ලෙනාඩ් වුල්ෆ් උපදිසාපති කාලේ මීගහජඳුරට පාසලක් දුන්නා


ලෙනාඩ් වුල්ෆ් නැවතුණු මීගහජඳුරේ වලව්ව සොයාගිය ගමන-2

 

 

හිටපු විදානාරච්චි සෙනරත් රත්නායක මහත්තයා බරපතළ ලෙස අසනීප වුණාම වෙදකම් කළේ අපේ සාමෙල් විදාන ආරච්චි මුත්තා. සාත්තු කළේ අපේ අය. ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් සෙනරත් රත්නායක විදානආරච්චිලාගේ නින්ද ගම්වලින් වැඩි කොටසක් අපේ පරම්පරාවට ලියා දුන්නා.  


ඒ වැඩේට සෙනරත් රත්නායක පරම්පරාවේ අය වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මේ සිද්ධියෙන් පසු නල්ල පෙරුම පරම්පරාවෙත් සෙනරත් රත්නායක පරම්පරාවත් වැඩි මනාපයක් නැහැ. ආරියදාස මහතා පැවැසුවේය.
  
අපේ ගෙදර ඉදිරිපිට පොල්අතු සෙවිලි කළ ලොකු මඩුවක් තිබුණා. පොල් අතු ගෙනාවේ බෙලිඅත්තෙන් කරත්තෙකින්. මේ මඩුව හදල තිබුණේ ගෙදර එන වැසියන්ට කෑම බීම දෙන්න.  


බුලත් විට ඕනෑම අවස්ථාවක කන්න පුළුවන්. ලොකු පඩික්කන් තියලා තිබුණ බුලත් කෙළ ගසන්න. ගෙදර එන අයට ආගන්තුක අයට කෑම බීම දෙනව.  


තාත්තා සතියකට සෑහෙන්න කරත්තෙන් හම්බන්තොට ඇවිත් බඩු ගෙන යනවා. කරත්​ෙත පුරෝල බඩු ගෙන එනව. ඊළඟ සතියේ ආයෙත් යනව. ගෙදර ගෝල බාලයෝ ගොඩක් හිටිය.  


තාත්තාගේ යාළුවෝ මස් කන්න දඩයමේ යන්න එන්නේ අපේ ගෙදරට. සුද්දෝ අලි දඩයම් කරන්න ඇවිත් නවාතැන් ගෙන තිබෙන්නේ අපේ ගෙදර. තාත්තටත් ලයිසන් තුවක්කුවක් තිබුණා. තාත්තත් දඩයමේ ගියා.  
ගම්වැසියන්ට මැලේරියාව උණ හැදුනා. සිංහල බෙහෙත් මැලේරියාවට ඇල්ලුවේ නැහැ. මැලේරියා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඇපෝතිකරි වෛද්‍යවරයෙක් අපේ ගෙදරට ඇවිත් බෙහෙත් දුන්නා.  


මීහගජදුර හංදියේ ගවන්මන්ට් ඩිස්පැන්සරිය කියලා බෙහෙත් ශාලාවක් ඉංග්‍රීසි බෙහෙත් ශාලාවක් තිබුණා. ඒ සඳහා ඉඩම දුන්නේ තාත්තා. දෙමළ වෛද්‍යවරයෙක් එතැනට ආවේ. බෙහෙත් දෙන්න.  


දැනට එතන තියෙන්නේ ආයුර්වේද බෙහෙත් ශාලාවක් 1981 ඇති කළේ. හිටපු දිසා ඇමැති පී.එච්.බී. සිරිල් මහතා තමා ප්‍රතිපාදන ලබා දුන්නේ.  


නල්ලපෙරුම දිසානායක පරපුරට අයත් නින්දගම් වලින් අක්කර 77 ක් චන්ද්‍රිකා වැව වාරි යෝජනා ක්‍රමයට ගත්තා. ඒ සඳහා අක්කර 22 ක් වන්දි වශයෙන් ලැබුණා. මෙය ලැබුණේ තාත්තා මිය ගිය පසුවයි. හත්පෝරුවේ තිබූ අක්කර 77 ක නින්ද ගම් රජයට ගෙන අක්කර 12 ක් ගොඩ ඉඩම් ලැබුණා. ඒ වගේම ගම් පුළුල් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ මහ ඉදිවැව සංවර්ධනයට අක්කර 12 ක් අපේ නින්ද ගම්වලින් ගත්තා. ඒ සඳහා කුඹුරු අක්කර 4 ක් වන්දි වශයෙන් ලැබුණා.  


මත්තල නින්දගම් අක්කර 48 ක් තිබුණා. මිනිසුන් මේ ඉඩම්වල හේන් කරල ධාන්‍ය වර්ග (කුරහන් මෙනේරි) අල බතල එළවළු වරනි ප්‍රවේණියට අපට ගෙනත් දුන්නා. දැන් එ් ඉඩම් අනවසර ඉඩම්කරුවන් විසින් අල්ලා ගෙන.  


අපේ තාත්තා පඩිකෝන්ගල පන්සල මීගහජදුර පන්සල සහ මදුනාගල අාරණ්‍ය සේනාසනය හදන්න කටයුතු කළා. තාත්තා ධනය ගොඩගසා ගත්තේ නැහැ. පුළුවන් හැටියට ජනතාවට උදව් කළා. තාත්තා මත්පැන් බිව්වා. සිගරට් බිව්වා. පසු කාලයේ සිරෝසිස් රෝගය හැදුණා. 1967 මාර්තු 4 දින තාත්තා මිය ගියා.  


වලව් කිව්වම මිනිසුන්ට ඇතිවන්නේ තරහක්. ඒ වලව්වල අය මිනිසුන් තලා පෙලා දුක් ගින්දර දුන් නිසා. ඒත් අපේ පරම්පරාවේ අය පුළුවන් හැටියට ජනතාවට සේවය කළා. අපෙන් ඒ සේවය ගමට ප්‍රදේශයට වුණේ නැහැ. ඒත් තාත්තලාගේ මුත්තලාගේ සේවයට අදටත් ගමට ගියාම මිනිස්සු අපට සලකනව යැයි ආරියදාස මහතා පැවැසීය.  


ඉන් පසුව මා ගියේ නල්ල පෙරුම දිසා නායක වලව්වේ ඇත්තන් පිළිබඳ හොඳින්ම දන්නා අයෙකු හමුවීමටය. මා එහි යන විට ඔහු සිටියේ පොල්වත්තේ මැද පිහිටි නිවසක හුදකලාවය. 


ඔහු දොන් ලුවිස් නල්ලපෙරුම දිසානායකය. චාල්ස් දියෙස් නල්ලපෙරුම දිසානායක විදානආරච්චිගේ වැඩිමහල් පුත්‍රයාය. මුලින් ඔහු ගම්මුලාදෑනියෙකි. පසුව ග්‍රාමනිලධාරියෙකි. අසූපස් හැවිරිදිය. පොල්වත්ත මීගහජදුර පදිංචිය.  


නල්ලපෙරුම දිසානායක පරම්පරාව පිළිබඳව ඔබ දන්නා දේ කිව්වොත් යැයි මම විමසීමි.  


“ඔව් මං කියන්නම්, මාත් අද ඒ තත්ත්වෙම ඉන්නේ. පුතා බලන්ගොඩ ගිහින් දරුවන් හා බිරිඳ බලන්න.  පුතා තමා මාව රැක බලා ගන්නේ.  


අපේ තාත්තා තමා මෙහේ සිටි විදාන ආරච්චි. අවුරුදු 17 ක් තනතුර දැරුවා. 1929 විදානආරච්චි තනතුර ලැබුණේ. තාත්තාට කොට්ඨාස තුනක් තිබුණා රාජකාරි කරන්න. උතුරුවලකඩ බැද්දේ වලකඩ සහ මත්තල වලකඩ එම කොට්ඨාසයි. බ්‍රිතාන්‍යයින් විදාතා ආරච්චි තනතුර අහෝසි කරන තෙක් 1946 දක්වා සේවය කළා.  


ඒ කාලයේ මෙහේ සිටිය දුප්පත් මිනිස්සු ඉගෙන ගත්තේ නැහැ. ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට උප දිසාපති කාලයේ මීගහජදුරට පාසලක් දුන්නා. එහි එක හෝල් එකයි තිබුණේ.  


මා ප්‍රාථමික අධ්‍යාපන ලැබූයේ මීගහජදුර පාසලින්. ඉන් පස්සේ හම්බන්තොට ශාන්ත මේරී විද්‍යාලයට ගියා. ඉන් ඉවත් වී හාලි ඇල උඩුවර විද්‍යාලයට දැම්මා තාත්තා. එතකන් ටික කලක් ඉගෙන ගෙන නැවත මීගහජදුර පාසලට අාව. කොහොම හරි මං අට පාස්.  


ඉන්පසු ගෙදර ඉන්න විට ගම්මුලාදෑනි තනතුරට සම්මුඛ පරීක්ෂණයක් තබන බව ආරංචි වී මාත් ගියා සම්මුඛ පරීක්ෂණයට.  


සම්මුඛ පරීක්ෂණ මණ්‍ඩලයට දිසාපති, උප දිසාපති සහ සහකාර පොලිස් අධිකාරී හිටියා. මේ සම්මුඛ පරීක්ෂණය තිබ්බේ 1957 වර්ෂයේ.  


සම්මුඛ පරීක්ෂණයෙන් මා සමත් වුණා. මට පත්වීම් ලැබුණේ ඉහළ කුඹුක්වැව ගම්මුලාදෑනිකම. එ්ක මගේ වසම. 1958 නොවැම්බර් 1 දා වැඩ භාර ගත්තා.  


ඒ කාලයේ මෙහේ හිටිය උප දිසාපති (VRO) කුමාර් අබේසිංහ මහතා එතුමා දුප්පත් මිනිසුන්ට හොඳට සැලකුවා. සහනාධාර නියං ආධාර වගේ දේවල් කලට වේලාවට දුන්නා.  


1963 දී ගම්මුලාදෑනිකම ආණ්ඩුව විසින් අහෝසි කළා. මට ග්‍රාමසේවක තනතුර ලැබුණා.  


ග්‍රාමසේවක ලෙස මුලින්ම වැඩකළේ වීරවිලයි. වීරවිලින් මත්තලට මාරු කළා. මත්තලින් බුන්දලට මාරු කළා. බුන්දල ටික කාලයක් වැඩ කරගෙන ඉන්නවිට වැලිවැවටත් එතනින් ඉහළ කුඹුක්වැවටත් වලස්මුල්ල සියරාපිටියටත් මාරු කළා. අවසානයට විශ්‍රාම ගියේ කටුවන ග්‍රාමසේවා වසමින්. ඒ 1986 අවුරුද්දේයි.  


දිනක් මා ගෙදර ආව රාත්‍රියේ බයිසිකලයෙන් ආවේ. කුඹුරු මැදින් පාරක් තිබුණා. කවුරුවත්ම නැහැ පාරේ. කට්ට කළුවරයි. මට කවුදෝ වෙඩි තිබ්බා.  


වාසනාවට මට වෙඩිල්ල වැදුණේ නැහැ. මා බයිසිකලයෙන් වැටුණා. බයටම නැවත බයිසිකලය අහුල ගෙන පැදගෙනම ගෙදර ඇවිත් හති ඇරිය.  


“මහත්තයා මොකද.  කියන්න බලන්න මට එදා වෙඩි වැදුණේ නැත්තේ” ඔහු මගෙන් ඇසුවේය. මට තාත්තා දුන් වෙඩි නොවදින සුරය නිසා තාත්තාටත් සතුරෝ සිටිය. තාත්තා බේරුණේ ඔය සුරය නිසා.  
මා සැක කරන්නේ ඉඩම් ආරවුලකට සම්බන්ධ පාර්ශ්‍වයක් තමා මට වෙඩි තිබ්බේ. මට බැහැ අසාධාරණ අයුක්ති වැඩ කරන්න. එදත් කළේ නැහැ. අද කරන්නෙත් නැහැ.  


ගමේ පැරණි අය තාමත් (වයසක අය) ඇවිත් මාව බලල යනව. පාළුවට කතා කර කර ඉන්නවා. අසාධාරණ වැඩ කළා නම් අපිව බලන්න එන්නේ නැහැ. අපිට බැණ බැණ යනව ලුවිස් මහතා පැවසුවා.  


අපේ තාත්තාගේ විදාන ආරච්චි කම අහෝසි කළ පසු තාත්තා වීරවිල ගම්කාරක සභාවට ඡන්දය ඉල්ලුව. ඒ 1948 හැමදාම දිනන්නේ තිස්ස පොල්ගහ වලනේ ජිනෝරිස් රාළහාමි ඔහු මඩකළපුව පැත්තෙන් කෙනෙකුගේ ජීවත් කරන ලද තෙල් වගයක් ඇඟේ ගාගන්නවලු. ඡන්දය දාට. ඉතිං දිනනව. හැමදාමත් ජිනෝරිස් රාළහාමි සභාපති වීරවිල ගම්කාරක සභාවේ සභාපති.  


තාත්තා මේකට හොඳ වැඩක් කළා. ජිනෝරිස් රාළහාමි සමග ඔහුගේ මස්සිනා තරහයි. තාත්තා මස්සිනා අල්ල ගත්ත. මස්සිනා හිටියේ කොහොලං කල ගමේ. මස්සිනාට කිව්වා ජිනෝරිස් රාළහාමිගේ ඇඟේ ඌරු තෙල් ස්වල්පයක් ගාන්න කියලා. මස්සිනා කො​හොම හරි ජිනෝරිස් රාළහාමිගේ ඇඟේ ඌරු තෙල් ගෑවා.  


ඡන්දයෙන් ජිනෝරිස් රාළහාමි පැරදුණා. තාත්තා වීරවිල ගම් කාරක සභාවේ සභාපති වුණා.  


ජිනෝරිස් රාළහාමි පරාජයත් සමග තාත්තා එක්ක පුදුම තරහකින් හා වෛරයකින් හිටියේ. තාත්තාට වැඩ කරන්න දුන්නේ නැහැ.  


තාත්තා වීරවිල යන්නේ බයිසිකලයෙන් යන පාරෙන් නොවෙයි එන්නේ. එන පාරෙන් නොවෙයි යන්නේ ඒ සතුරන් නිසා.  


දිනක් හොර රහසේම වීරවිල ගම්කාරක සභාවේ ඔෆිස් එකේ තිබූ මේස පුටු ලිපිද්‍රව්‍ය හා වෙනත් උපකරණ භාණ්‍ඩ මීගහජදුර ගෙන ආවෙ මාතර තිබූ ප්‍රධාන කාර්යාලයට. මේ බව කලින් දන්වලයි කළේ. ඔෆිස් එක මීගහජදුර තිබ්බට ගම් සභාවේ වැඩ හොඳට කළ යැයි ලුවිස් නල්ලපෙරුම දිසානායක මහතා පැවසීය.  

 

 

 

 


අම්බලන්තොට විශේ‍ෂ 
ඩී.ජී. ජයසුන්දර