වලසුන් තුන් දෙනකුගේ ප්‍රහාරයකට ලක්වූ සුදු මාමා


වැව්ගම්පත්තුවේ වන මං දිගේ-2  

 

වනාන්තරය යනු සැබවින්ම සුන්දර තැනකි. එහෙත් ඒ සුන්දරත්වය තුළම වනාන්තරයේ බියකරු බව රැඳී ඇත. පාරක් තොටක් හෝ වනාන්තරයේ ස්වභාවය හෝ නොදැන එහි ගමන් කිරීම අතිශය අවදානම්ය. අලි කොටි වග වලසුන් ගෙන් සපිරි වනාන්තරය බෙහෝමත් ම බියකරුය. අහම්බයකින් හෝ රුදුරු වන සතෙකු මූණට මුණ ගැසුණොත් කුමකින් කුමක් වේ දැයි සිතා ගැනීමටවත් නොහැක.   

දිසානායක මුදියන්සේලාගේ සිරිවර්ධන (69) මහතා දකුණු වැව්ගම්පත්තුවේ (දමන) දක්‍ෂ වෙඩික්කරුවෙකි. බොහෝ දෙනෙකු ඔහුව හඳුනන්නේ සුදු මාමා යන ආදර නාමයෙනි. එක්තරා කාලයක වනාන්තරය ඔහුගේ ප‍්‍රියතම නිවහනකි. මී කැඩීමට යන සහ හේන් වගා කරන අයටත් එකල ගෙයක් දොරක් සාදා ගන්නට දැව දඬු හෝ ඉළුක් ගෙන එන්නට යන අයටත් යම් යම් අවස්ථාවලදී ආරක්‍ෂාව සලසමින් පෙර මගින් ගමන් කරන්නේ ඔහුය. ඔහුගේ රැකවරණය බෙහෙවින්ම අගනේය. මේ යන එන ගමන් වලදීත් වෙනත් අවස්ථා වලදීත් ඉඳහිට දඩයමක් ද නොකළා නොවේ. මන්ද යත් දඩයම මීට දශක කීපයකට පෙර වැව් ගම්පත්තුවේ ආහාර රටාවේ අංගයක්ව තිබූ බැවිනි. තලප සහ දඩමස් එකල වැව්ගම්පත්තුවේ රසවත් මෙන්ම පෝෂ්‍යදායක ආහාරයකි.   


ඇතැම් අවස්ථාවල දී බෙහෙත් පැළෑටි වැනි දේවල් ගෙන ඒමට ද ඔහුට මහ ඝන වනයට යාමට සිදු වේ. මෙවැනි බොහෝ අවශ්‍යතා සඳහා සුදු මාමා වනාන්තරයට පිවිස ආපසු එන්නේ පැය හතර පහක් පසු වීමෙන් පසුවය. උදෑසන කිසියම් අවශ්‍යතාවයකට වනාන්තරයට පිවිසෙන හෙතෙම ආපසු එන්නේ සවස හිරු බැස යාමෙන් පසුවය. රාත්‍රියට මිතුරන් පිරිසක් සමග වන ගත වෙන ඔහු ආපසු එන්නේ අලුයම් කාලයේ දීය. දිවා කාලයේ දී තනිවම වනයට පිවිසුණත් රාත‍්‍රී කාලයේ එවැනි ගමන් කෙරෙන්නේ පෙර කී පරිදි මිතුරන් පිරිසක් සමගිනි.   


වනාන්තරයේ ගහ කොළ සහ සතා සීපාවා ගැන ඔහුට ඇත්තේ විශේෂ අත් දැකීමකි. මේ නිසාම අවස්ථා කීපයක දී වන සතුන්ගෙන් ඔහුගේ ජීවිතයත් අන්‍යයන්ගේ ජීවිතත් බේරා ගැනීමට හැකි විය. එහෙත් ඔහු ඉතාමත්ම අවදානම් සටනකට යොමු වුණේ මීට විසි දෙවසරකට පෙරය. සැබවින්ම එය ජීවිතයත් මරණයත් අතර සටනක් විය. වළසුන් තිදෙනෙකු මහ ඝණ කැලෑවේ දී මුහුණට මුණ ගැසුනොත් ඔබට කුමක් සිදු වේ ද?   
එහෙත් සුදු මාමාට එසේ නොවීය.   


ඔහු තම අත්දැකීම් යළිත් අනාවරණය කළේ මෙසේය.


‘‘ගොඩාක් ඉස්සර කාලේ මේ පළාතේ දක්‍ෂ වෙඩික්කරුවෝ හිටියේ දෙතුන් දෙනෙක් විතරයි. මේ පළාත් ඉස්සර ඝන වනාන්තර විදිහටයි තිබුණේ. ගමකින් ගමකට යන්නත් තුවක්කුකාරයෙක් ඕනැ. නැත්නම් ඉතින් වන සතෙකුගේ ප‍්‍රහාරයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කාළේ මිනිස්සුන්ගේ ප‍්‍රධානම ජීවන මාර්ගය තමයි හේන් වගාව. හේන් වගාවට කරදර කරන සත්තුන්ගෙන් ආරක්‍ෂා වෙන්නත් මිනිස්සු තුවක්කු පාවිච්චි කළා. මේ කියන දරුණුම සටන සිද්ධ වුණේ දමන තිඹිරිගොල්ල මහපත්තුව කියන මහ ඝන කැලෑවෙ දී මහපත්තුව කියන්නේ අලි කොටි වලස්සු ඉන්න මහ ඝන කැලෑවක්. හරියටම 1995 වර්ෂයේ පෙබරවාරි 04 වැනිදා තමයි මේ සිද්ධිය වුණේ. මහපත්තුවට අයිති වානි ඇල්ල කියන කැලෑබද ප‍්‍රදේශයේ 15 දෙනෙක් විතර ගොඩට වී ගහලයි තිබුණේ. කැලෑව ළඟ නිසා අලින්ගෙන් බේර ගන්න එක තමයි ප‍්‍රශ්නේ. ඒකට එකම විසඳුම තමයි තුවක්කුව. ඒ කාලේ අද වගේ අලි වෙඩි තිබුණේ නැහැ. අපි තුවක්කුව පාවිච්චි කරලා හරි රතිඤ්ඤා කරලක් පත්තු කරලා හරි තමා අලි එළවන්නේ.”   


”ඉතින් පෙබරවාරි 03 වෙනිදා උදේ කට්ටියම ගොයම් කපලා මිටි බැන්දා. හවස් වරුවේ පොඩි වැස්සක් ආව නිසා අපි ගෙවල් වලට යන්නේ නැතිව වාඩියේම නතර වුණා. වැස්සත් අඩු වෙලා ගියා. පහුවදා ඇහැරුණාට පස්සේ මම අනිත් අයට කිව්වා ඔයාලා වැඩ කරන්න මම කැලේ පැත්තේ රවුමක් ගහලා එන්නම් කියලා. කැලෑව ගැන මට අත්දැකීම් තියෙන නිසා අනිත් අයත් නිහඬව හිටියා. මගේ අතේ වෙම්බ්ලි ස්කොට් වර්ගයේ තුවක්කුවක් තිබුණේ. කැට 09 පතුරමකුත් දාලයි තිබුණේ. උඩ සාක්කුවේ තව පතුරන් තුන හතරක් තිබුණා. කලින් දවසේ පොඩ්ඩක් වැහැලා තිබුණ නිසා ගහ කොළත් තරමක් තෙත බරිත වෙලයි තිබුණෙ. මගේ ගමන් මාර්ගයේ දී එකම ඔයක් මට තුන් පොළකින් හම්බ වෙනවා. අඩි 03 ක් විතර උසට වතුර ගලාගෙන ගියා. ඒ තුන් තැනින්ම එගොඩ වුණා.”   


 ”මෙහෙම හැතැප්ම භාගයක් විතර ඉස්සරහට යනකොට මට වැව් පිටියක් වැනි ස්ථානයක් දැක ගන්න ලැබුණා. ඒ හරියට රතු මඩ කියලත් කියනවා. ඒක මට එච්චර නුහුරු තැනක් නෙවෙයි. මොකද එතන රජ කාලේ වැවක් තිබුණ තැනක්. පරණ වැව් බැම්මත් එතැන තියෙනවා. බැම්මක් කියලද කියලා හොයා ගන්නවත් බෑ. එ්වයේ රූස්ස ගස් වැවිලා ඔය බැම්ම ළඟ විශාල කෝං ගහක් තිබුණා. ඒ ආසන්නයෙන් යනකොට මට කැලේ පොඩි වෙනවා වගේ සද්දයක් ඇහුණා.   


ගහ කොළ නිසා ඈත පේන්නෙත් නෑ. හිටි අඩියෙම නතර වුණ ඒ සද්දේ ආයෙත් ආවා. වරින් වර ඇවිත් නැති වෙලා යන මේ සද්දේ ගැන මට සැක හිතුණා. මම ගස් කීපයකටම කවර් වෙවී ඉස්සරහට ගියා. මම ඉස්සරහට යනකොට මගේ ඉස්සරහම වලස්සු තුන්දෙනයි. උන් ගහ කොළවලට මුවා වෙවී ඉස්සරහට ඇවිත්. උනුත් මමත් නොහිතපු විදිහට තමයි මූණටම මුණ ගැහුණේ. වලස්සු තුන්දෙනාත් මාත් අතර පරතරය අඩි 10 ක් 15 ක් වගේ ඇති. තුවක්කුව අතේ තියෙන නිසා මම බය වුණේ නෑ. ඒත් මීට කලින් එක සැරේ වලස්සු තුන්දෙනෙක් මේ විදිහට මුණගැහිලා නැති නිසා පොඩි තිගැස්මකුත් ආවා. ඒත් මම හිතට ධෛර්ය අරගෙන තුවක්කුව ඉහළට ගත්තා. මෙතන හිටියේ වළහා, වැලහින්න සහ පැටියා. දැන් මුන් තුන්දෙනා එක එල්ලේ ගොරවගෙන එනවා මගේ පැත්තට තවත් තප්පර ගානයි උන් මගේ ළඟට එන්න තිබුණේ. තුවක්කු බටේ දුරට උන් ඇවිල්ලත් ඉවරයි. මේ සේරම වෙන්න තප්පර ගානයි ගත වුණේ.”   


”මම ඉලක්කය බලලා තුවක්කුවේ කොකා ගැස්සුවා. තුවක්කුව පත්තු වුණේ නෑ. දැන් මම වලස්සු තුන්දෙනා ඉදිරියේ. මරණය පෙනි පෙනී ඉන්නේ. මම සරමත් කැසපොට ගහගෙනයි හිටියේ. පළමු සැරේ තුවක්කුව පත්තු නොවුණත් දෙවෙනි සැරේ හරි තුවක්කුව පත්තු වෙයි කියලා හිතලා මම තවත් වතාවක් කොකා ගැස්සුවා. ඒත් පත්තු වුණේ නෑ. තුවක්කු බටේ දිග තරමට දැන් වලස්සු කිට්ටු වෙලා. ආයේ පතුරමක් මාරු කර ගන්නවත් වෙලාවක් නෑ. මම තුවක්කුවේ බටේ පැත්තෙන් අල්ල ගත්තා. එහෙම අල්ලගෙන අඩියක් පස්සට ගිහින් හැකි වෙර දාලා ඉස්සරහම හිටපු වලහට ගැහුවා. ඒ පහරෙන් ඌ ටිකක් පසු බෑවා. මම අඩියක් විතර පස්සට ගියේ නැත්නම් අත දිග ඇරලා ගහන්න බෑ. ඒ ගහපු පාරට තුවක්කුවේ බඳ කොටස ගැලවුණා. බටේ මගේ අතේ ඉතිරි වුණා. පාරේ සැරට වලහා පොඩ්ඩක් පසු බෑවට වැලහින්නයි පැටියයි ගොරවගෙන මගේ ඉස්සරහට ආවා.”   
”හිතා ගන්නවත් බැරි වේගයෙන් මගේ දකුණු කකුලේ දණහිස කටින් අල්ල ගත්ත වැලහින්න, තදින් හපාගෙන මාව වට්ටවන්න උත්සහ කළා. ඌ මගේ කකුල එහාට මෙහාට ඇද්දා. කැලේ ගැනත් සත්තු ගැනත් මට අවබෝධයක් තියෙන නිසා මම දැන ගත්තා මේ හදන්නේ මාව කොහොම හරි වට්ටවන්න බව මම මුළු වෙර යොදාගෙන නොවැටී හිටියා. තුවක්කු බටේ අත ඇරියෙත් නෑ. ඔය තත්පර කීපයේ දී පැටියත් මගේ ළඟටම ආවා. මම මුලින්ම මගේ කකුල අල්ලගෙන දඟලන වැලහින්නට තුවක්කු බටේ උස්සලා පාරක් ඇන්නා. ඒක උගේ පිට පැත්තට වැදුණත් මගේ කකුල අත ඇරියේ නෑ.   


වැලහින්න මගේ දෙපා පාමුල නිසා අත දිග ඇරලා ගහන්නත් බෑ.   


මම තව පාරක් උපරිම වෙර දාලා තුවක්කු බටෙන් උගේ ඔළුවට ඇන්නා. ඒ පාර ඌට රිදුණ නිසා මගේ කකුල අත ඇරියා. මම තව පාරක් බටෙන් ගැහුවා. එතකොට ඌ කෑ ගහගෙන කැලේ පැත්තට රිංගුවා. පැටියත් මගේ කකුලේ දණ හිස හැපුවා. ඌටත් තුවක්කු බටෙන් පාරක් දුන්නා. ඌත් දිව්වා. ඔය අතරේ වළහා පිටිපස්සෙන් ඇවිත් මගේ දකුණු කකු​ෙල් දණ හිසෙන් පහළ තදින්ම හපාගෙන මාව එහාට මෙහාට ඇදලා වට්ටවන්න හැදුවා.   
මම පුළුවන් ශක්තිය දාලා සමබර වෙන ගමන් තුවක්කු බටෙන් උගේ ඔළුවටයි බෙල්ලටයි පාරවල් කීපයක් ඇන්නට පස්සේ තමයි කකුල අත ඇරලා කැලේට රිංගුවේ. ඒ වෙලාවේ මම සරම දිගට ඇදගෙන හිටිය නම් සමහර විට සරම පැටලිලා වැටෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් එදා මම ඉවරයි. ”   


”වළහා අඩි තුනක් තුන හමාරක් විතර උසයි. වැළහින්න අඩි දෙකහමාරක් විතර ඇති. පැටියත් වැළහින්නක්, ඌ අඩි දෙකක් විතර ඇති. මුන් හොඳ පුෂ්ටිමත්ව හිටියා. මුන්ව දැක්ක පළවෙනි සැරේම මම හොඳින්ම උන්ව අඳුර ගත්තා. වළහාගේ සාමාන්‍ය සිරිත තමා ප‍්‍රතිවාදියාව කොහොම හරි බිමට දමා ගැනීම. බිමට දා ගත්තට පස්සේ බෙහොම ලේසියෙන් ප‍්‍රතිවාදියාව විනාස කර ගන්න උන්ට පුළුවන්. බිම දා ගත්තට පස්සේ උන් මූණ හපනවා. ඒ වගේම අත් වලින් පහුරු ගානවා. උන්ගේ අත් වල දිගට නියපොතු වැවිලා ඒවා නැවිලා තියෙන්නේ. මූණ අහු වුණොත් පාදාසයක්ම කඩලා ගන්නව. ඒ නියපොතු හරියට නවපු උල් වානේ කම්බි වගේ ඒ තරම් ශක්තිමත්. ”   
”දැන් මගේ කකුලෙන් හොඳටම ලේ ගලනවා. කකුල කෑව තැන ලොකුවට ඇරිලා. එතැන මස් නෑ, වළක් වගෙ හෑරිලා. මම පුළුවන් තරම් ඉක්මනින් සරම ඉරලා පටියකින් තුවාලේ ගැට ගැහුවා. ආයෙත් වලස්සු තුන්දෙනා එයි කියලා මට හිතුණා. එ් නිසා පුළුවන් තරම් ඉක්මනට කකුල ඇද ඇද වාඩියට ගියා. කකුලෙන් ලේ ගලන එකේ ඉවරයක් නෑ. වාඩියේ අයට කෑ ගැහුවත් ඒ අයට ඇහුණේ නැත්තේ දුර වැඩි නිසා.”


‘‘මේ වෙනකොට ඉර අව්වත් සැර වේගන එනවා. මම කකුල ඇද ඇද ආවා. අර ඔයේ ස්ථාන තුනෙනුත් එගොඩ වුණා. තුවලෙට වතුර යනකොට ඉවසන්න බැරි තරමට වේදනාව දැනුණා. දිව ගිලෙන පිපාසයක් දැනුණේ. කලන්තේ හැදෙන්නත් වගේ. කලින් දවසේ වැහැපු වැහි වතුර නිසා ඔයේ වතුර මඩ පාටයි.   


ඔයේ පළමු ස්ථානයෙන්ම මම වතුර බිව්වා. වතුරේ එබුණා. එතකොට මට පොඩි හයියක් ආවා. ඇත්තෙන්ම එදා ඔයේ වතුර නොතිබුණානම් මට සිහිය නැති වෙලා ලේ ගිහිල්ලම මැරෙන්න ඉඩ තිබුණා. ඔය විදිහට පැය භාගයකට වඩා කාලයක් ගත කරලා වාඩිය පේන මානයට ඇවිල්ලා මම ආයෙත් කෑ ගැහුවා. වාඩියේ හිටපු අය දුවගෙන ආවා. එතනින් පස්සෙ මට සිහිය නැති වුණා. නැවත සිහිය එනවා යනවා. අවසානයට සිහිය ආවේ අම්පාර රෝහලේ දී”   


සුදු මාමාව දුටු වාඩියේ උදවිය වහාම ට‍්‍රැක්ටරයක් ගෙන්වා ගත්තේ වෙනත් වාහන එම කැලෑවට ගෙන්වා ගැනීමට නොහැකි නිසාය. ඒ තරමට ඝණ කැලෑවය. ට‍්‍රැක්ටරයේ ටේලරයේ දමාගෙන තිඹිරිගොල්ල ගමට ගෙන්වාගෙන අහම්බෙන් හමු වූ වෑන් රථයක දමාගෙන අම්පාර මහ රෝහලට ගෙනාවේය. දණහිසේ සහ පහළ වූ තුවාල වල බරපතළකම නිසා එදිනම සවස ගිලන් රියකින් මහනුවර මහ රෝහල වෙත යැවීමට රෝහල් බලධාරිහු කටයුතු කළේය. සුදු මාමට මාසයකුත් දින 16 ක් එහි නේවසිකව ප‍්‍රතිකාර ලබන්නට සිදුවිය. ඔහුගේ දකුණු කකුලේ කලව ප‍්‍රදේශයෙන් ලබා ගත් මස්වලින් වලහා කෑ ස්ථානය පුරවා යථා තත්ත්වයට පත් කරන්නට වෛද්‍යවරු කටයුතු කළහ.   

 

 


මතු සම්බන්ධයි...   

 


සටහන සහ සේයා රූ 
දිගාමඩුල්ලේ සමන් දිසානායක