ලකේගල තරණය කළ දුෂ්කර දවසක්


ක්‍රියාදාම චාරිකා

ඉදිරියෙන් නාරංගමුවේ ලකේගල සහ පිටුපසින් මීරියගොල්ල කන්ද

තුන්හිස්ගල සහ උඩවන්නිමාන කඳු

 

 

ලකේගල යනු දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත කන්දක් බව නොඅනුමානය. ඊට කදිම නිදසුන නම් ත්‍රිකෝණාකාර කන්දේ පිහිටීම වැනි පිහිටීමක් ලංකාවේ වෙනත් කිසිදු කන්දක දක්නට නොමැති අතර කඳු නැගීම (Rock Climbing) ක්‍රමය භාවිත කරන්නට සිදුවන එකම කන්දද වනුයේ ලකේගලයි. ලකේගලේ මෙම සුවිශේෂී පිහිටීම දැකිය හැකි හොඳම ස්ථානය වනුයේ මීමුරේ ගම්මැද්දයි. සාම්ප්‍රදායික දුම්බර මිටියාවතේ ගමක් ලෙස අතීතයේ පැවතිය ද වර්තමානය වන විට මීමුරේ යනු දැඩි ලෙස වාණිජකරණයට ලක් වූ ගැමි බව වියැකී යන ගම්මානයකි. නමුත් මේ ලියමන මීමුරේ ලකේගල පිටුපස පිහිටි එවැනිම කඳු ගැට දෙකක් පිළිබඳවය. සමස්තයක් ලෙස මීමුරේ ලකේගල මීරියගොල්ල කන්ද සහ නාරංගමුවේ ලකේගල නම් වූ ගල් තුන තරණය පිළිබඳවයි.   


දුම්බර වන පෙත යනු නැගෙනහිර සිට බටහිර දක්වා පිළිවෙළින් වෙලන්ගල කන්ද යහන්ගල කෙහෙල් පොක්දෝරුවේගල, ගැරඬිගල, දුම්බානාගල සේම බටහිර සිට උතුරට පිළිවෙළින් අලුත්ගල් කන්ද, අලියා වැටුණු ඇල, නකල්ස් කඳු වැටිය, රිලගල කන්ද, සෙල්වකන්ද, යකුන්ගේහෙල, ගොම්බානියා සහ කිරිගල් පොත්ත කන්ද සේම නැගෙනහිර සිට උතුරට පිළිවෙළින් තෙලඹුගල, උහුනුගල, ලකේගල, වමාරපුගල, ගිනිකෙළිය පනත සේම බටහිර සිට ඉහළින් නැගෙනහිරට සුදුගල, ලාහුමානාගල, රත්මැටිය, මානිගල ආදී දැවැන්ත කඳු රාශියකින් සමන්විත මධ්‍යම පළාතේ උතුරු බෑවුමේ පිහිටි ජල පෝෂක අඩවියක. මීට අමතරව ගැරඬිගල දිය ඇළි දාමය, බඹරගත් ඔය දිය ඇළි දාමය, හසලක ඔය දිය ඇලි දාමය, දූවිලි දිය ඇලි දාමය, හුළුගඟ දිය ඇළි දාමය ලෙස පනහකට අධික දිය ඇළි සහ දිය පහරවල් පිහිටි ඉසව්වකි.   


මේ සියල්ලටම වඩා නකල්ස්වල පරසිඳු වූ ගම්මානය වන මීමුරේ පිහිටි ලකේගල යනු සැවොම දැකීමට ප්‍රිය කරන කන්දකි. බැලූ බැල්මට ත්‍රිකෝණාකාර කන්දේ එක් පාදයකින් පමණක් ඉහළට නැගීමට සිදු වන නමුත් ලකේගල යනු තරණය කළ හැකි කන්දකි. මීමුරේට පෙනෙන ලකේගල පිටුපස එයටම යාවුණු තවත් කන්දක් ඇත. එය මීරියගොල්ල වන අතර එයටම යාවුණු අනෙක් කන්ද නම් කොමළෑවේ ගලීය. කොමලෑවේ ගල නාරංගමුව ගම්මානයට මුහුණලා ඇති බැවින් නාරංගමුව වැසියෝ එය හඳුන්වන්නේ නාරංගමුවේ ලකේගල ලෙසිනි. මෙම කඳු ත්‍රිත්වයම එකට යාවී ඇති බැවින් පොදුවේ ගල් තුන ලෙස ද හඳුන්වනු ලබයි. සොබාසිරි නඩය වන අප මෙම ගල් තුනම නකල්ස් හී සතර දිශාවෙන්ම දැක තිබේ. එනම් යහන්ගල සිට, වමාරපුගල සිට, අලුගල් කන්ද සිට සහ තුන් හිස්ගල සිටය. ඉන් වඩාත්ම සුන්දර දර්ශනය අපට හමු වූයේ තුන් හිස්ගල මුදුනේදීය. බොහෝ අය මීමුරේ ලකේගල එවැනිම තවත් කඳු යුගළයක් ඇති බව නොදන්නා අතර එම ගල් ත්‍රිත්වයම වෙනත් පසෙකින් දැක නොමැත. එම නිසාම අපි නාරංගමුව ලකේගල සහ මීරියගොල්ල කන්ද නාරංගමුවේ සිට එක් දිනකින් තරණය කිරීමට සැලසුම් කළෙමු.   

 

වමරපුගල දෙස බලමින් නඩය ගිමන් හරිමින්

මීමුරේ ලකේගල පිටුපස පෙනෙන අයුරු

 

 

නකල්ස් යනු මධ්‍යම පළාතට අයත් වනපියසක් වුවද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක දෙකේම පිහිටා ඇත. එබැවින් මීමුරේ ගම අයත් වනුයේ මහනුවර දිස්ත්‍රික්ක දෙකෙහි මායිම වන නමුත් එය අයත් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයටයි. ලකේගල තරණය කිරීම යනු අංශක 70 කට ආසන්න නැගීමක් නැගීමයි. මේ සඳහා කඹ ආධාර කර ගත යුතු වුවද කිසිවෙකුත් ස්ථිර වශයෙන් කඹ දමා මේවා සකසා නොමැත. එබැවින් ගමේ මඟ පෙන්වන්නෙකු සමග ගිය ද ඔවුන්ට කඹ දැමීමට කන්ද මුදුනට නැගීමට වනු ඇත. එබැවින් අපි ද අප සතුව තිබූ ආත්ම විශ්වාසය මත පදනම්ව වසර ගණනක අවදානම්වලට මුහුණ දුන් අත්දැකීම මත පදනම්ව නාරංගමුවේ ලකේගල සහ මීරියගොල්ල කඳු කඹ රහිතව තරණය කිරීමට සැරසුණෙමු.   


මාතලේ සිට රත්තොට පාරේ රිවස්ටන්, පිටවල පසුකොට ලග්ගල හරහා පල්ලේගමට සේන්දු වී නාරංගමුව මාර්ගයට හරහා රණමුරේ ගම්මානය පසු කොට අප නැවතුණේ නාරංගමුව පන්සල ඉදිරියෙනි. මෙම චාරිකාවට අපි සමාජ සත්කාරක වැඩසටහනක් ද ඇතුළත් කර තිබූ හෙයින් නාරංගමුව ප්‍රාථමික විදුහලට අවශ්‍ය පාසල් උපකරණ හා පොත් ඇතුළු ද්‍රව්‍ය පරිත්‍යාග කොට විදුහල්පතිතුමා මාර්ගයෙන් ප්‍රදේශයේ හොඳම මඟ පෙන්වන්නන් දෙදෙනාව ද කැටිව නාරංගමුව කුඹුරුයාය ඉහත්තාවේ පිහිටි ගුරු පාර දිගේ ගොස් වන ළැහැබට ඇතුළු වුණෙමු. මාතලේ දිස්ත්‍රික්කයට අයත් නාරංගමුව යනු මීමුරේ මෙන් සංචාරක ආකර්ෂණය ඇති පෝෂිත ගම්මානයක් නොවෙයි. ඉතාමත් වියළි කාලගුණයක් වසරේ වැඩි කාලයක් පවතින අතර සුළං ප්‍රවාහය ද මෙම ප්‍රදේශයේ ඉතාමත් අධිකය. මෙහි පිහිටි එකම විදුහලේ වහලය ද අප යන විටත් සුළඟට කැඩී තිබුණු බව දුටු අතර ගම්වැසියෝ ද ඉතා ළෙංගතු උදවිය වූහ.   


නාරංගමුවට ඉතාමත් සුන්දරව කොමලෑවේ ගල සහ මීරියගොල්ල දැක ගත හැකි අතර එම සුන්දර කඳු යුගලය මීමුරේ සිට ලකේගල බලනවාටත් වඩා සුන්දරව අපට පෙනුණි. බැලූ බැල්මට එම කඳු නැගීම දුෂ්කර බව පෙනෙන්නේ කන්දේ හැඩය සහ විශාලත්වය නිසාවෙනි. පසෙකින් කටු කිතුලේ කන්ද හෙවත් වමාරපුගල ලෙස හඳුන්වන කන්ද තිබූ අතර එම ප්‍රදේශය හරහා දූවිලි ඇලි දාමයටත් ගිනිකෙළිය පතනටත් යා හැකිය. නාරංගමුවේ සිට මීමුරේට අඩි පාරක් පවතින නමුත් එය බොහෝ විට ගම්වැසියන් පමණක් භාවිත කරන්නක් විය.   


කෙසේ හෝ අප අඩි පාර ඉවරව වනයට අවතීර්ණ වූ පසු මඟ පෙන්වන්නේ පෙරමුණ ගන්නේ ඔවුන්ට මෙම කැලයේ අස්සක් මුල්ලක් නෑරම පුරුදුව සිටි හෙයිනි.   


එම නිසාම අපගේ ගමන ඉක්මනින් සිදු වුණි. මුල් හරියේ දළ නැග්මක් තිබූ අතර තුරුලතා මැදින් ඉදිරියට ගමන් කරන අපට කිතුලට දඩයමට යන ගම්වැසියන්ගේ තොරතුරු හා ඔවුන් සැකසූ කුඩා වාඩි දැක ගැනීමට ලැබුණි. මෙසේ අඩ හෝරාවක් පමණ නැග්මක් සහිතව ගමන් කළ අප ඊළඟට පිවිසියේ සමතලා බිමකටය.   

 

අවදානම් සහිත කඳු තරණය

 

 

මෙම ප්‍රදේශය හඳුන්වන්නේ උයන්ගොමුව ලෙසය. අතීතයේ රාම රාවණා යුද්ධය තිබූ ලකේගල ප්‍රදේශයේ පිහිටි ගල් ගස් කඩා වැටුණේ මෙම ප්‍රදේශයට බවත් පසුව එම ගස් මෙම සමතලා බිම වසාගෙන නැග ගත් බවත් කියැවේ. උයන්ගොමුව යනු ඉතාමත් අලංකාර ප්‍රදේශයකි. වියළි කාලගුණය හේතුවෙන් කොළ වැටී ගස් මැළ වී තිබුණ ද වර්ෂාව සහිත කාලය මුළු උයන්ගොමුව බිමම ජලයෙන් පිරී ගිය විට කෙසේ තිබේ දැයි මට සිතුණේ එහි සුන්දරත්වය එලෙස දැකීමට මතු දිනක පැමිණීමේ අරමුණිනි. මන්දයත් උයන් ගොමුවේ ගස් පිහිටා තිබුණේ අතරින් පතරය. විශාල ගල් කුට්ටි ගල් පර්වත සහ ගුහා වැනි ප්‍රදේශ බොහෝමයක් එහි විය. තුරු පතර අතරින් බොහෝ ඈතක් වන තුරු දැක ගත හැකි විය. සමතලා බිමක ගමන් කරන්නට වූයෙන් කිසිදු වෙහෙසක් අපට නොදැනුණි.   


කෙසේ හෝ අඩහෝරාවකටත් වඩා උයන්ගොමුවේ ගත කළේ කුඩා සිඳී ගෙන යන දිය කඩිති දිගේ එහෙ මෙහෙ ඇවිදිමින් තවදුරටත් විපරම් කරමිනි. මෙසේ ඉදිරියට යන විට දකුණු පස ඈතින් කපුඅටුව පර්වතය ඇති බව දුටු අතර එහි ඇති ගුහාව වෙත අප නැවත එන ගමනේදී යාමට තීරණය කළෙමු. උයන්ගොමුව පසු කළ අපි අනෙක් පස කඳු ගැටයට පිවිස එය දිගේ වනය හරහා නැගීමට පටන් ගත්තෙමු. මෙම ප්‍රදේශවලට ගම්මුන් පැමිණෙන බවට සාධක අපට දැක ගැනීමට ලැබුණු අතර කිතුලට යනු පිණිස ගමන් ගත් ගම්වැසියෙකු ද අපට හමු වුණි.   


හෝරාවක පමණ ගමනකින් පසු අපි විවෘත ප්‍රදේශයකට ළඟා වුණෙමු. එය ලඳු කැලයක් වූ අතර දැඩි වියළි පරිසරයක් අපට දැක ගැනීමට ලැබුණි. බොහෝ කාලයකින් වැහි බිඳක් නොලත් විවෘත ප්‍රදේශය හරහා ඉදිරියට ගිය අප නැවතුණේ කොමළපතන මතය. මෙතැනට අප නාරංගමුවේ දී දුටු දැවැන්ත පර්වත යුගලය ඉතා ආසන්නයෙන් දැක ගැනීමට ලැබුණේ තවත් සුළු මොහොතකින් ඒවා තීරණය කිරීමට අප සැරසිය යුතු හෙයිනි. කොමළ පතනට වමාරපුගල, උඩ වන්නිමාන ගල, තුන්හිස්ගල අලුගල් කන්ද කිණිහිර ගල දැක ගැනීමට ලැබුණු අතර මොරගහකන්ද ජලාශය දක්වා නාරංගමුවට එහායින් කෙත්වතු සරුසාර වැව් සමග දැක ගැනීමට ලැබුණි. මෙම ප්‍රදේශයට එපිටින් රැහැස්ස නම් ඉසව්ව පිහිටා ඇති අතර එය රාමා විදි හී සර කොමලෑවේ ගලේ වැදී ඉන් කැඩී ගිය ගල් කැබලි ගල් පර්වත පිහිටි ප්‍රදේශය ලෙස හඳුන්වයි. මන්ද සත්‍ය වශයෙන්ම රැහැස්ස නම් ප්‍රදේශයේ ඇත්තේ විශාල ගල් කුට්ටි, ගල් කැබලි සහ ඉන් නිර්මාණය වූ ගුහා කිහිපයක් වූ හෙයිනි. කෙසේ හෝ දැන් අප සූදානම් වූයේ ගමනේ දුෂ්කරතම සහ අන්තරාදායකම කොටස තරණය කිරීමටයි.   


කොමළ පතන අවසානයේ කොමලෑවේ ගල දකුණු වැටිය පටන් ගන්නා අතර එම වැටිය තනි කළු ගල් පර්වතයක් විය. එය අංශක 70 ක පමණ නැග්ගම් වූ අතර මීටර් 150 ක් පමණ ඉහළට නැගීමට අපට ඇති බව පෙනුණි. කන්දේ කෙළින් සිටගෙන යා නොහැක. දෑත් සහ දෙපා භාවිත කරමින් ගලට බරව ගමන් කිරීම සුදුසුම ක්‍රමය බව අපට වැටහුණි. මෙලෙස කඳු කිසිසේත්ම උඩට නැගිය නොහැකිය. එම නිසාම අපේ ගලේ ගැටි සහිත ස්ථාන සහ දළ වශයෙන් ගමන සාදා ගත්තෙමු. මීට අමතරව තවත් අනතුරක් වූයේ අධික සුළං ප්‍රවාහයයි. මෙම කාලයේ සුළඟේ වේගය ඉතා වැඩි බව අපට නාරංගමුවේ වැසියන් පවා දැනුම් දුන්නේ ගල තරණයේ දී සුළඟට විසිව පහළට වැටීමට ඉඩ ඇති නිසාවෙනි.   

 

අවට කඳු 

නාරංගමුවේ ලකේගල මුදුනේ සිට

නාරංගමුවේ ලකේගල, මීරියගොල්ල සහ මීමුරේ ලකේගල

 


අපි සියල්ලෝම කිසිදු ඉක්මන් බවකින් තොරව ප්‍රවේශමෙන් පියවර තබන්නට වීමු. මුළුමනින්ම පාහේ ගලට බරව දෑත ද තබා ගල් ගැට්ටවල් අල්ලාගෙන අපි ඉදිරියට නැග්ගෙමු. විටෙක තද සුළඟ එන විට ගලට ​ෙහ්ත්තු වී සිට අතර අපගේ කර තිබූ බෑග සියල්ල කඳු පාමුල තබා පැමිණියේ ඒවා ගමනට බාධා විය හැකි බැවිණි. මීටර් 50ක් ගියවිට කුඩා ගල් දෙබොක්කාවක් හමු වූ අතර ඒ ඔස්සේ තවත් දුර නැගත්තේ එය තරමක් පහසු වූ නිසාවෙනි. කෙසේ නමුත් සුළං ප්‍රවාහය මැද අපි සෙමින් කන්ද නැග්ගත් පසු ලඹුලැස්ස පතනට ළඟා වූයෙමු. ලඹුලැස්ස පතන යනු කොමලෑවේ ගල සහ මීරියගොල්ල අතර පිහිටි පතනටයි. එය ගල් දෙකට අතර මැද පිහිටි මාන පඳුරු බහුල පතනකි. ඒ දෙපසම දරුණු හෙල වූ අතර අපි ප්‍රථමයෙන් මාන පඳුරු යාය පීරගෙන කොමලෑවේ ගලට යෑමට පටන් ගත්තෙමු. කොමලෑවේ ගල නොහොත් නාරංගමුව ලකේගල මුදුන ඉතා පටු වැඩියෙන් ඉඩ කඩක් රහිත ඉසව්වකි. වමාරපු ගලට මුහුණ තිබුණු එම ගලට අප පැමිණ ඉසව්ව සහ නාරංගමුව සේම අංශක 360 ක නකල්ස් වන පෙතේ සතර දිග් භාගයම දැක ගැනීමට ලැබුණි.   


දුඹුරු පැහැ ගැන් වූ මාන පඳුරු හේතුවෙන් වේළී ගිය ගලේ ගල් කැබලි පෑදී තිබුණි. එම නිසාම ඉහළට නැගීමේදී සහ පහළට බැසීමේදී අපි වඩාත් සුපරික්ෂාකාරී වුණෙමු. කොමළෑවේ ගල බැස ගත් අපි නැවතත් ලඹුලැස්සට පැමිණියෙමු. මෙතැන සිට අනෙක් පස පිහිටි මීරියගොල්ල ගලට නැගීමට පෙර පරිදිම මාන පඳුරු යාය පීරමින් ඉහළට නැග ගත යුතුය. එය කොමලෑවේ ගල නැග්ගාට වඩා තරමක් අපහසු වූයේ කටු වැල් කිහිපයක් සහ ගල් කැබලි පිරුණු මාන පඳුරු හේතුවෙනි. ලිස්සීමට අවධානමක් තිබූ බැවින් අපි වඩාත් ප්‍රවේශමෙන් ගමන් කරමින් ද එසේ අනෙක් ගමනාන්තය වූ මීරියගොල්ල කන්දට පැමිණියෙමු.   


මීරියගොල්ල යනු මීමුරේ ලකේගල සහ නාරංගමුවේ ලකේගල මැද පිහිටි කන්දයි. මෙම කන්ද වඩාත් සුන්දර වනුයේ අංශක 360 ක වපසරිය පුරාවටම කඳු පමණක් දැකිය හැකි හෙයිනි. වාමාරපුගල, යහන්ගල, උසුනුගල, තෙළමුගල, කෙහෙල් පත් දෝරාව, දුම්බානගල අලුගල්කන්ද නකල්ස් තුන්සේගල, සුදු ගල මානිගල ඇතුළු මීමුරේ ගල මුදුන උඩ ගල් දො​බොක්ක නාරංගමුව කරඹකැටිය දන්දෙහි කුඹුර ආදී ගම්මාන රාශියක් සහ නකල්ස් වන පෙතින් එහාට වූ පල්ලේගමු මොරගහකන්ද හෙට්ටිපොළ උඩවෙල ගිරාඳුරුකෝට්ටේ මහියංගණය හා දෙහිඅත්තකණ්ඩිය දක්වා දැවැන්ත වපසරියක් දන්නට ලැබුණි.   


එසේම වඩාත් සුන්දර දසුන නම් මීමුරේ ලකේගලෙහි පිටුපස දැකීමයි. අප සිටි ස්ථානයට මිටර 100 ක් පමණ හිස් අවකාශයේ දුරින් පිහිටියේ මීමුරේ ලකේගලයි. එහි ත්‍රිකෝණාකාර පිහිටීමත් එහි පිටුපස පිහිටීමත් අපට දැක ගැනීමට ලැබුණි. මිරියගොල්ල සිට පහළට දැවැන්ත හෙලක් වූ අතර එය පසුව මීමුරේ ලකේගල පිටුපස පිහිටි හෙලට යාවේ. නමුත් මීමුරේ ලකේගල පිටුපසින් අංශක 90 ක හෙල සහ ගල් බිත්තිය වූ නිසාවෙන් එය නැගිට කළ නොහැක්කක් විය. මීරියගොල්ල මුදුනේ අප සිටි ස්ථානයට ද ඉතා සුළු පටු ස්ථානයකි. එහි දෙපසින්ම මීටර් 200 කට වැඩි හෙළක් විය. මුළු කඳු මුදුනට වේළී ගිය මාන පඳුරුවලින් පිරී තිබුණි.   


හෝරා දෙකක් පමණ මෙම කඳු යුගලයේ සැරිසරන අප ආපසු බසින ගමනේ දී වඩාත් ආරක්ෂ​ාකාරී වූයේ අපට දැවැන්ත පොළොවට මුහුණලා බසින්නට වූ හෙයිනි. ගලේ හිඳගෙන දණ මගින් තෙරපමින් අප ගල දිගේ බැස ගත්තෙමු. සුළං ප්‍රවාහය අතිශය දරුණු වූ අතර ගල් ගැටි අල්ලාගෙන නොසිටින්නට එය අපට පහළට විසි කර දමන්නට තරම් විය. කෙසේ හෝ අපි සියල්ලෝම පුංචි සීරිමකින් වත් තොරව කොමළ පනතට බැස ගත් පසු නැවත නාංගමුව බලා යන ගමන ආරම්භ කළෙමු. මෙහිදී මඟ පෙන්වන්නන් අප ඉතාමත් පුළුල් නමුත් සිඳී ගිය දිය සිරාවක් සහිත කළුගල් දෙබොක්කාවක් හරහා සෘජුවම උයන්ගොමුවට ගෙන යන ලදී. එය නැගීම අපහසු නිසාවෙන් අප තරමක් දුර පාරකින් පැමිණිය ද කඳු බැසීමේදී එය ඉතාමත් පහසු මගක් විය. උයන්ගොමුවට පැමිණි අප කටු අටුව පර්වතය පාමුලට ගොස් මීටර් 15 ක් පමණ උසින් පිහිටි කටු අටුවේ ගුවාහට ගල දිගේ නැගගත්තෙමු. නැග ගැනීමට පහසු වුවත් එය බැසීමට අප කඹයක් භාවිත කළේ සෙස්සන්ගේ ආරක්ෂාව ගැන සිතමිනි. කෙසේ හෝ රාත්‍රී 7 වන විට අපි සියල්ලෝම අඳුරේම නාරංගමුවට පැමිණියේ අප එනතුරු මඟ බලමින් සිටි ගම්වැසියන්ට අස්වැසිල්ලක් වෙමිනි. කෙසේ හෝ දිනකදී ඉතාමත් අවදානම් කාරණයන් කිහිපයක් මගින් ක්‍රියාදාමයන් සාර්ථකව අප විසින් අවසන් කරන ලදී.   

 

 


සංචාරක සටහන හා ඡායාරූපය   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු