වයිබර් සබඳතාව පරිගණකය ඔස්සේ භාවිතා කිරීමට අවශ්‍යද?


නව ලොව

 

වයිබර් ඉන්ස්ටන්ට් මැසේජිං සහ ඉන්ටනෙට් කෝල් ඇප් එක (Instant Messaging and VoIP app) සාමාන්‍ය පරිගණකයේ සිට භාවිතා කරන්නට හැකි අතර ඒ සඳහා වයිබර් ඩෙස්ක්ටොප් (Viber Desktop) වැඩසටහන භාවිතා කළ යුතුය. මෙම වැඩසටහන ඔස්සේ ඔබට දැනට වයිබර් වැඩසටහන ක්‍රියාත්මක වෙන මොබයිල් උපකරණයක ඇති සබඳතාව ඩෙස්ක්ටොප් පරිගණකයක් හා සම්බන්ධ කිරීමේ හැකියාව සැලසේ.   


වයිබර් ඉන්ස්ටෝල් කිරීම   


මෙසේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණකයකදී වයිබර් ඇප් එක භාවිතා කරනු පිණිස viber.com/en/products/windows යන වෙබ් අඩවියට පිවිස එහි ඇති Get viber යන ලිංක් එක ක්ලික් කළ යුතුය. එවිට මෙම ඇප් එක පරිගණකයට ඩවුන්ලෝඩ් වෙයි. ඉන්පසුව එය ඉන්ස්ටෝල් කර ගත යුතුය. දැන් එය විවෘත කළ විට Welcome to Viber (වෙල්කම් ටු වයිබර්) තිරය ලැබෙයි. මෙහි ඇති Yes නම් බට්න් එක ක්ලික් කළ යුතුය. එවිට Enter your phone number (එන්ටර් යුවර් ෆෝන් නම්බර්) ලෙස සඳහන් පිටුව විවෘත වෙයි.   
දැන් කළ යුත්තේ වයිබර් ඇප් මොබයිල් එක ඉන්ස්ටෝල් කර ඇති තම දුරකතනයේ අංකය මෙහි ටයිප් කර Continue (කන්ටිනිව්) නම් බට්න් එක ක්ලික් කිරීමයි. එවිට Viber Security Update (වයිබර් සෙකියුරිටි අප්ඩේට්) නම් පිටුව විවෘත වෙයි. මෙහි කිව්ආර් කෝඩ් එකක් තිබේ. දැන් එය වයිබර් ඉන්ස්ටෝල් කොට ඇති ජංගම දුරකතනයේ ඇති කිව්ආර් කෝඩ් රීඩර් ඇප් එක හරහා කියවීම හෙවත් රීඩ් (read) කළ යුතුය. එවිට ජංගම දුරකතන තිරයේ හයිපර් ලින්ක් එකක් පෙන්වයි.   


දැන් එය තෝරා ගත යුතුය. එවිට දුරකතනයේ ඇති වයිබර් වැඩසටහනේ අංකය සහ පරිගණකයේ වයිබර් එක ඉන්ස්ටෝල් කරන විට ලබා දුන් අංකය එකිනෙක හා ගැළපේදැයි සැසඳී බැලෙයි. එය සැසඳේ නම් දුරකතනයේ Secondary device activation (සෙකන්ඩරි ඩිවයිස් ඇක්ටිවේෂන්) නම් බොක්ස් එක විවෘත වෙයි. දැන් එහි ඇති I would like to activate Viber on my secondary device යන්න ඉදිරියේ ඇති චෙක් බොක්ස් එක සිලෙක්ට් කළ යුතුය.   


ඉන්පසුව පහළින් ඇති Approve (ඇපෲ) නම් බට්න් එක ක්ලික් කළ විට දෙවැනි ඩිවයිස් එක ලෙස පරිගණකය හඳුනාගෙන, මෙම වයිබර් එකවුන්ට් එක එහි සිට භාවිත කිරීමට ඉඩ දෙයි. දැන් පරිගණකයේ Viber Security Update පිටුවේ ඇති Scan With phone (ස්කෑන් විත් ෆෝන්) නම් බට්න් එක ක්ලික් කළ යුතුය. මෙම පියවරෙන් පසුව Success (සක්සෙස්) නම් පණිවුඩය පරිගණක තිරයේ පෙන්වයි. මෙහි ඇති Open Viber නම් බට්න් එක ක්ලික් කළ විට වයිබර් වැඩසටහන වෙත පිවිසෙයි. දැන් පරිගණකය හරහා වයිබර් වැඩසටහන භාවිතා කළ හැකිය.   


සෙටිංස් සැකසීම   


පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වයිබර් ඇප් එකට අදාළ සැකසුම් කිරීම සඳහා ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති දැති රෝදයක් සහිත අයිකන් එක ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Settings (සෙටිංස්) යන්න ලබා ගත යුතුය. මෙවිට Viber Settings නම් බොක්ස් එක විවෘත වෙයි. එහි වම්පස ඇති විවිධ ටැබ් සිලෙක්ට් කර ඇවැසි සේ සැකසුම් කර ගන්නට පුළුවන. ඒවා කර ගන්නා ආකාරය මෙසේය.   


බේසික්ස් - වයිබර් ඇප් එකට අදාළ මූලික සැකසුම් කළ යුත්තේ Basics (බේසික්ස්) ටැබ් එක තුළිනි. 

 
මෙහි ඇති Start Viber on System start up යන්න සිලෙක්ට් කර තැබුවොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට පිවිසෙන විටම වයිබර් වැඩසටහන වෙතද පිවිසෙයි.   


මෙහි ඇති Save message history when exiting a conversation යන්න සිලෙක්ට් කර ඇති විට, අකුරින් ලියා හුවමාරු කර ගන්නා පණිවුඩ සේව් කර තබා ගනී.   


ඕඩියෝ ඇන්ඩ් වීඩියෝ– - ඇමතුම්වලදී භාවිතා කරන වීඩියෝ සහ ඕඩියෝ සම්බන්ධ හාඩ්වෙයාර්වලට අදාළ සැකසුම් කර ගත යුත්තේ මෙම Audio & Video (ඕඩියෝ ඇන්ඩ් වීඩියෝ) ටැබ් එක තුළිනි. මෙහිදී කළ හැකි සැකසුම් මෙසේය.   


Video Input (වීඩියෝ ඉන්පුට්) - වීඩියෝ ලබා ගැනීමට භාවිතා කරන වෙබ්කැම් එක තෝරා දිය යුතුය.   

 

Audio Input (ඕඩියෝ ඉන්පුට්) - හඬ ලබා ගැනීමට භාවිතාකරන මයික්‍රෝෆෝනය තෝරා දිය යුතුය.   


Input Volume (ඉන්පුට් වොලියුම්) - මයික්‍රොෆෝනයෙන් ලබා දෙන හඬ අඩු වැඩි කළ හැක.   


Output Volume (අවුට්පුට් වොලියුම්) - ස්පීකරයෙන් ඇසිය යුතු හඬ අඩුවැඩි කළ හැක.   


නොටිෆිකේෂන් - වයිබර් වැඩසටහන වෙත ලැබෙන ඇමතුම් සහ පණිවුඩවලට අදාළ දැනුවත් කිරීම්වලට අදාළ සැකසුම් Notification (නොටිෆිකේෂන්) තුළින් සැකසිය යුතුය. මෙහිදී කළ හැකි සැකසුම් මෙසේයි.   


Show Notifications (ෂෝ නොටිෆිකේෂන්ස්) - මේ යටතේ ඇති ඔප්ෂන් අතරින් Messages & Calls (මැසේජස් ඇන්ඩ් කෝල්ස්) යන්න තෝරා තැබුවොත් ඇමතුම් සහ පණිවුඩ ලැබෙන විට ඒ හා සම්බන්ධ දැනුවත් කිරීම් පරිගණක තිරයේ පෙන්වයි. ඇමතුම්වලදී පමණක් දැනුවත් කිරීම් පෙන්විය යුත්තේනම් මෙතුළින් Calls Only යන්න තෝරා තැබිය යුතුය.   
Play Sound for (ප්ලේ සවුන්ඩ් ෆෝ) - ඇමතුම් ලැබෙන විට ඇසෙන ශබ්දයට අදාළ සැකසුම් කළ යුත්තේ මේ යටතේ ඇති ඔප්ෂන්ස් ඔස්සේය.   


මෙම සැකසුම්වලට අමතරව දකුණු පසින් දැක්වෙන මොනිටර් එකෙහි රූපය තුළින් දැනුවත් කිරීම් පෙන්විය යුතු තැන තෝරා දෙන්නට පුළුවන.   


එකවුන්ට් - තම වයිබර් එකවුන්ට් එකට අදාළ සැකසුම් Account (එකවුන්ට්) තුළින් කරන්නට පුළුවන.   


මෙය තෝරාගෙන ඇතිවිට දකුණු පසින් ඇති Clear Trusted Contacts (ක්ලියර් ට්‍රස්ටඩ් කන්ටෑක්ට්ස්) නම් බට්න් එක ක්ලික් කළොත්, දැනට ලැබී ඇති පණිවුඩ, යැවූ පණිවුඩ යනාදිය හා සම්බන්ධ විස්තර ඉවත් කර ගන්නට පුළුවන. මෙහිදී ජංගම දුරකතනය සහ පරිගණකය යන උපාංග දෙකේම ඇති විස්තර මැකී යන්නේ නැත. ඉවත් වෙන්නේ පරිගණකයේ රැඳී ඇති විස්තර පමණි.   


පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වයිබර් මෘදුකාංගය තාවකාලිකව අක්‍රිය කර තැබිය යුතු නම් මෙහි ඇති Deactivate Viber (ඩීඇක්ටිවේට් වයිබර්) යන්න මත ක්ලික් කළ යුතුය.

 
පසුබිම වෙනස් කිරීම   


වයිබර් ඇප්ලිකේෂන් වින්ඩෝ එකෙහි පසුබිම හෙවත් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කළ යුත්තේ නම් දකුණු පස ඉහළ කෙළවරේ ඇති දැති රෝදයක් සහිත අයිකන් එක ක්ලික් කළ විට ලැබෙන මෙනු එකෙන් Set Default Background (සෙට් ඩිෆෝල්ට් බැක්ග්‍රවුන්ඩ්) යන්න ලබා ගත යුතුය. මෙවිට පසුබිම සඳහා යෙදිය හැකි රූප සහිත මෙනු එකක් ලැබෙයි. දැන් ඒ තුළින් අවශ්‍ය රූපයක් මත ක්ලික් කර සිලෙක්ට් කර යොදා ගන්නට පුළුවන.   


කෝල් කිරීම සහ එස්එම්එස් යැවීම   


නොමිලේ ඇමතුම් සහ කෙටි පණිවුඩ යැවීම පිණිස වයිබර් ඇප්ලිකේෂන් එකෙහි ඉහලින් ඇති Contacts (කන්ටෑක්ට්ස්) ටැබ් එක හරහා ගොස් අවශ්‍ය අංකයක් තෝරා ගත යුතුය. දැන් ඉහළින් ඇති ෆ්‍රී කෝල් නම් බට්න් එක තෝරා දුන් විට නොමිලේ ඇමතුම් ලබා ගන්නට පුළුවන. මෙහි පහළින් ඇති Type a message (ටයිප් අ මැසේජ්) යන්න තුළ පණිවුඩ ටයිප් කර එස්එම්එස් කර යැවීමට පුළුවන. ඒ සමගම ඡායාරූප හෝ ස්ටිකර් ලෙස හැඳින්වෙන රූප යවන්නට පුළුවන.   

 


සටහන: පැතුම් වීරසිංහ