වලසුන්ට මතුරන්න ගිය මිනිසුන් ගස් උඩ


වැව්ගම්පත්තුවේ වන මං දිගේ  

 

වර්ෂ 1948 දී ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් දිගාමඩුල්ලේ සංවර්ධන කටයුතු අරඔන්නට පෙර මෙහි තිබුණේ අඳුරු වනාන්තර රැසකි. එම සංවර්ධන කටයුතුවලින් පසුව එනම් මීට වසර හතළිහකට පනහකට එපිට දී වුවද දිගාමඩුල්ලේ බොහෝ ප‍්‍රදේශ අඳුරු වනාන්තරය. ඒ අතරින් වැව්ගම්පත්තුවේ නොයිඳුල් අඳුරු වනාන්තර ප‍්‍රදේශවල වන සතුන් ඔවුනට රිසිසේ රජ කළහ. එකල මෙම ප‍්‍රදේශවල වන සතුන් දිවා රාත‍්‍රී කියා වෙනසක් නොමැතිව ගම් අසල සැරි සැරුවේ ඒ තරමට ගම්මාන අසල ද කැලෑව වූ බැවිනි. ඒ අතරින් වලසුන් බොහෝවිට මිනිසුන්ට මුණ ගැසුණු අවස්ථා බොහෝය. වැව්ගම්පත්තුවේ පැරැණියෝ පවසන ආකාරයට වලස් ප‍්‍රහාර නිසා තුවාල වූවන් අතර එකල වැව්ගම්පත්තුවේ බොහෝ දෙනෙකුම සිට ඇත. 

වලසා මිනිසකුගේ මූණට මුණ ගැසුණොත් බේරී යාම ඉතා අපහසුය. වලස් ප‍්‍රහාර නිසා දකුණු වැව්ගම්පත්තුවේ සිටි ආරච්චි මහතෙක් ද තුවාල ලැබුවේය. දහවල් කාලයේ දී කිසියම් අවශ්‍යතාවකට දමන වරාලන්ද ප‍්‍රදේශයේ සිය නිවස අසල වූ කැලෑවට ගිය ඔහුට නොසිතු ලෙස වලසකු මුණ ගැසුණි. ආරච්චි මහතා වෙත කඩා පිනු වලසා ඔහුගේ මුහුූණේ එක් පැත්තක් පහුරු ගෑ අතර එයින් ඔහුගේ මුහුණේ දකුණු පස ඉරී ගියේය. කෙසේ හෝ වලසා සමඟ සටන් කර පැන ගත් ආරච්චි මහතාට නතර ​ෙවන්නට සිදු වූයේ මඩකළපු රෝහලේය. ඇස ආසන්නයෙන් මස් ඉරි ගොස් තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස මියෙනතුරුම ඔහුගේ ඇසෙන් වරින් වර කඳුළු වෑස්සෙන්නට විය. තුවාල කැළැල් ද එලෙසම විය. එම සිදුවීමෙන් පසුව ”වලහා කාපු ආරච්චි” යනුවෙන් ඔහුට නම පට බැඳුණි. 


මීට වසර පනහකට හැටකට පෙර දකුණු වැව්ගම්පත්තුවේ මොරගහපල්ලම ප‍්‍රදේශයේ ද වලස් ප‍්‍රහාරයක් නිසා තුවාල වූ තැනැත්තෙක් සිට ඇත. ඒ හේරත් මුදියන්සේලාගේ තිලකරත්න හෙවත් ලියන මහත්තයාය. ලියන මහත්තයා කීප විටක්ම වලසුන් සමඟ සටන් කර ජය ගත් අයෙකු බව ප‍්‍රකටය එහෙත් එක් වලස් ප‍්‍රහාරයකින් ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇත. එම වලස් ප‍්‍රහාරය නිසා ඔහුගේ වම් ඇසට යටින් විශාල කැළලක් වී ඇත. ඇස ද තරමක් ඉරීගොස් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල වී ඇත. ඉහත කී ආරච්චි මහතාගේ මෙන් ඔහුගේ ද ඇසින් කඳුළු ගලමින් තිබී ඇති අතර, මුහුණට ද විකාර ස්වරූපයක් ආරුඪ වී තිබූ බවද පැරණියෝ කීහ. 


වලසා නිරන්තරව මිනිසාගේ දෑස් දෙසට නෙත් යොමන අතර මුහුණට පහර දෙන්නේ ඒ නිසා බව මඩාන ගමේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ සිරිවර්ධන හෙවත් සුදු මාමා කීය. කෙසේ හෝ ප‍්‍රතිවාදියා බිම දමාගෙන මුහුණ ඉලක්ක කර ගැනීම උගේ සිරිත බවද හෙතෙම කීය. වලසකු නැගිට සිටගෙන එන බවට බොහෝ දෙනා කීවද තමන්ට එවන් අත් දැකීමක් නොලැබුණු බව හෙතෙම තවදුරටත් කියා සිටියේය. 


බොහෝ විට මිනිසුන් සහ වලසුන් වැඩි වශයෙන් එකට මුණ ගැසෙන කාලයක් වේ නම් ඒ මැයි සහ ජුනි යන කාල වකවානුවලදීය. ඊට ප‍්‍රධානම හේතුව එම කාලයට මහ ඝන වනාන්තරයේ බැඳෙන මී වදය. අප්‍රේල් මාසය පුරා මී මැස්සන් මී බැඳීම ආරම්භ කරන අතර පසු මාස දෙකේ හොඳින් මී පිරුණු වද වනාන්තරය පුරා සැඟව තිබේ. ඒ කාලයට වැව්ගම්පත්තුවේ කැලෑබද ගම්මානවල පිරිමින් බොහෝ දෙනා මී කඩන්නට යති. දින කීපයක් කැලේ සරණ ඔවුන් ආපසු එන්නේ ලබු කැට හෝ මැටි මුට්ටිවල මී වද පුරවාගෙනය. 


මෙලෙස මිනිසුන් වනයේ සරද්දී වලස්සු සිය ගුහාවලින් මෑත්ව මී වද සොයමින් සරති. මී වද උන්ගේ ද ප‍්‍රණීත අහරකි. එවන් බොහෝ අවස්ථාවලදී දෙපිරිස මූණට මුණ ගැසෙති. ඇතැමුන් දිවගොස් සැඟවී බේරෙන අතර තවත් සමහරුන් ගස්වලට නැග දිවි ගලවා ගනිති. ඇතැමුන්ට වලසා සමඟ සටන් කර බේරීමට සිදුවේ. 


මෙලෙස මී වද කඩන්නට ගිය අවස්ථාවලදීත් වෙනත් අවස්ථා කීපයකදීත් සුදු මාමා ට වලසුන් මුණ ගැසී ත‍්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දෙන්නට වූ ආකාරය විස්තර කළේ මෙසේය. 


”දවසක් අපි පස් දෙනෙක් මී කඩන්න මහපත්තුව කැලෑවට ගියා. මුළු දවසෙම කැලෑවේ ඇවිද ඇවිද අපි මී වද හෙව්වා එදා අපට හිතපු තරම් මී වද ලැබුණේ නෑ. මහ කැලේ දීම දවල්ට උයාගෙන කෑවා. ඉතින් අපට හරි මහන්සියි. මගේ අතේ තුවක්කුව තිබුණට දඩයමක් හරි ගියෙත් නෑ. දැන් ටික ටික හැන්දෑ වෙලා. කළුවරත් වැටෙන්න ළඟයි. මේ නිසා අපි ආපහු ගමට එන්න පිටත් වුණා. මගක් එනකොට හොඳටම කළුවරයි. අපි අතේ තිබුණ ටෝර්ච් එකත් පත්තු කර ගත්තා. දැන් හාවක් හූවක් නෑ, එක්කෙනා පස්සේ එක්කෙනා එනවා. මම තමයි ඉස්සරහින්ම යන්නේ. මට කැලෑව හොඳට හුරු නිසා හිතට ලොකු බයක් දැණුනේ නෑ. ඒත් අනිත් අයගේ ආරක්‍ෂාව තිබුණෙ මගේ අතේ. ඒ නිසා මම හොඳ හෝදිසියෙන් තමයි ඉස්සරහට ගියේ. ඔය තිඹිරිගොල්ල මහපත්තුව කැලෑව රූස්ස ගස් කොළං සහිත මහා ඝන වනාන්තරයක්. හරියට පාරක් තොටක් නොදැන ගියොත් අතරමං වෙනවා. අලි, කොටි වලස්සු ඕනෑ තරම් මේ කැලෑවේ ඉන්නවා.” 


”මග සලකුණු අනුව මඩාන ගමට යන්න තව සැතපුම් තුන හතරකට වඩා තියෙනවා. එයින් වැඩි කොටසක් මහ ඝන වනාන්තරය. කැලෑවේ රැහැයි සද්දය ඇරුණහම එක එක සත්තුන්ගේ සද්ද විතරයි තියෙන්නේ. ගොඩාක් ඈතින් අලියෙක්, නරියෙක් නැත්නම් ඉහළ අහසේ කුරුල්ලෙක්ගේ සද්දය ඉඳ හිට ඇහෙනවා. මෙහෙම ඉස්සරහට යනකොට අපට තරමක් ඉදිරියෙන් කොළ අතු බිඳෙන සද්දයක් ඇහුණා. ඒ එක්කම සර සර ගාලා කොළ අතු පෑගෙන හඬකුත් ඇහුණා. ටෝර්ච් එක අතේ තිබ්බ කෙනාට කිව්වා සද්දය ඇහුණ පැත්තට එළිය අල්ලන්න කියලා. ඒත් ගහකොළ ඇරෙන්න පේන්න මොකෙක්වත් නෑ. හැබැයි ඉතින් අපි ගමන් කරපුු අඩි පාර ඇරුණම වටේටම වනාන්තරය. මහ ගස් යට පොඩි පොඩි ගස්, ඉළුක් පඳුරු නැත්නම් මාන පඳුරු. ඒ නිසා ටෝර්ච් එළියට වුනත් පැහැදිලිව යමක් පේන්නේ නෑ. අපි පොඩ්ඩක් නතරවෙලා හිටියා. ඒත් සද්දයක් නෑ. ගමන් අරඹන්න කලින් අපේ අයට කිව්වා පරිස්සමින් හොඳ අවධානයෙන් එන්න කියලා. කකුල් හතරේ සත්තුන්ගෙන් වගේම සර්පයින්ගෙන් බේරෙන්නත් ඕනෑ. අර සද්දය ආයෙත් අපේ ගමනට සමාන්තරව ඇහුණා. හරියට අපේ ගමනට සමාන්තරව කවුරු හරි ඇවිදගෙන යනව වගේ. එහෙම ටිකක් දුර ගිහිල්ලා ඒ හඬ අපට වඩා පහු වුණා. කවුරු හරි ඇවිදිනකොට කොළ පොඩි වෙන හඬ තමා ඒ ඇහුණේ. නියං කාලය නිසා ගස්වලින් වැටුණ කොළ වේළිලයි තිබුණේ. අපි ගමන් ගත්ත පාරේ ඒ තරමට කොළ තිබුණේ නෑ. මම හැමෝටම පොඩ්ඩක් නතර වෙන්න කිව්වා. කට්ටිය තරමක් බය වෙලා වගේ මට දැණුනා. ඒ අය බය වෙලා තිබුණේ හොල්මනක් කියලා හිතලා. මම එය අස්වසලා ගමන ආරම්භ කළා. හැබැයි මට තේරුණා මේ හැංගි මුත්තන් සෙල්ලම කළේ වලහා කියලා. නමුත් මම ඒ බව අපේ අයට කිව්වේ නෑ. කිව්වනම් ඒ අය බය වෙනවා. මූණට මුණ නොගැසුනොත්, සාමාන්‍යයෙන් වළහාගේ සිරිත තමා බොහෝම සීරු මාරුවෙන් පිටිපස්සෙන් ඇවිත් පහර දීම. ඉතින් එදත් එහෙම වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම පිටිපස්සෙන් එන අය ගැන හොඳ අවධානයෙන් ගියේ. මෙහෙම ටික දුරක් ගියත් එවැනි අවදානමක් ඇති නොවුණ නිසා මම සැනසුම් සුසුමක් හෙළුවා. ඒත් අවධානයෙන් හිටියා. අපේ පිරිසේ පිටිපස්සෙන්ම ආවේ මගේ මස්සිනා කෙනෙක් වෙච්ච, ඒ කාලේ දමන හිටපු ධර්මපාල තැපැල් මහත්තයා. දැන් ඉතින් හැමෝම හාවක් හූවක් නැතිව ගමන යනවා. එක සැරේම තැපැල් මහත්තයා කිව්වා ඒයි මෙන්න මගේ පස්සෙන් මොකෙක්දෝ එනවා. කියලා. ඒ කියන කොටමත් මට සියල්ල වැටහිලා ඉවරයි. මම තප්පර දෙක තුනක් ඇතුළත පිටිප්සසට හැරුණා. 

මම පිටිපස්සට හැරෙනකොට මගේ පිටි පස්සෙන් හිටපු අය පොඩ්ඩක් එහාට මෙහාට වුණේ මට අවශ්‍ය දේ කරන්න ඉඩ දීලා ටෝර්ච් එළියත් ඒ පැත්තට වැදුණා දැන් සියල්ල පැහැදිලියි. තඩි වලහෙක් දැන් මගේ ඉස්සරහා. මග අරින්නත් බෑ. වෙන කරන්න දේකුත් නෑ. අතේ තිබුණ තුවක්කුවෙන් වලහට වෙඩි තිබ්බා. වලහා එතැනම ඇදගෙන වැටුණා. හොඳට සෝදිසි කරලා බැලුවා. වළහා මැරිලා. මාත් එක්ක ආව පිරිස තුෂ්ණිම්භූත වෙලා හිටියේ. මොහොතක් එතැන ගිමන් ඇරලා අපි ආයෙත් ගමන් ඇරඹුවා. මේ විදිහට බොහොම අවදානම් ත‍්‍රාසජනක ගමනකින් පස්සේ මහ රෑ 12 ට විතර ගෙවල් වලට ආවා.” 


‘‘තවත් දවසක අපි මී කඩන්න මහපත්තුව කැලේට ගියා. එදා අපේ නඩේ හය දෙනෙක් හිටියා. එදා උදේ තමා අපි කැලේට ඇතුළු වුණේ. දවල් වෙනකොට කොහොම හරි හොඳට පැණි තියෙන මී තුනක් කඩා ගන්න පුළුවන් වුණා. කැලේ ගහක් යටම උයාගෙන කෑවා. හවස දෙක වෙනකොට වහින්න ගත්ත නිසා අපි ගල්ගුහාවකට රිංග ගත්තා. එතන හොඳට ඉඩ කඩත් තිබුණා. එදා රෑ හත වෙනකම්ම වැස්සා. රෑ බෝ වුණ නිසා රෑටත් උයලා කාලා, ගිනි මැලයකුත් ගහගෙන ඒ ගල්ගේම නිදා ගත්තා. මාරුවෙන් මාරුවට ඇහැරලත් හිටියා. පහුවදා උදේ අටහමාරට විතර ආයෙත් මී පැණි හොයන්න පටන් ගත්තා. මී පැණි වාරේ නිසා වලසුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනැ කියලා මම හැමෝටම අනතුරු ඇෙඟව්වා. මේක අහගෙන හිටපු අපේ නඩේ කෙනෙක් කිව්වා කිසි දේකට බය වෙන්න එපා මම වලස්සු එළවන මන්තර දන්නවා, අාවොත් මම ලස්සනට වැඩේ දෙන්නම් කියලා. මමත් ඉතින් නිකමට වගේ ඇහුවා මන්තර වලින් ෂුවර් එකටම වලහෙක් එළවන්න පුළුවන් ද කියලා. අර මනුස්සයා ගත් කටටම කිව්වා මේ මොනවා කතා කරනව ද සුදු මල්ලි එක වලහෙක් නෙවෙයි වලස්සු රංචුවක් ආවත් මම මතුරලා එළවන්නම්කො කියලා. දැන් ඉතින් නඩේ අනිත් අයත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඔය අතරේ තවත් එක්කෙනෙක් කිව්වා වලහෙක් ආවොත් කිසි කෙනෙක් දුවන්න එපා, මන්තරෙන් බැරි වුනොත් අපේ අතේ තියෙන කැති පොරෝවලින් ලී වලින් ගහලා වලහා මරමු කියලා. මම එතකොට අහුවා ඇයි මේ මගේ අතේ තියෙන තුවක්කුව........ එ්කෙන් වෙඩි තියන්න එපා ද කියලා. එතකොට තවත් කෙනක් කිව්වා පිස්සුද සුදු මල්ලි අපට ඕනැ වලහත් එක්ක සටන් කරන්න ඒ නිසා අපි වලහා එක්ක සටන් කරන්නම් ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ කියලා. දැන් ඉතින් මෙතන හරිම තර්ක විතර්ක මන්තර දන්න කෙනා කිව්වා මොන සටන් ද මම වලහා එනකොටම මතුරලා එළවන්නම්කෝ කියලා. නෑ නෑ අපි වලහා එක්ක ලී වලිනුයි පොලුවලිනුයි ෆයිට් කරලා ඌට ගහලා එළවමු.......... මරන්න ඕනැ නෑ. තවත් එක්කෙනෙක් කිව්වා. ඔන්න හැමෝම එකා වගේ ඉන්න ඕනැ කියලා තව කෙනෙක් කිව්වා. දැන් මේ අය දිගටම කතා කරනවා. හරිම සටන්කාමීයි. හරිම නිර්භීතයි. බැරිම තැන මම කිව්වා හරි හරි වලහෙක් හම්බ වුනොත් ඔයාලට කැමති විදිහට කරන්න. මම පැත්තකට වෙලා ඉන්නම් කියලා. දැන් ඉතින් ආයෙත් අපි ගමන් ආරම්භ කළා. කොයි එකටත් කියලා මම ඉස්සර වුණා. මගේ අතේ වෙම්බ්ලි ස්කොට් වර්ගයේ තුවක්කුව තියෙනවා.” 


‘‘ටික වෙලාවකින් ඔන්න අපි කිසියම් එළිමහන් ප‍්‍රදේශයකට ආවා. තරමක් ඈතින් පස් කන්දක් වගේ තැනක වල් ඌරෙක් වගේ සතෙක් අපේ පැත්තට එනවා පේනවා. ඉර එළිය අපේ මූණට වැටෙන නිසා අපට මේ සතාව පැහැදිලිව පෙනු​ණේ නෑ. මට පෙ​ෙනණ හැටියට නම් ඌරෙක්ම තමයි කියලා මම කිව්වා. අනිත් අයත් ඒක අනුමත කළා. අපි හැමෝම පොඩ්ඩක් පස්සෙන් පස්සට ගියා. දැන් තරමක් පැහැදිලියි. මම හොඳ සුපරික්‍ෂාවෙන් බැලුවා. වලහා මට ඉබේටම කියැවුණා. ඒ එක්කම මගේ පිටිප්සසෙන් ආව පස් දෙනත් වලහව දැක්කා. ඔව්මයි වලහෙක්! අර මන්තර මතුරලා වලස්සු එළවනවා කියපු කෙනාට හයියෙන් කියවුණා. ඒ එක්කම මට ඇහුණා දඩි බිඩි ගාලා ඔක්කෝම දුවනවා. නිකම් නෙ​ෙවයි පොඩි ගස් පෙරළගෙන බිඳගෙන අතේ තිබුණ කැති, පොරෝ ලී, සේරම දාලයි දිව්වේ. මම මොහොතකට පස්ස හැරිලා බලලා ආපහු මගේ ඉදිරිපිට බැලුවා. ඒ තප්පර කීපයට වලහා මගේ ඉස්සරහා. මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. වලහා බය කරන්න හිතාගෙන වලහාගේ පැත්තට හරවලා උගේ ඇඟට ඉහළින් යන්න වෙඩිල්ලක් තිබ්බා. ඒත් ඌ බය වුණේ නෑ. ඌ ගොරවගෙනම මගේ පැත්තට එනවා. ඇත්තෙන්ම සාමාන්‍ය පුද්ගලයකුට කැලෑවෙදි වලහෙක් මුණ ගැහුණනම් උගේ අමුතු විදිහේ ගෙරවිල්ලට සහ ස්වභාවයට හොඳටම බයවෙලා මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. උගේ හඬ ඒ තරමට රළුයි, බියකරුයි. දැන් වලහත් මාත් අතර අඩි දහයක පහළොවක වගේ පරතරයක් තියෙන්නේ, මූ අඩි තුන හතරක් උස හොඳට වැඩුණු එකෙක්. 


මාව පෙරළගත්තොත් කීතු කීතුවලට ඉරන බවනම් ඒකාන්තයි. 


මාත් එක්ක ආව මන්තර කාරයොත් නෑ, ෆයිට් කරනවා කියපු මිනිස්සුත් නෑ. තවත් මොහොතක්වත් හිතන්නේ නැතිව තවත් පතුරමක් දාගෙන තුවක්කුවේ කොකා ගැස්සුවා. වලහා මට අඩි දෙක තුනක් ඉදිරිපිට ඇදගෙන වැටුණා. මම තවත් පතුරමක් දා ගත්තා. ඔය අතරේ වැලහින්නක් ආවා. මම ගහකට කවර් වෙලා සූදානමින් හිටියා. අර වැලහින්න උගේ හොම්බෙන් වලහාව තල්ලු කරගෙන තල්ලු කරගෙන කැලෑව ඇතුළට වැදුණා. සමහර විට වලහා මැරෙන්න ඇති. මම ටිකක් පිටි පස්සට ගිහිල්ලා අනිත් අය හෙව්වා. තුන්දෙනෙක් ඒ අසලම තිබුණ ඉතාමත් පොඩි වීර ගහකට නැගලා වෙව්ලනවා. තව එක්කෙනෙක් නැග්ගනම් ගහ කඩාගෙන වැටෙනවා විතරක් නෙවෙයි මේ අයට තුවාලත් වෙන්න ඉඩ තිබුණා. 


වලහා ආවනම් මේ අයව අතින් ඇදලා ගන්න තරම් ලේසියි. මම කිව්වා දැන්වත් බැහැපල්ලා කියලා. අපේ බඩු මුට්ටු කදක් වගේ බැඳගෙන ගිය කෙනා ඒවා පැත්තකට දාලා ගහක් බදාගෙන තවමත් ගහට නගින්න දඟලනවා. මතුරනවා කියපු මිනිහා හෙමීට ගහෙන් බහිනවා. බැලින්නම් මිනිහගේ අතින් ලේ ගලනවා. බය වෙලා දුවද්දි එයාගෙම අතේ තිබුණ කැත්තෙන් අත කැපිලා. ලේ ගැලීම තදින්ම සිද්ධ වෙන නිසා බෙහෙත් පැළෑටියක් හොයාගෙන ඒවා තළලා තුවාලෙට තියලා බැඳලා සරමක් ඉරලා රෙදි පටියකින් බැන්දා. ඔය අතරතුර පස් දෙනාම මගෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්තා. 

 

 

 


මතු සම්බන්ධයි

 

 

 

 

සටහන සහ සේයා රූ
දිගාමඩුල්ලේ 
සමන් දිසානායක