ලොකු පුතාට ඉඩම් ලීවට අනික් දරුවො තරහ වුණා


වැඩිහිටි නිවාසයේ තනිවුණු ඈ 
අපේ අම්මාය

 

ජීවිතේ සමහර දේවල් තීන්දු වෙන්නෙ පෙර කරන ලද කර්මය එක්කයි. පව් පළදීම බලවත් වන විට කරදර එකපිට එක ගොඩ ගැසේ. පව් නොකර හිටියා නම් හොඳ යැයි සිතෙන්නේ පව් පැමිණ වේදනා දෙවන විටයි.   

 

‘කරන කලට පව් මිහිරිය මීසේ   
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ’   


යැයි කියන්නේ කට කහනවාට නොවේ. පව් පළදෙන විට දැනෙන වේදනාව ගින්නකට පැන්නාක් මෙන් බලවත් ය. ඊළඟට, පව් කළ අයට එයින් බේරී හිඳීමට තැනක් කොහි හෝ නැතැයි ධර්මයේ විස්තර කෙරෙයි. අහසේ සිටියත්, දියෙහි සිටියත්, ගොඩබිම හෝ කොහි සිටියත් පාපය ඉස්මතු වී, එය දරුණු අන්දමින් විපාක දේ.   
සසර කළ පව් විපාක දීම රහතුන් පවා අත්විඳි අන්දම බණ කතාවල කියැවේ. තමන්ගේ කුසින් වැදූ දරුවන් විසින් නොසැලකීම, වැඩිහිටි නිවාසයක තනි කිරීම දරුණු චිත්ත පීඩා ඇති කරන්නකි. එය හැබෑවටම දැන හෝ නොදැන පෙර ජාතියක අපෙන් සිදු වූ අත් වැරැද්දකි.   


බොහෝ විට මෙවැනි පාපකර්ම උරුමවෙන්නේ අසරණ සතුන් ඒ අයගේ පවුල්වලින් ඈත්කොට කූඩු කර හැදීම, ඒ හදන සතුන්ට නිසි ලෙස කෑම බීම නොදීම, වද වේදනා දෙවීම වැනි කාරණා මූලික කරගෙන ය.   


අකුසල පෙළ ගැසෙන්නේ මෙපරිදි ය. අද ගොනු වෙන්නේ තවත් සත්‍ය කතාවකි. ගම්පහ අහස යට ‘ශාන්ති වැඩිහිටි නිවාසයේ’ මේ කඳුළු කතාව අපට ඇසුණු වෙනස්ම ආරේ කතාවකි. මේරි අම්මාගේ ගම මීගමුවට නුදුරු ගමකි. ඇයට දරුවෝ හය දෙනෙකි. තුන් දෙනෙක් පුතුන් ය. ඉතිරි තුන් දෙනා දියණියන් ය.   
මේරි අම්මා පුංචි සන්ධියේ සිටම හැදුණේ වැඩුණේ හැප්පුණේ වැල්ල සමගය.   
දැල් ඇදීමත්, බෝට්ටුවේ ගෙන එන මාළු විකිණීමත් මේරි අම්මාගේ ජීවිතයේ කොටසක් විය. මේරි අම්මා විවාහ වුණෙත් මහ බෝට්ටුවේ ගිය මයිකල් සමග ය. එහෙත් මයිකල් හෘදයාබාධයක් වැලඳී අකාලයේ මියැදුණේ ය.   


“මයිකල් මැරුණට පස්සෙ ළමයි හය දෙනා බලා ගන්න වගකීම පැවරුණේ මගේ පිට. එතකොට මට වයස අවුරුදු 35 ක් ඇති. ඉතින් මම මාළු විකුණන අතරේ කරවල වේලන වැඩවලට යනවා. දැල් අදිනවා. ඉතින් හවස් වෙද්දි අතමිට කීයක් හරි ලැබෙනවා. ඒකෙන් තමයි ළමයි හය දෙනාට ඉගැන්නුවේ. බාල පුතා බෝට්ටුවක් පෙරළිලා මළා. මෙහෙම ඉද්දි ළමයි ඉස්කෝලෙ ගමන ඉවර කළා. එක දුවෙක් විශ්වවිද්‍යාලෙට තේරිලා එයා දැන් ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ. තව පුතෙක් විභාගයක් ලියලා ආණ්ඩුවේ කන්තෝරුවකට ගියා.   
අනිත් දරුවො නම් මාළු රස්සාව එක්කම තමා පුරුදු වුණේ. දුවල විවාහ වුණෙත් මාළු රස්සාව කරන අය එක්ක.   
මහත්තයෝ ඒ කාලේ නම්, පණ පිටින් මාළු අපට හම්බ වුණේ. මාළු ගැහි ගැහි ඉද්දි කපල සුද්ධ කරල දෙන්න වුණා. මිනිස්සු ආශා අලුත් මාළුවලට කියලා, යන්තම් ගැහෙද්දි. ඉතින් විකුණනවා.   


මේරි අම්මා ඇගේ අතීතය මෙනෙහි කරන්නීය. දැන් මේරි අම්මාට වයස අවුරුදු 77 කි. ඇය සිහි නගන්නේ දශක කීපයකට එහා අතීතයයි.   
“දවසක් මම මාළු සුද්ද කරද්දි ගනකම් කොරපොත්තක් ඇවිත් මගේ වම් ඇහේ වැදුණා. එදායින් පස්සෙ ඇහැ තුවාල වෙලා කියලා බේත් දැම්මා. කොහොමින් කොහොම හරි ඒ ඇහැ, ටික ටික පේන්නෙ නැතිවම ගියා. බලන්න මේ ඇහැ...”   
මේරි අම්මා මට පෙන්වන්නීය.   
“ඒ ඇස තනිකරම කොරපොතු පිරුණු මාළුවෙකුගේ කඳක් මෙනි. එල්ලයට බැලුවොත් බයත් දැනේ. විකෘතිව ගිය ඇසකි.”   
“පුතේ, වයසත් එක්ක මට ලෙඩ වැඩි වුණා. අපිට තිබුණ ගෙයයි ඉඩමයි මම ලොකු පුතාට ලියලා දුන්නා. එයා මුහුදු රස්සාව කරන්නෙ. එයාට ගේ ලිව්වම අනික් දරුවො මා එක්ක තරහා වුණා. ඒ අය බලාපොරොත්තු වුණේ, ගේ, ඉඩම විකුණල හැමෝටම ලක්ෂ 10 ගාණෙවත් ගන්න. මම ඒක මුලින්ම හිතුවේ නෑ. ඉඩම ලිව්වට පස්සෙ දරුවො කියනවා, “අම්මෙ, දැන් ලොකු පුතා එක්කම ඉන්න එහෙනම්. අපි හිතුවේ අම්මා හැමෝටම සාධාරණයක් කරයි කියලා. අම්මට එහෙම කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි අම්මා කළේ නෑ, ලොකු අයියා කිව්ව දේ අහල ඉඩම, ගේ විකුණලා සාධාරණයක් කළා නම්, අපිටත් ඒ සල්ලිවලින් යමක් කරගෙන අම්මටත් සලකගෙන ලස්සනට ඉන්න තිබුණා”   
දරුවො කිව්වෙ එහෙමයි.   
මම හිතුවෙ නෑ එවැනි දෙයක්. එහෙම වුණා නම් මැරෙන කල් ඉඩම ලියන්නෙ නෑ. අන්තිමේ ලොකු පුතාට ඉඩම ලියපු සිද්ධියත් එක්ක අනිත් දරුවො මගෙන් ඈතට ඈතට ගියා. මම ලොකු පුතාගෙ ගෙදර නතර වුණා.   


දරුවො කවුරුවත් මාව බලන්න ආවෙ නෑ. එයාලා කතා වෙලා කළ දෙයක්. ඒ අය හිතුවෙ මම එයාලට නොසැලකිල්ලක් කළා කියලා.   
එහෙම දෙයක් මම හිතලා කළේ නෑ. මම උඹලට ඉගැන්නුවේ, කන්න දුන්නෙ කරවල වේලලා, මාළු කපලා, දැල් ඇදල කියලා උන්ට තේරුම් ගන්න ශක්තියක් තිබුණේ නෑ. එයාලා හැමදාම හිතුවෙ අද ගැන. අද ලැබෙන වාසිය ගැන. ගුණ යහපත්කමක්, කළ ගුණයක් මතක හිටින බවක් තිබුණෙ නෑ. මේ විදියට මම අවුරුදු ගණනක් ලොකු පුතාගෙ ගෙදර හිටියා. එහෙම ඉද්දි එයාගෙ පළවෙනි කසාදෙ නැතිවෙලා ගිහින් වෙනත් ගෑනියක් ගෙනාවා. එයා ඉතිහාසයේ වෙච්ච මොකුත්ම දැන හිටියේ නෑ. ඒ ලේලි ආ දවස ඉඳන් මට කළේ පුදුම වෙනස්කම්. සමහර දාට එයා උයන්නෙ දෙන්නෙකුට විතරයි. මට කන්න දෙන්නෙ නෑ.   
ලොකු පුතා ආවම මගෙන් අහනවා, “අම්මා කෑවද කියලා” මම “ඔව්’ කියනවා. උන් අතරෙ රණ්ඩු බලන්න මම කැමති වුණේ නෑ.’   
පුදුමෙ කියන්නෙ මහත්තයෝ ලේලිත් කියනවනේ අම්මටත් එක්ක උයන්නෙ කියලා. පුතා නැති වෙලාවට මට කන්න ලැබුණේ නෑ. හැබැයි පුතා ගෙදර ඉන්න දාට කන්න දෙනවා. මේ විදිහේ වෙනස්කම් වෙද්දි මම හිතුවා, මම එහෙන් යා යුතුයි කියලා. මට යන්න තැන් දෙකක් තිබුණා. එකක් මේ වගේ නිවාසයකට යාම, නැත්නම් මහ මග. වැල්ල එක්ක පුංචි කාලෙ ඉඳන් හැප්පුණ මට, මහමගට බහින්න වුණත් බයක්, ලැජ්ජාවක් තිබුණෙ නෑ. හිතේ ධෛර්යය ඕනෑවටත් වඩා තිබුණා. ටික දවසක් යද්දි කොහොම හරි මම මේ නිවාසයට ආවා. ගෙදරට වඩා ලොකු සතුටක්, නිදහසක් ඇත්තම කියනවා නම් මට තිබුණා. මම නිවාසයේ ඉඳන් ඒ නිදහස වින්දා. අනික් අය දුකින් කියවද්දි මට එහෙම විශේෂයක් තිබුණේ නෑ. දුක කියන දේ දැකල, අත්විඳලා තිබුණු මට දරුවො අහිමිවීම දුකක් වුණත්, ඒක මහා ලොකුවට ගණන් ගත්තෙ නෑ.   
මේරි අම්මා කියන්නීය.   


“මහත්තයා බෞද්ධ වෙන්න ඇති. ඒත් මම කතෝලික කෙනෙක්. ඔබේ ආගමේ තියනවා නේද කර්මයක් කළොත් එහි විපාක දීමක් ගැන? මම ඒක දැන් ගොඩාක් විශ්වාස කරනවා. සතෙකුට හෝ වරදක් කළොත් එහි විපාකය අප පසු පස්සේ එනවා. මම දැන් මේ නිවාසයට වෙලා බෞද්ධ පොත් පත් ගොඩාක් කියවනවා, අනික් බෞද්ධ අයට වඩා මම ගොඩක් ධර්ම දේශනා අහනවා. මම බෞද්ධ පත්තර ගෙන්වාගෙන බලනවා.   
ටීවී එකේ, රේඩියෝ එකේ බණක් කියන කටහඬක් ඇහුණම ඒ බණ කියන හාමුදුරුවො මට හඳුනා ගන්න පුළුවන්. මම උත්සාහ කරන්නේ ටිකක් හෝ භාවනා කරමින් හිත හදා ගන්ටයි. ඒකට මග පෑදුණු තැනක් විදියට මේ වැඩිහිටි නිවාසය දකිනවා.” මේරි අම්මා මට කියාගෙන යන්නීය.   
කර්මය, කර්ම ඵලය ගැන මේරි අම්මා මට කීවේ මෙවැනි කතාවකි.   
“ඉස්සර මාළු වෙළෙඳාම කරන කාලෙදි, දැල් අදිනවා. සත්තු ටික ගැහෙන එක නතර වෙනකල් බලා ඉන්නවා, විකුණා ගන්න. සමහර විට පණ තියෙද්දිත් කපලා විකුණනවා. මේ මාළු, දියේ ඉන්න සත්තු. වතුර ඉල්ලමින් දඟල දඟල ඉඳලා මැරෙන්නෙ.   


අන්න ඒ වගේ මහත්තයෝ මට මේ මෑතක ඉඳන් පුදුම පිපාසාවක් දැනෙන්නේ, වෙලාවකට මම විලාප තියලා කෑ ගහනවා. මුලු ඇඟම වේළිලා, පිච්චෙනවා, දැවෙනවා වගේ මට දැනෙන්නෙ. සමහර දාට වතුර ඉල්ල ඉල්ලා කෑ ගහනවා. වතුර ලැබුණට ඒක ගිල ගන්න බැරිව දඟලනවා. හැම වේලාවේම එහෙම නෑ. නමුත් සුමානෙකට දවස් දෙක තුනක් එහෙම වෙනවා. ඒක හරි අමාරු වේදනාවක්. මම හිතන්නෙ, ඒ කාලේ මගෙ අතින් සිද්ධ වුණු පවක් විපාක දීමක් විඳිනවයි කියලා. මේ ඒක දැනෙන්න ගන්නෙ බුදු දහමට හිත යොමු කළාට පස්සෙයි.   


මාළුත් වතුර නැතිව දඟලලා මැරුණා. අද මට දැනෙන පිපාසාව, ඇඟ ඇතුළ දැවීම හරියට, වතුර නැති තැනක ඉපදුණ තරම් දරුණුයි.   
ඒ විතරක් නෙවී, මම දැන් කීප විටක් මේ වැඩිහිටි නිවාසය ඇතුළේ ලිස්ස ලිස්සා වැටුණා.   


ඒ වැටුණම ඔළුවමයි පැලෙන්නෙ. ලේ විලක් වගේ ලේ ගලනවා. මට තනිව නැගිටලා ඇවිදල යන්න පුළුවන්. ඒත් නොහිතන වේලාවට ඇද වැටී මෙවැනි කරදර වෙනවා. ඒක මම විශ්වාස කරන්නේ, මාළුන් කපා පුදුම ලෙයක් එක්ක ජීවත් වුණු මිනිස්සු අපි. ඒ සතුන්ගේ ලේත්, මාළු ලේත් දෙකක්ද? වර්ග දෙකක් වෙන්න ඇති. ඒත් ලේ, ලේ මයි. ඒ සතුන්ගේ ලේ, අද මගේ ශරීරයෙන් අරුම පුදුම විදියට ගලා යනවා. ඒ නිසා ජීවිතේ අවසාන කාලේ හිතේ සැනසීම ළං කර ගන්න මට මෙතැන ලැබුණ කියලා විශ්වාස කරනවා. ඒකට පසුබිම පාලකතුමිය චන්ද්‍රා මහත්මිය හදා දීලා තියෙනවා.   


දැන් මට වුවමනා කර්මය කර්ම ඵලය තේරුම් අරන් අවසාන කාලය පුළුවන් තරම් සසර ගමනට සුබදායක දෙයක් කර ගන්නටයි. ඒ වෙනුවෙන් මම භාවනා කරන්න දැන් කටයුතු කරනවා. සුළු ධර්ම කාරණා ඉඳන් ගැඹුරු කාරණා සොයා යනවා. මම හිතන්නෙ ඒක මගේ භාග්‍යයක්. මහලු මඩමේ හිටියත්, දරුවො නාවත් මම නිදහස් කෙනෙක්.”   
මේරි අම්මා කියන්නීය. ජීවිතේ බොහෝ වැරදි මිනිසුන් අතින් සිදුවේ. සමහරු, ඒ වැරදි හඳුනා නොගෙන ජීවිතයෙන් සමු ගනිති. සමහරු ඒ වැරදි ගැන දුක් වී, එයින් මිදීමට මාවත සොයා වෙහෙසෙති. මේරි අම්මා ජීවිතේ ඉතිරි ඉඩෙන් සසරට යහපතක් කර ගන්නට වෙහෙස වන්නීය.   


වැඩිහිටි නිවාසයේ සිටින අනික් අම්මලා බොහෝ දෙනෙකුට වඩා අපට ඇගේ කතාව වටින්නේ ඒ නිසාය. කේන්තිය, තරහව, ඊර්ෂ්‍යාව, වෛරය හා සිදු වූ වැරදි මතින් නැගිටින්නට අනිත් අම්මලා පරයමින් මේරි අම්මා දක්වන උත්සාහය....   


නම් ගම් මනඃකල්පිතයි.   

 

 

සටහන - අසංක ආටිගල