ලේ ඥාතීන්ගෙනුත් පළිගන්න මත්කුඩු පාතාලය


දඩබ්ම

 

කුඩු සුමිත්ලා, චූටි උක්කුංලා මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාලය ක්‍රියාත්මක කරද්දී එහි අනෙක් කෙරවළේ, එනම් ජම්පටා වීදියේ මරාගැනිල්ල සිදුවූයේ සෙල්විලා හා පූකුඩුඛන්නලා අතරය. මේ දෙපාර්ශ්වයට අප කලිනුත් සඳහන් කළ පරිදිම කංජිපානි ඉම්රාන් හා කොස්ගොඩ සුජීලාගේ සහායත් ලැබිණ. සෙල්විලාට නායකත්වය හා උදව් පදව් ලැබුණේ කංජිපානිගෙනි. පූකුඩුඛන්නාට සහය ලැබුණේ කොස්ගොඩ සුජීගෙනි. 


මෝදර, ජම්පටා වීදියේ, 137 වත්ත කාලයක් ප්‍රසිද්ධව තිබුණේ සෙල්විගේ වත්ත ලෙසයි. අද සෙල්වි ජීවතුන් අතර නැත. එහෙත් තවමත් 137 වත්ත සෙල්විගේ වත්තමය. ඒ ඇය කුඩු ජාවාරමෙන් ජම්පටා වීදිය හෙල්ලූ තරමය. ඒ ටික කරන්න ඇගේ හයිය වගේම කංජිපානිගෙන් ලැබුණ හයියත් බොහෝ සේ ඉවහල්විය. ඇයට අභියෝග කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවු තරම්ය. ඒ කංජිපානිගේ ගෝලයින්ගෙන් විඳින්නට වන කරදර ඉවසිය නොහැකි නිසාය. ඇතැම් විට දඬුවම මරණය ද විය හැකිය. 


 ඉම්රාන් යනු මරණ දණ්ඩනය නියමව සිටින සිද්දික්ගේ රියැදුරා බව ද කියවේ. සිද්දික් යනු මාළිගාවත්තේ කුඩුනූර් සමග කුඩු ජාවාරම කරගෙන ගිය මෙරට සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකි. සිද්දික්ගෙන් පසු ඔහුගේ ජාවාරම ඉදිරියට කරගෙන යනු ලැබුවේ ඉම්රාන් විසිනි. පොලිසියට අසුනොවී කට්ටි පැන්න ඉම්රාන් කලක් ඉන්දියාවේ සිටි අතර අවසානයේ නැවතුණේ ඩුබායිවලය. මාකඳුරේ මධූෂ් සමග සමීප සබඳතා ගොඩනගා ගත් කංජිපානි ජීවත් වුණේ ද මධූෂ්ගේ නිවසට ආසන්නයේ බව ද වාර්තා වී තිබේ. 


ඩුබායිවලදී අත්අඩංගුවට පත්වන විට ද ඔහු සිටියේ මධූෂ්ගේ දියණියගේ උපන්දින සාදයට සහභාගී වෙමිනි. ඩුබායිවලින් පිටුවහල් කරනු ලදුව ඔහු ලංකාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. දීර්ඝ කාලයක් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ අතර පසුගියදා කොළඹ මහාධිකරණයෙන් ඔහුට බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවමක් නියම කරනු ලැබිණ. ඒ ගංජා කිලෝ පහක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේය. 


 සෙල්විගේ ප්‍රතිවාදියා වූයේ ජම්පටා වීදියේ 145 වත්තේ විසූ පූකුඩුඛන්නාය. ඔහු කිඹුලාඇලේ ගුණාගේ ගෝලයෙකි. මුළු ජම්පටා වීදියේම කුඩු බලය අල්ලාගෙන සිටියේ ඔහු විසිනි. සෙල්වි හා ඛන්නා අතර ගැටුමට මුල වූයේ කුඩු පාතාලයේ බලය අල්ලා ගැනීමය. පූකුඩුඛන්නාට ද එල්.ටී.ටී.ඊ. සබඳතා පැවතිණ. ඒ ගුණාගේ මාර්ගයෙන් ඇති වූවකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඝාතනය කිරීමේ අරමුණ ඇතිව 1999 දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පැමිණි බෝම්බකරුවාට නවාතැන් දුන්නේ ද ගුණා බවට චෝදනා එල්ල විය. 


ඛන්නාගේ වෙඩික්කරු බවට පත්වූ ඔහුගේ ඥාති පුතෙක් වූයේ ස්ටැන්ලි කෙනඩි ෆර්ඩිනැන්ස් නොහොත් බුම්මා නොහොත් කෙනඩි ය. බුම්මාගේ උපන් ගම කොළඹ ජම්පටා වීදියය. එහි මාළු කඩයක් කරමින් සිටි බුම්මා මාළු වෙළෙඳාම පිණිස යාපනයට ගියේය. ඒ සටන් විරාමයක් පැවති 2002-2003 කාලයේදීය. එහිදී ඔහුට එල්.ටී.ටී.ඊය සමග සබඳතා ගොඩනැගිණ. ඒ සබඳතා අනුව ඔහු නිකම්ම නිකම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූයේ නැත. ඔහු එල්.ටී.ටී.ඊයේ චාල්ස් ඇන්තනී බළකායේ ප්‍රබල සාමාජිකයකු විය. 


 යුද සමයේදී මාකඳුරේ මධූෂ් සමග සබඳතා පැවැත්වූ බව පැවසේ. මධූෂ් කොටි පොලිසියේ නඩේසන් සමග ද ගනුදෙනු කළ බව පැවසෙන අතර එසේ ගනුදෙනු කළේ වාහන ගනුදෙනු සඳහා බව ද පැවසේ. ඒ ගනුදෙනුව කෙබඳු එකක් වුවද යුද්ධයෙන් පසුව හමුදාවට බාර වූ කෙනඩි වසර කීපයක් පුනරුත්ථාපනය ලබා පසුව බූස්ස හමුදා කඳවුරට යොමුකිරීමෙන් පසු එහි ටික කලක් රඳවාගෙන සිට නිදහස් කරනු ලැබීය. 


 බූස්සේ සිටි කාලයේදී කොස්ගොඩ සුජී ඇසුරු කරන්නට ඔහුට අවස්ථාව ලැබිණ. කෙනඩිගේ අවශ්‍යතාවන් ගැන එහිදී සොයා බැලුවේ සුජීය. ඔහු එසේ කළේ කෙනඩිගේ දක්ෂකම් ගැන අවබෝධ කරගෙන එයින් තමන්ට වැඩ ගත හැකි වනු ඇතැයි විශ්වාසයෙනි. ඔහු සිතුවා සේම කෙනඩි නිදහස්ව පැමිණි පසු ඔහු සුජී සමග සබඳතා වර්ධනය කරගත්තේය. ඔහුගේ හොඳම වෙඩික්කරු බවට ද පත්විය. දකුණතින් හා වමතින් දෙකෙන්ම එකවර වෙඩි තැබීමේ හැකියාවක් ඔහුට තිබිණ. 


 සුජීගේ ප්‍රතිවාදියකු වූ පියරත්න නොහොත් මෝල් පියා හා තවත් දෙදෙනෙක් බළපිටිය ප්‍රදේශයේදී අවස්ථා දෙකකදී ඝාතනය කිරීම, 2018 ජුලි මාසයේදී වත්තල හේකිත්ත ප්‍රදේශයේදී කුඩු සෙල්විගේ ඥාති පුත්‍රයකු වන චාල්ස් හා ඔහුගේ මිතුරෙකු වූ මදිවානන් නොහොත් මදී ඝාතනය සම්බන්ධයෙන් කෙනඩිට චෝදනා එල්ල වේ. 


 මේ ඝාතන රැල්ලක් සේ ගමන් කරන ඝාතන මාලාවකි. එය ආරම්භ වන්නේ කොටහේනේ පූකුඩුඛන්නා හා ජම්පටා වීදියේ කුඩු සෙල්වි අතර කුඩු පාතාලයේ කිරුළට ඇති කරගත් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසය. සෙල්විගේ කල්ලිය පූකුඩුඛන්නාගේ හොඳම ගෝලයා වූ රේක්ස් රිගන් ඝාතනය සමග ගැටුම ඝාතන මාලාවක් බවට පත්විය. මේ දෙපාර්ශ්වයේ ගැටුම්වල ප්‍රතිඵල ලෙස මේ වනවිට පහළොස් දෙනකු පමණ ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. 


 පූකුඩුඛන්නා කුඩු සෙල්වි ඝාතනයට අවස්ථා කීපයකදී උත්සාහ කළේය. මුලින්ම සෙල්විට පිහියෙන් ඇන ඝාතනය කිරීමට ඔහු සැලසුම් කළේය. ඒ 2015 ජුලි මාසයේදීය. ඒ සඳහා යොදාගත්තේ ඔහුගේ සමීපතම ගෝලයින් දෙදෙනකු වූ සීනු හා සුදාය. එහෙත් තුවාල ලැබූ සෙල්විගේ ජීවිතය බේරුණි. එහෙත් ඛන්නා තමන්ගේ උත්සාහය අත්හැරියේ නැත. දෙවන වතාවේදී ඔවුහු නොවරදින ඉලක්කයට වෙඩි තැබීමට හොඳ වෙඩික්කරුවෙකු යොදවාගත්හ. ඒ කෙනඩිය. සෙල්වි ඝාතනයට ලක්වූ ඒ වෙඩිල්ල පත්තුවුණේ 2015 සැප්තැම්බර් 12 වැනිදා කොටහේනේදීය. 


 සෙල්වි ඝාතනය වනවිට ඇගේ වැඩිමහල් පුතු පලනි ශිරාන් සිටියේ බන්ධනාගාරයේය. ඔහු අදටත් සිටින්නේ බන්ධනාගාර ගතවය. සෙල්වි ඝාතනය කිරීමත් ශිරාන් බන්ධනාගාර ගතව සිටීමත් නිසා ටික කලකට සෙල්විගේ වත්තේ කලබලකාරී ස්වභාවය අඩුවිය. ඒ කෙනඩි ප්‍රදේශයෙන් පලායාමත් පොලිසිය නිතර සෝදිසියෙන් සිටීමත් නිසාය. කෙනඩි දකුණට පලා ගොස් සිටියදී තවත් අපරාධ කීපයක් සිදුකළේය. ඒ අප පෙර සඳහන් කළ මෝල්පියා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීමය. මේ අපරාධ සම්බන්ධයෙන් 2016 අප්‍රේල් 17 වෙනිදා කෙනඩි ද පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය. 


 සෙල්වි ඝාතනයේ පළිය පූකුඩුඛන්නාගෙන් හා කෙනඩිගෙන් ගන්නට බලාසිටි ශිරාන්ට එය සපුරා ගැනීමට නොහැකි වූයේ කෙනඩි අත්අඩංගුවට පත්වීමෙන් පසු ඛන්නා ද ප්‍රදේශය හැරගොස් සිටි බැවිනි. ඒ නිසා ශිරාන් අවසානයේ ඒ පළිය ගැනීමට මල්ලිලා සූදානම් කළේය. ඒ සඳහා මල්ලිලා අපරාධවලට යොමු කළ යුතුව ඇත. ඔවුන් අපරාධ හෝඩියේ අකුරු කළ යුතුව ඇත. ඒ අනුව කංජිපානිගේ මෙහෙයවීමෙන් මාකඳුරේ මධූෂ්ගේ මැදිහත්වීමෙන් සිදුකළ කොස්මල්ලීගේ ඝාතනයේ එක් අවස්ථාවකට මල්ලිලා සම්බන්ධ කිරීමට ශිරාන්ට අවස්ථාව ලැබිණ. ඉම්රාන්ගේ ඉල්ලීම පරිදි අඟුණකොළපැලැස්සේ දී ඝාතනය කරන ලද කොස්මල්ලිගේ හිස අලුත්කඩේට ගෙනගොස් දැමීම ශිරාන්ගේ මල්ලිලා දෙදෙනා නැතහොත් කුඩු සෙල්විගේ බාල පුතුන් වූ පලනි රිමෝෂන්ට හා පලනි කෙනින්ස්ටන්ට භාර විය. 


 2018 පෙබරාවරි 16 වැනිදා එම කාර්යය සාර්ථකව සිදුකළ පසු පූකුඩුඛන්නාගේ කල්ලියේ සාමාජිකයෙක් වූ ඇන්ටන් රාජ්ව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව රිමෝෂන්ට භාර විය. ඔහුගේ රාජකාරිය වූයේ ඉම්රාන්ගේ දැනුම්දීම අනුව ශිරාන් විසින් දන්වා සිටින පරිදි වෙඩික්කරු යතුරුපැදියේ රැගෙන යාම පමණි. ඒ අනුව 2018 මාර්තු 19 වෙනිදා එම ඝාතනයට හවුල් වූ රිමෝෂන් පළමු ඝාතන අත්දැකීම ලැබුවේය. 


 පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව වසර දෙකක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි කෙනඩිට කොස්ගොඩ සුජී ඇප ලබාදී නිදහස් කරගත්තේ 2018 මැයි මාසයේදීය. ඇප ලබා එළියට ආ සැණින් ඔහු නතර කළ තැන් පටන් ඉදිරි කටයුතු ඇරඹීය. ඔහුගේ පළමු කාර්යය වූයේ සෙල්විගේ සැමියා කරුපයියා මෙලනි නොහොත් ගනේෂ් ඝාතනයයි. ඒ සඳහා යොදාගත්තේ 2018 ජුනි 24 වෙනිදාය. රාත්‍රී 9.15ට පමණ ගනේෂ්ට වෙඩි තැබූව ද බරපතළ තුවාල ලැබූ ඔහු ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු බේරාගත හැකි විය. 


 මව ඝාතනයෙන් නොනැවතී පියා ද ඝාතනය කරන්නට තැත් කිරීම නිසා ශිරාන් නයෙක් සේ කිපුණේය. ඒ පළිය ගැනීමට ශිරාන් තම මල්ලිලා දෙන්නා මෙහෙයවූයේය. ඒ අනුව පියාට වෙඩි තැබීමට ඔත්තුව සැපයූයේ යැයි එළිසබට් ක්ලැරිස් පෙරේරා නොහොත් ගීතා හා සෙල්ලයියා සෙල්වරාජ් නමැති අඹුසැමි යුවළ වෙඩි තබා ඝාතනය කරන්නට ඔහු සැලසුම් කළේය. ඒ අනුව 2018 ජුලි 08 වෙනිදා මේ යුවළට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. එයට ද මල්ලිලා දෙන්නා සමග මධූෂ්ගේ ගෝලයකු සම්බන්ධ වූයේ යැයි ද පැවසේ. එහිදී තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. එතෙකින් නොනැවතුණ ඔහු තමන් වෙනුවට තම මාපියන් ඝාතනය කරනු ලැබුවා සේම පූකුඩුඛන්නා හෝ කෙනඩි අල්ලා ගන්නවා වෙනුවට පූකුඩුඛන්නාගේ පියා ඝාතනයට සැලසුම් කළේය. ගෝපාල්පිල්ලේ බාලචන්ද්‍රන් නමැති ඛන්නාගේ පියා ඒ වනවිට හැට දෙහැවිරිදි වියේ පසුවිය. නැවතත් වෙඩික්කරු තබාගෙන යතුරුපැදිය රැගෙන ඝාතනයට ගියේ පලනි රිමෝෂන්මය. 


 පසුගිය වසරේ අගෝස්තු 19 වෙනිදා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පලනි රිමෝෂන් හා පලනි කෙනින්ස්ටන් අත්අඩංගුවට ගැනීම නිසා එක පැත්තක ඝාතන නැවතිණ. සෙල්විගේ බළකායම දැන් සිටින්නේ රිමාන්ඩ් භාරයේය. එහෙත් බන්ධනාගාරයේ සිට ඔවුන් යළි බිල්ලක් ගනු ලැබිණ. ඒ පූකුඩුඛන්නාගේ ගෝලයෙක් වූ මාළු වෙළෙඳාමේ යෙදී සිටි 37 හැවිරිදි අයෙකි. ඔහු ජම්පටා වීදියේ දී පසුගිය වසරේ ඝාතනය කරන ලද ගීතාගේ සහෝදරයෙකු බව ද පොලිසිය කියා සිටී. 


 ලෙයට ලෙය පළිගන්නා මේ කුඩු පාතාලයේ පූකුඩුඛන්නාගේ කල්ලිය, ඉම්රාන්ගේ කල්ලියෙන් පළිගැනීමට සෙල්විගේ බෑනා කෙනෙක් සහ ඔහුගේ කල්ලියේ ළඟම හිතවතෙකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. මෙලෙස ඝාතනය වූයේ ස්ටීවන් රාමනාදන් රාජ් නොහොත් චාල්ස් නමැති 31 හැවිරිදි දෙදරු පියෙක් හා ඔහුගේ ගෝලයන් බව කියවේ. පිරිස ගමන් කරමින් සිටි වාහනයේ රියැදුරු ලෙස කටයුතු කළේ මදි නමැති අයෙකි. ස්ටීවන් යනු සෙල්විගේ ලේළියගේ සහෝදරයෙකි. කොළඹ ප්‍රදේශයේ කෝවිලකට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී ඔවුන් පසුපස හඹා ආ තවත් මෝටර් රථයක් මග හරස්කොට නවත්වා මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් බුම්මා නොහොත් කෙනඩිව අත්අඩංගුවට ගනු ලැබීය. 


එහෙත් තවමත් ඝාතන රැල්ල අවසන් නැත. තවත් බොහෝ ඝාතන මේ කල්ලි දෙක විසින් සිදුකරනු ලැබීය. ඒ ඝාතන රැල්ල ගැන තවත් ඉදිරියේදී කතා කරමු. 

 


මුදිතා 
දයානන්ද