වකුගඩු රෝගියාගේ මරණය පහරදීමෙන්


මළවුන්ගේ අනාවරණ

අවුරුදු හැත්තෑ පහක විතර ගෑනු කෙනෙක් මැරිලා. එයා ගොඩක් කල් බෙහෙත් අරන් තියෙනවා ​ෙෆ්‍රෂර්වලටයි, වකුගඩු අමාරුවටයි. ඩයලෙසිස් කරන්න හිටපු දවසේ තමයි මැරිලා තියෙන්නේ. සර්ට තමයි මරණ පරීක්ෂණය කරන්න වෙන්නේ. අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුබද්ධව සේවය කරන රෝහල් සාත්තු සේවකයෙක් පැමිණ හදිසි මරණ පරීක්ෂක සෙනරත් මහතාට පැවසුවේ ඒ මරණය ගැන යම් දුකක් කනගාටුවක්ද දක්වමිනි.   

ඔහු කීවා සේම එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කරන්නට සෙනරත් මහතාට භාර විය. සාක්ෂිකරුවන් ලෙස මියගිය කාන්තාවගේ පුතා හා ලේළිය ඉදිරිපත් කෙරිණ. මියගිය කාන්තාව ජීවත්ව තිබෙන්නේ සිය පුතා, ලේළිය හා ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමගය. පුතා හා ලේළිය ලබාදුන් සාක්ෂි අනුව මේ මව වසර විසිපහක පමණ කාලයක් තිස්සේ අධික රුධිර පීඩනයට ප‍්‍රතිකාර ලබා ඇති අතර වසර දහයක පමණ කාලයක සිට වකුගඩු රෝගයට ප‍්‍රතිකාර ලබා ඇත. වකුගඩු දෙකම බොහෝ සේ දුර්වලව තිබීම නිසා ඇය වරින් වර රුධිර කාන්දුකරණයට ලක් කෙරේ. නිවසේ කවුරුත් නොසිටි අවස්ථාවක ඇය පුටුවෙන් වැටී සිටි බැවින් රෝහලට රැගෙන ආ බව සාක්ෂිකරුවෝ දෙදෙනාම පැවසූහ. වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණේ මෙය ඇගේ රෝගි තත්ත්වය අනුව සිදු වූ සාමාන්‍ය මරණයක් බවය. හදිසි මරණ පරීක්ෂක වෙත අදාළ පරීක්ෂණ කටයුතු භාර කෙරුණේ ඒ අනුවය.   


එහෙත් සාක්ෂි විමසීමේදී මතු වූ එක් කාරණාවක් මත හදිසි මරණ පරීක්ෂකවරයා මේ මරණය ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි නිගමනය කළේය. එනම් නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක මෙම මරණය සිදුවී තිබීමයි. මෙම කාන්තාව පසු වූ රෝගී තත්ත්වයන් හා සලකා බලන විට එය බැලූ බැල්මට එතරම් සැලකිල්ලට ගත යුතු කාරණාවක් සේ නොපෙනුණත් ඔහු තරයේ කියා සිටියේ පසුව ඇති විය හැකි ප‍්‍රශ්නවලටත් පිළිතුරක් ලැබෙන නිසා කුකුසක් තියාගන්නේ නැතිව සිරුර කපා මරණයට හේතුව නිශ්චිත කර ගනිමු කියාය.   


ඒ අනුව මේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එච්. රවීන්ද්‍රන් මහතාට භාර කෙරිණ. මරණකාරිය අධික රුධිර පීඩනයෙන් පෙළුන අයෙක් නිසා ඇයගේ මරණයට එම රෝගී තත්ත්වය බලපෑවේ නම් එක්කෝ රුධිර නාළයක පිපිරීමක් සිදුවිය යුතුය. එසේත් නැත්නම් තවදුරටත් රුධිර සංසරණය සිදුකළ නොහැකි තත්ත්වයට හෘදය වස්තුව දුර්වල විය යුතුය. එවැනි තත්ත්වයක පැවති හෘදය වස්තුවක් නම් එය අසාමාන්‍ය ලෙස පිම්බි තිබිය යුතු අතර බොහෝ විට පෙනහලුවල වසා තරලය එකතු වී තිබීමටද හැකිය.   


වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් වන නිසා ඇයගේ වකුගඩු ද බරපතළ ලෙස දුර්වල මට්ටමක පවතින බවක් මරණ අවස්ථාව වෙන විට දැකිය හැකි විය යුතුය. මේ කාන්තාවගේ සිරුර කපා සියුම්ව කරන ලද පරීක්ෂණයේදී ඇගේ වකුගඩු දෙකම දුර්වල මට්ටමක පවතින බව දැකිය හැකි විය. අධික රුධිර පීඩනයද සහිත කාන්තාවක් වූ නිසා මේ සියල්ලේම බලපෑම මරණයට හේතු වෙන්නට ඉඩ ඇති බැවින් තවදුරටත් හෘදය වස්තුව හා පෙනහලු පරීක්ෂාවට ලක්කෙරිණ. අධික රුධිර පීඩනයෙන් කලක් පෙළුණ කාන්තාවක් ​ෙවන බැවින් ඇගේ හෘදය වස්තුව තරමක් පිම්බී තිබිණ. එහෙත් එය මරණයට හේතුවන තරම් දුර්වල තත්ත්වයක් නොවූ අතර එවැනි අවස්ථාවක දැකිය හැකි ආකාරයට පෙනහලුවල වසා තරලය අධික ලෙස එක්රැස්වීමක්ද දැකිය නොහැකි විය. නහර පිපිරීමක්ද සිරුරේ කොතැනකවත් නොවිණ.   


අනතුරුව මරණකාරියගේ ගෙල පෙදෙස පරීක්ෂාවට ලක්කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පළමුව ගෙල පෙදෙසේ සම ඉවත් කරනු ලැබිණ. එවිට සමෙහි ඇතුලතට නෙරා ආ ලේ ගෙඩි දෙකක් දැකිය හැකිවිය. මෙය සිදුවිය හැක්කේ මරණකාරිය බිම ඇද වැටීමේදී කිසියම් තද යමක ගෙල වැදීමෙන් හෝ කිසිවෙක් දෑතින් ගෙල සිරකිරීමකදීය.   


මේ දෙකෙන් කුමක් සිදුවීද යන්න පැහැදිලිව කිව නොහැකි නිසා අධිකරණ වෛද්‍යවරයා වහාම හදිසි මරණ පරීක්ෂකට උපදෙස් දෙමින් මෙය මහේස්ත‍්‍රාත් වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අතර වෛද්‍යවරයා තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීම සිදුකළේය. එහිදී මරණකාරියගේ තයිරොයිඩ් කාටිලේජයට හා හයිබෝන් අස්ථියට හානි වී ඇති බවද දැකිය හැකි විය. සාමාන්‍ය ව්‍යාවහාරයේදී උගුරු දණ්ඩ කැඩීම ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වය වේ. එයින් නොනැවතුණ වෛද්‍යවරයා මරණකාරියගේ ගෙල පිටුපසද සම ඉවත් කර පරීක්ෂාවට ලක් කළේය. එහිදී ඇගේ සුෂුම්නාවටද හානිවී තිබෙනු දක්නට ලැබිණ. ඒ කෂේරුකාවේ තෙවැනි අස්ථිය ආසන්නයෙනි. මෙය සිදුවිය හැක්කේ මරණකාරියගේ ගෙල සිරකර කරකැවීමෙන් හෝ ගෙල සිරකිරීමේදී ඉන් මිදීමට දැඟලීම නිසාය. එහෙත් ගෙල කරකැවීමේදී ගෙලෙහි තුවාල රැසක් තිබිය යුතුය. ගෙල ඉදිරිපස තිබූ ඇතුළට නෙරා යාමක් නිසා ඇති වූ ලේ ගෙඩි දෙක හැරෙන්නට අැගේ ගෙලෙහි වෙනත් තුවාල කිසිවක් නොවිණ. පිටතින් පෙනෙන්නට කිසිම තුවාලයක්ද නැත. කරන ලද පරීක්ෂණවලදී මෙය ගෙල සිරකිරීමෙන් තෛරොයිඩ් කාටිලේජයට හා හයිබෝන් අස්ථියට හානි වීමෙන් ද සුෂුම්නාවේ ඉහළ කොටසට හානි වීමෙන්ද සිදු වූ මරණයක් බවට නිගමනය විය.   


එබැවින් පොලිසියට කරන ලද දැනුම්දීමකින් අනතුරුව මරණකාරිය නිවසේ වැටී සිටි ස්ථානය මහේස්ත‍්‍රාත්වරයාගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරිගේ පරීක්ෂාවට ලක්විය. එහෙත් එම අවස්ථාව වන විට මරණකාරිය වැටී සිටි ස්ථානය පිරිසිදු කර සියල්ල වෙනස් කර තිබිණ. එහෙත් එම ස්ථානයේ තිබූ බව කියනු ලැබූ උපකරණ සලකා බලන විට මරණකාරියගේ ගෙලෙහි දැකිය හැකි සම ඇතුළට නෙරා යාම සිදුවිය හැකි තද යමක් එම ස්ථානයේ නොවන බව පෙනී ගියේය. වැටීමකින් වුවත් තෛරොයිඩ් කාටිලේජයට හානිවිය නොහැකිය. ඒ අනුව මෙය ඝාතනයක් විය යුතුය. එයට අදාළ කිසිවක් එම ස්ථානයෙන් හමු නොවූ අතර පොලිසිය මරණකාරියගේ පුතා හා ලේළියගෙන් කට උත්තර ලබාගත්තේය.   


එම කට උත්තර අනුව මවගේ මරණයට සැක කළ හැකි කිසිවෙක් ගැන තොරතුරක් නොලැබිණ. නමුත් මුුනුපුරෙක් සමඟ කතා බහ කිරීමේදී සිය මව ආච්චි අම්මා සමඟ නිතර රණ්ඩු ​ෙවන බවත් සතියකට පමණ පෙරද ඇය ආච්චි අම්මාට පහරදුන් බවත් පොලිසියට පවසා තිබේ. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී මරණකාරිය විශාල දේපලක් හිමි ධනවත් කාන්තාවක බව හෙළිවිය. එසේම සිය පුතාට දේපලවලින් කොටසක් ලියා ඇති මරණකාරිය අනෙක් කොටස මහලු මඩමකට පවරා දෙන්නට සූදානම්වී ඇත. ඒ බව දැනගත් ලේළිය මේ දේපළ සියල්ල තමන්ටම අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයෙන් නැන්දම්මා ඝාතනය කරන්නට හමුදාවෙන් පැන ආ සෙබළෙකුට කොන්ත‍්‍රාත්තුවක් භාර දී ඇති බවද හෙළි විය. ඒ අනුව ලේළිය හා ඝාතකයා අත්අඩංගුවට ගනු ලැබිණ.   


අධික රුධිර පීඩනයෙන් හා වකුගඩු රෝගයෙන් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවක් නිසා සාමාන්‍ය මරණයක් සේ දැක වැළලී යන්නට ගිය මරණයක අභිරහස හෙළි කරගන්නට හැකිවූයේ මරණ පරීක්ෂකවරයාගේ සුපරික්ෂාකාරීත්වය හා ඉන්පසුව ගත් තීන්දුවක් මත මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම නිසාය.   


(මෙහි සඳහන් නම් ගම් මන:කල්පිත අතර කලුබෝවිල ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එච්. රවීන්ද්‍රන් මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කර තිබේ)   

 

 

 

 

 

 

 

 


සටහන හා ඡායාරූප   
මුදිතා දයානන්ද