ලන්දේසි ආණ්ඩුකාරයාගේ කුමාර වීදියේ නිවහන


සිහිවටනයක පසුබ්ම් කතාව

පිටකොටුවේ ඕලන්ද යුගයේ ළිඳකින් නාගන්නට ඔබත් කැමැතිද? මෙසේ ඇසුවොත් ඔබ බොහෝ විට සිතනු ඇත්තේ එය විහිළුවක් කියාය. එහෙත් අද ද පිටකොටුවට එන විදේශිකයින් කාර්ය බහුල මේ බිමේ ඇති සුන්දර කෞතුකාගාරය නැරඹීමට උදෑසන පුල පුලා බලා සිටින බව කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. කොළඹ ඇති සිහිවටන ගැන පළවන ලිපි කියවූ බොහෝ පාඨකයින් අප වෙත දන්වා එවන ලද්දේ ඔවුන් බොහෝ දෙනා මේ ස්මාරක පසුකර ගියත් මේ මොනවාදැයි නොදන්නා බවය. 
  
පිටකොටුවේ ජනාකීර්ණ කලබල පරිසරයක ඇති මේ ‘ඕලන්ද කෞතුකාගාරය’ ගැන කියන්නට පෙර මේ කොටුව ගැන ඉතිහාසය ද ටිකක් අධ්‍යයනය නොකළහොත් අඩුපාඩුවක් වනු නියතය. පෘතුගීසින් මුලින්ම කොටුව තනා ඇත්තේ කලින් පෘතුගීසි වෙළෙඳ ගබඩාව පිහිටුවා තිබූ තැනම බව ලේඛනවල සඳහන් වේ. මෙම කොටු බැම්ම තනා තිබුණේ කබොක්ගලින් හා මැටියෙනි.   


කපිතාන් රෝ ආඕ සිල්වේරාගේ නායකත්වයෙන් යුතු සේනාංකයට නිතර පාහේ මුස්ලිම් බැටෑලියන්වලින් පහර එල්ල විය. 1524 දී පෘතුගීසින් කළේ බුවනෙකබාහු රජුගේ සිත සතුටු කිරීමට කොළඹ කොටුව වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමය. 1551 දී රජුගේ ඝාතනයත් සමග කොළඹට පත්වූ අධිරාජයනන්ගේ අදහස වූයේ නව කොටුවක් තැනීමය. මේ කොටුව තැනීමට ලංකාවට ආ මේ කපිතාන් ඩු ආර්ට්සිකාය. මේ නව කොටුවට මායිම් වූයේ යෝර්ක් වීදිය. ගාලු මෝය හා කැනල්රෝ හා වරායට මායිම් වූ ප්‍රදේශයයි. නමුත් 1656 වන විට පෘතුගීසි ආධිපත්‍යය බිඳ වැටුණු බව පෙනී යයි.   


ලන්දේසින් කොළඹ අල්ලා ගැනීමේදී කොටුවේ පවුරු බොහොමයක් බිමට සමතලා විය. එකල ඇඳි සිතියම් නිරීක්ෂණයේදී පෙනී යන්නේ කොටුව සහ පිටුකොටුව වෙන්වෙන්ව හඳුනා ගැනීමට ඒ දෙක අතර වූ හිස් බිම් තීරු ඉවහල් වූ බවය. පසුව මේ හිස් බිම් කඩ වැව් ජලය මගින් පොකුණක් බවට පත්කළ බව සිතියම් නිරීක්ෂණයේදී පෙනී යයි.   


කොටුවේ අදත් ඇති මන්දිර බොහෝමයක් ලන්දේසින් තැනූ ඒවාය. කලින් සතියක ‘දෑවැද්දට දුන් රජගෙදර’ නමින් පළවූයේ අද ජනාධිපති මන්දිරය ගැන ලිපියකි. එම ගොඩනැගිල්ලත් ලන්දේසීන්ගේ නිර්මාණයකි. එය ලන්දේසි ආණ්ඩුකාර ජෙරාඩ් වෑන් ඒන්ජල් බික්ගේ නිවහනය. එමෙන්ම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඕලන්ද රෝහල, ආදුරුප්පු වීදියේ පල්ලිය, කයිමන්දොරකඩ සීනුව, මේ ආදී ඕලන්ද යුගයේ සිහිවටන කවර එකටත් වඩා ඔබට පහසුවෙන් පිවිසිය හැකි තැනක් නම් පිටුකොටුව කුමාර වීදියේ ඕලන්ද කෞතුකාගාරයයි.   


ඕලන්ද කෞතුකාගාරය නැරඹීමට ඔබට ඇති ප්‍රධාන බාධාව එයට පිවිසීමයි. මල්වත්ත පාරේ සිට කුමාර වීදියේ ඕලන්ද කෞතුකාගාරය පිහිටුවා ඇත්තේ වම්පසය. කුමාර වීදියේ වාහන නවත්වන්නේ වම්පස බැවින් ඕලන්ද කෞතුකාගාරයට පිවිසීම ඔබට ‘අති බිහිසුණු’ අත්දැකීමක් වනු නියතය. මෙම කෞතුකාගාරයට පිවිසීමට විදේශකයින් දරන උත්සාහයෙන්ම එම අපහසුතාවය ඔබට ඒත්තු යනු නියතය.   


සමහර නාට්ටාමිලාගේ කරත්ත මේ ඉදිරිපිට නවත්වා ඇත්තේ තඩි දම්වැල් දමා ඒවාට ඉබි යතුරුත් දැමීමෙන් පසුවය. මෙහි කෞතුකාගාරය වම් පස ඇත්​ෙත් සපත්තු සෑදීමට ගන්නා සම්, අඩි, ​ෙබාත්තන්, නූල් විකුණන වෙළෙඳ සැල්ය. ඉදිරිපිට ඇත්තේ සෙල්ලම් බඩු, ඉමිටේෂන් බඩු, ස්ටේෂනරි තොග සහ සිල්ලර කඩය. මේ ජනාකීර්ණ කඩ අතරේ මෙම ඕලන්ද කෞතුකාගාරය පසුකර යන කාටත් මේ කෞතුකාගාරයක් යැයි අදහසක් පහළ නොවන්නේ එහි ඇති වාණිජමය කලබල භාවය නිසා විය යුතුය.   


VOC නමින් වූ තඹ කාසි, මහන මැෂින්, ලාම්පු ගැන කතා බහක් මීට වසර ගණනාවකටත් එහා ඇති වූයේ ඒවා ගැන දැඩි ඉල්ලුමක් ඇතිවූ නිසාය. ඒ නිසා මුළුමනින්ම කළු පැහැති පූසන්ට ද ඇති වූයේ දැඩි ඉල්ලුමකි. එකල ලංකාවට ආ ඕලන්ද ජාතිකයින් පිරිසක් මෙම අායිත්තම් අසීමිත මිල ගණන්වලට මිලදී ගැනීම වෙළෙඳපොළ තුළ මෙම භාණ්ඩවල මිල ශීඝ්‍රලෙස ඉහළ යාමකට හේතු විය.  


1691 දී ඕලන්දකාරයින් ලංකාවට පත්කරපු ආණ්ඩුකාරයා වූයේ ‘තෝමස් වෑන් රී’ ය. එකල යටත් විජිතවල ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලතල සතුව තිබී ඇත්තේ VOC හෙවත් පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමටය. කොළඹ නැව් තොටින් මේ සුන්දර භූමියට පාතැබූ තෝමස් වෑන් රී මුලින්ම කළේ ඊට ළඟපාත පාරවල්වල පයින්ම ඇවිද බැලීමය.  


 එකල උස ගොඩනැගිලි කිසිවක් වරායේ සිට බැලූ විට තිබී නැති අතර ආණ්ඩුකාරයාගේ සිත් ගත්තේ කොළඹ නැව් තොටේ සිට ‘හූ’වක වත් දුරක් නැති කුමාර වීදියේ මලින් පිරි ගිය සුන්දර පරිසරයයි. මේ සුන්දර පරිසරයෙන් වශීකෘත වූ ආණ්ඩුකාරවරයා එහි දැවැන්ත මන්දිරයක් ගොඩනැගුවේය. ඒ 1692 වසරේදීය. මෙහි සඳහන් ප්‍රදර්ශිත ලිපි ලේඛන අනුව ආණ්ඩුකාරයා තම නිල කාලය නිම වීමත් සමග මේ සුවිසල් මැදුර පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම නොහොත් VOC යට විකුණා දමා ඇති බවය.  


1796 ඕලන්ද යුගය අවසානය තෙක් මේ දැවැන්ත මන්දිරයේ පවත්වාගෙන ගොස් ඇත්තේ අනත්දරු නිවාසයක් සහ දෙව්සත්හලකි. බ්‍රිතාන්‍ය පාලන යුගය තුළ මෙම මන්දිරය යුදහමුදා රෝහලක් මෙන්ම ගබඩාවක් ලෙස ද උපයෝගී කරගෙන ඇත.  


කලකට ඉහත මෙම මන්දිරය පිටකොටුවේ තැපැල් කාර්යාලය ලෙස ද භාවිත කොට ඇති බැව් තැපැල් කෞතුකාගාරයේ ලේඛනවල සටහන්ව ඇත. ඉන් පසු 1982 ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට පවරා ගන්නා තෙක් මෙම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගොස් ඇත්තේ විදුලි සංදේශ නොහොත් CTO එකේ කොටසකි. 1974 දී මෙම ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටුණ බව එකල පුවත්පතක වාර්තාකොට තිබේ. එහෙත් එය රජය මැදිහත් වී පිළිසකර කොට තිබේ.  

 

 

1983 වකවානුව වන විට මෙම කුමාර වීදියේ රජ කළේ කඩදාසි නාඩර්ලාය. අපේ දේශප්‍රේමීන් මෙම කුමාර වීදියේ කඩද‌ාසි ස්ටෝරුවලට තැබූ ගින්න මේ ඕලන්ද කෞතුකාගාරයේ වහලය දක්වා පැතිර ගියේය. එය නිමවූයේ ගිනිගත් වහලයේ කොටසක් කඩා දැමීමෙන් පසුවය.  


මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල ඇතුළට ගිය බොහෝ දෙනෙකුට වැටහී යනු ඇත්තේ තමන් අපායේ සිට දිව්‍ය ලෝකයට ගිය බවය. එහි ඇත්තේ සුන්දර මැද මිදුලකි. අපාය නම් වූ ප්‍රවේශයේ සිට එතැනට ගිහින්ම දැක බලාගැනීම සුදුසුය. මෙහි ඇති රේඛා චිත්‍ර ආශ්‍රයෙන් ඕලන්ද ජාතිකයින් ලංකාව සමග සබඳතා ඇති කරගත් ආකාරය ගැන පහළ බාලාංශයේ දරුවකුට වුවත් අවබෝධ කරගත හැකිය.  


කොළඹ කොටුවේ ඇති මහ බැංකුවේ කෞතුකාගාරයට අමතරව ඉපැරැණි ඕලන්ද යුගයේ කාසි සුරක්ෂිතව ඇති ස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකිය. තඹය, දොයිතුව, තුට්ටුව මෙහිදී අපට දැක බලාගත හැකිය. මේ සංරක්ෂිත භාණ්ඩවල වටිනාකම ‘තුට්ටුවකටත්’ ගණන් නොගෙන ආරක්ෂාවක්වත් ප්‍රමාණවත් ලෙස දී නැති බව කිව යුත්තකි.  


ලන්දේසි යුගයේ අවි ආයුධ, ඉවුම් පිහුම් උපකරණ මෙන්ම එහි ඇති ඕලන්ද ජාතික යුවළකගේ ජීවමාන ප්‍රමාණයේ අනුරුවක් අනුව පෙනී යන්නේ ඕලන්ද ජාතිකයින් උත්තුංග දේහධාරී උස් මිනිසුන් වූ බවය. මෙම කෞතුකාගාරයේ දොර උළුවහු ඉතා උස් වී ඇත්තේ ඔවුනට කොන්ද නමන්නේ නැතුව ගොඩනැගිල්ල තුළට යාමට විය යුතුය.  


මෙහි ඇති සොල්දරය නිමාවීමට යොදා ඇත්තේ ‘කොස්’ ලීය. එහෙත් මෙහි ඇති කවිච්චි, පෙට්ටගම්, අල්මාරි සහ විසිතුරු, පුටු සඳහා කොස් දැව යොදාගත් බවක් පෙනෙන්නට නැත. ඒවා සඳහා යොදාගෙන ඇත්තේ කළුවර හා තේක්ක ලී විය යුතුය.   


බ්‍රිතාන්‍ය යුගය තුළ කොස් ලීයෙන් තැනූ ගෘහභාණ්ඩ තැනීමට මුලින්ම පියවර ගෙන තිබුණේ වින්ටර් නැමැති සුදු ජාතිකයෙකි. ලංකාවේ මුලින්ම ගාල්ලේ සීනි හැදූ ඔහු සිහිවන්නට අදත් ‘වින්ටර් තොටුපල’ ඊට සාක්ෂි දරන්නේ එය ඔහුගේ නමින් නම්කර ඇති නිසාය. මෙහි ඇති උළුවහු අඩි 11 ක් උස අතර මේ සඳහා යොදාගෙන ඇත්තේ තේක්ක මෙන්ම නැදුන් ද‌ැවය.  


ප්‍රවීණ ඉතිහාසඥයකු වූ ටිකිරි අබේසිංහයන් තම ඉතිහාස ග්‍රන්ථයක සටහන්කොට ඇත්තේ පැරණි සිංහල කුස්සියක වූයේ පැදුරු, කොට්ට හා මිරිස්ගල පමණක් බවය. මෙම කෞතුකාගාරයේ ඇති කුස්සියේ ඇති මෙවලම් මෙන්ම විසිතුරු අල්මාරි, කවිච්චි දුටුවිට මෙම ආභාෂය අපේ සමාජය ලබන්නේ කවර යුගයකදී දැයි පැහැදිලි කර ගත හැකිය.  


මෙම ඕලන්ද කෞතුකාගාරයේ මැද මිදුලේ ඇති සොහොන් ගල් ආණ්ඩුකාරවරයාගේ යුගයේ තැන්පත් කළ ඒවා නොවේ. ආණ්ඩුකාරවරයා තම සුන්දර නිවසේ මළ සිරුරු තැන්පත් කරන ‘සොහොන් පිට්ටනියක්’ බවට පත් කළේ යැයි උපකල්පනය කළ නොහැක. කරුණු සෙවීමේදී පෙනී ගියේ මෙම සොහොන් කොත් පිටකොටුව පොලිසිය ගොඩනැගීමේදී එහි වූ සොහොන් කොත් සමූහයක් බවය. එදා එතැන තිබී ඇත්තේ ඕලන්ද පල්ලියක් හා ඕලන්දකාරයන්ගේ සොහොන් කොත් කිහිපයකි.  


මෙම ස්මාරක නිමවා ඇත්තේ කළුගල් පතුරු ලෙසය. එහි උඩින්ම කොටා ඇත්තේ දැන් බොහෝ කෘමිනාශක බෝතල්වල ‘අන්ත්‍රාවයි’ යනුවෙන් සටහන්කොට එක්ස් අකුරේ හැඩයට මීනි ඇට දෙකක් හා ඊට ඉහළින් හිස් කබලකි. ඕලන්ද බසින් මියගිය පුද්ගලයාගේ විස්තරයක්ද ඇත මේ ඕලන්ද සොහොන් කොත් අතර සිංහල ජාතිකයකු ද සිටී. ඔහු නමින් දොන් මිගෙල් සමරකෝන්ය. ඔහු මියගොස් ඇත්තේ 1724 නොවැම්බර් 20 වැනිදා ජීවිතයේ පනස් වසරක් පිරීමට දෙවරසකට පෙරදිය.  


මේ සොහොන් කොත් නිරීක්ෂණයේදී පැහැදිලිව පෙනී ගිය කරුණක් නම් මේ ඕලන්ද ජාතිකයින් අතරින් වයස අවුරුදු 50 ඉක්මවා ඇත්තකු නැති බවය.  


නන්නාඳුනන දේශයකට පැමිණි මේ ඕලන්ද ජාතිකයින් දේශගුණ විපර්යාසයට වෙච්ච කාන්සිය මකා ගැන්මට ද උදේ රැයින්ම ‘ෂොට්’ එක බැගින් දමාගෙන ඇති අතර හවසට නින්දට ගොස් ඇත්තේ ද පොඩි පහේ ‘ෂොට්’ එකක් දමා ගැනීමෙන් පසුවය. උදේ සිට රාත්‍රී වනවිට පොඩි ෂොට්වල එකතුව බෝතල් එකහමාරක් වැනි ඉතා අඩු මත්පැන් පරිභෝජනයක් වී ඇත.  


 ලිපිය ආරම්භයේදී කියූ ඕලන්ද යුගයේ ළිඳ ඇත්තේ ඕලන්ද කෞතුකාගාරය මැද මිදුලේය. මෙම ළිඳේ ඇති උල්පත කිසිදින නොසිඳෙන සේ බැඳ ඇත්තේ මුළුමනින්ම කළු ගලිනි.  


මේ ඕලන්ද කෞතුකාගාරයේ ඇත්තේ උස් රවුම් කුලුනුය. මේ කොරිඩෝරය ඔස්සේ ගලා එන සිසිල් සුළඟ සමඟ මැද මිදුලට යන ඔබට ඔබ මේ සිටින්​ෙන් ගිනිකාස්ටක අව්වේ පිටකොටුවේ ගෙන්දගම් පොළොවේ බව මොහොතකටවත් නොසිතෙනු ඇත. මැද මිදුල වටා ඇති බිත්ති අඩි 3 ක් පමණ වන බදන්නට වත් බැරි තරම්ය.  


 මේ කෞකුකාගාරය නැරඹීමේදී පැහැදිලිව පෙනී යන කරුණක් නම් ඕලන්ද ජාතිකයින් සතුව දැවැන්ත නාවුක බළ ඇණියක් වූ බවය. මෙහි ඇති සිතියම් නාවුක මෙන්ම ගොඩබිම දෙකෙහිම දැකිය හැකිය. ඕලන්ද ජාතිකයින් ලංකාව ගැන භූගෝලීය වශයෙන් කෙතරම් අවබෝධයකින් යුතු වූවදැයි යන්නට එය දැවැන්ත සාක්ෂියකි.  


 මෙහි ඇති ගෘහ භාණ්ඩ විසිතුරුව ඇත්තේ නිර්මාණශීලී කැටයම් වලිනි. මෙහි ඇති එකම නිර්මාණය කළ සිංහලයාගේ නම සඳහන් වන්නේ රාජපක්ෂ විදානගේ නමිනි. 1768 දී ඔහු අතින් නිර්මාණය වූ VOC ලාංඡනය සහිත ඝණ්ටාරයේ බර කිලෝ 500 කට වැඩිය. දැවමය ආධාරකයක් මත රඳවා ඇති මේ ඝණ්ටාරය භාවිත වූයේ කවර කටයුත්තකටදැයි සඳහනක් නැත.  


 මුද්‍රණ ශිල්පීන් විසින් නම් මේ ඕලන්ද කෞතුකාගාරය නැරඹිය යුතුමය. මෙහි ඇති ඕලන්ද යුගයේ මුද්‍රණ තාක්ෂණික මෙවලම් දැන් සුරක්ෂිතව ඕලන්දයේ හෙවත් අද නෙදර්ලන්තයේ වත් ඇත්දැයි සැක සහිතය. එමෙන්ම 1737 දී සිංහලයෙන් මුද්‍රණය කරන ලද මුල්ම යාඥා පොතේ පිටපත්ද මෙහිදී දැකගත හැකිය.  


1602 සහ 1656 අතර වැදගත් සිදුවීම් පෙළගස්වා ඇති අතර මේ ඕලන්ද කෞතුකාගාරය විදේශිකයින් ඇද ගැනීමට කදිම ආකර්ශනයක් ඇති තැනකි. ආකර්ශනය කෙසේ වුවත් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට එන විදේශිකයකු කිසිවකුගෙන් ඕලන්ද කෞතුකාගාරය තිබෙන්නේ කොහේදැයි ඇසුවහොත් ඔහු අන්ද මන්ද වනු නියතය.  


ඕලන්ද යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සිහිකරන මෙම ‘සිහිවටනය’ අද කොළඹ කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, ආදිය නැරඹීමට එන පාසල් සිසුන්ගෙන්, දේශීය සංචාරකයින්ගෙනුත් ගිලිහී ගිය ඓතිහාසික සිහිවටනයකි. ඊටත් වඩා එය නැරඹීමට එන විදේශිකයින්ට දකින්නට ලැබෙන්නේ බුලත්විට ගසා වැනසූ පදික වේදිකා අරක්ගෙන සිටින නාට්ටාමිලා පිරිසකි. නැත්නම් ඕලන්ද කෞතුකාගාරය ඉදිරිපිට වාහන නවත්වන්නට දී ටිකට් කඩනා උන්දැගේ රැවුම් ගෙරවුම්ය. එහෙත් මේ රැවුම් ගෙරවුම් මැද වුවද විදේශකයින්නම් මේ කෞතුකාගාරය හැරගිය බවක් පෙනෙන්නට නැත.  


පිටකොටුවේ පදික වෙළෙඳුන් අරක් ගත් පදික වේදිකාවෙන් බේරීවිත් දූවිලි, බුලත්කෙළ අතරින් මේ ඕලන්ද කෞතුකාගාර ගොඩනැගිල්ලට පිවිසෙන ඔබට අපායේ සිට දිව්‍ය ලෝකයට ආවා වගේ යැයි සිතෙනු ඇත්තේ නිරායාසයෙනි.  

 

 

 

 

 

 


වජිර ලියනගේ  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය