ලෝකෙම ප්‍රසිද්ධ වූ ලංකා මුහුදේ තල්මස් සටන


 

තමන් ඉදිරියේ දිස්වන බිහිසුණු චිත්‍රපටයක සටන් ජවනිකාවක් බඳු වූ එම සජීවි දසුන දුටු ඡායාරූප ශිල්පී ‘ෂෝන් හෙයින්රිච්’ට තම දෑස් අදහාගත නොහැකි විය. එය ඔහු තම ජීවිතයේ කිසිදිනෙක නොදුටු හා දැකීමට හැකිවේයැයි බලාපොරොත්තු නුවූ දර්ශනයක් විය. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පදිංචි හතළිස් එක් හැවිරිදි ‘එමී’ සම්මානලාභී වෘත්තීය ඡායාරූප ශිල්පියකු, සිනමාවේදියකු, ස්කූබා කිමිඳුම්කරුවකු මෙන්ම සාගරජිවී සංරක්ෂකයකු ලෙස සාගර ජීවීන්ගේ උන්නතිය වෙනුවෙන් ඇපකැපවූ මාධ්‍යවේදියකු ද වන හෙයින්රිච්ගේ ජීවිතයේ හරි අඩකටත් වඩා ගෙවුණේ මහ මුහුදේය. 

 

 

දියඹට පෙම් බැඳි අතිශය ප්‍රායෝගික සාගරවේදියකු වුවත්, මෙවැන්නක් දෑසින් දකින්නට තබා කිසිදිනෙක අාසාවත් නොතිබූ හෙයින්රිච්ට අනුව එය ඔහුගේ මුහුදු ජීවිතයේදී ලැබූ බිහිසුණුබව හා උද්වේගකරත්වය කැටිවූ කිසිදිනෙක අමතක නොවන ආකාරයේ අත්දැකීමක් විය. මහා මුහුදේ ආධිපත්‍යය පතුරුවා ගත් දැවැන්තයන් දෙපාර්ශ්වයක් අතර සිදුවූ මෙම සමූහ සටන හෙයින්රිච්ගේ කැමරා කාචය මත සටහන් වූයේ එවැන්නක් ඡායාරූපගතවූ ලොව පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙමිනුයි. ශ්‍රී ලාංකික අපට ද එහි ඇති වැදගත්කම අසමසම වන්නේ මෙම විරල සිදුවීම ශ්‍රී ලංකාවේ දකුණුදිග මුහුදු තීරයට ඔබ්බේදී සිදුවූවක් නිසයි.   


ඒ 2013 අප්‍රේල් 18 වැනිදාය. සාගරජීවි සංරක්ෂණය වෙනුවෙන් වන ව්‍යාපෘති හා සංගම් ගණනක ක්‍රියාකාරී නායකයකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රය, ඡායාරූපකරණය, ස්කූබා කිමිඳුම, සිනමාකරණය යනාදි අංශ ගණනක් ආවරණය කළ ෂෝන් හෙයින්රිච් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම ලක්දිව දක්ෂිණදිග මුහුදු කලාපයේ කරක් ගසමින් ගෙවූ නවවැනි දිනය වූයේ එදිනය. ක්ෂීරපායන් අතර දැවැන්තමයන් වන නිල් තල්මසුන් ඡායාරූපගත කිරීම මෙම නඩයේ අරමුණ වූ නමුත්, දින නවයක් ගතවීත් එය සාර්ථක කර ගැනීමට නොහැකි වීම නිසා පිරිස සිටියේ බිඳුණු සිත් ඇතිවයි. අතිශය වෙහෙසකර වූ දින අටක් කර්කෂ හිරු රැසින් පීඩා විඳිමින් ද අණක් ගුණක් නැති චණ්ඩ රළ පහර සමඟ පොර බඳිමින් ද සිමිත වූ ඉඩකඩකින් යුතු බෝට්ටුවක පැද්දෙමින් ගතකර සිටි හෙයින්රිච් ඇතුළු පිරිසට යාර කිහිපයක් ඔබ්බෙන් දියඹේ හටගත් දරුණු කැළඹුමක් දැක ගැනීමට ලැබෙන්නේ එලෙස සියලු බලාපොරොත්තු කඩව සිටි අවස්ථාවකදීයි. කිරි පැහැති පෙන පිඬු නංවමින් කැළඹුණු මුහුදු පෘෂ්ඨය දෙබෑ කරමින් ඒ මතින් ඇදීගිය දැවැන්ත පාෂ්ඨිය වරල දුටු පිරිසට, කැළඹුමට හේතුව මිනීමරු තල්මසකු බව වටහා ගැනීම අසීරු වූයේ නැත. නමුත් වඩාත් සමීපයට පැමිණි කල ඔවුන්ට දැකගත හැකිවූයේ මිනීමරු තල්මසුන් (Killer Whale) එකෙකු නොව කණ්ඩායමක්ම සිටින බවයි. එමතුද නොව මිනීමරු තල්මසුන් පමණක් නොව දැවැන්ත ‘ස්පර්ම් තල්මසුන්’ රෑනක් ද එහි විය. ඇත්ත වශයෙන්ම තමන් මේ නරඹමින් සිටින්නේ මහා සයුරේ දැවැන්තමයන් දෙපිරිසක් අතර ඉතා කලාතුරකින් පමණක් සිදුවිය හැකි, ඊටත් වඩා කලාතුරකින් සියැසින් දැකගැනීමට ලැබෙන බිහිසුණු වික්‍රමාන්විත සටනක් බව වටහා ගැනීමට හෙයින්රිච් ඇතුළු සාගර ජීවී විශේෂඥ කණ්ඩායමට අසීරු නොවුණත් මේ දකින්නේ සැබෑවක් බව පිළිගැනීමට ඔවුන් මඳක් පසුබට විය. ඒ වසර ගණනවක් සාගර ජීවිතය පිළිබඳව පළපුරුදු අත්දැකීම් ඇතියවුන් වුවත් මෙබඳු සටනක් පිළිබඳව මීට පෙර ඔවුන් අසාවත් නොතිබූ නිසාය. හෙයින්රිච්ගේම වචනයෙන් කියනවා නම් එය ඔහුට පමණක් නොව මුළු ලෝකයටම හාපුරා කියා කුලුඳුලේම ලැබුණු අත්දැකීමක් විය. තමාට කිසිදිනෙක දැකීමට ලැබේයැයි සිහිනෙදු හෝ නොසිතූ මෙම විරල ත්‍රාසජනක සංදර්ශනය සමස්ත ලෝකයටම නැරඹීමට අවස්ථාවක් ලබාදීම එවැන්නක් පියවි ඇසින් සජීවීව නැරඹීමට පින් ලද තමාගේ වගකීමක් බව හෙයින්රිච් සිතුවේය.   


“මහා මුහුදත් සමඟ ගෙවුණු දශක ගණනක කාලය පුරාම මමත් මෙවැන්නක් ගැන අසා තිබුණේවත් නැහැ වගේම එවැන්නක් සියැසින් දැකීමට ලැබේයැයි හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ නිසාම මෙම කලහය දුටු අපි හැමෝම ඕර්කාවන් (Orca යනු මිනීමරු තල්මසුන් හැඳින්වීමට ඔවුන්ගේ විද්‍යාත්මක නම ඇසුරින් යෙදෙන කෙටි නමයි.) ස්පර්ම් තල්මසුන්ට පහර දෙනවා යැයි කියා කෑගැසුවේ මහා හඬකින්. එම දසුන අප කාටත් විශ්වාස කිරීමට නොහැකි විස්මයක් වුණා.”   


ස්පර්ම් තල්මසුන්ව වටලා පහර දෙන මිනීමරු තල්මසුන් පිරිස දුටු තම කණ්ඩායමට ඒ අවස්ථාවේදී ඇතිවූ උද්යෝගය මුසු විස්මය පිළිබඳව පැහැදිලි කරමින් හෙයින්රිච් පසුව පවසා තිබිණි.   

 

 


සාගරය නිවහන කරගත් ඩොල්ෆින් පවුලේ සිටින තියුණු දත් සහිත දැවැන්තම සාමාජිකයන් ලෙස සැලකෙන ඕර්කාවන් නොහොත් මිනීමරු තල්මසුන් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මීටර් හතක් පමණ දිග ශරීරයකට හිමිකම් කියන්නෝය. ඒ සාපේක්ෂව ස්පර්ම් තල්මසුන්ගේ ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා කුඩා වූ සිරුරකි. අතිශයින්ම බුද්ධිමත්, සමාජශීලී සත්ව කාණ්ඩයක් වන මෙම සාගර ක්ෂිරපායෝ සමූහ වශයෙන් දඩයම් කිරීමට උපන් හපන්ය. බුද්ධිමත් බවින් වැඩි නිසාම කණ්ඩායමක් ලෙස එකමුතුව සංවිධානාත්මකව තමන්ට වඩා ප්‍රමාණයෙන් දැවැන්ත වෙනත් තල්මස් විශේෂ හා මෝරුන් පවා ආක්‍රමණය කිරීමට පසුබට නොවන ඕර්කාවන් ඒ හේතුව නිසාම සමකාලීන තල්මස් විශේෂ අතර ප්‍රකටව සිටින්නේ ‘මිනීමරු තල්මසුන්’ (Killer Whale) ලෙසයි. ඩොල්ෆින් මත්ස්‍යයකු සේම කළු හා සුදු වර්ණැති දැකුම්කලු සිරුරකට හිමිකම් කීම නිසාවෙන්ම සත්වෝද්‍යානවල ජල සංදර්ශන සඳහා පුහුණු කරනු ලැබූ ඕර්කාවන් යොදා ගැනීම කලකදී ජනප්‍රියව තිබුණත් 2010 සිදුවූ ‘ටිලිකම්‘ නමැති ඕර්කා මත්ස්‍යයා හා අවාසනාවන්ත ලෙස මරණයෙන් කෙළවර වූ ඔහුගේ පුහුණුකාරිය වූ ‘ඩෝන් බ්‍රැන්කියු‘ සම්බන්ධ ඛේදවාචකයෙන් පසු එබදු සංදර්ශන බොහොමයකට තිත වැටිණි.   

 

 


පෙනුමින් සුන්දර වූ මාරාන්තික ඕර්කාවන් වුවත් ස්පර්ම් තල්මසුන් දඩයම් කිරීම සැහැල්ලුවෙන් සලකන්නේ නැත. තමන් මෙන් දෙගුණයකටත් වඩා දැවැන්ත, තමන්ටත් වඩා ගැඹුරු දියඹේ කිමිද වැඩි වේලාවක් ගතකළ හැකි ස්පර්ම් තල්මසුන්ගේ යෝධ වල්ගයම පමණක් තමන්ට එරෙහිව මාරාන්තික අවියක් විය හැකි බව බුද්ධිමත් ඕර්කාවන් දනිති. කොටින්ම මීටර් දහසයකින් පමණ දිගකින් යුතු දැවැන්ත සිරුරැති ස්පර්ම් තල්මසුන් දඩයම් කිරීමට නිපුණතාව හා සුදුසුකම් ලැබූ ප්‍රතිවාදී සාගර ජීවී විශේෂ විරලය. එලෙස මහා සාගරයම තම අණසකට නතුකර ගැනීමට සමත් හැකියාවෙන් යුතු වුවත්, ස්පර්ම් තල්මසුන් ඕර්කාවන් ඉදිරියේදී හැසිරෙන්නේ බියගුලු නිවටයන් ලෙස බව පවසන්නේ සාගරජීව විශේෂඥයකු වන ‘රොබට් පිට්මන්’ය. තම ශක්තිමත් යෝධ වල්ගයෙන් තමන්ට වඩා අඩකටත් වඩා කුඩා ඕර්කාවන්ට මරු කැඳවීමේ හැකියාව තිබුණත් එසේ නොකරන ස්පර්ම් තල්මසුන් අහඹුවකින් මෙන් එල්ලවන ඕර්කා ආක්‍රමණයකදී එක පොදියකට රැස්වී ප්‍රහාරයෙන් ආරක්ෂාවීමට උත්සාහ දරන්නෝය. හෙයින්රිච් අබිමුවෙහි මැවී තිබුණේ මහා මුහුදේ පතාක යෝධයන් දෙපිරිසක් අතර කලාතුරකින් සිදුවිය හැකි ආකාරයේ එබදු ත්‍රාසජනක ගැටුමකි. එවැන්නක් ඊට පෙර කිසිදු විටෙක වාර්තාවී හෝ ඡායාරූපගත වී හෝ තිබුණේ නැති බව දත් හෙයින්රිච්, කොහේ යතත් ඔහුගේ අනිවාර්ය ගමන් සඟයා වූ ‘කැනන් I-DX’ කැමරාවෙන් මෙම චිත්‍රපටය ඡායාරූපගත කිරීමට පටන් ගත්තේ මොහොතක්වත් අපතේ නොයවයි.   

 

 


උද්වේගකරත්වය මුසු වූ සටනේ හැම ජවනිකාවක්ම එකින් එක කැමරා කාචය මත වැදී නොපෙනී යත්දී බැලූ බැල්මට එකට කැළතුණු පොදියක් ලෙස මුලින්ම පෙනුණු දසුන ක්‍රමයෙන් හෙයින්රිච්ට පැහැදිලි වන්නට විය. මිනීමරු තල්මසුන් පස්දෙනකුගෙන් එල්ලවූ මාරාන්තික ප්‍රහාරය හමුවේ තම දිවි රැක ගැනීමට ස්පර්ම් තල්මසුන් සයදෙනෙකුගෙන් යුතු කණ්ඩායම දැරූ උත්සාහය ඕර්කාවන්ට නිසඟයෙන්ම උරුමවූ වේගවත් ප්‍රහාර එල්ල කිරීමේ ගරිල්ලා ඌරුවේ උපක්‍රමයන්ට කිසිසේත්ම සෑහුනේ නැත. සටනේ ත්‍රාසජනක උද්වේගකරත්වය තවදුරටත් උත්සන්නවත්දී ස්වභාවයෙන්ම කරදිය වික්‍රමයන්ට පෙම්බැඳියකු වූ හෙයින්රිච්ට තවදුරටත් බෝට්ටුවක සීමාමායිම්වලට ඡායාරූපකරණයේ නිර්මාණාත්මක පරාස පාවාදීමට සිත් දුන්නේ නැත. තම සගයන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා කැමරාවත් අතැතිව මුහුදට පිනූ හෙයින්රිච්ට එම අවස්ථාවේදී සිතුණේ සොබාදහමින් අනපේක්ෂිත ලෙස පිදෙන මෙබදු සුදුර්ලභ අවස්ථාවක් වත්මන් පරපුරට පමණක් නොව අනාගතයට ද නැරඹිය හැකි සදාකාලික මතකයක් බවට පත්කිරීම සඳහා ජීවිත අවදානමක් ගැනීමේ වරදක් නැති බවයි.   

 

 


ඒ වනවිටත් බෝට්ටුව අසලවූ මුහුදු ප්‍රදේශය රක්තවර්ණ රුධිරයෙන් කැලතී තිබුණත් සටන් බිමටම අවතීර්ණ වීම මඟින් සටනේ ආවේගශීලි ජවනිකාවල සමීප රූපරාමු කිහිපයක්ම ලබා ගැනීමට හෙයින්රිච්ට මඟ පෑදිණි. ඒ මීනිමරු තල්මස්-ස්පර්ම් තල්මස් ද්වන්ධ යුද්ධයක් ඡායාරූපගත කළ ලොව ප්‍රථම ඡායාරූප ශිල්පියා ලෙස ජාත්‍යන්තරයේ සම්භාවනාවට පාත්‍ර වෙමිනි. ජීවිතය පරදුවට තබා මිනීමරු තල්මසුන් අතරට පීනූ මොහොතේ සිට තමා සිටින්නේ මරු කටේ බව දැන සිටියත් හෙයින්රිච්ට පළමුවරට මරණ බිය දැනෙන්නට වූයේ සටනේ නියැලී සිටි ඔර්කාවන් අතර සිටි දැවැන්තමයා පිරිසෙන් මිදී ඊතලයක වේගයෙන් ඔහු දෙසට පිහිනා එන්නට පටන් ගත් විටය. කරදිය වළල්ල නිවහන කරගත් දරුණුම විලෝපිකයන් කාණ්ඩයක් ලෙස අවිවාදයෙන් සැලකෙන ඕර්කා මත්ස්‍යයන් අතරට කොටුවීමම මාරාන්තික ප්‍රතිඵල ගෙනදුන් අවස්ථා පිළිබඳව ඕනෑතරම් වාර්තා තිබියදී දඩයම් මානසිකත්වයෙන් වියරුවෙන් සිටින ඕර්කාවන්ගේ ප්‍රහාරයට ලක්වීමේ භයානකකම හෙයින්රිච්ට අමුතුවෙන් සිහිකිරීම අවශ්‍ය වූයේ නැත. සිතෙන් ඒ බව දැන සිටියත්, ඔහුගේ හදවත එකහෙළාම ඔහුට කියා සිටියේ පරිණාමයෙන් හා බුද්ධියෙන් සාපේක්ෂව උසස් තැනක වැජඹෙන ඔර්කා මත්ස්‍යයන් තමාට අනතුරක් කිරීමට නොපෙළඹෙනු ඇති බවයි. මිනීමරු තල්මසා ඊගසක වේගයෙන් හෙයින්රිච් වෙත ඇදී එත්දී ඔහුට සිතු​ෙණ් එකම දෙයකි. “මගේ හදවත කියන දේ හරියටම හරිද කියා දැන් දැනගන්න පුළුවන්.” සිතූ පරිදිම ඔහු සමීපයටම පැමිණි තල්මසා අවසන් මොහොතේදී ක්ෂණයකින් ගමන්මඟ වෙනස්කොට දිය යට කිමිදුණේ හෙයින්රිච් පමණක් නොව බෝට්ටුවේ සිට තම සගයා වෙනුවෙන් දෙවියන් සිහිකරමින් සිටි සාගරජීව විශේෂඥ කණ්ඩායම ද පුදුමයට පත්කරමිනුයි.   

 

 


විනාඩි තිහක් පුරා සිදුවූ මෙම බිහිසුණු සටන නිමාවූයේ ස්පර්ම් තල්මසුන් කණ්ඩායමේ සිටි ළාබාලයකු කෙසේ හෝ ඔර්කාවන් තම ග්‍රහණයට නතුකර ගැනීමෙන් පසුය. ඒ වනවිට බෝට්ටුව අවට මුහුද එකම ලේ විලක් බවට පත්ව තිබිණි. කණ්ඩායමෙන් අතහැරී ගිය ස්පර්ම් තල්මස් පැටවා තම ඉරණම් ගමන යන්නට ඇත. ඒ බව සනාථ කරවන ඡායාරූපයක් ලබා ගැනීමට හෙයින්රිච් අපොහොසත් වුවත්, මෙම සිදුවීම ඡායාරූප ශිල්පියකු, කිමිඳුම්කරුවකු හා සාගරජීව විශේෂ සංරක්ෂකයකු ලෙස ගෙවෙන සිය වෘත්තීය ජිවිතයේදී ලැබූ අමරණීය අත්දැකීමක් බව ඔහුගේ පිළිගැනීමයි. එදා නිල් තල්මසුන් සොයා ගිය ගමනේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවුවත්, එතෙක් කිසිවකුටවත් ලබාදිය නොහැකිවූ තිළිණයක් ඔහු ලෝකයට ලබා දුන්නේය. තල්මසුන් ගැන කතා කරනවිට ‘ෂෝන් හෙයින්රිච්‘ යනු අමතක කළ නොහැකි චරිතයක් වන්නේ එබැවිනි.   

 

රුක්ලන්ති පෙරේරා