ලග්න රැසකට සුබ පල දෙමින් රවි රජ මැදුරට


සූර්යයා, ආදිත්‍ය හා දිවාකර යන නම්වලින් හඳුන්වනු ලබන ග්‍රහලොව පිය රජු ලෙස සැලකෙන රාජ්‍යකාරක රවි ග්‍රහයා 2018 අගෝස්තු මස 17 වන දින සිංහ රාශියට පැමිණ 2018 සැප්තැම්බර් මස 17 වන දින දක්වා සිය බලය පතුරවමින් සිටී. සිංහ රාශිය රජ ගෙදරයි. එහි හිමිකාරිත්වය දරන්නේ රවිය. එමනිසා සිංහ නම් වූ තම ස්වක්ෂේත්‍ර භවනේ ගත කරන විට පිය රජු බලවත් වෙයි. මෙම කාලසීමාවේ රවිගෙන් නියෝජනය වන රජය, පාලන පක්ෂය, වෛද්‍යවරුන් හා නීතිමය තනතුරුවල තත්ත්වය උසස් වේ.   

කේන්ද්‍ර හිමියාගේ පාලන ශක්තිය, මහත්මා ගති, අණදීමේ ශක්තිය, අවංකකම, සෘජු කථාව, උසස් වීමේ ඇති ආශාව යන ලක්ෂණ රවිගේ බලයෙන් ක්‍රියාත්මක වෙයි. සිංහ රාශියේ හිමිකාරිත්වය දරන රවි එහිදී ස්වක්ෂේත්‍ර බලය ලබයි. මේෂ රාශියේ දී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත්වේ. රවි දශා කාලය පුරා වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ. මෙම කාලසීමාවේ මෙලොව එළිය දකින දරුවන්ගේ ජන්ම පත්‍රවල රවි ග්‍රහයා සිංහ රාශිගත වීම නිසා උපේන්ද්‍ර යෝගය යෙදෙයි. පෙනුම තේජවන්තයි. ප්‍රධානත්වය ලබයි. ආත්ම ගෞරවය රැක ගනී. සිතන දේ කිරීමට පසුබට නොවේ.   


රවි සිංහ රාශි ගතවීම ඔබේ ලග්නයට බලපාන හැටි   


මේෂ - කේන්දරයේ පස්වැන්නට රවි පැමිණෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාග හා සම්මුඛ පරික්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. තම දරුවන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරවලින් ලාභ අපේක්ෂා කළ හැකියි. මේ අතර අවිවාහක අයට මංගල යෝග යෙදෙන අතර පෙම් සබඳතා ස්ථිර වේ. විවාහ සහකරුට යහපත් වේ. ඔබේ ලග්නාධිපති කුජ ද බලවත්ව ගමන් කරන නිසා මෙම කාලසීමාව සුබයි.   


වෘෂභ - කේන්දරයේ හතරවැන්නට රවි පැමිණෙයි. ඔබේ පදිංචිය සම්බන්ධව තිබූ නීතිමය ප්‍රශ්නයක් විසඳේ. සිත් තැවුල් ද අැතිවීමට ඉඩ තිබේ. ඉඩකඩම් හා රථ වාහන මිලදී ගැනීමට වාසනාව උදා වේ. ඔබ නිරත වන කටයුතුවල දී නායකත්වයක් ​හෝ තනතුරු ලැබීමට ඉඩ ඇත. උසස් නෑදෑයින්ගෙන් උදව් අපේක්ෂා කළ හැකියි. මේ අතර සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න.   


මිථුන - කේන්දරයේ තුන්වැන්නට රවි පැමිණෙයි. සුබදායක වේ. ඔබේ උත්සාහ ඉහළ මට්ටමක පවතී. ලිපි ලේඛන හා අධ්‍යාපන කටයුතුවලට සුබයි. අසල්වාසීන් අතර මිත්‍රත්වය වර්ධනය වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවල දී ඉහළ තනතුරු ලැබේ. ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩි වෙයි. මේ අතර ප්‍රයෝජනවත් ගමන් ද යෙදේ. බාල සහෝදරයින්ගෙන් උදව් ලැබෙයි. ගෘහ නිර්මාණ කටයුතුවලට සුබ වේ.   


කටක - කේන්දරයේ දෙවැන්නට රවි පැමිණෙයි. ඔබේ තැන්පත් ධනය වර්ධනය වන අතරම පවුලේ කටයුතු සඳහා තැන්පත් ධනය වැයවීමට ද ඉඩ ඇත. ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබගේ වචනය බලවත් විය හැකියි. තමාගේ අදහස්වලට අන්‍යයන් අවනත කරගනී. පවුල් ජීවිතවලට සුබදායක වේ. මේ අතර ඇස්වල ආබාධ ද ඇතිවීමට ඉඩ ඇත. 

 
සිංහ - රවි ඔබේ ලග්නයට පැමිණ බලවත් වීම යහපත් වේ. රැකියා කටයුතුවල දී තනතුරු ලැබෙයි. ඔබේ ජනප්‍රියතාවය වැඩිවෙන අතර නිසි ගෞරවය හිමිවේ. එමනිසා උසස් අය සමග කටයුතු කරන විට තරමක් ප්‍රවේශම් වන්න. රැකියා අවස්ථා උදා වෙයි. මේ අතර විවාහයට බාධා ඇතිවීමට ද ඉඩ ඇත.   


කන්‍යා - කේන්දරයේ දොළොස්වැන්නට රවි පැමිණෙයි. විදේශ රැකියා හෝ විදේශ ගමන් බලා​පොරොත්තු වූ අයගේ සිහින සැබෑ වේ. දුර ගමන් ද යෙදිය හැකියි. වියදම් පාලනය කරගන්න. මේ අතර නඩුහබවලට ද මුහුණදීමට සිදුවිය හැකියි. ඇස්වල ආබාධ ද ඇතිවිය හැකියි.   


තුලා - ඔබේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට රවි පැමිණීම සුබදායක වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. තනතුරුවල උසස්වීම් ලැබේ. වැටුප් වැඩිවේ. ආදායම් තත්ත්වය යහපත් වේ. හදිසි ලොතරැයි ජයග්‍රහණ ද හිමි විය හැකියි. උසස් උගත් අය හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. මේ අතර සමාජ සේවා කටයුතුවල දී ප්‍රමුඛත්වය ලැබේ. වැඩිමහල් සහෝදරයින්ට සුබ වේ. ගෘහ නිර්මාණ කටයුතුවලට සුබ වේ.   


වෘශ්චික - ඔබේ කේන්දරයේ දසවැන්නේ රවි දිග්බල වීම සුබදායක වේ. ඔබේ ලග්නාධිපති කුජ ද තුන්වැන්නේ බලවත්ව ගමන් කරන නිසා සුබ වේ. රැකියා කටයුතු සාර්ථක වන අතර උසස් අයගේ ඇගයීමට ලක්වේ. රැකියාවේ උසස්වීම් ලැබේ. රැකියා අපේක්ෂිතයන්ට රැකියා ලාභ හිමිවේ. අන් අය අතර කැපී පෙනේ. කීර්ති, ප්‍රශංසා හිමිවේ. මේ අතර විදේශ සංචාර ද යෙදේ.   


ධනු - ඔබේ කේන්දරයේ භාග්‍යාස්ථානයට රවි පැමිණෙයි. ඉතා යහපත් වේ. පෙරපින, වාසනාව හා දෙවියන්ගේ පිහිට ලැබේ. ආගමික කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විදේශීය ශිෂ්‍යත්ව ලැබිය හැකි වේ. යහපත් ගුරුවරුන්ගේ උදව් ලැබේ. මේ අතර විදේශ ගමන් හා දුර වන්දනා ගමන් යෙදේ. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්ති කර්මවල නිරත වන්න.   


මකර - ඔබේ කේන්දරයේ අටවැන්නට රවිගේ පැමිණීම එතරම් සුබදායක නොවේ. රැකියා කටයුතුවල දී උසස් කෙනෙකු අමනාප වීමට ඉඩ තිබේ. එමනිසා ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිමය කටයුතුවල දී වඩාත් ප්‍රවේශම් වන්න. අවිවේකී කාලයක් උදාවේ. මේ අතර සිත් තැවුල් ද ඇතිවිය හැකියි. කෙසේ නමුත් අන්සතු ධනයක් ලැබීමට ද ඉඩ ඇත. උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.   


කුම්භ - ඔබේ කේන්දරයේ හත්වැන්නට රවි පැමිණෙයි. හවුල් ව්‍යාපාරවලින් අපේක්ෂිත ලාභ ලැබේ. ඔබට මහජන ප්‍රසාදය ලැබේ. ප්‍රසිද්ධ සතුරන් මර්දනය වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. මේ අතර විවාහ සහකරු සමග ඉවසීමෙන් කටයුතු කරන්න. සම්මුඛ පරික්ෂණවලින් ජයග්‍රහණ හිමිවේ.   


මීන - ඔබේ කේන්දරයේ හයවැන්නට රවි පැමිණීම යහපත් වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට අවස්ථාව උදාවේ. අසනීපවලින් සුවය ලැබේ. සතුරු කරදර මර්දනය වේ. නඩුවලින් ද ජය ගත හැකි වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්ෂයේ සහයෝගය ලැබේ. ඔබේ ධෛර්යය ඉහළ යයි. මේ අතර ගෘහ නිර්මාණයට සුබ කාලයක් උදා වේ. ගුරු දශා ගතකරන අයට තරමක් අපලයි.   


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුබ පල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය ඉරිදා දින රවි හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා, ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත්, සූර්ය පිරිත කියවීමත් යහපත් වේ. මෙවැනි ශාන්ති කර්ම මගින් අපල සමනය කර ගත හැක.   

 

 

 


ජ්‍යෝතිර්වේදිනී,   
අජන්තා ඒකනායක   
අංක 121, මාංගොඩ, මැදමහනුවර.