වතිකානුවේ ඉහළ නිලයකට පත්කළ පළමු කාන්තාව


 

ඉතාලි නීතිඥවරියක වන ෆ්‍රැන්සිස්කා ඩි ජියෝවානි නමැති කාන්තාව වතිකානුවේ ශුද්ධ වූ පාප්තුමා විසින් එහි ඉහළ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත්කර ඇතැයි වාර්තා වේ.

පූජකවරය පිරිමින්ට පමණක් සීමා වී තිබෙන, රජයේ තනතුරු සියල්ලම පාහේ පිරිමින්ට වෙන්වී තිබෙන වතිකානුවේ කාන්තාවකට මෙවැනි තනතුරක් ලබාදීම ගැන ලෝකයම පුදුම වී සිටියි. ඇය තෝරාගෙන තිබෙන්නේ වතිකානුවේ කතෝලික පල්ලියේ දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවන ආයතනයේ උසස් සිවිල් නිලධාරී තනතුරකට ය. 
මෙම තීරණයත් සමඟ පාප්තුමා මෙතෙක් ලෝක ඉතිහාසයේ කිසිදු පාප්තුමෙකු විසින් නොකළ අන්දමින් කාන්තාවන්ට නිසි තැන ලබාදීම පිළිබඳව ප්‍රසිද්ධියට පත්ව සිටියි. නව වසර එළැඹුණු අවස්ථාවේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැරදි ක්‍රියාවක් බව එතුමා ප්‍රසිද්ධියේ කියා සිටි අතර ලිංගිකත්වය පදනම් කරගෙන මිනිසුන්ට සලකන ආකාරය වෙනස් විය යුතු නැතැයිද කියා සිටියේය. කාන්තාවන්ගේ යහපත උදෙසා ගන්නා සෑම ඉදිරි පියවරක්ම, මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි බලපාන ඉදිරි පියවරක් බවත් එතුමා වැඩිදුරටත් කියා සිටියේය. 


නව තනතුරට පත්වූ කාන්තාව සිසිලියේ පැලෙර්මෝ හි උපත ලබා ඇති අතර වසර 27ක පමණ අත්දැකීම් ඇති, නීති උපාධිධාරිනියකි. ඇය සංක්‍රමණිකයන් හා සරණාගතයින්, අන්තර්ජාතික මානවවාදී නීතිය හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විශේෂඥවරියකි. 


අන්තර්ජාලය ඇසුරිනි. 
නිසංසලා දිසානායක