ලිංගික හෝ​මෝන හා සිකුරු ග්‍රහයා


 

රාත්‍රී අහසේ සඳ හැරුණු විට නැගෙනහිර හෝ බටහිර අහසේදී දැකිය හැකි දීප්තිමත් තරුව සිකුරු ග්‍රහයාය. ඉරු නැගෙන්න පළමුව නැගෙනහිර අහසේදී පහන්තරුව ලෙසත් ඉරු බැසගිය විට බටහිර අහසේදී ඉරබටු තරුව ලෙසත් සිකුරු දැකගත හැක. 


​ජ්‍යොතිෂයට අනුව ලෝකයේ පවතින සියලු චමත්කාරදේ කලාත්මකදේ විසිතුරුදේ මෙන්ම මිනිස් සංතානයේ ආදරය වැනි හැඟීම්වලට සිකුරු නතුවේ. මිනිස් සිරුරේ ලිංගික හෝමෝන කෙරේ බලපෑමක් ඇති බවට සාධක ඇත. ජ්‍යෙතිෂයේදී සුරූපී වීනස් රූපයක් බඳු ස්ත්‍රියක් සිකුරු ගෙන් නිරූපණය වන අතර වෘෂභ, තුලා රාශි දෙකද බෙරණ පුවපල් පුවසල යන නැකැත් තුන සිකුරුට අයත් අතර මීන රාශියේදී උච්චව බලවත් වන අතර කන්‍යා රාශියේදී නිචව දුර්වල වේ. සිකුරුගේ බලය විවාහයේදී ඉතා වැදගත් වේ. 


බලවත් සිකුරු ඉක්මන් විවාහයත් අඩු වයසින් ළඟා කරයි. දුර්වල සිකුරු විවාහය ප්‍රමාද කරයි. නැතහොත් විවාහ නොවූණාසේ සිටී. බොහෝ ස්වාමීන් වහන්සේ මෙන්ම දස සිල්මෑණිවරුගේ සිකුරු බලය ඉස්මතු නොවේ. 
එසේම සිකුරුගේ බලවත්කම ඉස්මතු වීමෙන් කලා ක්ෂේත්‍රයේ මෙන්ම ගායන හැකියා නර්තන හැකියා ඇති එසේම චිත්‍ර ශිල්පයේ දක්ෂ අය බිහිවේ. ඒවා සහජ ගති ලක්ෂණ ලෙස පෙනුණත් ජන්ම පත්‍ර පරීක්ෂාවේදී සිකුරුගේ බලය හොඳින් දැක්වේ. රාත්‍රී කාලයේ උපන් ස්ත්‍රියකගේ පුරසඳු සිකුරු සමග යෝගව බලවත්ව සිටී නම් ඇය මවක මෙන් වූ බිරිඳක වේ. එනම් මාතෘ භාර්යා ගනයට වැටේ. 


එසේම කුජ සිකුරු කු-ශු යෝගය නවාංශකයෙන්ද බලාගන්න. කේන්ද්‍රයක පිහිටා ඇති නම් එය අතිධාවන කාම යෝගයක් යැයි ජ්‍යොතිෂය මතය වේ. 


මෙවැනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ලෙහෙසියෙන් සෑහීමකට පත්වන්නේ නැත. මෙවැනි අය ඇඳුමක් ගන්න ගියත් බොහෝ වේලාවක් ගනී. වෙළෙඳසල් කිහිපයකට යයි. තෝරා බේරා ගන්න බැරිව අතරමං වී ඇඳුම් තොගයක්ම ගනී. නිතරම විවිධත්වය සොයයි. 


සෙනසුරු හා සිකුරු යෝගවීම (ශ-ශු) විවාහ කටයුතුවලට ශුභ නැත. ආදර සම්බන්ධතා කඩා වැටී විරහ වේදනා දැනේ. කලකිරීම් ඇති කරවයි. සිකුරු ලස්සනට ඉන්න කැමතිය. ශනි දුකින් පීඩා විඳිමින් දුර්වල මහළු ශරීරයෙන් යුතු නිසා සෙනසුරු දෙස බලා සිකුරුද කලකිරීම්වලට ලක් වේ. 


රාහු සිකුරු යෝගයේදී (රා-ශු) අවිචාරවත් ලෙස විරුද්ධ පාර්ශ්‍වයන් වෙත ඇදේ. මේ නිසා අවමානයන්ට ලක්විය හැක. 


සිකුරු මීන රාශියේදී උච්ච බලයෙන් යුක්ත නිසා එසේ උපදින මීන, මිථුන, කන්‍යා, ධනු ලග්නවලට සිකුරුගෙන් මාලවී නම් යෝගයක් සෑදේ. බොහෝ ලෞකික සැප සම්පත් ලබාදෙන යෝගයකි. 


එසේම කේතු සිකුරු යෝගය (කේ-ශු) නිසා හෝමෝන විෂමතා ඇති විය හැක. සිකුරු දුර්වලවීමද මෙවැනි තත්ත්වයන්ට හේතු වේ. හෝමෝන ක්‍රියාකාරී වීම වැඩි ස්ත්‍රියක් නම් ඉක්මනින් විවාහකරදීම සුදුසු යැයි සිතමි. 

 

 


ජ්‍යෙතිර්වේදී 
සරත් ආනන්ද අල්ගෙවත්ත. 
පැලෑණ උතුර වැලිගම.