට් පතක් ගෙන අපි ඇල්ල පාමුල පිහිටි වේදිකාව අසලට ගියෙමු.  


හොඳහැටි ගත දොවාගෙන බඹරකන්දට ඉහළින් වනය තුළ පිහිටි ලංකා ඇල්ලද නරඹමින් අපි ගමන නිමා කරන්නට සිතුවේ රාත්‍රියට පෙර නිවෙස්වලට යා යුතුව තිබූ හෙයිනි. මුහුණුපොතේ Travel in Srilanka-Sobasiri පිටුව හා සම්බන්ධ වී ඔබටත් මෙවැනි සුන්දර ස්ථාන ගැන දැනගත හැකි අතර මෙම මස එළිදක්වන ලද ක්‍රියාදාම චාරිකා දෙවන කොටස හරහාද ඔබට සම්බන්ධ විය හැක.  

 

 


සංචාරක සටහන හා ඡායාරූප - 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු.