ලෝකයාට පුදුමයක් වුණු ලෝකයේ ඉපැරැණි පුදුම 7


තිබුණේ කොහෙදැයි හරිහැටි නොදන්න බැබිලෝනියාවේ එල්ලෙන උයන   

 

ලෝක පුදුම යනුවෙන් හැඳින්වෙන්නේ, මිනිසා විසින් නිර්මාණය කළ සිත් අදහා ගත නොහැකි, ඉතා අපූරු ඉදිකිරීම් සහ නිර්මාණය. ගොඩනැගිලි, ප්‍රතිමා, ස්මාරක ආදිය පුදුම අතරට ඇතුළත්ය. ලෝකයේ ඉපැරැණි පුදුම 7 සහ නූතන පුදුම 7 යනුවෙන් ලයිස්තු දෙකකි. ඉපැරැණි පුදුම 7 නම් කරනු ලැබ ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් (උපත ලබා ඇත්තේ ක්‍රි.පූ. 485 දීය.) විසිනි. ඊජිප්තුවේ මහා පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය, සූස් දෙවිඳුගේ ප්‍රතිමාව, ආටිමීස් දෙවොල, හැලිකානාසස් සමාධිය, ඇලෙස්කැන්ඩ්‍රියා ප්‍රදීපාගාරය සහ රෝඩ්ස් යෝධ ප්‍රතිමාව පැරැණි පුදුම 7ට අයත් වෙයි. මේවායින් අදටත් නොනැසී පවතින්නේ ඊජිප්තුවේ පිරමීඩ පමණි. 


නූතන පුදුම 7 නම් කිරීම සිදුවූයේ 2007 වසරේදීය. ඒ, ‘ද නිව් සෙවන් වොන්ඩර්ස් ෆවුන්ඩේෂන්’ (නව පුදුම 7 පදනම) නමැති ස්විට්සර්ලන්තය කේන්ද්‍රකොටගත් ආයතනය මගිනි. නූතන යුගයේ ලොව පුරා දකින්න ලැබෙන සුවිශේෂී ඉදිකිරීම්, ස්මාරක, ප්‍රතිමා ආදී 200ක් (සීගිරිය පවා මීට ඇතුළත් වුවත් නව පුදුම හතට එය ඇතුළත් නොවිණි.) අතරින්, හතක් තෝරා ගෙන ඒවා නවීන ලෝකයේ පුදුම හත එසේත් නැතිනම් ‘නව පුදුම හත’ යනුවෙන් නම් කිරීම සිදුවිය. එය සිදුවූයේ අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ, 2001 වසරේ සිට 2007 වසර තෙක් සිදු කළ ජනමත විමසුමකිනි. ලොව සෑම කෙනෙක්ම පාහේ මෙම ජනමත විමසුමට එක්වූහ. අන්තර්ජාලය ඔස්සේ එක් අයකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුණු අතර, දුරකතන ඔස්සේ කෙනකුට කැමති ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදී තිබුණි. ලොව පුරා මිලියන 100ක පිරිසක් මීට දායක වූහ. ඒ අනුව, තෝරා ගත් ‘පුදුම 7’ 2007 වසරේ ජුලි මස හත්වැනිදා (2007/07/07) පෘතුගාලයේ ලිස්බන් නුවරදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.   

 

අද මෙන් නොව, වසර දහස් ගණනකට පෙර විසූ අප පැරැන්නෝ ද සංචාරවල නියැළීමට ප්‍රිය කළහ. අපූරු ස්ථාන නැරැඹීමටත්, විවිධාකාරයේ පුද්ගලයන් හමුවීමටත් ඔවුහු කැමැත්තක් දැක්වූහ. ඒ අතරින්, පුරාණ ග්‍රීක වැසියෝ කැපී පෙනෙති. ග්‍රීක වැසියෝ එසේ සංචාරවල නියැළෙමින් සිටිද්දී, ඔවුන්ගේ සිත්ගත් ස්ථාන සම්බන්ධයෙන් සටහන් තැබූහ. ඒවා ගැන වර්ණනා කළහ. හමුවන අනෙක් අයට ද ඒවා විස්තර කළහ. පැරැණි ලෝකයේ පුදුම හතට අයත් වන ස්ථාන ඒ අතර කැපී පෙනෙයි. ග්‍රීක වැසියන් විසින් ‘නැරැඹිය යුතුම ස්ථානයක්’ යනුවෙන් ‘බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය’ නම් කර ඇත.   


පැරැණි පුදුම හතට අයත් ඉදිකිරීම් (පිරමීඩ හැර) අද දකින්න නොලැබුණත් ඒවා පිහිටා තිබුණේ කොතැනදැයි නිශ්චිතව හඳුනා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වී සිටිති. කෙසේ නමුත් බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ඉදිකළ ස්ථානය ගැන පමණක් කිසිවක් දන්නේ නැත. එම ස්ථානය නිවැරැදිව හඳුනා ගැනීමට හැකියාව ලැබී නැත. පුරාණ බැබිලෝනියා පොත්පත් සහ ලේඛනවල එල්ලෙන උද්‍යානය සම්බන්ධයෙන් සටහනක් නැත. බැබිලෝනියාවේ, මේ අයුරින් උද්‍යානයක් තිබුණු බවට ද කිසිදු සාක්ෂියක් ලැබී නැත. ඉතිරි වී ඇති විස්තර අනුව, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ඉදිකර තිබෙන්නේ, ජේසුතුමන්ගේ උප්පත්තියට, වසර 600කට පෙර යැයි ද පැවැසෙයි.   


ලැබී ඇති විස්තර අනුව, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ඉදිකරනු ලැබුවේ, ක්‍රි.පූ. 605 සිට 562 තෙක් කාලයේ රජකම් කළ දෙවැනි නේබුචද්නෙසාර් රජුගේ අනුදැනුම යටතේ යැයි ද අදහසක් පවතී. අතීතයේ මෙම උද්‍යානය තිබුණු බව පැවැසෙන ස්ථානය අද අයත් වන්නේ යුද ගැටුම් සහ දේශපාලන අස්ථාරත්වයකින් පීඩාවට පත් ඉරාකයටය. තම අමිටිස් නමැති බිසවට, ඇගේ උපන් දේශය සිහි ගැන්වීමේ අරමුණින්, දෙවැනි නේබුචද්නෙසාර් රජු මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කරන්න ඇතැයි ද පැවැසෙයි. මේ බව පවසා ඇත්තේ, බැබිලෝනියානු පූජක බේරෝසෝස් නමැත්තාය. බේරෝසෝස් පූජකයා මේ බව සඳහන් කර ඇත්තේ ක්‍රි.පූ. 290 දීය. දෙවැනි නේබුචද්නෙසාර් රජුගේ බිරිඳ අසල්වැසි පර්සියාවේ කුමරියකි. අතීතයේ පර්සියාව යනුවෙන් හැඳින්වූයේ වර්තමානයේ ඉරානයයි. ඇතැම් වාර්තාවල සඳහන් වෙන්නේ තම මියගිය බිරිඳ සිහිපත්වීම සඳහා රජු මෙම එල්ලෙන උද්‍යානය නිර්මාණය කළ බවය.   


බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය යනු කඳු ගැටයක් සේ ඉහළට සිටින සේ මැටි පස් සහ කළුගල් පමණක් නොව පුරාණ ගඩොල්වලින් ද යොදා ඉදිකළ උද්‍යානයකි. මෙය සැබැවින්ම ඉන්ජිනේරු විස්කමක් බව ද පැවැසෙයි. මනුෂ්‍ය වර්ගයාගේ විස්කමක් ලෙස පැරැන්නෝ මෙම එල්ලෙන උද්‍යානය සැලැකූහ. දියඇලි සහ පොකුණුවලින් ද සමන්විත කෘත්‍රීමව තැනූ මෙම උද්‍යානය, නොයෙක් විදියේ මල් වර්ග, ගස්වැල්වලින් පිරුණු පාරාදීසයකි. ගස්වැල් සහ මල් පර්සියාවෙන් ගෙනෙන ලද අතර, ඉරාකයේ කර්කෂ පරිසරයට ඔරොත්තුදීමට සලස්වමින් ඒවා රැක බලා ගැනීම රජතුමා මුහුණ දුන් අභියෝගයක් යැයි ද පැවැසෙයි.   

 

 

මෙම උද්‍යානය නිර්මාණය කර තිබෙන්න ඇත්තේ, රාජමාලිගයේ පවුරට සවි වන අයුරිනි. එහි උස අඩි 100ක් පමණ වූ බවත්, අඩි 400ක් පළලින් යුක්ත වූ බවත් පැවැසෙයි. මේ බව පවසා ඇත්තේ ග්‍රීක ඉතිහාසඥ ඩියෝඩරස් සිකුලස්ය. බිම සිට බලද්දී එය බැලූ බැල්මට එල්ලෙන උයනක් සේ පෙනුණු බව ද පැවැසෙයි. ඒ අනුව, ‘එල්ලෙන උයන’ යනුවෙන් නම පටබැඳී ඇත.   


එල්ලෙන උද්‍යානය මුදුනට ජලය ගෙන යෑම සඳහා විශේෂ වාරිමාර්ග ක්‍රම භාවිත කරන ලද බව ද පැවැසෙයි. මුදුනට ජලය සපයා ඇත්තේ නළ මාර්ගයකිනි. ගොඩනැගිල්ලේ ඉහළ මාලයට ජලය ගෙන යෑම සඳහා ඉදිකරන ලද පොම්පය නිර්මාණය කරන ලද්දේ ඒ කාලයේ විසූ අතිවිශිෂ්ට ශාස්ත්‍රඥයකු හා දර්ශනවාදියකු වන ආකිමිඩිස්ය. මෙම උද්‍යානයේ ප්‍රමාණය අනුව එහි ඇති පැළෑටි සහ ගස්වලට දිනපතා වතුර ගැලුම් 8,200ක් පමණ සපයා ඇති බව ද අතීත වාර්තාවල සඳහන් වෙයි.   


උද්‍යානය නිර්මාණයට නිර්මාණකරුවන්ට ශක්තිමත් පාදමක් සකස් කරන්න අවශ්‍ය විය. මෙම පාදම හොඳ ශක්තියෙන් තිබිය යුතු බව දෙවැනි නේබුචද්නෙසාර් රජු පවා අවබෝධ කරගෙන සිටියේය. කැණීම් කරමින් පාදම ශත්තිමත් ලෙස ඉදිකිරීමට රජු උපදෙස් ලබාදී ඇත. ඉහළ උද්‍යානයේ බර දැරීමට අවශ්‍ය පරිදි අඩි 30ක් පහළට හාරමින්, පාදම ඉදිකිරීම සිදුවිය. එසේ නොකළා නම් ඉහළින් ආ බර දරා ගැනීමට නොහැකිව උද්‍යානය බිමට කඩා පාත්වීමේ අවදානමක් පැවැතිණි.   


බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය සැබෑවක් නම්, එය විනාශ වන්න ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී හටගත් භූමි කම්පාවකින් යැයි ද පැවැසෙයි. තවත් සමහරුන්ගේ අදහස වී ඇත්තේ යුද ගැටුම්වලින් සහ ඛාදනයට ලක්වීමෙන් උද්‍යානය විනාශ වුණු බවය.   


බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ගැන පිහිටි ස්ථානය නිවැරැදිව සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට නොහැකි වීම හේතුවෙන් එල්ලෙන උද්‍යානය සම්බන්ධයෙන් අදහස් තුනකි. පළමු වැන්න, මෙවැනි උද්‍යානයක් නොතිබුණු බවත්, මෙම උද්‍යානය හුදෙක් මිත්‍යාවක් බවත්ය. දෙවැනි අදහස, උද්‍යානය බැබිලෝනියාවේ පිහිටා ඇති බවය. කෙසේ නමුත් ක්‍රි.පූ. පළමු සියවයසේදී උද්‍යානය විනාශ වුණු බවය. තෙවැනි අදහස නම්, බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය යන නමින් හැඳින්වූයේ බැබිලෝනියාවේ උද්‍යානයක් නොව, ටයිග්‍රීස් නදී තීරයේ, ඇසිරියානු රජ කෙනකු වුණු සෙනාචෙරීබ්ගේ අනුදැනුම යටතේ ඉදිකෙරුණු උද්‍යානය කියාය. ක්‍රි.පූ. 704 සිට 681 තෙක් කාලයේ ජීවත් වුණු මෙම රජුගේ අගනුවර ලෙස සැලකුණේ නිනේව් නගරයයි. උද්‍යානය මෙම නගරයේ ඉදිකර තිබුණු බවට පැහැදිලි ලිඛිත සාක්ෂි ඇත. නිනේව් නමැති නගරය අද ඉරාකයේ මොසූල් නගරයට අයත් වෙයි.   

 

 

 

 


ලුසිත ජයමාන්න   
විකිපීඩියා ඇසුරිනි