ලක්දිව සිහසුනට නැගුණු වෛද්‍යවරයා


ලාංකික ශල්‍ය විද්‍යා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයා වූ බුද්ධදාස රජු ගැන වංශකතා, ශිලා, ලිපි, ජන ප්‍රවාදවල එන තොරතුරු කෙටියෙන් මේ ලිපියේ එයි. බුද්ධදාස රජු වසභ රජුගෙන් (67-111) ඇරඹුණු පළමු ලම්බකර්ණ රාජවංශයට අයිතිවෙයි. මින්නේරිය ඇතුළු වැව් 16 බැඳි මහසෙන් රජුට පසු ඔහුගේ පුතා වූ කිත්සිරිමෙවන් (301-328) රජවිය. දළද‌ා හිමි ලංකාවට වැඩම වූයේ කිත්සිරිමෙවන් රජු කාලයේදීය. කිත්සිරිමෙවන්ට පසු ඔහු පුත් දෙවැනි ජෙට්ඨතිස්ස රජු (328-337) රජකමට පත්විය. අපේ මාතෘකාවට අදාළ බුද්ධදාස රජු (337-365) දෙවැනි ජෙට්ඨතිස්ස රජුගේ පුතාය.  
වංශකතාවල මේ රජු බුජස් - බුද්ධදාස යන නම්වලින් හඳුන්වයි. ශිලා ලිපිවල බුද්ධදාස රජු ‘බුද්ධදාස මහසෙන්’ යන විරුදාවලියෙන් දැක්වෙයි. ඒ ඔහුගේ මුත්තනු මහසෙන් රජුගේ නම ඔහු ඈදාගැනීමනි. චූලවංශයේ 37 පරිඡේදයේ 105-178 ගාථා බුද්ධදාස රජු ගැන විස්තර වෙයි. ඉන් ගාථා 111-172 ගාථා 61 රජුගේ වෛද්‍ය හපන්කම් ගැන කියයි.  


චූලවංශයට අමතරව පූජාවලිය, පැරකුම්බා සිරිත රජරත්නාකරය, රාජාවලිය යන වංශකතාවල හා සාහිත්‍ය මූලාශ්‍ර බුද්ධදාස රජු ගැන කෙටි තොරතුරු කියයි. ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ තුන්වැනි කාණ්ඩයේ පළ වී ඇති රුවන්වැලිසෑ ශිලා ලිපිය හා වේරගොඩගල ශිලා ලිපි බුද්ධදාස රජුගේය.  


චූලවංශය කියන බුද්ධදාස රජුගේ වෙද හා ශල්‍ය තොරතුරු  


රජු ගිලනුන් වෙදකමින් සුවපත් කළේය.  


01. දිනක් රජු මගුල් ඇතා පිට නැග තිසාවැව දිය ක්‍රීඩාවට යද්දී ඒ මාර්ගය අද්දර තුඹපත් අසල දැවැන්ත නාගරාජයෙක් වේදනාකාරීව සිටිනු දකියි. තොප පරීක්‍ෂාකාර වෙදකම් කළ හැක. එහෙත් විෂකුරු නිසා ඒ කළ නොහැක රජු කියයි. රජුගේ බස් ඇසුණු නාගයා පෙනය තුඹසක් ඇතුළට දමාගෙන තුවාලය සහිත පෙදෙස එළියට තබාගයි. රජු ඇතු පිටින් බැස දරුණු තුවාලය පලා බේත් බැඳ වෙළයි. නැවත දිනක රජු දිය නෑමට යද්දී සුවපත්ව සිටි නාගයා තුඹස අද්දරදී දකියි. රජු ඇතා පිටින් බැස ගොස් නාගයා පරීක්ෂා කරයි. දැන් ඌ සුවපත් වී ඇත. රජු ගැන පැහැදුණු නාගරාජ තමා ළඟ තිබූ නාගමාණික්‍යය රජුට පුදයි.   


​ගෛගර්ගේ චූලවංශ ඉංග්‍රීසි පරිවර්තනයේ ඒ කොටස මෙසේ දක්වයි. ‘Particular snakes have a jewel in their head’ ගෛගර් චූලවංශ ඉංග්‍රීසි පරිවර්තනය පළමු කාණ්ඩයේ 11 පිටුවේ අංක 02 අටෝ ලිපිය ලෙස මේ සටහන එයි. මේ නාග මාණික්‍යය ගැන එන විරල සඳහනක් වෙයි. බුද්ධදාස රජු මේ ඉතා දුර්ලභ වටිනා නාග මාණික්‍යය අභයගිරියේ සලමෙවන් බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රාවලට පුදයි. අනුරාධපුර තිසාවැව යන පාරේ නාගරාජයා විසූ තුඹුස අදත් වන්දනාකරුවන් යන එන ස්ථානයක් වෙයි. මේ වරින්වර අදත් ලියලන තුඹසකි.   


02. චූලවංශය පරිදි පිණ්ඩපාත දානයේදී භික්‍ෂුවකට කිරි පූජා කෙරෙයි. කිරි නරක් වී පණුවන් ගසා හිමිනම ගිලන්වෙයි. රජු හිමිනම පරීක්‍ෂා කර අශ්වයකුගේ නහරයක් විද හිමිනමට අශ්ව ලේ බීමට දෙයි. බීමට දුන්නේ අශ්ව ලේ බව රජු කියයි. හිමිනමට වමනය යයි. එකම ප්‍රතිකාරයෙන් රජු රෝගී හිමිනම හා අශ්වයා යන දෙදෙනාම සුවපත් කළේය.  


03. මිනිහෙක් දිය බීමේදී ජලය සමඟ මිශ්‍රව කුඩා දියබරණ බිජු කුස තුළට යයි. මිනිස් කුස තුළ දියබරණ බිජු මෝරා පුපුරා පැටව් වැඩෙයි. මිනිසා වේදනාවෙන් දඟලයි. රජු මිනිසාට මුව අයා නිදාගැනීමට සලස්වයි. රැහැනක මස් වැදැල්ලක් බැඳ නින්දේ උන් මිනිසාගේ මුවට ළංකරයි. මස් වැදැල්ල සුවඳට දියබරණ පැටව් කුස සිට එළියට ඇදී එති. මිනිසා සුවපත් වෙයි.  


04. අනුරාධපුර තිසා වැව නුදුරු හෙල්ලෝලිගම විසූ චණ්ඩාල ලදක් හත්වරක් මුඩිගර්භ හෙවත් දරු ගැබ ගබ්සා විය. රජු චණ්ඩාල ලඳට ප්‍රතිකාර කර සුවපත් කළේය.  


05. මිනිසෙක් දිය පානය කරනවිට ජලය සමඟ තිබූ මැඩි බිජු ගිලෙයි. මැඩි පැටව් හිස්කබල තුළ වැඩෙති. රජු ඔහුගේ හිස් කබල සැත් පිහියෙන් පලා හිස් කබල තුළ වැඩී සිටි මැඩි පැටව් ඉවතලයි. 

 
06. රජු ගමන් බිමන් යන විටත් සැත් පිහිය රැගෙන යාම සිරිත විය. තිසා වැවට දිය නෑමට යනවිට නාගයා සුවපත් කළේ එවැනි විටක ගෙන යන සැත් පිහිය, Surgical knife යනුවෙන් චූලවංශ ඉංග්‍රීසි පරිවර්තනයේ 14 පිටුවේ 13 අධෝ ලිපියේදී ගෛගර් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.  


07. චූලවංශය රජු කළ මනෝ ප්‍රතිකාරයන් කියයි. රජු දුටු විට රළු පරුෂ වදනින් රජුට බැන වදින කුෂ්ට රෝගයකු විය. රජු රහසේ තවත් මිනිසකු තෝරාගෙන ඔහුද රජු හා වෛරියකු බව අඟවා කුෂ්ට රෝගියා වෙත යවයි. දෙදෙනා තද මිත්‍රයෝ වූහ. පසුව යැවූ මිනිහා මගින් රජු කුෂ්ට රෝගියාට ප්‍රතිකාර කරවයි. කුෂ්ට රෝගියා ප්‍රතිකාරවලින් හොඳින් සුවවෙයි. ඉන්පසු දෙවැන්නා සත්‍යය හෙළි කරයි. කුෂ්ට රෝගියාගේ වෛරය තුරන් වී රජු ගැන දැඩි භක්තියක් මතුවෙයි. රජු මියගිය පුවත අසා කුෂ්ට රෝගයෙන් පෙළී සුවපත් වූ මිනිසා ළය පැලී මියයයි.  


රජුගේ වෙනත් වෛද්‍ය කටයුතු  


චූලවංශය රජුගේ වෙනත් වෛද්‍ය කටයුතු කීපයක් දක්වයි. රජු ගමන් පාසා වෙදහල් කරවා වෙදුන් පත් කළේය. ගම් දහයකට තැනැත්තකු, වෙදකු බැගින් පත් කළේය. ඒ වෙදුන් නඩත්තුවට ගමේ කුඹුරුවල ආදායමින් විස්සෙන් එකක් පැවරීය.  


යුද හමුදාවට ඇතුන් හා අසුන්ට වෛද්‍යවරුන් පත් කළේය. මහමග ගිමන් ශාලා කරවීම, පිලුන්ට හා අන්ධයින්ට වැටුප් දුන්නේය.  


රාජරත්නාකරය හා රාජාවලිය අනුව රජු ගම් දහයකට වෙදකු හා බණ කියන පණ්ඩිතයකු පත් කළේය. රාජාවලිය ඉංග්‍රීසියට නැගූ මුදලිඳු ගුණසේකර ඒ පාඨය මෙසේ ඉංග්‍රීසියට නගා ඇත. ‘King Bujas appointed a leech an a learned preacher in each village’. පසු කල ලියවුණු සුළු රාජාවලියේ ද මේ පුවත එයි.   


බුද්ධදාස රජු සර්පයන්ට ප්‍රතිකාර කළේ නිල ඇල්ලීමෙනි. අදත් ගවයින්ට හණ ගැසීම, ලාඩම් ගැසීම හා ඇතුන්ට ප්‍රතිකාර කිරීමේදී නිල අල්ලයි.  
දොලුකන්ද, නිල්ගල ආදී රට පුරා විසිරී ඇති ඖෂධ උද්‍යාන බුද්ධදාස රජු ඇරඹූ බව ජනප්‍රවාදයයි.  


බුද්ධදාස රජු සංස්කෘත සාරාර්ථ සංග්‍රහ වෛද්‍ය ග්‍රන්ථය ලිවීම  


චූලවංශය 37 : 146 - 147 ගාථා අනුව බුද්ධදාස රජු සංස්කෘත භාෂාවෙන් සරාර්ථ සංග්‍රහය වෛද්‍ය ග්‍රන්ථය ලියා ඇත. සාරාර්ථ සංග්‍රහය පාලි පද්‍ය දෙකකින් ඇරඹෙයි. අධ්‍යාය 48 ඇත. වෛද්‍ය පිළියම් ඖෂධ ‘ඖෂධ උපකරණ එහි විස්තර වෙයි’. සුග්ධරා හා සාර්දුල වික්‍රිඩිත වෘත්තවලින් ශ්ලෝක රචිතයි.  
සාරාර්ථ්‍ය සංග්‍රහය ග්‍රන්ථය ගැන විවිධ අදහස් ඇත. චූලවංශය ඉංග්‍රීසියට නැගූ ගෛගර් කියනුයේ ඒ වෛද්‍ය ක්‍රම හා වෛද්‍ය ග්‍රන්ථවල සාරාංශයක් බවයි. (He made summary of essential contents of all medical books) ගෛගර් ඉංග්‍රීසි පරිවර්තනය 13 පිටුව.  


මහාචාර්ය පරණවිතාන 1959 ඔක්තෝබර් - දෙසැම්බර් සංස්කෘති සඟරාව 7/4 ආයු​ර්වේද කලාපයේදී කියන පරිදි සාරාර්ථ සංග්‍රහය අභන්තර ලක්‍ෂණ අනුව එය පස්වැනි සියවසට වඩා පසුකාලීනව ලියවී ඇත.  


පේරාදෙණිය විශ්වවිද්‍යාලය පළකළ ලංකා ඉතිහාසය ඉංග්‍රීසි ග්‍රන්ථයේදී ද සාරාර්ථ සංග්‍රහය බුද්ධදාස රජුට වඩා පසුකාලීනව ලියා ඇති බව පරණවිතාන මහතා පෙන්වා දෙයි. (ලංකා විශ්ව විද්‍යාල පළමු කාණ්ඩය පිටුව 280)  


බුද්ධදාස රජු - වෙදකම් හා අදහස්   


කොඩිර්න්ටන් ලංකා ඉතිහාසය අනුව බුද්ධදාස රජු වෙදුන් පත්කිරීමට කළ ගම් දහයේ බෙදීම අදත් පත්තු > දහය යන අර්ථයෙන් අදත් ප්‍රදේශ හැඳීන්වීමේදී එයි. (උදාහරණ - හාරසියපත්තුව) පත්තු යන දෙමළ වදනේ අර්ථය දහයයි. රජුගේ වෙදකම් පුදුම උපදවයි.  


ඉහත සඳහන් කළ සංස්කෘති සඟරාව 7/4 ආයු​ර්වේද කලාපයේදී මහාචාර්ය පරණවිතාන පෙන්වාදෙන පරිදි රජුගේ සමහර ප්‍රතිකාර විශ්වාස කිරීම පවා අසීරුය. (We need hot take these stories as historical facts) චූලවංශයේ රජු ගැන විස්තර සියල්ල සත්‍ය ලෙස පිළිගැනීම අවශ්‍ය නැත. දක්‍ෂ වෛද්‍යවරයකු නිසා ඔහු වටා ජනප්‍රවාද ලියලා ඇත. බුදුරජු කල සිටි ජීවක වටාද මෙබදු කතා පැතිරී ඇත.   


මහාචාර්ය පරණවිතාන 1969 ඉංග්‍රීසි බසින් ලියූ ‘සිංහලයෝ’ ග්‍රන්ථය අනුව රජු හපන් වෙදෙකි (පිටුව 12)  


චූලවංශයේ එන රජුගේ ආගමික කටයුතු  


* මහා විහාර සීමාව තුළ මොනර පා පිරිවෙන කරවීම.  
* රජු කල මහාධම්මකථික හිමි සූත්‍ර පිටකය සිංහලයට නැගීම  
* ධර්මකථික භික්‍ෂූන්ට විහාර පරිස්කාර වැව් හා දාසයන් පිදීම  
* පිළිම ගෙවල් හා දන්සැල් කරවීම  
* භික්‍ෂූන් 700කට දිනපතා රජ මැදුරේ දන් පිළිගැන්වීම.  


රජුගේ දූදරුවෝ  


* චූලංවශය අනුව රජුට පුතුන් අසූවක් සිටි අතර ඒ පුතුන්ට අසූ මහ ශ්‍රාවකයින්ගේ නම් දුන් බව කියයි. (චූල 37:176-177 ගාථා)  
* කෝට්ටේ කල ලියවුණු පැරකුම්බා සිරිත ප්‍රශස්ති කාව්‍යයේ 20 කවියේ ඒ බව මෙසේ කියයි.  


වුසු නාලොව පවා නයිදුන් නිරෝ කර ලැබ මිණිමනා   
වුසු කරුණා පුරණ ගණයෙන් සතන් හට මව්පිය මෙනා  
අසූ මහ සව් නම් තබා කුමරුන් අසූවක් ලැබ ගෙනා  
අසූවක් අවුරුදු රජ කළේ බුජස් රජකර ලෝ වැඩ තනා  
අන්තඃපුර ළදුන්ට රජුට දාව මේ පුතුන් 80 ලැබුණා විය හැක.  


රජුගේ රාජ්‍ය කාලය  


චූලවංශය රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 29 බව කියයි. ඒ ක්‍රි.ව. 337-365 අතරයි. රාජාවලිය ද අවුරුදු 29 සනාථ කරයි. රජු බුදුබව පතා එකුත් තිස් වසරක් (අවුරුදු 29) රජ කළ බව පූජාවලිය 33 පරිච්ඡේදය එයි. මේ අනුව බුද්ධදාස අවුරුදු 80 රජකම ලබා කියන පැරකුම්බා සිරිත කෘතියේ තොරතුරු වැරදිය.  
බුද්ධදාස රජු ඇවෑමෙන් ඔහුගේ පුත් උපතිස්ස රජවිය (ක්‍රි.ව. 365-401).   

 

වත්​තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්.කේ. ජයවර්ධන