ලේ ගලන දෙහි ගෙඩි ඇඟිලිවලින් කපන කපු මහත්තයා


 

මල්කාන්තිගේ වයස අවුරුදු හතළිස් තුනකි. මාතර අකුරැස්ස ප්‍රදේශයේ ආසන්න ගමක ජීවත් වූ ඇය දරුවන් දෙදෙනෙකු සිටින මවකි. ඇයගේ සැමියා ඔවුන් අතහැර ගියේ පොඩි දුවට අවුරුදු හතරක් පමණ වයසකදීය. එවිට මල්කාන්තිගේ වයස අවුරුදු තිස් නවයකි. සැමියාගේ බේබදුකම නිසාම පවුල් ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන්නට විය. සැමියා බීගෙන විත් කුමන හෝ නැති ප්‍රශ්නයක් ඇදගෙන කෑ කෝ ගසා, බඩු මුට්ටු පො​ළොවේ ගසමින් ගෙදර යකා නටයි.  
 
කෙසේ හෝ මෙම ගැටලු අමතක කර දරුවන් වෙනුවෙන් ජීවත් වීමට මල්කාන්ති දැඩි පරිශ්‍රමයක් ගත්තාය. එන්න එන්නම ගැටුම් වැඩිවීම නිසා මල්කාන්තිගේ වැඩිහිටියන් එකතු වී මෙම ගැටලුව නිරාකරණය කිරීමට සිතා මල්කාන්තිට හා ඇගේ සැමියාට තදින් අවවාද කර මිනිස්සු විදියට ජීවත් වෙන්න යැයි බලකරමින් කියා සිටියෝය. එයට උරණ වූ මල්කාන්තිගේ සැමියා මල්කාන්තිත් දියණියන් දෙදෙනාත් අතහැර දමා යන්නට ගියේය.   


කෙසේ හෝ දරුවන් ඇති දැඩි කරගෙන ඔවුනට උගන්වා තැනකට ගන්නවා යැයි දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ක්‍රියාකරන්නට මල්කාන්ති තීරණය කරගත්තාය. ඇයගේ දෙමාපියන්ගෙන් ද සුළුවෙන් හෝ උදව් උපකාර ලැබුණු අතර, ඇයද කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක සේවයට ගියේ කෙසේ හෝ තම අධිෂ්ඨානය අත්නොහරින අදහසිනි.   


අලුයම හතරට නැගිට දරුවන්ට උයා පිහා තබා උදේ පහයි හතළිස් පහ වනවිට රැකියාව බලා පිටත් වන ඇය නැවත පැමිණෙන්නේ රාත්‍රී අටහමාරට පමණය.   


මෙලෙස දිනපතා ම මහන්සි වී වැඩ කරන මල්කාන්තිට නිවාඩුවක් ලැබෙනුයේ ඉරිදා දිනයේ පමණි. ඇයගේ වැඩකටයුතු හා දරුවන්ගේ වැඩකටයුතු සියල්ල කෙසේ හෝ කරගනු ලැබුවේ ඇයගේ නිවාඩු දිනයේ පමණි.   


රැකියාවේ මහන්සියත් මනසට ඇති පීඩාවත් නිසාම මල්කාන්තිගේ පෙනුම වේගයෙන් වයසට යන්නට විය. ඒ අතර කීප දිනෙක සිට හැන්දෑවේ හය පමණ වනවිට ඇයට හිසරදයක් සහ ඇඟට අප්‍රාණික ගතියක් දැනෙන්නට විය. සාමාන්‍ය දෙයක් ලෙස මුල් කාලයේ සිතූ මෙම රෝගී තත්ත්වය සුව වන පාටක් පෙනෙන්නට නොවීය. වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්ත ද දින කීපයකට ඖෂධ ගන්නා කාලයේදී පමණක් අඩු වන අතර, නැවත රෝගී තත්ත්වය ඇති වේ. සෑම දිනෙකම වාගේ එය හටගන්නේ හැන්දෑවේ හයට පමණ කාලයේදීය. වෛද්‍යවරුන්ට පෙන්වුවද ඔවුන් පවසන්නේ කිසිඳු රෝගයක් නොමැති බවයි.   


මෙම තත්ත්වය ඇයට මහත් පීඩාකාරී තත්ත්වයක් විය. ඇය රෝගී වන්නේ හැන්දෑවේ පමණක් නිසා ඇයගේ දෙමාපියන්ගේ මතය වූයේ ගුප්ත බලපෑමක් නිසා මෙය ඇති වන බවයි. එලෙස සිතා ගමේ සිටින ඇදුරුතුමෙකු කැඳවා තෙල් සාත්තුවක් කරවන ලදී. දෙමාපියන් සිතූ පරිදි ම ඇයගේ එම රෝගී තත්ත්වය සුව විය. මෙලෙස මාස කීපයක් ගතවිය. දිනක් හැන්දෑවේ නැවතත් එම හිසරදය ඇතිවන්නට විය. මෙලෙස දින කීපයක් ගතවුවද හැන්දෑවට හිසරදය ඇතිවීම යළි යළිත් සිදුවිය. ඉරිදා නිවාඩු දිනයක් බලා නැවත වරක් ඇදුරුතුමා කැඳවා තෙල් මතුරා දෙහි ගෙඩි කීපයක් ද කපන ලදී.   


දෙහි ගෙඩිය ගිරයට තබා මල්කාන්තිගේ හිසට ළං කරනවාත් සමඟම ඇය වෙව්ලන්නට පටන් ගත්තාය. හිස කරකවමින් මුළු ශරීරයම ගැහෙන්නට විය. මේ ආකාරයට දෙහි ගෙඩි කීපයක් කපා කරට මතුරා නූලක් ද දැමූ පසු වෙව්ලීම සහ හිසරද තත්ත්වය සුව විය. මෙලෙස ද ගතවූයේ මාස දෙකක පමණ කාලයකි.   


නැවත හිසරදය හැන්දෑ වනවිට ඇතිවන්නට විය. පුදුමාකාර කලකිරීමක් හා එපාවීමක් මල්කාන්තිගේ සිත තුළ ඇතිවිය. ඇය සුළු දෙයටත් තරහ ගෙන දරුවන්ට බැණ වදී. කොයි වෙලාවෙත් ඇගේ මුවේ ඇත්තේ ‘‘අනේ මැරිලාවත් යන්නේ නැහැනේ’’ යන කියමනයි. වරින් වර ඉහත කී ඇදුරුතුමාත් තවත් ඇදුරන් සහ කපු මහතුන් කීපදෙනෙකුත් ලවා නොයෙක් තෙල් මැතිරීම් සහ යාගහෝම සිදුකළද මල්කාන්තිට සහනයක් ඇතිවූයේ නැත.   


ඇයට බොහෝ දිනවලට හැන්දෑ වනවිට හිසේ බර ගතියක් සමග වේදනාවක් දැනේ. ගාථා කීමට, පිරිත් ඇසීමට සහ පන්සල් යාමට පවා ඇයට අපහසුය. එවැනි අවස්ථාවල දී ඇය වෙව්ලමින් ගැහෙන්නට ගනී. අධ්‍යාපන මට්ටමින් තරමක් අඩු මොවුන්ගේ සිත් තුළ තිබුණේ ම මෙය අමනුස්ස බලපෑමක් බවයි. ඒ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පුදුම සහගත බලයක් තිබෙන කපු මහතකු සිටින දේවාලයක් ගැන අසන්නට ලැබෙන්නේ ඇයගේ ගමේම එම දේවාලයට ගිය මැදිවියේ කාන්තාවකගෙනි.   


මිනිසුන්ට වැසී ඇති ඕනෑම අමනුස්ස බලපෑමක් දෙහි ගෙඩියට ගෙන ලේ ගලද්දී ඇඟිලි දෙකෙන් කපා එම බලපෑම ඉවත් කරන අරුම පුදුම හැකියාවක් එම කපු මහතාට තිබෙන බව එම කාන්තාව කියන්නීය.   


මේ මාසේ පඩි ගත්තාට පසු තාත්තාත් සමඟ එම කපු මහතා හමුවීමට යාමට මල්කාන්ති තීරණය කරගත්තාය. පසුව කුලියාපිටියේ මෙම අපූරු කපු මහතා සොයා ගියහ. අලුයම නිවසින් පිටත් වුණ ද එහි යනවිට වේලාව දහවල් එකොළහ ද පසුවීය. පෝළිමේ සිට කෙසේ හෝ මල්කාන්තිගේ වාරය එළැඹිණි.   


ඇයත් ඇයගේ පියාත් බුලත් අතද ගෙන රුපියල් එක්දහස් දෙසීය දහයක පඬුරුත් තබා කපු මහතා ඉදිරියේ වැඳ ගත්හ. නොදන්න භාෂාවකින් දේව කන්නලව් කරමින් වේවැලක් ගෙන එයට මතුරා මල්කාන්තිගේ නළල වෙත තැබීය. වෙනදා මෙන් මල්කාන්ති හිස කරකවමින් වෙව්ලන්නට විය.   


එකවරම මල්කාන්තිගේ කෙස් වැටියෙන් අල්ලා ගත් කපු මහතා ‘‘මේ ශරීරයට පැමිණි උඹ කවුද?” යැයි ඇසීය. නමුත් මල්කාන්ති කෙඳිරිගාමින් වෙව්ලනවා විනා එකදු වචනයක් හෝ නොදෙඩුවාය. ‘‘හරි මම උඹව දවස් හතකට යවනවා” කියමින් කපු මහතා කහපාට නූලක් ගෙන වෙනත් භාෂාවකින් කුමක් හෝ කියමින් මල්කාන්තිගේ කරට දැමුවේය. එකවරම ගැස්ම නතර වුණි. ඉන්පසු කපු මහතාගේ සහායකයා මොවුන්ට ඉදිරියට කළ යුතු දේ පැහැදිලි කළේය. 

 
‘‘මේ දැරිවිගේ ශරීරයේ හිටපු ප්‍රේත ආත්මය දැන් කපු මහත්තයා සතියකට යවලයි තියෙන්නේ. මෙන්න මේ බඩු ටිකත් ලෑස්ති කරගෙන දවස් හතකින් පූජාවට එන්න. මේ දැරිවිගේ අතින්ම කඩපු දෙහි ගෙඩි දෙකකුත් ගේන්න. ඒ දෙහි ගෙඩි දෙක ගහේ තිබෙද්දී මේ දැරිවිගේ අතින්ම කඩලා බිම නොතියා හෝදන්නේ නැතිව පිරිසිදු පොලිතින් බෑග් එකක දමාගෙන තැලෙන්නේ නැතිව අරගෙන එන්න. අනිත් පූජා බඩු හොයා ගන්න අපහසු නම් බස්වල ගේන්න අපහසු නම් මෙහෙදී ගන්නත් පුළුවන්. ඒකට අපි අය කරන්නේ රුපියල් දාහත්දාහක් විතරයි.   


පූජාව හා කපු මහත්තයාගේ මහන්සිය වෙනුවෙන් රුපියල් හත්දහස් පන්සියයක මුදලක් ගේන්න. එදාට පූජාව තියලා ගේන්න කියපු දෙහි ගෙඩි දෙකට මැයගේ ශරීරයේ ඉන්න ප්‍රේත ආත්මය ගෙන්වා ලේ බේරි බේරීම කපලා දානවා. හරියට දෙහි ගෙඩියට ආවොත් දෙහි ගෙඩිය කපනකොට ගොඩක් ලේ ගලනවා. අනිත් එක තමයි කපු මහත්තයා දෙහි ගෙඩි කපන්නේ කිසිම ගිරයක්වත් පිහියක්වත් භාවිත නොකර තමන්ගේ ඇඟිලි දෙකෙන්මයි. සමහර දෙහි ගෙඩිවලින් මේ විදියට කපන කොට කෙඳිරිගාන හඬත් ඇහෙනවා. එහෙම නම් ඔය බඩු ටික ලෑස්ති කරගෙන ලබන සෙනසුරාදා රෑට එන්න. පූජාවල් පටන් ගන්නේ රෑ නවයට” කියමින් විස්තර කළේය.   


බඩු මුට්ටුත් උස්සගෙන බස් එකේ ඒමට අපහසු නිසා මල්කාන්තිත් තාත්තාත් විසින් එම බඩු මුට්ටු මෙහිදීම ගන්නට තීරණය කළෝය.   


පූජාව සිදුකරන දිනය උදාවිය. මල්කාන්තිත් පියාත් අසල්වාසීන් දෙදෙනෙකුත් සමඟ පැමිණ තමන්ගේ වාරය එන තෙක් බලාසිටියහ. මොවුන්ගේ වාරය උදාවිය. මොවුන් දේවාලයට ඇතුළු වූ පසු කපු මහතාගේ සහායකයා විසින් මොවුන් වෙනුවෙන් සූදානම් කළ බඩු භාණ්ඩ වට්ටියකට දමා එතැනින් ගෙනත් තැබුවේය. ඉන්පසු මල්කාන්තිගේ අතින් කඩා ගෙනෙන ලද දෙහි ගෙඩි දෙක එහි අසල තිබෙන මල් බුලත් තටුවක තැබීය. ඉන්පසු යාගය පටන් ගැනුණි. කඩුවක් අතට ගත් කපු මහතා පූජා භාණ්ඩ වට්ටියේ තිබෙන පොල් ගෙඩිය ගෙන මල්කාන්තිගේ නළලට තබා ඉන්පසු ඇයගේ ඉදිරිපස බිමින් තබා කඩුවෙන් ගසා දෙපලු කළේය. ඒ සමඟම අන් අය පුදුම කරවමින් ඇය ඔලුව කරකවමින් ගැහෙන්නට වූවාය.   


වේලාව රාත්‍රී එකත් දෙකත් පමණ ඇත. සහායකයා විසින් ගසන කුඩා ඝණ්ඨාර නාදයත් සමඟ මල්කාන්ති කෙඳිරි ගාන්නට වූවාය. ඉන්පසු වට්ටියේ තිබුණේ ගවයකුගේ හිස් කබලක කෑල්ලකි. එයද නළලට තබා පසුව ඇය ඉදිරියේ බිම තබා කඩුවෙන් කපන්නට විය. මෙලෙස වට්ටිය හිස් වනතෙක් ම වට්ටියේ තිබූ නොයෙක් දෑ එනම්, පළතුරු වර්ග, වෙනත් විෂ ගෙඩි වර්ග, කදුරු ගෙඩියක්, සතුන්ගේ ඇට කැබලි මල්කාන්තිගේ ඉදිරියේ තබා කඩුවෙන් ගසා කපා දැමුවේය.   


 ‘‘දැන් තමයි හොඳම වේලාව. හොඳට බලාගෙන ඉන්න” කියමින් මල්කාන්තිටත් ඇයගේ පියා ඇතුළු අනෙක් දෙදෙනාටත් පවසමින් ඉහත කී දෙහි ගෙඩි දෙකෙන් එකක් ගෙන කපු මහතා විසින් අන් අයට ද හොඳින් පෙන්වීය. එසේ පෙන්වා ‘‘මාගේ බලයක් ඇත්නම් මේ දීපු පුද පූජාවල ආනුභාවයෙන් මැයගේ ශරීරයේ සිටිනා අමනුස්ස ආත්මය මේ ශරීරයට පැමිණේවා පැමිණේවා” කියමින් එම දෙහි ගෙඩිය මල්කාන්තිගේ නළලේ ගෑවීය. නැවතත් වේගයෙන් සහායකයා විසින් කුඩා ඝණ්ඨාරය ගසන්නට විය. මල්කාන්තිගේ වෙව්ලීම නතර විය.   


‘‘දැන් තමාගේ ශරීරයේ සිටි අමනුස්සයා මේ දෙහි ගෙඩියට අරගෙන අවසන්. බයවෙන්න එපා. කලබල වෙන්න එපා. ඔබ හිතාගන්න මේ අපි කරන්නේ පවක් නෙමෙයි ඔබේ ජීවිතය බේරාගැනීමට විතරයි” කියමින් එම දෙහි ගෙඩිය ගෙන ගිරයට දෙහි ගෙඩියක් අල්ලනවාක් මෙන් කපු මහතාගේ අතේ ඇඟිලි දෙකක් ඈත් කර දෙහි ගෙඩිය රඳවා ඇඟිලි දෙක තද කරන්නට විය.   


මහ පුදුමයකි, සෙමෙන් සෙමෙන් දෙහි ගෙඩිය දෙපලු වන්නට විය. ඒ සමඟම එයින් ලේ ගලන්නට විය. මොහු ඇඟිලි දෙකෙන් දෙහි ගෙඩිය ටිකින් ටික කපමින් එවිට දෙහි ගෙඩියෙන් ගලන ලේ බිංදු කලින් කපා කොටා දැමූ සතුන්ගේ හා ශාක කොටස් මතට බේරෙන්නට සැලැස්වීය. සැලකිය යුතු ලේ ප්‍රමාණයක් ගැලීමත් සමඟ ඇඟිල්ලෙන්ම දෙහි ගෙඩිය කැපී අවසන්ය.   


ඉන්පසු එම දෙහි පලු දෙකද කපන ලද ද්‍රව්‍ය මතටම දමා කපුරු පෙති දෙකක් දල්වා දමා ඒවා සියල්ල දල්වන්නට විය. අසල තිබුණු වතුර භාජනයෙන් හොඳින් අත සෝදා ගත් කපු මහතා ‘‘දැන් සියල්ල ඉවරයි” යයි පවසමින් ඉතිරි දෙහි ගෙඩිය ගෙන මල්කාන්තිගේ නළලේ ගාවා එය ද ඇඟිලි දෙකෙන් කැපීය. නමුත් එහි ලේ ආවේ නැත. ‘‘දැක්කා නේද විනය අහවරයි. දැන් ලේ බිඳක්වත් නෑ” පවසමින් පූජාව අවසන් කළේය.   

 

එකවරම මල්කාන්තිගේ කෙස් වැටියෙන් අල්ලා ගත් කපු මහතා ‘‘මේ ශරීරයට පැමිණි උඹ කවුද?” යැයි ඇසීය. නමුත් මල්කාන්ති කෙඳිරිගාමින් වෙව්ලනවා විනා එකදු වචනයක් හෝ නොදෙඩුවාය. ‘‘හරි මම උඹව දවස් හතකට යවනවා” කියමින් කපු මහතා කහපාට නූලක් ගෙන වෙනත් භාෂාවකින් කුමක් හෝ කියමින් මල්කාන්තිගේ කරට දැමුවේය. එකවරම ගැස්ම නතර වුණි. ඉන්පසු කපු මහතාගේ සහායකයා මොවුන්ට ඉදිරියට කළ යුතු දේ පැහැදිලි කළේය.   

 

 


හාස්කම් සහිත පුදුමාකාර බලයක් ඇති කපු මහතා ගැන කතා බහා කරමින් සියලු දෙනා සතුටින් නිවෙස් බලා ගියහ. මාස කීපයක් ගතවිය. ලෙඩේ හැදෙන පාටක් නැත. මොවුන් විසින් අහල පහළ අයට පවා මෙම කපු මහතාගේ ගුණ වර්ණනා කරමින් ඔහුගෙන් සේවය ලබාගැනීමට යොමු කළේය.   


රැකියාවේ වැඩ එන්න එන්නම වැඩිවිය. නිවාඩුවක්වත් නොගෙන දිගටම වැඩ කරන්නට මල්කාන්තිට සිදුවිය. මාස හයකටත් වඩා කාලයක් තිස්සේ නොහැදුනු හිසරදය නැවත හැදෙන්නට විය. ගාථා කියන විට ආගමික ස්ථානවලට යනවිට නැවත වෙව්ලන්නට විය. මිනිසුන් කියන කියන දේ කළත් මල්කාන්තිට සහනයක් ලැබුණේ නැත. මෙය ආරංචි වූ ගමේ පන්සලේ විදුහල්පතිතුමා මාර්ගයෙන් ඇයව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරුණි.   


මුලින්ම වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මල්කාන්ති සමඟත් ඇයගේ නිවසේ අය සමඟත් දිගු වේලාවක් කතා කර සිදුවීම් සහ රෝගය මුලසිටම අසා දැනගත්තේය. කායික වෛද්‍යවරු රෝගයක් නොමැති බව පැවසූ බවත් ඉන්පසු ශරීරයේ ඇති වූ වෙව්ලීම නිසා ගුප්ත පැත්තෙන් සහනයක් බලාපොරොත්තු වූ බවත් එයින් සුළු කාලයකට හෝ සුව වූයේ කුලියාපිටියේ අමුතු බලයක් තිබෙන කපු මහතකු නිසා බවත් ඔවුන් විද්‍යාකුලපති මහතාට පැවසීය.   


පසුව සති කීපයක කාලයක් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සිදු කළ අතර, හැන්දෑවට හැදෙන හිසරදයත් අවස්ථානුකූලව ඇති වන වෙව්ලීමත් සම්පූර්ණයෙන්ම සුව වන්නට විය. සිතේ තිබුණු තරහා යාම, කලකිරීම, දුක ආදිය ඉවත් වී ඇයගේ සිත තුළට සතුට සැහැල්ලුව ළං විය. ඉන්පසු ඇය රැකියාව ද කරගෙන දරුවන් දෙදෙනාට උගන්වාගෙන සතුටින් ජීවත් විය.   


අද වනවිට මල්කාන්ති සුව වී වසර දහතුනකි. ඇයට අමනුස්ස දෝෂයද, හැන්දෑවේ හයට හැදුනණ හිසරදයද නැවත ඇතිවූයේ නැත. මෙය සිදුවූයේ කෙසේද? මෙහි ඇතුළාන්තය කෙසේද? නිවසේ අයට හා අවට ඥාතීන්ට කරුණු පහදා දීමට වෛද්‍ය විද්‍යාකුලපති මහතා ඉදිරිපත් විය.   


ඒ වගේම බලගතු ශක්තියක් ඇති කුලියාපිටියේ කපු මහතාගේ දේවාලය වෙත ද වෛද්‍යතුමාගේ පර්යේෂණ සංගමයේ පර්යේෂකයන් යොදවා කපු මහතාගේ අද්භූත බලයේ ඇත්ත නැත්ත ද සොයා මහජනයා දැනුවත් කළේය. ඉන්පසු එම ගමේ මිනිසුන් එම කපු මහතා කෙරෙහි තබා තිබූ අන්ධ විශ්වාසය ද ඉවත් කරගන්නට විය. එය මෙසේ බව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසයි.   


 ‘‘මෙහිදී ඇත්තට ම මල්කාන්තිට තිබුණේ විශාල මානසික ආතතියක්. ඇයගේ ස්වාමිපුරුෂයා නැහැ. දරුවන්ගේ බර, ආර්ථිකය සියල්ල යොමු වුණේ මැය වෙත. ඒ සමඟම රැකියාවේ පීඩනයත් මැයට දරාගත නොහැකිව හිසේ කැක්කුම ඇති වී තිබෙනවා. නමුත් එය පීඩනය මත ඇතිවුණු මනෝ කායික රෝගයක් (psycho Somatic) ඒ නිසා තමයි කායික වෛද්‍යවරුන් මැයට රෝගයක් නැති බව පැවසූවේ. නමුත් ඉන්පසුව කළ යුතුව තිබුණේ මනෝ චිකිත්සකයකු, මනෝ විද්‍යාඥයකු හෝ මනෝ වෛද්‍යවරයකු කරා යාමයි. නමුත් මොවුන් ඒ වෙනුවට කළේ මිත්‍යා විශ්වාස පසුපස දිවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට Dissociative Disorders (මායා රෝගය) අවස්ථාවක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඇඟට කෙනෙකු වැසුණා සේ හැසිරුණේ. එහිදී ආගමික ස්ථානවලදී සහ ආගම් සිහිකරන විට, බෙර ශබ්ද ඇසෙන විට වැනි අවස්ථාවලදී ශරීරයේ වෙව්ලීමක් හටගන්නවා. අපි විසින් මෙහිදී කළේ මැයගේ මානසික ආතතියට මනෝ ප්‍රතිකාර ලබාදීමත් මනෝ විශ්ලේෂණය යටතේ කරුණු ගෙන ඇයට අමනුස්ස බලපෑමක් නොමැති බවත් එය තමාගේම සිතේ ඇතිවන එක්තරා අවස්ථාවක් බවත් ඇයගේ යටි සිතට පැහැදිලි කරදීමයි”   
එසේ නම් අපූරු කපු මහතා කළේ කුමක්ද? ඔහු දෙහි ගෙඩියට භූතයා ගෙන්වා අමු අමුවේ ලේ බේරමින් කැපුවේ කොහොමද? ඇඟිලි දෙකෙන් දෙහි ගෙඩිය කැපුවේ කොහොමද? එයද මෙසේ බව වෛද්‍ය විද්‍යාකුලපති මහතා පහදා දුණි.   


 ‘‘ඇඟිලි දෙකෙන් දෙහි කැපීම කියන දේ සිදු කරන්නේ කෙසේද කියන එක මා මුලින්ම කර පෙන්වූයේ 2001 වර්ෂයේදීයි. එය මාධ්‍යවල ද පළවුණා. එසේ තිබියදීත් ඊට වසර දෙක තුනකට පසුවත් එවැනි දේවල් කරමින් මිනිසුන් රවටන පිරිස් තවමත් සිටීම පුදුමයක් ” කියමින් වෛද්‍ය විද්‍යාකුලපති මහතා ද ඇඟිලි දෙකෙන් දෙහි ගෙඩි කීපයක්ම එම පිරිස ඉදිරියේ කපා පෙන්වීය.   
එතකොට ලේ ගැලුවේ කොහොමද?   


‘‘එයත් මා විසින් 2002 වර්ෂයේ මාධ්‍යය ඉදිරියේ කර පෙන්වූවා. ඒකට බලයක් අවශ්‍ය නැහැ. මේ බලාගන්න” කියමින් වෙනත් දෙහි ගෙඩි කීපයක් ගෙන ලේ බේරමින් වෛද්‍ය විද්‍යාකුලපති මහතාගේම ඇඟිලි දෙකෙන් එම දෙහි ගෙඩි කපා පෙන්වීය. කපු මහතා කළාටත් වඩා ලේ ප්‍රමාණයක් මෙහි දී බේරා පෙන්වීය.   


‘‘ඇත්තටම මේවා කිසිදු බලයක් ඇති ඒවා නොව, මෙහිදී ගලන්නේ රතු පැහැති වර්ණකයක් මිස ලේ නොවේ. එය කලින් දෙහිවලට වර්ණකය ඇතුළත් කර සාදාගත් ඒවායි”   
තවත් ප්‍රශ්නයක් ඇත. ‘‘හාස්කම් ඇති කපු මහතා කැපුවේ කලින් හදපුවා නෙමෙයි. මොවුන් ගෙන ගිය දෙහි ගෙඩිම යයි ඔබට සිතෙනු ඇත. නමුත් ඇත්තටම සිදුවන්නේ මෙහිදී කපුවා දෙහි ගෙඩි තබන මල් බුලත් තටුව ඇත්තේ අඬ අඳුරේය. එහිදී කලින් සාදාගත් දෙහි ගෙඩි කීපයක්ම එහි ඇත. වටපිටාවේ තත්ත්වය මත රෝගියාගේ කෑගැසිල්ල මත පැමිණි අයගේ අවධානය යොමු වන්නේ රෝගියාගේ දෙසට පමණි. ඒ නිසා මෙහිදී කපු මහතා විසින් ඇඟිලිවලින් කපා පෙන්වන්නේ ඔබ දෙන දෙහි ගෙඩි නොව, එම ස්ථානයේම තිබූ කලින් රැස්කර තබා ගත් දෙහි ගෙඩියි”.   
මෙවන් ගැටලුවල දී ඔබ සිදු කළ යුත්තේ මනෝ චිකිත්සකයකු කරා යෑම මිස මිත්‍යා විශ්වාස පස්සේ දීවීම නොවන බව වෛද්‍ය විද්‍යාකුලපති මහතා ප්‍රකාශ කළේය. 

 
(නම් සහ ප්‍රදේශ පමණක් වෙනස් කර ඇති අතර සම්පූර්ණ සත්‍ය සිදුවීමකි)   

 

 

 

 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත