ලොව විෂම ගස ‘මැන්චිනෙලා’


 

‘ලෝකයේ විෂම ගස’ කුමක්දැයි දන්නවාද? වැස්ස වෙලාවක මෙම ගස යට සිටියොත්, සම පිලිස්සී දියපට්ට හට ගනීවි. ගසේ පුංචි ලස්සන ගෙඩි කෑවොත් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී මරණයට පත් වේවි. මේ ගස ‘මරණයේ වෘක්ෂය’ යනුවෙන් හැඳින්වෙන්නේ ද එහෙයිනි. මෙම ගස හැඳින්වෙන්නේ ‘මැන්චිනෙලා’ යනුවෙනි. ‘මැන්චිනෙලා’ කැරීබියන් දූපත්වලට, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට, මෙක්සිකෝවට, මධ්‍යම ඇමෙරිකාවට, උතුරු සහ දකුණු ඇමෙරිකාවට ආවේණිකය. මෙම ගස් කැරිබියානු සහ ලතින් ඇමෙරිකානු රටවල මුහුදු වෙරළ ආශ්‍රිතව බහුලව දකින්න ලැබේ. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බහාමාස් සහ කැරිබියානු දූපත්වල, මධ්‍යම ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ මුහුදු වෙරළාශ්‍රිතව සහ මුහුදට නුදුරින් වගුරුවල මෙම ගස් දකින්න ලැබෙන්නේ කඩොලාන වනාන්තරවලය. ‘මැන්චිනෙලා’ ගසක් අඩි 50 ක් පමණ උසට වැඩෙයි. 


‘මැන්චිනෙලා’ ගසේ ගෙඩිය කුඩාය. කොළ පැහැතිය. කුඩා ප්‍රමාණයේ ඇපල් ගෙඩියක් වැනිය. ඒ නිසාම, මැන්චිනෙලා ගස පුංචි ඇපල් යනුවෙන් ද හැඳින්වෙයි. මෙම ගෙඩි ආහාරයට ගැනීමෙන් වළකින්නැයි පැවැසෙන්නේ අතීතයේ බොහෝ දෙනකු ඇපල් ගෙඩියේ පෙනුම නිසා රස පලතුරක් යැයි සිතා මෙම ගෙඩි ආහාරයට ගෙන මියගිය නිසාය. කෙසේ නමුත් මෑත කාලයේ කිසිවකුවත් ‘මැන්චිනෙලා’ ගෙඩි ආහරයට ගෙන මියගිය බව වාර්තා වී නැත. ඒ, ‘මැන්චිනෙලා’ ගස ගැන හොඳින් දැනුවත් කර ඇති බැවිනි.  ‘මැන්චිනෙලා’ ගෙඩි කෑමට ගනිද්දී, මුලින්ම දැනෙන්නේ මිහිරි රසයකි. මද වේලාවකින් අමුත්තක් දැනෙන්න ගනී. සැර ගතියක් දැනෙයි. එම සැර ගතිය ක්‍රමයෙන් වැඩි වෙයි. එය මිරිස් කනවා හා සමානය. ඒ, සැරට ඇස්වලින් කඳුළු ගලයි. උගුර සිරවෙයි. ආමාශයට ගෙඩියේ කැබලි යද්දී, ගෙඩියේ විෂ සහ ආමාශයේ විෂ හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවෙයි. හුස්ම ගැනීම අපහසු කරයි.


‘මැන්චිනෙලා’ ගසේ කඳ රතු සහ අළු පැහැයක් ගනී. ‘මැන්චිනෙලා’ පත්‍ර දීප්තිමක් කොළ පැහැයක් ගන්නා අතර, මල් කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී. ඇසට ප්‍රිය කරන පෙනුමක් තිබුණත්, මාරක විෂ සහිත ගසකි. ගසේ සෑම කොටසකම විෂය. ෆ්ලොරීඩාවේත්, මධ්‍යම සහ ලතින් ඇමෙරිකාවේත් මුහුදු වෙරළ තීරයේ මෙම ගස් ඇතිනම්, ඒවා අනතුරුදායක බව පවසමින් අනතුරු ඇඟවීමේ පුවරු සවි කර තිබේ. ‘අවවාදයයි. මෙම ‘මැන්චිනෙලා’  ගසේ ගෙඩි ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒවා උග්‍ර විෂ ය. වැස්ස වෙලාවට ගස යට රැඳී සිටීමෙන් වළකින්න’ යැයි එම පුවරුවල සඳහන් වෙයි.


‘මැන්චිනෙලා’ අප රටේ දකින්න ලැබෙන කදුරු ගස්වලට සමානය. නමුත් ‘මැන්චිනෙලා’ කදුරු පවුලට අයත් ශාකයක් නොවෙයි. කදුරු ගස්වල මෙන් ‘මැන්චිනෙලා’ ගසෙන් කිරි වෑහෙයි. ඒවා ද සිරුරේ තැවරීම ද බිහිසුණු ප්‍රතිඵල අත්කර දෙයි. වැස්සකදී ගස යට සිටින්න එපා යැයි අනතුරු අඟවා ඇත්තේ එහෙයිනි. ‘මැන්චිනෙලා’ ගස ගිනි තැබීම ද ඉතා අනතුරුදායක ය. දුම් ඇස්වල තැවරුණොත් ඇස්වලට හානි වෙයි. ස්පාඤ්ඤ බසින් මෙම ගස හැඳින්වෙන්නේ ‘මැන්චිනෙලා දෙලා මුවර්තේ’ යනුවෙනි. එහි අර්ථය ‘මරණයේ පුංචි ඇපල් ගෙඩිය’ යනුවෙනි.

 

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි