ලලනාවන් ලස්සන කරන හඳහනේ ග‍්‍රහ පිහිටීම්


ලග්න කේන්ද්‍රයේ

  • 7 වැනි කොටුවේ ශුභ ග‍්‍රහයන් දෙදෙනකු සිටින කතට රජ බිසවකට හිමි සැප සම්පත්  
  • සඳු උච්ච කාන්තාව දෙවඟනක මෙන් රූප ශෝබාවයෙන් යුතුයි  
  • සඳු - සිකුරු බලවත් නම් ගුණයහපත් සහ රූමත් කාන්තාවක්. මන බඳනා ශරීර ලක්ෂණ පිහිටයි  

 

ස්ත‍්‍රියක් මෙලොව බිහිවෙන අවස්ථාවේ ඇයගේ කේන්දරයේ පෙන්නුම්කර ඇති ග‍්‍රහ සංයෝග හා ග‍්‍රහ දෘෂ්ටිවල බලවේග අනුව ඇය පෙරභවයන්හි සිදුකළ පින් හා පව් සටහන් වී ඇත. ස්ත‍්‍රී කේන්දර පරීක්ෂාවේදී විශේෂයෙන් සඳු හෙවත් චන්ද්‍රයා ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. ස්ත‍්‍රියකගේ ශරීරයේ රූප ලක්ෂණ ගති පැවතුම් හා අනෙකුත් ශරීරයේ වෙනස්කම් සඳුගේ පිහිටීම මත සිදුවෙයි.  

රියකගේ කේන්ද්‍රයේ හත්වෙනි රාශියේ සුබ ග‍්‍රහයන් දෙදෙනකු සිටීම උතුම් ගති ඇති ලක්ෂණයක් වන අතර සුබ ග‍්‍රහයන් තිදෙනකු තැන්පත් වී නම් එම ස්ත‍්‍රිය රජ බිසවකට සමාන ස්ත‍්‍රියක් වෙයි. ඉතා පියකරු රූප සම්පත්තියක් ඇති ස්ත‍්‍රියකගේ කේන්දර සටහනේ බොහෝ විට සඳු උච්චව ඇත. එවැනි කාන්තාව දෙවඟනක මෙන් ශෝභා සම්පන්න වෙයි. ගුරු උච්චව සත්වැන්නේ සිටින විට ඉතා ගුණ යහපත් ගති ඇති තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදර ගෞරවයක් දක්වන කීකරු භාර්යාවක්ද වේ.  

සෞරග‍්‍රහ මණ්ඩලයේ සඳු, සිකුරු දෙදෙනා ස්ත‍්‍රී කාරක බලය ලැබු මව්කාරක ග‍්‍රහයෝ වෙති. මෙම ග‍්‍රහ යුවළ උපතේ බලවත්ව සිටීමද ස්ත‍්‍රියක් ගුණ යහපත්කමින් හා රූමත් බවින් අග තැන්පත්වීමට හේතුවක් වෙයි. ඇයගේ දේහ ලක්ෂණ ඉතා මන බඳින අයුරින් පිහිටන්නේ මෙම ග‍්‍රහයන්ගේ ආකර්ෂණ බලය තුළිනි. ජීවශක්ති පදාර්ථය නියෝජනය වන ජීව ග‍්‍රහයා රවි ය. මෙම සඳු, සිකුරු යෝගය තුළ රවි බලවත්ව උපතේ පිහිටා ඇත්නම් එම රවිගේ බලය තුළ ගැබ්වෙන සඳු සිකුරුගේ බලය ලද ස්ත‍්‍රිය රටක් රාජ්‍යයක් පාලනය කිරීමට වාසනාව ඇති රූමත්කමින් අනූන ප‍්‍රසිද්ධ තැනැත්තියක් වන්නීය. එසේම රවි, බුධ යෝග බලය තුළ සඳු, සිකුරු බලය ලබන සැණින් නැණ නුවණ අතින් වැඩි උසස් අධ්‍යාපනයක් ලබන විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය තනතුරු දක්වා හිමිවීමේ වාසනාව ලබන රූමතියෝ වෙති.  

සඳු, සිකුරු යෝගය තුළට ර.බු.ශු.කු.ර.ශනි සංයෝගය ආවිට සඳු සිකුරු ලග්න ගත යෝගයෙන් උපත ලැබූ කාන්තාව පතිවෘත්තාව ආදි වටිනා ගුණධර්මවලින් පිරුණ මනා බුද්ධියක් ඇති දැඩි ආත්ම සංයමයක් ඇති උගත් අයෙකු වේ. එමෙන්ම තම ස්වාමි පුරුෂයාට සැමියා ඇයගේ දෙවියාය යන ක‍්‍රියාවෙන් කරන කතක් වෙයි. ස්ත‍්‍රියකගේ රුව, සිරුර, සෞඛ්‍යය සහ ඇගේ ස්වභාවය වැනි දේ පාලනය කෙරෙන්නේ ලග්නයෙන් රවිගෙන්, සඳුගෙන් සහ සිකුරුගෙන් සත්වෙනි රාශිද, සත්වෙනි රාශිවල සිටින ග‍්‍රහයන්ද, සත්වෙනි රාශිය ඇසුරු කරනු ලබන ග‍්‍රහයන්ද විසිනි. සාමාන්‍යයෙන් ප‍්‍රබලම ග‍්‍රහයා සිකුරු හෝ ගුරු හෝ චන්ද්‍රයා වේ නම් ඇගේ වර්ණය පැහැපත් වන බව සඳහන් වෙයි. අඟහරු හෙවත් කුජ ප‍්‍රබලව තත්ත්වයේ සිටි නම් වර්ණය රත් පැහැයට හුරුවනු ඇත. බුධ හෝ රවි ප‍්‍රමුඛ තත්ත්වයෙන් සිටීනම් ඇගේ වර්ණය පැහැපත් හෝ අඳුරු හෝ නොවේ.  

සෙනසුරු හෝ රාහු හෝ කේතු හෝ ප‍්‍රබල තත්ත්වයට පත් වූ විට සමෙහි වර්ණය අඳුරු පැහැ ගනී. රවි ප‍්‍රබලම ස්ථානයේ සිටින විට දකින වයසට වඩා වැඩිමහලු පෙනුමකින් යුක්තව පෙනෙනු ඇත. ශරීරය මධ්‍ය ප‍්‍රමාණ වෙන අතර සමේ වර්ණය දීප්තිමත් නොවේ. කටහඬද තියුණු බවක් පෙන්නුම් කරයි.  

පුරපස සඳු ප‍්‍රබලව සිටින විට ස්ත‍්‍රියකගේ පෙනුම යහපත් වෙන අතර ගතිගුණ හා ක‍්‍රියාකාරකම් බොළද වේ. අවපස සඳු ප‍්‍රබලත්වයට පත් වූ විට ඇය පෙනුමෙන් යහපත් නොවේ. ළමයෙකු මෙන් හැසිරෙන අතර රෝගාබාධවලටද ගොදුරුවන්නීය. බුධ, ගුරු, සිකුරු ආදී ග‍්‍රහයන් ප‍්‍රබල තත්ත්වයට පත්වූ විට ස්ත්‍රිය ඉතා දැකුම්කලු ස්වරූපයක් ගනී.  

දුබලත්වයට පත් වූ කේතු හෝ රාහු සත්වැන්නට පැමිණි විට මහලු හෝ දැකුම්කලු බවින් තොර ස්ත‍්‍රියක් වනු ඇත. කුරිරු ස්වභාවයෙන්ද යුතුවෙයි. සඳු සහ ගුරු ආත්ම කාරක ග‍්‍රහයාගේ නවාංශක රාශියෙන් සත් වැන්නෙහි සිටින විටද ඇය දැකුම්කලු සුරූපී තැනැත්තියක වේ.

සත්වැන්නාධිපති පාප ග‍්‍රහයකු සමග දුෂ්ඨ ස්ථානයක සංයෝග වී හෝ එවැනි ග‍්‍රහයෙකුගේ දර්ශනයට හසුවී සිටින විටද ස්ත‍්‍රී සිරුර පියකරු නොවේ. සත්වැන්නාදිපති සහ සිකුරු ඉරට්ටේ රාශිවල සිටින විටද ස්ත‍්‍රිය රුවැති වුවත් එම ග‍්‍රහයන් ඔත්තේ රාශිවල සිටින විට ඇගේ පෙනුමෙහි සහ චරිතයෙහි වඩාත් ප‍්‍රකට වන්නේ පුරුෂ ලක්ෂණ ය.  

චන්ද්‍රයා කුජ, බුධ, ගුරු සහ ග‍්‍රහයන් සමග කටක රාශිය සත්වැන්නට පැමිණිවිට උපන් ස්ත‍්‍රිය ස්වකීය රූපය හේතුකොටගෙන රජවරුන් පවා තම වසගයට ගන්නීය. චන්ද්‍රයා විසින් දක්නා ලැබූ ෂඩ් වර්ණයෙන් පිරිසිදු වූ බ‍්‍රහස්පති ග‍්‍රහයා කේන්ද්‍රගතව සිටියදී උපන්නී මනා රූපයෙන් යුත් ධනවත් ගුණවත් රජ බිසවක් සමාන වන්නීය. ලග්නය කටකය වී සත්වැන්නේ රවි සිට බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ දෘෂ්ටි ලද්දේ නම් රූපශ්‍රීයෙන් අගතැන් වූ ශිල්ප ශාස්ත‍්‍ර උගත් යහපත් දරුවන් ඇති රජ බිසවක් සමාන වන්නීය.  

ලලනා රුව වැඩිකරන ග‍්‍රහ සංයෝගයක් වනුයේ ලග්නය, දෙවැන්න හා සඳු සිටි රාශිය යන ස්ථානයන්ය. කේන්ද්‍රයේ දෙවැන්නෙන් ප‍්‍රකාශවනුයේ මුහුණ හා යහපත් කතාවය. එහි සුබ ග‍්‍රහයන් විසින් දක්නා ලද දෙවැන්නාධිපති කේන්ද්‍රගතව දෙවැන්නේ ශුභයන්ද සිටියදී උපන්නී දුටුවන් ප‍්‍රියකරන කතක් වන්නීය. සර්වාර්ථ චින්තාමනියේ සඳහන් පරිදි කේන්ද්‍රයේ දෙවැන්න රූමත් මුහුණක් ඇතිවීමට ප‍්‍රධාන තැනක් ගන්නා බව කියැවේ. එමෙන්ම බ‍්‍රහස්පති හෝ සිකුරු හෝ උපන් ලග්නයේ හෝ දුටු කල්හි සත්වැන්න වන කන්‍යා රාශියේ බුධ ද, මකර රාශියේ අගහරු ද, චන්ද්‍රයා කටක රාශියේද සිටියහොත් ඇය රූපශ්‍රීයෙන් බබළන රාජිනියක් වෙයි. උපන් ලග්නය මීනය වී එහි බ‍්‍රහස්පතිද, සඳු කටකයේද, සිකුරු වෘෂභයේද, බුධ කන්‍යාවේද යෙදීම ලොව දහස් ගණනක අඟනන් අතරින් රාජකීය බවට පත්වේ.

ස්ත‍්‍රි කේන්ද්‍රයක තවත් වැදගත් පිහිටීමකි චන්ද්‍රයා කේන්ද්‍රගතව ලග්න ස්ථානයේ පිහිටීම. මෙසේ උපත ලබන ඇය ඉතා සෞම්‍ය ගතිගුණවලින් යුතු වෙයි. එලෙසම රවුම් වටකුරු අත්පාවලින් යුතු පිරිපුන් දේහලක්ෂණ ඇතිවීමට හේතුවේ. තවද මෙවන් යුවතියන් කලා ලොවේද අගතැන්පත් තැනැත්තියන් ද වෙයි. සංගීතය, චිත‍්‍ර ශිල්පය, රංගනය ආදී ක‍්‍රියාවලදී ඉතා ඉහළ ස්ථානයක් හිමිකර ගන්නීය. ඒ හැම දෙයක්ම අභිබවා ඉදිරියට එන ස්වාමි භක්තිය ඇය කෙරෙහි කැපී පෙනෙයි. මෙවන් ස්ත‍්‍රියක හා විවාහවෙන පුරුෂයා ඉතා වාසනාවන්තව ගෘහ ජීවිතය සැපවත් කරගන්නා අතර ඇය නිසා ඔහුද සමාජයේ ජනප‍්‍රිය වේ.   

 

 

හිඹුටානේ 
පියතිලක ද අල්විස්  
158, හිඹුටාන, 
මුල්ලේරියාව නව නගරය