ලෝකයේ ලොකුම සල්ලිකාරයෝ පරිගණක ලොවේ වැඩකාරයෝ


ලොව ධනවත්ම පුද්ගලයන් අතර සුපිරි ධනවතුන් නැතිනම් බිලියනපතියන් 2,043කු සිටින බවට ෆෝබ්ස් සඟරාව සඳහන් කර තිබේ. මෙම තොරතුරු අනාවරණ වන්නේ 2017 වසරේ ඔවුන් ඉදිරිපත් කළ ලැයිස්තුව අනුවය. කොටස් වෙළෙඳපළ උත්පාතය, පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑම, සරල ව්‍යාවසායකත්ව ක‍්‍රමවේද වැනි සාධක ලොව පුරා ධනවතුන් සංඛ්‍යාව ඉහළ යෑමට බලපා ඇතැයි එම සඟරාව පවසයි. 2016 වසරේ ලොව පුරා සිටි බිලියනපතියන් සංඛ්‍යාව 1,810ක් විය. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ බිලියනපතියන් 233කුගේ වර්ධනයක් පෙන්නුම් කරන අතර එවැනි වර්ධනයක් ඇති වූයේ වසර 31කට පසුව යැයි එම වාර්තාවේ සඳහන්ය.


2016 සිටි බිලියනපතියන් පිරිසගේ සමස්ත වත්කම ට්‍රිලියන 6.48ක් වූ අතර 2017 දී 7.67ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම බිලියනපතියන් 2,043 දෙනා අතුරින් 1.371 දෙනෙක් ස්වෝත්සාහයෙන් එම ස්ථානයට ළඟාවූවෝය. ඉතිරි පිරිසෙන් 238 දෙනෙක් ප‍්‍රවේණි ධනවතුන් වන අතර ඉතිරි 434 දෙනා පරම්පරාගත ධනය සහ ව්‍යාපාර මගින් උපයා ගත් ධනයෙන් බිලියනපතියන් බවට පත් වූවෝය. පසුගිය වසරට වඩා ව්‍යාපාරිකයෝ 195 දෙනෙක් මෙවර බිලියනපතියන්ගේ ලැයිස්තුවට අලුතින් එක්ව සිටිති. ඔවුන් අතුරින් 76 දෙනෙකු බිහිවී ඇත්තේ චීනයෙනි. ඇමෙරිකාව 25 දෙනකු බිහි කරමින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. බිලියනපතියන්ගෙන් 56 දෙනෙක් අවුරුදු 40ට අඩු වූවෝ වෙති. 


කාන්තාවෝ 227 දෙනෙක් බිලියනපතිනියන් බවට පත්ව ඇති අතර මේ වසරේ 15 දෙ‍‍නෙක් නව බිලියනපතිනියෝ බවට පත්ව සිටිති. ඉන් දස දෙනෙක් චීනයෙන් හා එක් කාන්තාවක වියට්නාමයෙනි. ඇය න්ගුයෙන් ති පුඔං තා ඕ වන අතර ඇය වියෙට් ජෙට් එයාර් හිමිකාරිණියයි. 


ලොව අංක එකේ බිලියනපතිවරිය වන්නේ ලිලියන් බෙටන්කොට්ය. ලොව විශාලතම රුපලාවණ්‍ය උපකරණ හා සුවඳ විලවුන් නිෂ්පාදන සමාගමක් වන ලෝරියල් සමාගමේ වැඩිම කොටස් හිමිකාරිණිය වන ඇය සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 44.3කි. 


වැඩිම බිලියනපතියන් පිරිස බිහිවී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. සංඛ්‍යාත්මකව 565 දෙනෙකි. චීනයෙන් 319 දෙනෙක්ද (චීනයට අයත් හොංකොං දේශයේ 67 දෙනෙක්ද මකාවු හි එක් අයකුද වේ.) ජර්මනියෙන් 114 දෙනෙක්ද, ඉන්දියාවෙන් 101 දෙනෙක්ද බිහිවී සිටිති. 


මෙකී බිලියනපතියන් අතුරින් ප‍්‍රමුඛස්ථානයේ වැජඹෙනුයේ පරිගණක මෘදුකාංග, වෙබ් අඩවි, ජංගම දුරකථන, සමාජ ජාලා වැනි තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරවල නිරත පුද්ගලයන් වීම විශේෂත්වයකි. තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතර ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ප‍්‍රථම ස්ථානය හිමිකරගෙන සිටිනුයේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප‍්‍රධානී සහ බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ නිර්මාතෘවරයා වන බිල් ගේට්ස්ය. ඔහු සතු සමස්ත වත්කම් ප‍්‍රමාණයේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 86කි. පසුගිය වසරේ ඔහු සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 75ක් විය. වසර 24ක් පුරා ලොව ධනවතුන් 400 දෙනා අතර ඉදිරියෙන්ම සිටියේ බිල් ගේට්ස්ය. පෞද්ගලික පරිගණකය හඳුන්වා දීමට පුරෝගාමි වූ පුද්ගලයන් අතර ඔහුට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වෙයි. ලොව විශාලම පෞද්ගලික පුණ්‍ය ආයතනය වන බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනම මගින් ලොව පුරා සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙයි. 


බිලියනපතියන් අතර තෙවැනි ස්ථානයේ පසුවන්නේ ජෙෆ් බෙසෝස්ය. ඔහු ඇමසන් ඩොට් කොම් සමාගමේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරියාය. ඔහු සතු සමස්ත වත්කම ඩොලර් බිලියන 72.8කි. පසුගිය වසරට වඩා මේ වසරේ ඔහු ඩොලර් බිලියන 27.6 වර්ධනයක් පෙන්නුම් කර තිබේ. පසුගිය වසරේ 5 වැනි ස්ථානයේ පසු වූ ඔහු මේ වසරේ තුන්වැනි බිලියනපතියා බවට පත්ව සිටී. 1994 සියැටල්හි කුඩා ගරාජයක ආරම්භ කරන ලද ඇමසන් ආයතනය ප‍්‍රථමයෙන්ම අන්තර්ජාලය ඔස්සේ පොත්පත් අලෙවිය ආරම්භ කළේය. මේ වනවිට ඇමෙරිකාවේ 8 වැනි විශාලතම ව්‍යාපාරික ආයතනය වන අතර එමඟින් පොත්පත්, ඩීවිඩී, රෙදිපිළි, ළදරු නිෂ්පාදන, ඉලෙක්ට්‍රොනික උපකරණ, රූපලාවණ්‍ය නිෂ්පාදන, ආහාර ද්‍රව්‍ය, ස්වර්ණාභරණ, කාර්මික උපකරණ, ක්‍රීඩා භාණ්ඩ වැනි විවිධ පාරිභෝගික නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා අලෙවි කෙරේ. 2013 වසරේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඩොලර් මිලියන 250කට මිලට ගනු ලැබුවේද ජෙෆ් බෙසෝස් විසිනි. 


බිලියනපතියන් අතර පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ මාක් සකබර්ග්ය. ඔහු සුප‍්‍රකට ෆේස්බුක් සමාජ  ජාලයේ නිර්මාතෘවරයාය. සකබර්ග්ගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 56ක් වන අතර එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 11.4ක වර්ධනයකි. 19 හැවිරිදි ඔහු 2004දී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ තම විශ්වවිද්‍යාල සගයන් සමඟ පණිවුඩ හුවමාරු කර ගැනීමේ පරමාර්ථයෙනි. මේ වනවිට ලොව ජනප්‍රියම සමාජ වෙබ් අඩවිය ලෙස එය ලොව පුරා ප‍්‍රචලිතය. 


සයවැනි බිලියනපතියාද ජංගම දුරකථන ව්‍යාපාරයේ නිරත වූවෙකි. ඔහු මෙක්සිකෝවේ කාර්ලොස් ස්ලිම් හෙලුය. මෙක්සිකෝවේ ධනවත්ම පුද්ගලයා වන්නේද ඔහුය. ‘ඇමෙරිකා මුවිල්’ නමැති මෙක්සිකෝවේ එකම ජංගම දුරකථන ව්‍යාපාරයේ හිමිකරුවන් වන්නේ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ය. දුරකථන ව්‍යාපාරයට අමතරව ඉදිකිරීම්, පතල් කැනීම් හා දේපළ වෙළෙඳ ව්‍යාපාර රැසක හිමිකරුවා වන්නේද කාර්ලොස් ස්ලිම් හෙලුය. ඔහු සතු සමස්ත වත්කම් ප‍්‍රමාණය ඩොලර් මිලියන 54.5කි. 

 

 

ඔරකල් මෘදුකාංග නිෂ්පාදන සමාගමේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ලැරී එලිසන් ලොව සත් වැනි බිලියනපතියාය. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 52.2කි. 1977 ආරම්භ කෙරුණු ඔරකල් මෘදුකාංග ව්‍යාපාරය 2010 පරිගණක දෘඩාංග නිෂ්පාදනයට යොමු වූ අතර 2016 දී ක්ලවුඩ් පරිගණක ව්‍යාපාරයක් බවට පත්කොට නෙට්සූට් නමැති ව්‍යාපාරය හා එක් විය. 2012දී එලිසන් දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඩොලර් මිලියන 200ක් පරිත්‍යාග කර තිබිණි. 


තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතර 12 වැනි බිලියනපතියා ගූගල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන ලැරී පේජ්ය. ඔහුගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 40.7කි. 1998දී ඔහු ගූගල් සමාගම ආරම්භ කරන ලද්දේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට පෙනී සිටි සමයේය. 


13 වැනි බිලියනපතියා ගූගල් සමාගමේ සභාපති සර්ජි බ්‍රින්ය. ඔහු සතු වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 39.8කි. ගූගල් සමාගමේ මව් සමාගම වන ඇල්ෆබට් සමාගමේ සභාපතිවරයා වන්නේද බ්‍රින්ය. 1998දී ඔහු ලැරී පේජ් සමඟ ගූගල් සමාගම ආරම්භ කළේය. ඇමෙරිකාවේ බහුජාතික තාක්ෂණික සමාගමක් වන ගූගල් සෙවුම් පද්ධති, අන්තර්ජාල ප‍්‍රචාරණ සහ පරිගණක දෘඩාංග නිෂ්පාදන සමාගමකි. 


බිලියනපතියන් අතර 34 වැනි ස්ථානයට පත්ව සිටින්නේද ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක හිමිකරුවකු වන මසායෝෂි සොන්ය. ජපානයේ ධනවත්ම පුද්ගලයන් අතර ප‍්‍රථම ස්ථානයේ වැජඹෙන සොන්, සොෆ්ට් බෑන්ක් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු සතු වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 21.2කි. ජපානයේ ප‍්‍රමුඛ පෙළේ විදුලි සන්දේශ හා අන්තර්ජාල ප‍්‍රවර්ධන සමාගමක් වන සොෆ්ට් බෑන්ක් සමාගම ලොව විශාලතම සමාගම් අතර 62 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. 


ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ බිරිය වන ලොරේන් පවල් ජොබ්ස් බිලියනපතියන් අතර 40 වැනි ස්ථානයේ පසුවන්නීය. ඇගේ වත්කම් ප‍්‍රමාණය ඩොලර් බිලියන 20කි. වර්තමානයේ ඇය එමර්සන් කලෙක්ටිව් සංවිධානයේ සභාපතිවරියයි. 


2016 වසරේ බිලියනපතියන් බවට පත් 78 දෙනකුට මේ වසරේ සිය ස්ථාන අහිමි වී තිබේ. එම පිරිසෙන් 33 දෙනකු චීනයෙන් වන අතර 7 දෙනකු ඇමෙරිකාවෙනි. තවත් 9 දෙනකු සතු වත්කම් පවුලේ සාමාජිකයන් සමඟ බෙදී යෑම මත ඔවුනට සිය ස්ථානය අහිමි වී ඇතැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි. බිලියනපතියන් 20 දෙනකු පසුගිය වසරේ මෙලොවින් සමුගෙන තිබේ.

 

 

 

 

 

 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා