වල් නෙළන්නට හරකෙක්


1965 දී හත් හවුල් ආණ්ඩුව බලයට පත්වී ටික දිනක් ගිය පසු පාසල් ළමයින් ලවා වල්නෙළීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එදිනට ලංගම බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා පාසල් ළමුන්ගේ ප්‍රවාහන පහසුකම් සැලසීය. සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකළ මෙම ක්‍රියාවලියේ සුදු පාසල් ගවුම හා පිරිමි කළුසුදු කොට කලිසම් ඇඳ පැලඳ විශාල වෙල් යායවල්වලද කිරිකොකුන් වැනි දර්ශනීය සිතුවම් නිර්මාණය විය. වල් නෙලීම යනුවෙන් අදහස් කළේ ගොයම් පැළ අතරේ වැවී ඇති තණකොළ ඉවත් කිරීමය. ඒවා බටදැල්ලය. මේ කිසිවක් නොදත් ළමයින් බටදැල්ල සමග ගොයම් පැළද ගලවා දැමූ බව ද කියැවේ.  


 මේ වැඩසටහන සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය ලේකම්වරු) එකල ඩී.ආර්.ඕ. යන ග්‍රාමසේවා නිලධාරීහු ද විශාල ප්‍රමාණයක් සහභාගි වූහ. පාසල් දරුවන්ට සංග්‍රහ කිරීම සඳහා ඉඹුල් කිරිබත් කැට විශාල ප්‍රමාණයක් ද සැපයීම ග්‍රාමසේවා නිලධාරීන් විසින් කරන ලදී. වල් නෙළීමට අද‌ාළ කුඹුරු හිමියන් ප්‍රදේශයේ වෙනත් ප්‍රභූවරුන් සහ හිතවතුන්ගේ අනුග්‍රහයෙන් පාසල් ළමයින්ගේ සංග්‍රහ කටයුතු ග්‍රාමසේවා නිලධාරීන්ගේ මාර්ගයෙන් සිදුවිය.  


 ගම්පහ ප්‍රදේශයේ විශාල කුඹුරු යායක් මැද ඉහත කී අන්දමේ වල් නෙළීම් උත්සවයක් පවත්වන ලදී. මේ උත්සවය සංවිධානය කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් සම්බන්ධ වී අත දිගහැර මුදල් වියදම් කරමින් මහත් උද්යෝගයක් දක්වන බව කාටත් පෙනී ගියේය.  


එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමා ද මෙම උත්සවයට සහභාගි වන බව දැනගන්නට ලැබිණ. එතුමා කැමරාවක් කරේ එල්ලාගෙන, අව් කණ්ණාඩියක් දමාගෙන තොප්පියක් ද දමාගෙන මේ උත්සවවලට සහභාගිවන්නේ චිත්‍රපට නළුවෙක් විලසින්ය. ඒ එතුමාගේ හැටිය. ගැමි දිවිපෙවෙතට, ගැමියන් සමග එක්ව කතාබස් කිරීම එතුමාගේ නිර්ව්‍යාජ දේශපාලන දිවියේ එක් අංගයකි. දේශපාලන වශයෙන් ඇනුම් බැනුම් නින්ද‌ා අපහාස උපහාස ලැබූ වෙනත් දේශපාලනඥයෙක් නැති තරම්ය. නමුත් ඒ එකක්වත් එතුමා සතේකට ගණන් ගත්තේ නැත. දේශපාලන පළිගැනීම්, ඊර්ෂ්‍යා කිරීම්, තරහ මරහා ආදිය එතුමා තුළ නොවීය.  


 මෙම උත්සවයට අග්‍රාමාත්‍යතුමා ද සහභාගි වන බව ප්‍රචාරය වීමත් සමග මෙය කෙළින්ම රජයේ එවකට බලයේ සිටි පක්ෂයේ ප්‍රචාරක වැඩක් බව මේ දෙස ඇස ගසාගෙන සිටි ‘ඇත්ත’ පත්‍රයේ උකුසු ඇසට ලක්විය. එවකට ඇත්ත පත්‍රය කියන්නේ විරුද්ධ දේශපාලන පක්ෂයක පත්තරයක්. ජනප්‍රිය භාවයේ හිනිපෙත්තටම නැග තිබූ ඇත්ත පත්‍රය උණුකැවුම් මෙන් විකිනෙමින් තිබුණි. රජයේ සියලු රහස් මේ පත්‍රය මගින් එළිකිරීම හාස්කමක් බවට පත්විය. කිසියම් දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක සිදුවන සියලු දේ ඇත්ත පත්‍රයට යන්නේ ද දේශපාලන උපක්‍රමයක් හැටියටය. මෙම උත්සවය ද දේශපාලන මුහුණුවරකින් වාර්තා කිරීම ඇත්ත පත්‍රයට අයිති කාර්යයකි. සියලුම දේවල් වාර්තා කරන්නේ ඡායාරූප ද සමග සනාථ කිරීමට බලාගෙනය.  
පාඨකයාගේ ක්ෂණික අවධානය යොමු කරගැනීම සඳහා කදිම සිරස්තල යෙදීම ද මෙම පත්‍රයේ සුළභ ලක්ෂණයකි.  


මෙම වල්නෙළීමේ උත්සවයට විශේෂ අනුග්‍රහය දක්වන ලද ඉහතින් සඳහන් කළ ව්‍යාපාරිකයා නිකම්ම ව්‍යාපාරිකයෙක් නොව මස්කඩකාරයෙකි. එදින ඔහුගේ සුවිසල් මන්දිරයේ අතිවිශේෂ සංග්‍රහයකි. ඉහළම වර්ගයේ බීම වර්ග රස මසවුළු ගවමස් වලින් නොයෙක් ආකාරයට සකසන ලද කෑම ජාති මෙහි අඩුවක් නොවීය. එපමණක් ද නොව ඔහුගේ හිතවතුන් නෑදෑයින් මෙන්ම උත්සවයට සම්බන්ධ රජයේ ආයතන වල ඇතැම් නිලධාරීන් ද එහි වූහ. පාටියේ උච්චම අවස්ථාව වන විට එවකට සිටි සුප්‍රසිද්ධ ගායකයෙක් වූ මිල්ටන් පෙරේරා ද ගීත කීපයක් ගායනා කරනු පෙනිණ.  


මේ කිසිවක් නොදන්නා ප්‍රාදේශීය ලේකම් (ඩී.ආර්.ඕ.) මහතාගේ අනෙකුත් නිලධාරීන් ද සමග විශාල වෙල්යායේ මැද හරියේ කොටකලිසමක් ඇඳ පාසල් ළමුන් සමග වල් නෙළීමේ කාර්යයේ යෙදී සිටියේය. මේ අතර අප සඳහන් කළ ව්‍යාපාරිකයා තවත් පිරිසක් ද සමග ඩී.ආර්.ඕ. මහත්මයා සිටින ස්ථානයට පැමිණ ඔවුහු ද වල්නෙළීමට පටන් ගත්හ. හොඳට සප්පායම් වී සිටි ව්‍යාපාරිකයා සහ පිරිස පාසල් දරුවන් ඉදිරියේ හැසිරෙන ආකාරය එතරම් සුවද‌ායක නොවීය. කීප වාරයක් වෙලේ වැටෙන්නට ගිය ව්‍යාපාරිකයාව ගෝලයින් විසින් නියරක් උඩට ගෙන ඒමට කටයුතු කරන ලදී. ඔවුන්ගේ හැසිරීම පාසල් ළමුන්ගේ වැඩවලට නොසිතූ ආකාරයේ බාධාවක් විය. මෙය වටහාගත් ඩී.ආර්.ඕ. මහතා වෙලාවද ඉක්මවා ගොස් තිබුණු නිසා පාසල් ළමුන්ව බස්රථවලට යැවීමට ක්‍රියා කළේය.  


පාසල් ළමුන් ගියාට පසු ව්‍යාපාරිකයා ඩී.ආර්.ඕ. මහතාට ද තම නිවසට එන ලෙස ආරාධනා කළේය. අවසානයේදී ඩී.ආර්.ඕ. මහතා හැර වෙනත් රජයේ නිලධාරීන් විශාල පිරිසක් ද ව්‍යාපාරිකයාගේ සුවිසල් මන්දිරයේ රැදී සිටිනවා දක්නට ලැබිණ.  


රජයට පහර ගැසීමට ඇති හොඳම අවස්ථාව ලෙස සැලකූ ඇත්ත පත්තරකාරයා පසුදින ප්‍රධාන සිරස්තලයට කදිම පාඨයක් සොයමින් සිටියේය. මෙම උත්සවයට මස්කඩකාරයාගේ සම්බන්ධය ද ඔහුගේ නිවසේ පවත්වන ලද පාටිය ද ඇත්ත පත්‍රයට ආරංචි වී තිබුණි. පත්තරවල පළවන සියලුම දේවල් සියයට සීයක්ම ඇත්ත නොවුව ද ඔවුන්ගේ ද ඇඟ බේරාගෙන පාඨකයාගේ අවධානය යොමුකර ගැනීම සඳහා කදිම සිරස්තලයක් පසු දින ඇත්ත පත්‍රයේ පළවී තිබුණි. ඒ පුවත්පත් කලාවේ හැටිය.  


 ‘පාසල් දරුවන්ගේ දිවා ආහාරය සඳහා හරකෙක් මරයි’  


ගම්පහ බ්‍රැන්ඩියමුල්ල වෙල්යායේදී ඊයේ පවත්වන ලද වල්නෙළීමේ ශ්‍රමද‌ානයට සහභාගි වූ පාසල් දරුවන්ට මස්කඩ මුදලාලි කෙනෙකුගේ අනුග්‍රහයෙන් හරකෙකු මරා කන්නට දුන් බව වාර්තා වේ.

 

 

 ඩබ්ලිව්a අමරසිරි ගුණවර්ධන,  
ගනේමුල්ල.