වන අලි ප‍්‍රහාර මැද අකුරු කළ සමරතිලක ඇදුරුතුමා


වැව්ගම්පත්තුවේ  වනමං දිගේ...

 

 

දිගාමඩුල්ලේ ඈත යුගයේ සහ මෑත යුගයේ වන මං දිගේ ඇවිද යන විට බොහෝ ත‍්‍රාසජනක කතා පුවත් මෙන්ම ලෝකය දකින්නට වෙර දෑරු අහිංසක දුප්පත් දරුවන්ට අකුරු කරවන්නට වෙහෙස වූ ඈත ප‍්‍රදේශවලින් පැමිණි ගුරුවර ගුරුවරියන් පිළිබඳව වූ කතා පුවත් ද අපට හමු විය. 


එකල වැව් ගම්පත්තුව සැබැවින්ම මහා සාගරයක් මැද තැන තැන වූ කුඩා දූපත් සමූහයක් බඳු නොදියුණු ගම් ඇති බිම් පෙදෙසක් වූ බව වැව් ගම්පත්තුවේ වන මං දිගේ ඇවිද පරීක්‍ෂාවෙන් යනවිට පෙනී යන පැහැදිලි කරුණකි. ඉතිහාසගත තොරතුරු අසා දැනගෙන යනවිටත් වත්මනේ ඒ බිම් පෙදෙසේ වන මං දිගේ සැබෑවට ඇවිද යන විටත් ඒ බව සැබෑවටම තේරුම්ගත හැක. 

 

මෙවර වැව් ගම්පත්තුවේ වන මං දිගේ ඇවිද යනවිට අපට හමු වූයේ තිස් දෙවසරකට අධික කාලයක් පුරා වැව් ගම්පත්තුවේ දරුවන්ට අකුරු කළ අපූරු ඇදුරුතුමෙකි. සිය ජීවන ගමනේ 89 විය පසු කරමින් සිටින හෙතෙම ඉතා හොඳ මතක ශක්තියෙන් යුතුව සහ තරමක් නිරෝගීව කාලය ගත කරයි. 


මීට වසර තිහ හතළිහකට පවා පෙර දී වුව ද ඉතා නොදියුණු අධ්‍යාපනික, සංස්කෘතික, සහ සමාජීය පසුබිමකින් හෙබි වූ වැව් ගම්පත්තුවේ අතීත තොරතුරු මඳක් ගෙන හැර පෑම වැදගත් යයි සිතමු. එවැනි පසුබිමක් සහිත වැව් ගම්පත්තුවට පැමිණි රාජ්‍ය නිලධාරීන්, විශේෂයෙන් ගුරුවරුන් වැනි අය ගත කළ ජීවිතය සැබැවින්ම පුදුම සහගතය. උපන් පෙදෙසින් සැතපුම් දෙතුන් සියයක් ඈත වූ පාරක් තොටක් නැති, වග වලසුන්ගෙන් සපිරි ප‍්‍රවාහන පහසුවක් නැති මේ වන තීරයේ ඉන්න හිටින්නට නිදන්නට හරි හමන් සයනයක් නොමැතිව ඔවුන් මේ ගම් පියසට පැමිණ කළ සේවය නූතන ගුරු පරපුරට ද අත් පොතක් වැනි යැයි කිවහොත් නිවැරදිය. 
නමේ අරුතටම සරිලන මේ වැව් ගම්පත්තුව නම් වූ පාලන ඒකකයක් බිහි වූයේ කවදා ද එහි අතීතය කවරේ ද යන්න අද වැව් ගම්පත්තුවේ සිටින්නන් බොහෝ දෙනෙක් නොදන්නෝය. සැබවින්ම වැව් ගම්පත්තුවේ නමටම සරිලන වැව් රැසකි. එය වැව් බැඳි රාජ්‍යය වූ රජරටට පමණක් දෙවෙනි වනු ඇතැයි සිතිය හැක. 


සිංහලේ අවසන් රාජධානිය වූ උඩරට රාජධානිය බිඳ වැටීමෙන් පසුව දිගාමඩුල්ල ද ක‍්‍රමයෙන් ජන ශුන්‍ය වී ඇති බව ජන වහරේ කියැවේ. එහෙත් ඒ ඇයි ද යන්න පැහැදිලි සාක්‍ෂි පෙනෙන්නට නැත. ඇතැම් විටෙක වසංගත රෝග පීඩා ආදිය නිසා මිනිසුන් මියැදෙන්නට ඇත. ඉතිරි වූ පිරිස් වෙනත් ආරක්‍ෂිත ස්ථාන කරා පිය නගන්නට ඇත. නොඑසේ නම් දිගාමඩුල්ලට යාබද මඩකළපුවේත් නැගෙනහිර වෙරළ තීරයේත් කඳවුරු බැඳ සිටි ඉංග්‍රීසීන්ට බියේ වෙනත් පෙදෙසකට සංක‍්‍රමණය වෙන්නට ඇත. මේ ඉතිහාසඥයින් කියන සහ ඇතැම් කටවහරේ එන කතාන්දරය. 


කෙසේ නමුත් එවක රුහුණු රාජධානියේ ම කොටසක් වූ දිගාමඩුල්ල බත බුලතින් සපිරිව තිබූ බිමක් බව පැහැදිලිය. ඉන් පසුව 1818 කැරැල්ලෙන් බේරුණු පිරිස සිය ජීවිත ආරක්‍ෂාව උදෙසා දිගාමඩුල්ලට පසු බැස තිබේ. එතැන් පටන් නැවතත් දිගාමඩුල්ල ජනාකීර්ණ වීම ආරම්භ වී තිබේ. දිගාමඩුල්ලට පසු බැස ආ ඔවුන් පානම්පත්තුවෙත් වැඩිමනත් දෙනා වැව් ගම්පත්තුවෙත්, අඳුරු වනාන්තර ඇතුළේ සිය ප‍්‍රාථමික වාස භූමි සාදා ගත්හ. එහෙත් ඔවුන් ගැන සොයන්නට කිසිවෙක් නොවීය. මෙවන් ජන කණ්ඩායමක් සිටින බවට පැහැදිලි නිනව්වක් ඉංග‍්‍රීසි ආණ්ඩුවට නොවීය. 


වෙල්ලස්සෙන් පසු බැස ආ මේ පිරිස පානම්පත්තුවට අයත් කුමන, පානම, ලාහුගල, හුළංනුගේ, බක්මිටියාව වැනි පෙදෙස්වලත්, වැව්ගම්පත්තුවේ තොට්ටම, මඩවලලන්ද, මඩාන, අලහේන, වරාලන්ද, වඩිනාගල, කඩින්ආර, දේවාලහිඳ, කොක්නහර, පාදාගොඩ, උහන, කොහොඹාන, දමන, කීනවත්ත ආදී ගම් රැසකත් නතර වූහ. හේන් ගොවිතැන ප‍්‍රධාන ජීවන මඟ විය. අධ්‍යාපනයක් ගැන ඔවුනට අවබෝධයක් නොවීය. එකල මේ පෙදෙසත් පාලනය වූයේ මඩකලපුවෙනි. අක්කරපත්තුවෙන් පැමිණි වන්නියාර්වරුන් එනම් කෝරාලවරුන් වැනි පිරිසක් මේ ගම් නාමිකව පමණක් පාලනය කළ බැව් කියැවේ. 


මෙසේ කාලය ගෙවී යනවිට 1921 වසරේ දී වැව් ගම්පත්තුව නම් පාලන ඒකකයක් බිහි කර තිබේ. එහි පළමු රටේ මහත්තයා ලෙස කටයුතු කර තිබෙන්නේ වෑත්තෑව නම් මහත්මයෙකි. වෑත්තෑවේ රටේ මහත්මයා පිළිබඳව අදටත් වැව් ගම්පත්තුවේ පැරැන්නෝ කතා කරන්නේ ඔහු කළ කී දෑ අසා ඇති බැවිනි. ඔහු අශ්වයා පිට ගමක් ගමක් ගානේ යමින් වැව් ගම්පත්තුවේ අනාගත උන්නතිය පිළිබඳව කටයුතු කර තිබේ. වැව් ගම්පත්තුවේ පාසල් පද්ධතිය අරඹා ළමුන්ට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළ බව ද කියැවේ. 


ඒ අනුව වර්ෂ 1922 දී බක්මිටියාව පාසලත් 1924-06-24 දමන විද්‍යාලයත් 1925-09-23 දින තොට්ටම විද්‍යාලයත් ආරම්භ කර ඇත. එතුමා 1928 දක්වා කටයුතු කර ඇති අතර 1929 සිට 1938 දක්වා ආර්.බී. මඩවල නම් රටේ මහතකු පාලනය කර ඇත. ඉන් පසුව රටේ මහතා තනතුර අහෝසී වී ඇති අතර ප‍්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුර ස්ථාපිත කර තිබේ. වැව්ගම්පත්තුවේ පළමු ආදායම් නිලධාරියා වූයේ 1940-12-03 සිට 1943-02-28 දක්වා කටයුතු කළ එල්.බී. මදුරාව මහතාය. එදා එක් පාලන ඒකකයක් වූ වැව්ගම්පත්තුව අද උහන, අම්පාර, දමන ලෙසින් කොටස් තුනකට වෙන් වී ඇත. 


කෙසේ නමුත් යටිතල පහසුකම් අතිශයින්ම අවම වූ යුගයක අද 90 වෙනි විය සපුරා ඇති අපේ ගුරුතුමා දිගාමඩුල්ලේ පානම්පත්තුවටත් ඉන් පසුව වැව්ගම්පත්තුවටත් පා තැබුවේ අසරණ දරුවන්ට අකුරු කරන්නටය. එදා මෙදා තුර වැව්ගම්පත්තුවේ අපූර්ව චරිතයක් වූ යෝධගේ සමරතිලක නොඑසේ නම් වයි. සමරතිලක මහතා සිය ඇදුරු දිවියෙත් ජීවන කතාවෙත් අපූරු මතක සටහන් මෙසේ දිග හැරියේය. 


“මම ඉපදුණේ කුරුණෑගල මාවතගම මීතැන්වල කියන ගමේ. ඒ කාලේ ඒ ගම බෙහෝම ගැමි පරිසරයක් සහිත ප‍්‍රදේශයක්. ගම වටේටම කඳු. මැද වැවක් තියෙනවා. රජ කාලේ හිටපු රජ කෙනෙක් දවසක් මේ ගමට ඇවිත් තියෙනවා. එතුමාට වැවේ යන්න ඔරුවක අවශ්‍යතාව දැනිලා, ගමේ ගම්පතිට කියලා තියෙනවා, මට මේ වැවේ යන්න ඔරුවක් හදලා දෙන්න කියලා. ඉතින් ගම්පතිතුමත් හා කියලා. ඊට පස්සේ ගම්පතිතුමා අපේ කෙනකුට කියලා තියෙනවා රජතුමා ඊළඟ වාරේ එන්න කලින් කොහොම හරි ඔරුවක් හදලා දෙන්න කියලා.


අපේ නෑදෑයා ලොකු ගහක් කපලා ඒකේ මැද කොටස හූරලා අයින් කරලා ඔරුව හැදුවලු. රජතුමාව පුදුම කරවන්න ඕන කියලා හිතලා කොළ පොතුවලින් ඔරුව වහලා තිබ්බලු. ඉතින් නියමිත දවසේ රජතුමා ආවලු. ඔරුව හදපු අපේ කෙනා කියලා තියෙනවා මේ තියෙන්නේ රජතුමනි කියලා. බැලූ බැල්මට එතන කොළ පොතු ගොඩක්ලු තිබුණේ. ඔරුව හදපු කෙනා ඒකට පයින් ගැහුවම අර කොළ පොතු සේරම විසි වෙලා ඔරුව මතු වුණාලු. ඒ සා විශාල ඔරුවක් ලස්සනට හදලා තිබීම ගැන රජතුමා පුදුමයට පත් වෙලා උඹ නම් යෝධයෙක් කිව්වලු. එදා ඉඳන් අපේ පරම්පරාවේ වාසගම යෝධගේ වෙලා. ඒ අනුව තමා අපිටත් ඒ වාසගම ලැබුණේ. 


මට අක්කා කෙනකුත් නංගිලා තුන් දෙනකුත් හිටියා. දැන් නම් අපි තුන්දෙනයි ජීවතුන් අතර ඉන්නේ. මම ඉගෙන ගත්තේ මීතැන්වල බෞද්ධ මිශ‍්‍ර පාසලක. කනිෂ්ඨ විභාගේ පාස්වෙලා ජ්‍යෙෂ්ඨයත් පාස් වුණා. මම ඉපදුණේ 1928-10-03 වෙනිදා. ඉතින් ඔහොම ඉඳලා පොලිසියට බැඳුණා. මම ගල්කිස්ස පොලිසියෙත් වැඩ කළා. පොලිසියේ අවුරුදු එකහමාරක් විතරක් ඉඳලා ගුරු විභාගයට ලිව්වා. ඒකෙන් පාස් වුණා. ඒකෙන් පාස් වුණාට පස්සේ මට පත්වීම ලැබුණේ පානම ගමට. මම කුරුණෑගලින් කෝච්චියේ නැගලා මඩකලපුවට ඇවිත් එතැනින් කල්මුණේ අක්කරපත්තුව හරහා පොතුවිල්වලට ඇවිත් පානමට ගියා.


මට පත්වීම හම්බ වුණේ 1956 ඔක්තෝබර් 03 වෙනිදා. ඒ කාලේ ඔය අාරුගම්බේ පාලම තිබුණේ නෑ. විශාල පාලම් පාරුවකින් තමයි එගොඩ වෙන්නේ. බස් එකත් ඒකට පටවලා එගොඩ කරනවා. පුදුම දුෂ්කර බවක් තිබුණේ. මඩකලපුවේ ඉඳලා පානමට යන්න වරුවක් විතර යනවා. අද කාලෙ නම් පැය තුනෙන් හතරෙන් යන්න පුළුවන්. 


පානම ඉස්කෝලේ ටික කාලයක් ඉන්නකොට මට වැව්ගම්පත්තුවේ උහන විස්සේ කොලණියේ ඉස්කෝලෙට මාරුවක් ලැබුණා. එතන දවස් දෙකක් ඉන්නකොට බක්මිටියාව ඉස්කෝලෙට මාරු කළා. බක්මිටියාව ඒ කාලේ අයිති වුණේ පොතුවිල් ප‍්‍රාදේශීය ආදායම් නිලධාරි කොටසට. 


ඉතින් මම විස්සේ කොලණියෙන් උහනට ඇවිත් එතැනින් අම්පාර හරහා කාරතිව්වලට ගිහිල්ලා අක්කරපත්තුව තිරික්කෝවිල් පොතුවිල් හරහා හුළංනුගේට ඇවිත් එතැන ඉඳලා මහා රූස්ස ඝන කලෑව මැදින් පයින්ම සැතපුම් 10ක් ගෙවාගෙන බක්මිටියාවට ආවා. අපි බොහෝ විට මේ පාරේ ආවේ හුළංනුගෙන් ලියුම් මල්ල ගේන බක්මිටියාව කන්තෝරුවේ පියුම් මහත්තයා එක්ක. ගමේ ගොඩක් දෙනෙක් එයා එක්ක තමා යන්නේ. එයා නිතරම මේ කැලෑ පාරේ යන නිසා සතා සීපාවා ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන තිබුණා. සත්තු මග හරස් කරගෙන ඉන්න වෙලාවල් එයා දන්නවා. සමහර වෙලාවට එයාගේ බයිසිකලේ නැගලා යන්න පුළුවන්කම තියෙන්නේ සැතපුමක දෙකක තුනක දුර විතරයි. 


අනිත් හැම තැනකම එක්කෝ ඔයක් නැත්නම් ගහක් ගලක් එහෙම නැත්නම් පාර හරහා වැටුණු මහා ගහක්. කරත්තකාරයොත් ඉඳහිට ආවේ ගියේ හරිම අමාරුවෙන්. බක්මිටියාවත් හුළංනුගේ සීමාවත් වෙන් කෙරෙන කරඳ ඔයේ වතුර පාර වැඩි වුණ දාට ගමන යන්න බෑ. ඔක්තෝබර් මැද ඉඳලා වැටෙන වැස්සෙන් මේ ඔය දෙගොඩ තලා යනවා. ටික දවසකින් ඔයේ වතුර දනක් මට්ටමට වගේ අඩු වෙනවා. 


විස්සේ කොලණියේ ඉස්කෝලේ හිටපු මට බක්මිටියාවට එන්න වුණේ බක්මිටියාවේ හිටපු මුල් ගුරුතුමා නිවාඩු ගිහිල්ලා ආවේ නැති නිසා. හිටපු එකම ගුරුතුමා නැතිව ඉස්කෝලේ පාළුවට යන නිසා මාව එහේට දැම්ම බව අධ්‍යාපන නිලධාරිතුමා කිව්වා. මෙන්න තව සතියක් විතර යනකොට ආයෙත් මුල් ගුරුතුමා එනවා. එයා තනියම නෙවෙයි ආවෙ කසාදයකුත් බැඳගෙනයි ආවේ. ඉතින් මෙහෙම අපි වැඩ කරගෙන ආවා. 
පානම, බක්මිටියාව, විස්සේ කොලණියේ යන ඉස්කෝල ඇරුණම තොට්ටම, දමන, නාමල්ඔය යන ඉස්කෝලවලත් මම වැඩ කරලා තියෙනවා. නාමල්ඔය ඉස්කෝලේ පළමු විදුහල්පතිවරයා වුණේ මම. ඒ කාලේ ළමයි ඉස්කෝලේ එන්න හරිම හොරයි. මම දෙමව්පියන් කැඳවලා ළමයි ඉස්කෝලේ එවන්න කියලා අවවාද කරනවා. බොහොම අමාරුවෙන් ගෙන්න ගන්න ළමයින්ව සමාජයට යන්න අවශ්‍ය අධ්‍යාපනික පසුබිම මම හදලා දුන්නා. අද මට ඒ ගැන සතුටුයි.

 

 

එහෙම නොවුණා නම් ඒ ළමයි කවමදාවත් සමාජයට එන්නේ නෑ. ගමේම ඉපදිලා නිකම්මු වගේ මැරිලා යනවා. මේ හැම ගමක්ම මහා වනාන්තරවලින් වට වුණ හුදෙකලා ගම්මාන. ඒ ළමයි අවට ලෝකය දැක්කේ පාසල් පද්ධතිය නිසා. 


එක දවසක් මම හුළංනුගේ ඉඳලා බක්මිටියාවට එන්න පිටත් වුණා. එදා දවල් 11ට විතර තමා මම ගමන් ආරම්භ කළේ. මහ දවාලේ වුණත් මේ කැලෑ පාරේ සත්තු ඉන්න බව මම දන්නවා. එදා මම ආවෙ ෆුට් බයිසිකලයකින් කොට කලිසමකුත් ඇඳලා සාක්කු තුනක් තියෙන බුෂ් කෝට් එක තමා ඒ වගේ ගමන්වලදි මම අඳින්නේ. දැන් ඉතින් මම සැතපුම් දෙක තුනක්ම කැලේ මැදින් ඇවිල්ලා ඉවරයි. එන්න එන්නම වනාන්තරය අඳුරු වෙනවා මිසක් එළි මහනක් නම් දකින්නවත් නෑ. කරඳ ඔයේ වතුරත් එච්චරම තිබුණේ නැති නිසා ලේසියෙන්ම එතනින් එගොඩ වුණා. තව ටික දුරක් බයිසිකලේ තල්ලු කරගෙන ආවා. ඉන්පස්සේ පාර ටිකක් හොඳයි. මම බොහොම සතුටින් බයිසිකලය පැදගෙන ඉස්සරහට එන්න ගත්තා. මෙහෙම ටික දුරක් එනකොට වංගුවක් හම්බ වෙනවා. මම ටිකක් වේගයෙන් බයිසිකලේ පැදගෙන ආවේ. 


වංගුව හරවනවත් එක්කම විශාල අලියෙක් කැලේ පැත්තට ඔළුව දාගෙන අතු කඩනවා. උගේ පස්ස පැත්ත පාරේ මැදක් වෙනකම් තියෙනවා. ආපු වේගෙට බයිසිකලේ ගිහිල්ලා අලියගේ පස්ස පැත්තේ වැදුණේ නැතැයි. මාව විසි වෙලා ගිහිල්ලා පාර මැදම වැටුණා. මට නැගිට ගන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒ සැණින්ම අලියා ඔළුව හැරුණ පැත්තට කැලේ බිඳගෙන දිව්වේ මගේ වාසනාවට. 


තවත් දවසක් පොතුවිල් ඉඳලා හුළංනුගේ පැත්තට පාර දිගේ එනකොට අලි නාම්බෙක් මගේ මෝටර් බයිසිකලේ පස්සේ පැන්නුවා. මට ඒ කාලේ තිබුණා BSA බයිසිකලයක් ඒකේ අංකය EY-738 ඉතින් මම මගේ තව යාළුවෝ දෙන්නෙක් පිටිපස්සේ තියාගෙන ආවා. එක සැරේම පාරෙන් පැන්න අලියෙක් පන්නන්න ගත්තා. මම පුළුවන් තරම් ඇස්ලේටරේ වැඩි කළා. බයිසිකලයත් අලියත් අතර පරතරය එක් අවස්ථාවකදී අඩි 10ක් විතර වුණ බව බයිසිකලේ පිටිපස්සෙම හිටපු යාළුවා කිව්වා. 


උගේ හොඬෙන් විසි වුණ සෙම යාළුවගේ  ඇඟේ පිටිපස්සේ වැදිලා තිබුණා. එදා අපි අලියට අහු වුණා නම් තුන්දෙනාම ඉවරයි. 


තවත් දවසක මම මගේ මෝටර් බයිසිකලයෙන් තොට්ටම මගේ ගේ ළඟ ඉඳලා ගම මැද පැත්තට යනකොට එක සැරේම අලියෙක් පාරට ගොඩ වුණා. නූලෙන් තමයි අලියගේ ඇඟේ නොවැදී බේරුණේ. එදා නම් ඒ අලියා පැන්නුවේ නෑ. 


මට බොහොම දරුණු අලි ප‍්‍රහාරයකට ලක්වෙන්න වුණේ මගේ ගේ ළඟදීමයි. දවසක් රෑ අටට විතර අලියා කෙසෙල් ගස් කන බව එවක ග‍්‍රාමාරක්‍ෂක භටයෙක් වුණ ගුණපාල ඇවිත් කිව්වා. මා ළඟ තුවක්කුවකුත් තිබුණා පතුරම් හයකුත් තිබුණා. ගුණපාල ළඟත් ආණ්ඩුවේ තුවක්කුවකුයි පතුරනුයි තිබ්බා. මම කිව්වා ආණ්ඩුවේ පතුරං පුච්චන්න එපා, හදිසියක් වුණොත් මේකෙං තියපං කියලා පතුරමකුත් දුන්නා. 


මම එක පතුරමක් තුවක්කුවට දාලා අනිත් ටික පතුරම් පටියේ දාලා ඒ පටිය ඉනේ බැඳ ගත්තා. ගේ ළඟ ඉඳලා මීටර් පනහක් හැටක් එහායින් අලියා ඉන්නවා. කෙසෙල් ගස් ටික කන එක ගැන මට හරි දුකයි. අලිය එළවන චේතනාවෙන් තමයි අපි ඒ පැත්තට ගියේ. මෙන්න හිටි ගමන් අලියා අපේ පැත්තට දුවගෙන ආවා. 


මම එතන කුඹුරේ නියර දිගේ එනකොට අලියා ෂෝට් කට් එකෙන් මගේ ළඟටම ආවා. ඌ එක සැරේම මගේ පිට පැත්තට ගහපු පාරට දුවන වේගයත් එක්කම මං එතන කානුවකට වැටුණා. අලියගේ කකුලෙන් එහා මෙහා වුණ පස්වලට මාව යට වුණා. ඔය අතරේ ගෙදර අයගේ සහ අවට අයගේ කෑ ගැහිල්ලට අලියා හැරිලා ගියා. මාව ඉක්මනින් රෝහලට අරන් ගියා. මට ඒ වෙලාවෙ සිහිය නැතිව හිටියේ. පස්සේ සිහිය ආවා. මට ලොකු අමාරුවක් වුණේ නෑ. 


එක්තරා දවසක අලියෙක් මූණටම මුණ ගැහුණා. එදත් අනූනවයෙන් බේරුණේ. එදා හවස හය හමාරට හතට විතර මම බක්මිටියාවට යන්න පටන් ගත්තා. එදා හොඳට හඳ තිබුණ දවසක්. මම ගියේ ෆුට් සයිකලෙන්. බක්මිටියාවට යන පාරේ ගණ දෙවි කෝවිල හරිය පහුකරනවත් එක්කම පාර දිගේ අලියා එනවා. මම බයිසිකලේ පැත්තකට දාලා දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. අලියා ගහ යට කැරකි කැරකි පැයක් විතර ඉඳලයි ගියේ. ආරක්‍ෂාව හොඳටම තහවුරු කියලා දැන ගත්තට පසසේ ගහෙන් බැහැලා පරිස්සමට ගියා. 

 

මතු සම්බන්ධයි

 


සටහන-ජායාරූප
දිගාමඩුල්ලේ සමන් දිසානායක