ලෝක ඉතිහාසයේ ගුහා ගවේෂණ ඛේදවාචක මොස්ඩේල් ඛේදවාචකය


 

ඉන්දුනීසියාවේ තාම් ලුවං නාන් නොන් කඳුකර ගුහාවේ සිර වූ ළමා පාපන්දු කණ්ඩායම පිළිබඳ පුවත මේ වනවිට ලොව වැදගත්ම ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. එහි සිරවූ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුගේ ජීවිතවලට අනතුරක් නොමැති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මේ පිරිස ගුහා කුහරය තුළින් යළි ගොඩබිම වෙත ගෙන ඒමට සියලු ප්‍රයත්න දරමින් සිටිති. භූගත ගුහාවල සිර වූ පළමු කණ්ඩායම මොවුන් නොවේ. මින් ඉහත අවස්ථා ගණනකදී බොහෝ පුද්ගලයන් මෙවැනි ගුහා අනතුරුවලට මුහුණ පෑ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසකට ජීවිතය ගලවා ගැනීමට වාසනාවක් නොවිණි. 

1967 ජුනි 25 වැනි දින බ්‍රිතාන්‍ය පුවත්පත්වල මෙවැනි පුවතක් පළ වී තිබිණි. 


“යෝක්ෂයරයේ ඉතා අනතුරුදායක ගුහාවක් වන මොස්ඩේල් ගුහාවේ අඩි 2ක් පමණ උසැති පටු දෝනාවක සිර වී පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ පිරිස ගවේෂණයක් සඳහා මෙම ගුහාව තුළට පිවිස තිබූ අතර කිලෝ මීටර 3.2ක් පමණ ගමන් කරන විට තද වැසි ඇදහැළීමෙන් ගුහා තුළ ජලය පිරෙන්නට වී තිබේ. මෙම ගවේෂණයට පුද්ගලයන් සයදෙනකු සහභාගී වී ඇති අතර සය වැනි පුද්ගලයා පිළිබඳ තොරතුරක් නොමැත. මේ වනවිට ඔහු සොයා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ.” 


මෙම මළසිරුරු සොයා ගැනුණේ එම පුද්ගලයන් අතුරුදන් වූ බවට වාර්තා වීමෙන් පසු පැය 18ක් පුරා සිදු කෙරුණු ගලවා ගැනීම් මෙහෙයුමකදීය. යෝක්ෂයරයේ මොස්ඩේල් ගුහාව හැඳින්වෙන්නේ සාමාන්‍ය වැසි සහිත තත්ත්වයකදී වුව ජල ගැලීම් ඇතිවිය හැකි ගුහාවක් ලෙසිනි. මෙම ගවේෂකයන් පිරිස ගුහාවට පිවිස තිබුණේ එදින තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබූ වාතාවරණයක් යටතේය. 


කොනින්ස්ටන්ති ගුහා ගවේෂණ සමාජ තුනකට අයත් තරුණ තරුණියන් දස දෙනෙක් මොස්ඩෙල් ගුහා ගවේෂණයට එක් වී සිටියහ. මින් පෙර මොස්ඩේල් ගුහාවේ ගවේෂණ කටයුතු සඳහා සහභාගී වී අත්දැකීම් ලබා සිටියේ ඉන් දෙදෙනකු පමණි. ඒ කණ්ඩායමේ නායකයා වූයේ 26 හැවිරිදි ඩේව් ඇඩම්සන් සහ ඔහුගේ සගයා වූ 24 හැවිරිදි ජෙෆ් බොයිරිව්ය. ඔවුන් දෙදෙනා ලිඩ්ස් සරසවියේ උපාධිධාරීන් වූහ. 21 හැවිරිදි වූ ජෝන් ඔග්ඩන්, ජිම් කනිංහැම් සහ ජෝන් ෂෙපර්ඩ් යන තිදෙනා හැපි වොන්ඩරරස් ගුහා ගවේෂණ සමාජයේ සාමාජිකයන් වූහ. කොලින් විකර්ස් හා බිල් ෆ්‍රේක්ස් පළපුරුදු ගවේෂකයන් වූ අතර 17 මයිකල් රයන් පුහුණුවන්නකු විය. කොලෙට් ලෝඩ් සහ මොරාග් ෆෝබ්ස් පිරිසට එක් වූ කාන්තාවන් දෙදෙනා වූහ. 


මොස්ඩේල් ගුහා තුළ පළමු වරට ගවේෂණයේ යෙදුණේ බොබ් ලීකි විසිනි. ඒ 1941 දීය. වරින් වර ගුහා ගවේෂකයන් කිහිපදෙනකු මෙහි ගවේෂණ චාරිකාවල නිරත වුව ද එම ගුහා පූර්ණ ගවේෂණයකට ලක්ව නොතිබිණි. 1967 ජුනි 24 දින ගවේෂණයේ යෙදුණු තරුණ පිරිසට අවශ්‍ය වූයේ මෙම ගුහාවේ අනෙක් අන්තය සොයා ගැනීමය. මේ පිරිස අවුරුදු 17ත් 26ත් අතර වයස්වලට අයත් වූහ. 


ඇඩම්සන් සහ බොයිරිව්ගේ අරමුණ වූයේ ඇහිරී තිබූ ‘මිනි කව්’ පටු මාර්ගය පුපුරුවා හැර මාර්ගය පාදා ගැනීමය. ගුහා කට අසලදී කණ්ඩායම දෙකට බෙදුණාහ. පුපුරන ද්‍රව්‍ය ද රැගත් සය දෙනකු සවස පහට පමණ ගුහාව තුළට පිවිසි අතර කාන්තාවන් දෙදෙනා සහ තවත් දෙදෙනකු සමඟ ගුහා පාමුල රැඳී සිටියහ. 


ගුහා මඟ ඔස්සේ සැතපුම් දෙකක් පමණ ගමන් කළ ඔවුහු එහි වූ අතිදුෂ්කර අඩි 900ක් පමණ දිගින් යුතු ‘මැරතන් මාර්ගය’ නමින් හැඳින්වුණු ස්ථානය වෙත ළඟා වූහ. මැරතන් මාර්ගය ඉතා පටු, දඟර ගැසුණු, බඩ ගා යා යුතු දුෂ්කර මාර්ගයකි. 


ගුහාව තුළින් ගමන් කළ දිය පහර එතරම් වේගවත් නොවීය. එහෙත් එය කොයි මොහොතේ වේගවත් වේද යන්න ගුහා තුළ කිමිදෙන්නන්ගේ සිත්වල ඇති බියකි. එක් වරම දිය පහර වේගවත් වූ අතර ජල මට්ටම ඉහළ යන්නට විය. ඔවුන් නොදැන සිටි කරුණක් තිබිණි. ඒ වනවිට මහ වැසි ඇදහැලෙමින් ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබූ අතර ගුහාව ජලයෙන් පිරී යමින් තිබූ බැව් ඔවුන් දැන සිටියේ නැත. ඔවුන්ගෙන් වැඩි පිරිසක් පළපුරුදු ගුහා ගවේෂකයෝ වූහ. එහෙත් මොස්ඩේල් ගුහාව ඔවුන්ගේ සොහොන වනු ඇතැයි ඔවුන් කිසි දිනෙක නොසිතන්නට ඇත. 

මොස්ඩේල් ගුහා තුළ පළමු වරට ගවේෂණයේ යෙදුණේ බොබ් ලීකි විසිනි. ඒ 1941 දීය. වරින් වර ගුහා ගවේෂකයන් කිහිපදෙනකු මෙහි ගවේෂණ චාරිකාවල නිරත වුව ද එම ගුහා පූර්ණ ගවේෂණයකට ලක්ව නොතිබිණි. 1967 ජුනි 24 දින ගවේෂණයේ යෙදුණු තරුණ පිරිසට අවශ්‍ය වූයේ මෙම ගුහාවේ අනෙක් අන්තය සොයා ගැනීමය. මේ පිරිස අවුරුදු 17ත් 26ත් අතර වයස්වලට අයත් වූහ. 


ඇඩම්සන් සහ බොයිරිව්ගේ අරමුණ වූයේ ඇහිරී තිබූ ‘මිනි කව්’ පටු මාර්ගය පුපුරුවා හැර මාර්ගය පාදා ගැනීමය. ගුහා කට අසලදී කණ්ඩායම දෙකට බෙදුණාහ. පුපුරණ ද්‍රව්‍ය ද රැගත් සය දෙනකු සවස පහට පමණ ගුහාව තුළට පිවිසි අතර කාන්තාවන් දෙදෙනා තවත් දෙදෙනකු සමඟ ගුහා පාමුල රැඳී සිටියහ. 


ගුහා මඟ ඔස්සේ සැතපුම් දෙකක් පමණ ගමන් කළ ඔවුහු එහි වූ අතිදුෂ්කර අඩි 900ක් පමණ දිගින් යුතු ‘මැරතන් මාර්ගය’ නමින් හැඳින්වුණු ස්ථානය වෙත ළඟා වූහ. මැරතන් මාර්ගය ඉතා පටු, දඟර ගැසුණු, බඩ ගා යා යුතු දුෂ්කර මාර්ගයකි. 


ගුහාව තුළින් ගමන් කළ දිය පහර එතරම් වේගවත් නොවීය. එහෙත් එය කොයි මොහොතේ වේගවත් වේද යන්න ගුහා තුළ කිමිදෙන්නන්ගේ සිත්වල ඇති බියකි. එක් වරම දිය පහර වේගවත් වූ අතර ජල මට්ටම ඉහළ යන්නට විය. ඔවුන් නොදැන සිටි කරුණක් තිබිණි. ඒ වනවිට මහ වැසි ඇදහැළෙමින් ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබූ අතර ගුහාව ජලයෙන් පිරී යමින් තිබූ බැව් ඔවුන් දැන සිටියේ නැත. ඔවුන්ගෙන් වැඩි පිරිසක් පළපුරුදු ගුහා ගවේෂකයෝ වූහ. එහෙත් මොස්ඩේල් ගුහාව ඔවුන්ගේ සොහොන වනු ඇතැයි ඔවුන් කිසි දිනෙක නොසිතන්නට ඇත. 

 


මඳ වේලාවකට පසු තද වැසි ඇදහැලෙන්නට විය. අඟලක පමණ වර්ෂාපතනයක් පැය තුනක පමණ කාලයක් පුරා පැවැතියේය. රාත්‍රී 9 පමණ වනවිට ගුහා කට වැසෙන පරිදි ජලය පිරෙන්නට විය. ගුහාව තුළට ජලය පිරෙනු දුටු ගොඩබිම සිටි පිරිස ආධාර ඉල්ලා දිව යන්නට වූහ. ප්‍රදේශයේ පොලිසිය දැනුම්වත් කරන්නට ඔවුනට හැකි වූ අතර රාත්‍රී 11 පමණ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ විය. 


මෙහෙයුම සඳහා 200කට අධික පිරිසක් සහභාගී වූහ. ගුහා තුළ සිරවූවන් සෙවීම අතුරුදන් වූ කඳු නගින්නන් සෙවීමේ කාර්යයට වඩා බෙහෙවින් අසීරු වන්නේ ඔවුන් පොළොව යට කුමන ස්ථානයක සිටින්නේදැයි යන්න සොයා ගැනීම අපහසු බැවිනි. 

 

මොස්ඩේල් ගුහාවේ පිවිසුම

මළ සිරුරු සිරවී තිබූ ස්ථානය

 

මොස්ඩේල් යනු හුණුගල් පාෂාණයන්ගෙන් සමන්විත තද බෑවුම් සහිත කඳුවැටියකි. ගුහා පිහිටා ඇත්තේ එහි පාමුලය. සැතපුම් ගණනක් පොළොව යටට විහිදුණු එම ගුහා මාර්ගයේ තවමත් ගවේෂණය නොකළ ප්‍රදේශ රැසක් පවතී. මෙම ගුහා පද්ධතිය භූ විද්‍යාත්මක වශයෙන් ගුහා දෙකක් වශයෙන් සැලකෙයි. එහි එක් ගුහාවක් සැතපුම් 7ක් පමණ දිගින් යුතුය. ගුහාව අසලින් ගලන දිය පහර ගුහා පිවිසුම අසලින් නැති වී ගොස් ගුහාවේ සැතපුම් පහක පමණ දුරින් මීටර් 900 පමණ ගැඹුරේ ‘බ්ලැක් ෆෙල්ඩ්’ නම් ස්ථානයෙන් යළි මතුවෙයි. 


ගුහා අභ්‍යන්තරය පිළිබඳ පැහැදිලි සිතියමක් නොවීය. එහෙයින් ගලවා ගැනීමේ කණ්ඩායමේ නායකයන් වූ ලෙන් හෆ් සහ ඩෙස් බ්‍රිජ් මහත් ගැටලුවකට මුහුණ පෑහ. ගුහාව තුළට පිරෙන ජලය ඉවත් කිරීම සඳහා විශාල අගල් හා වළවල් කැපූ පිරිස වැසි වතුර ගුහාව තුළට යෑම වැළැක්වීම සඳහා වැලිකොට්ට ගුහාව වටා ගොඩගසන්නට වූහ. ජල පොම්ප විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් ගුහාවේ පිරී තිබූ ජලය පිටතට පොම්ප කළහ. 


ගලවා ගැනීමේ කණ්ඩායමේ කිසිදු සාමාජිකයකු මින් ඉහත මොස්ඩේල් ගුහා අභ්‍යන්තරයට පිවිස තිබුණේ නැත. ඇතුළත තිබූ ජලය පොම්ප කිරීමෙන් පසු ගුහා තුළට පිවිසි ඔවුහු අතුරුදන් වූ ගවේෂකයන් සොයන්නට වූහ. දිගින් අඩි 900ක් ද උසින් අඟල් 10ක් හා පළලින් අඩි දෙකක් පමණ වූ මැරතන් මාර්ගය තරණය කිරීම අතිදුෂ්කර විය. 


දැඩි පරිශ්‍රමයකින් පසු එම පටු මාර්ගය තරණය කළ ගලවා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයකුහට එහි සිර වී තිබූ මළසිරුරු දෙකක් හමුවිය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී තවත් මළසිරුරු තුනක් සොයා ගැනීමට ඔවුනට හැකි විය. සය වැන්නා අතුරුදන්ව සිටියේය. මළසිරුරු දැකීමෙන් ගලවා ගැනීමේ කණ්ඩායම දැඩි ශෝකයට පත් වූහ. 


අතුරුදන් වූ සය වැන්නාගේ සිරුර සොයා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම මෙහෙයුම් ආරම්භ කළහ. එහෙත් එදින ඔහුගේ සිරුර සොයා ගත නොහැකි විය. 


පසු දින සයදෙනකුගෙන් සමන්විත ගලවා ගැනීමේ කණ්ඩායමක් යළි අතුරුදන් වූ සාමාජිකයා සොයා ගුහා තුළට පිවිසියහ. බොහෝ වේලා සිරුරු සෙවූ කණ්ඩායමේ සාමාජිකයකුට මළ සිරුරු සිර වී තිබූ ස්ථානයේ දිලිසෙන යමක් දැකිය හැකි විය. එම ස්ථානයේ තවදුරටත් සොයා බැලූ ඔවුනට ගැඹුරු කපොල්ලක සිර වී තිබූ බූට් සපත්තුවක් පෙනිණි. ඒ සයවැන්නා වූ ජෝන් ඔග්ඩන්ගේ සිරුර විය. එය සිර වී තිබූ ආකාරයෙන් ඔහු ඉන් පිටතට ඒමට මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් පැහැදිළි විය. 


ඉතා පටු දෝනා තුළින් ඉතා අසීරුවෙන් ගමන් කරමින් මළ සිරුර රැඳී තිබූ ස්ථානය වෙත ළඟා වීම සඳහා පැය පහකට අධික කාලයක් ගත විය. එහෙයින් මළ සිරුරු හය ගොඩබිමට ගෙන ඒම අසීරු කාර්යයක් විය. මරණ පරීක්ෂකවරයා මියගිය පුද්ගලයන්ගේ මව්පියන්ට, පොලිසියට හා ගලවා ගැනීමේ කණ්ඩායමට යෝජනා කළේ ගුහාව සම්පූර්ණයෙන් වසා දමා එය ඔවුන්ගේ සුසානභූමිය බවට පත් කරන ලෙසිනි. 


එහෙත් එම යෝජනාවට මව්පියන් හා ගුහා ගවේෂක කණ්ඩායම් විරෝධය පළ කළහ. ඔවුනට අවශ්‍ය වූයේ මියගිය පිරිස ගොඩට ගෙන ඒමය. එහෙත් අවසානයේ මරණ පරීක්ෂකවරයාගේ තීරණය පිළිගැනීමට ඔවුනට සිදු විය. 


මියගිය ගුහා ගවේෂකයන් සය දෙනා වෙනුවෙන් අවමංගල දේව මෙහෙයක් කොනිස්ටන් දෙව් මැඳුරේ පැවැත්වුණු අතර එයට ගුහා ගවේෂකයෝ විශාල පිරිසක් සහභාගීව සිටියහ. 


ගුහා ගවේෂක කණ්ඩායමේ සිටි කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු වූ මොරාග් ෆෝබ්ස් විවාහ ගිවිසගෙන සිටියේ කණ්ඩායමේ නායකයා වූ ඩේව් ඇඩම්සන් සමඟිනි. ඔවුන් ජුලි මාසයේ විවාහ වීමට නියමිතව සිටියහ. ඇය ඔහු අවසන් වරට දුටුවේ ජුනි 24 දින ගුහා පිවිසුම ආසන්නයේදී ඇයගෙන් සමුගෙන ගුහාව තුළට පිවිසුණු මොහොතේය. ඔහුගේ මරණය වෙනුවෙන් ඇය ජීවිත කාලය පුරා ශෝක වූවාය. ජෝන් ඔග්ඩන්ගේ මව්පියෝ තම නිවෙස ‘මොස්ඩේල්’ යනුවෙන් යළි නම් කළහ. ජිම් කනිංහැම් මොස්ඩෙල් ගුහාව අසල සෑම වසරකම පැවැති සිහිපත් කිරීමේ උත්සවයට නොකඩවා සහභාගී විය. 


මිය ගිය ගවේෂකයන්ගේ මිතුරන් පිරිසක් 1970 දී මළ සිරුරු හමුවූ ස්ථානයට ගොස් ඉතිරිව තිබූ කොටස් ගුහාවේ ජල පහරට හසු නොවන උස් බිමක තැන්පත් කිරීමට පියවර ගත්හ. 


බ්‍රිතාන්‍ය ගුහා ගවේෂණ ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය එය විය. මේ වනවිට 51 වසරක් ගෙවී ගිය ද මොස්ඩේල් ඛේදවාචකය බ්‍රිතාන්‍යයන්ගේ මතකයෙන් තවමත් බැහැර වී නොමැත. 

 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා