ලංකාවේ සාම වෑයමට නෝර්වේ මැදිහත් වූ ඇත්ත හේතුව ?


අඳුරු යුගයක  

 නොලියවුණු කතාව

 

ශ්‍රී ලංකාවේ සාම ක‍්‍රියාවලිය සඳහා නෝර්වේජියානුවන්ගේ මැදිහත්වීම පිළිබඳව අදටත් මෙරට ජනතාව අතර ඇත්තේ යහපත් ප‍්‍රතිචාරයක් නොවේ.   


නෝර්වේජියානුවන්ගේ පැමිණීම එල්ටීටීඊ සංවිධානය ගලවා ගැනීම සඳහා කළ වෑයමක් බවත් එල්ටීටීය දුර්වල වූ අවස්ථාවල සටන් විරාම බිහිකර සාම සාකච්ඡා පවත්වා එල්ටීටීඊයට ශක්තිමත් වීම සඳහා අවස්ථාව ලබාදුන් බවත් ඔවුහු කියති. එහෙත් එය එසේම සිදුවූ බවක් අද වෙනවිටත් අනාවරණය වී නැත. එහෙත් නෝර්වේ මැදිහත් වී මෙරට ඇතිකළ සාම ක‍්‍රියාදාමය යටතේ එල්ටීටීඊ සංවිධානය ගුහාවෙන් එළියට ගෙන විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවට අවස්ථාව ලැබුණු බව අමතක කළ නොහැක. ඒ අනුව නෝර්වේජියානුවන් එල්ටීටීඊ විනාශ කිරීමේ දිගුදුර මෙහෙයුමක් වූ ජාත්‍යන්තර ව්‍යාපෘතියක භූමිකාවක් ඉටුකළ බවට අද වන විට සාධක ලැබී තිබේ. 
  
නෝර්වේජියානුවන් ලංකාවේ සාම ක‍්‍රියාදාමයට පැමිණියේ ඇයි? යුරෝපයේ එක් කෙලවරක සිටි ඔවුන් ශ්‍රී ලංකාව නමැති දකුණු ආසියාවේ රටක ත‍්‍රස්තවාදය මැඩ පැවැත්වීමේලා සාම මැදිහත්කරුවකු ලෙස එකතු වූයේ වෙනත් යම්කිසි ඵල ප‍්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්ද?   


ඇතැම් දේශපාලකයන්ට අනුව ඔවුන් පැමිණියේ අපගේ උතුරු මුහුදේ ඇති ඛනිජ හා තෙල් සම්පත ලබා ගැනීමේ අදහසිනි. තවත් සමහරුන්ට අනුව ඔවුන් පැමිණියේ යුරෝපයේ කුඩා රටක් වන ඔවුන් ජාත්‍යන්තරයේ භූමිකාවක් රඟපා බලවත් රටක් බව ලෝකයට පෙන්වීමටය.   


තවත් මතකයක් වෙන්නේ නෝර්වේ දේශයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අදහසින් බවයි.   


මෙයින් ඇත්ත හේතුව කුමක්ද?   


අපි ඒ පිළිබඳ පසුබිම් කතාව විමසා බලමු.   


1975 පැවැති එක්සත් ජාතීන්ගේ තෙවැනි සාගර නීති සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ වටිනාකම ලෝකයට වඩාත් තදින් පෙනී ගියේය. එම සමුළුවේදී ශ‍්‍රී ලංකාවට හිමි මහාද්වීපික තටකය පිළිබඳ තර්ක විතර්ක නැගී ආවේය. වර්ෂ මිලියන ගණනක් තිස්සේ මහා වාලුකා නදියද සෙසු සියලු ගංගාද භූමියේ සාරය සෝදාගෙන රොන් මඩ තට්ටු මහා සමුද්‍රයට ගෙන ගියේය. වසර ලක්‍ෂ ගණනක් තුළ සිදුවූයේ මේ මහා රොන්මඩ තට්ටුව සාගරයේ ඈතින් ඈතට තල්ලු වී යාමයි. ඒ වන විට නීති සකසා තිබුණේ විධිමත් ගවේෂණයකින් තොරවය. ශ‍්‍රී ලංකාවේ උරුමය හිමි රොන්මඩ තට්ටුවේ කොටසක් පමණක් අපට හිමිවෙන සේ නීති සකසා තිබිණි. එහෙත් කෝටි සංඛ්‍යාත වටිනාකමකින් යුත් රොන්මඩ තට්ටුව තිබුණේ එතැනින් තවත් දුරටය.   


ලංකාව වෙනුවෙන් සහභාගි වූ නියෝජිත කණ්ඩායම තම රටට හිමිවිය යුතු මහාද්වීපික තටකයේ මායිම් පෙන්වා දී විධිමත් ගවේෂණයකින් පසු සීමාව ලකුණු කර දෙන ලෙස ඉල්ලා සිටියහ. සමුළුව එයට එකඟ වූ අතර සීමා මායිම් යළි සැකසීමට කාලය ද ලබා දුන්නේය. ඉන්දියාව තමන්ගේ ගෝදාවරී හා කාවේරි නදී මේ රොන්මඩ තට්ටුව තැන්පත් කිරීමට හවුල් වූ බව කීවද ජාත්‍යන්තර සමුළුව ශ‍්‍රී ලංකා ඉල්ලීම පිළිගැනීමට තීරණය කළේය. ලංකාවට දකුණින් කිසිම රටක් පිහිටා නොතිබීම ඉන්දියාවේ ඉල්ලීම ඉවත දැමීමට හේතු විය.   


ලංකාවට තම රට මෙන් විසි පස් ගුණයක් විශාල රොන්මඩ පිරුණු මුහුදක් හිමිවන බව එම සමුළුවට එදා සහභාගි වී සිටි විදේශීය බලවතුන්ට පෙනී ගියේය. මෙම රොන්මඩ ලංකා වෙරළේ සිට කිලෝමීටර් 3500ක් තරම් දුරට තැන්පත්ව ඇති අතර එය ගැඹුරු කිලෝමීටර් 22ක් පමණ වේ යැයි සැලකේ. මෙම රොන්මඩ තට්ටුව ඛනිජ සම්පත් ආකරයකි. මිල කළ නොහැකි ධන නිධානයකි.   
1973 වන විට මුහුදේ ඇති සම්පත්වල වටිනාකම සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීම අසීරු වුවද ලෝක බලවතුන් එසේ සිතුවේ නැත. ඔවුන් අත්පත් කර ගෙන තිබූ තෙල් බිම් ද ස්වාභාවික ගෑස් බිම් ද අවසන් වෙමින් තිබූ අතර අලුත් තෙල් බිම් සොයා යා යුතු විය. ඉන්දීය සාගරයේ ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයට නෝර්වේජියානු ව්‍යාපාරිකයන්ගේ ඇස යොමුවෙමින් පැවතුණි.   


මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් නිධි ඇති බවට වන කැණීම් සඳහා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අතගසා ඇත්තේ මීට වසර 40 එපිටය. වරින් වර යට යමින් මතුවෙමින් පැමිණි ඒ කාර්යය, යළිත් සමීක්ෂණ තලයට පැමිණියේද දෙදහ දශකයේදීය. නෝර්වේ රාජ්‍යයේ සමාගමක් විසින් කරන ලද එම මූලික වටයේ කැණීම් සාර්ථකත්වය මත. යළිත් දෙවැනි මට්ටමේ සමීක්ෂණයක් කළ අතර, ඒ අනුව ස්ථීර ලෙසම මන්නාරම් ද්‍රෝණියේ ගෑස් හා තෙල් ඇති බව අනාවරණය කෙරිණ. ශ‍්‍රී ලංකාවේ ගෑස් හා, ඛනිජ තෙල් කැණීම් කටයුතු විදේශීය සමාගම්වලට විකුණා ඇති අතර ඉන් එක් කොටසක් ඉන්දියන්, කෙයාන්ස් සමාගම සතුව පවතී. ඒ අනුව ඔවුන් මන්නාරම් ද්‍රෝණියේ, මීටර් 1300 වන මුහුදු ගැඹුරට යටින් වූ මුහුදු පත්ලේ මිහිවිදුම් කටයුතු කොට ඇත්තේ ත්‍රිමාණ කම්පන විශ්ලේෂණයක් ද සිදු කිරීමෙන් පසුවය. එම කැණීම් මගින් මේ වන විට තහවුරු වී ඇත්තේ තෙල්වලට වඩා වැඩි ප‍්‍රතිශතයක් ගෑස් තිබිය හැකි බවයි.   


මන්නාරම් මුහුද ආශ්‍රිත තෙල් සහ වායු සංචිත ඇත්දැයි සොයා බැලීම ඇරඹී ඇත්තේ මීට වසර හතළිස් පහකට පමණ ඉහතදීය. ඒ 1967 වර්ෂයේ ‘‘කැම්පේන් ජෙනරල් ද ජියොෆිසික්” නමැති ප‍්‍රංශ සමාගම හා, ශ‍්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව කළ සමීක්ෂණයකිනි. අනතුරුව, 1974 වර්ෂයේදී ද රුසියානුවන් විසින් මන්නාරම් දූපත ආශ්‍රිතව ගවේෂණ කරන ලද නමුත් සෑහීමකට පත්විය හැකි අන්දමේ ප‍්‍රතිඵලයක් අත් නොවිණි. 

 
1984 වර්ෂයෙන් පසුව නවතා දැමුණු තෙල් හා වායු ගවේෂණ කටයුතු යළි කළ එළි බසින්නේ 2001 - වර්ෂයේදීය. එම වසරේ නෝර්වේජියානු සමාගමක් වන ”ටී. ජී. එස්. නෝපෙක්” සමාගම සහ තෙල් සංස්ථාව එක්ව මන්නාරම් ද්‍රෝණියේ භූ කම්පන දත්ත යළි රැස්කළ අතර 2002දී ‘‘නිව් සවුත් ග්ලෝබල්” සමාගම මගින් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබා දෙන ලදි. එම වාර්තාව මගින් මන්නාරම් බොක්කේ තෙල් සංචිතයෙහි ප‍්‍රමාණය පිළිබඳවද දළ ඇස්තමේන්තුවක් දක්වා තිබිණ. ඒ සමගම ටී. ජී. එස්. නෝපෙක් සමාගම මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව තවත් කිලෝමීටර් 4600 දත්ත රැස් කළේය.   


නෝර්වේජියානුවන්ගේ ලංකාවේ මැදිහත්වීම මෙරට ඇති ඛනිජ සම්පත් ලබා ගැනීම උදෙසා බව සමහරුන් කියන්නේ මේ කරුණු නිසාය.   


මෙරට ආ නෝර්වේ සාම දූතයා වූයේ එරික් සොල්හයිම්ය. ඔහුගේ පක්‍ෂය කුඩා නගර සභා ඡන්දයකට ඉදිරිපත් වෙමින් දේශපාලන ගමන ඇරඹුවේ 1978 දීය. පළමු මැතිවරණයෙන් ලියාපදිංචි ගාස්තුවවත් සොයාගත නොහැකි වූ අතර නෝර්වේ දේශය තුළ තිබූ දේශපාලන පක්‍ෂවලට විකල්පයක් ඉදිරිපත් කිරීමටද ඔවුන්ට නොහැකි වී තිබිණ. සාම්ප‍්‍රදායික ආගම්වාදීන්ද ජාතිප්‍රේමීන්ද එකතු කරගෙන මැතිවරණ රැස්වීම් පැවැත්වුවද එරික්ට ජනතාව ආකර්ශනය කර ගැනීමේ පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ නොහැකි විය. එක්කෝ එක් රැස්වීමක සිටින්නේ දෙතුන් දෙනෙකි. ඇතැම් මහජන රැස්වීමක් අවලංගු කිරීමට සිදුවූයේ ජනතාව නොපැමිණි නිසාය. සියලු දේශපාලන පක්‍ෂ ජනතාව අතරට කාවැදී තිබුණෙන් අලුත් මතවාදයක් ඉදිරිපත් නොකළොත් පක්‍ෂය අහෝසි වී යනු ඇත.   


එරික් වොලබැග් ඔහුගේ සගයා විය. ජ්‍යෙෂ්ඨයා වූයේ වොලබැග් වුවද පක්‍ෂය පිටුපස සිටි යාන්ත‍්‍රණය එරික් විය. එරික් සොල්හයිම් අන්තිම තුරුම්පුවද ගැසුවේය. බෙහෙවින් වෘද්ධව සිටි පියාණන් සමග පල්ලියේ යාච්ඤාවලට එක්වූ එරික් වැඩිහිටියන්ගේ හැඟීම් ඇවිස්සීමට උත්සාහ කළේය. පැරණි වයිකිං යුගයේ නෝර්වේ හි පැවැති ශ‍්‍රී විභූතිය මේ මහල්ලන්ගේ සිතට ධාරණය කිරීමට උත්සාහ කළ ද හිටපු සොල්දාදුවන්ගෙන් මහලුව ගිය ගණිකාවන්ගෙන් සහ විජාතික සම්භවයකින් යුතු වූ සෙසු බැතිමතුන්ගෙන් පැරණි වයිකිං යුගයේ ශ‍්‍රී විභූතියට යහපත් ප‍්‍රතිචාරයක් නම් ලැබුණේ නැත. ඔවුන් දේශප්‍රේමී හැඟීම්වලින් සිත ඇවිස්සී දපනය වැටෙන වයස පසුකර දශක කීපයක් පමණ ඉක්ම ගොස් තිබිණ.   


පක්‍ෂයේ විනාශය අභිමුව තිබියදී ඔහුට වාසනාව ගෙනෙන පිපිරීමක් 1983 ජුලියේ යාපනය තිරුනෙල්වේලියේ දී සිදුවිය.   


1983 සැප්තැම්බර් මාසයේ දවසක ආන් ෆොයෝටො ෆොව් තම ආසියාතික මිතුරකු ද සමග එරික් හමුවන්නට ආවේය. වියදමට කිසිවක් නැතිව ඔස්ලෝ නුවර වීදි ගානේ ඉබාගාතේ ඇවිද ගිය මාස ගණනාවකට පසුව එරික් සෝපාවේ වැතිරී සිටියේ සැප්තැම්බරයේ සීතල තුෂාරය ජනෙල් වීදුරු වසා ගනිද්දීය. ආන් ඔහුගේ සමාජවාදී පක්‍ෂයේ ස්ථිර සාමාජිකයන් දෙතුන් දෙනාගෙන් එක් අයකු විය.   


”එරික්.... මේ ශ‍්‍රී ලාංකිකයෙක් කන්දප්පා.... ඔහුගේ මිතුරන් සහ ඥාතීන් කරදරයක පැටලිලා. ඔබේ උදව් අවශ්‍යයි.”   


”ශ‍්‍රී ලංකාව මට හුරු නමක් නොවෙයි...” එරික් කීවේ සුපුරුදු විඩාබර ගතියෙනි.   


”ඉන්දියාවට යට කුඩා රටක්. මෙයාල වෙනම ජන වර්ගයක්. රටේ මහජාතිය ඔවුන්ට පහරදීලා... මිනිසුන් මැරිලා... මෙයාලව රටින් පලවාහරිමින් ඉන්නවා...” ආන් කියාගෙන ගියේය.   
”කියන්න... මම අහගෙනයි ඉන්නේ.”   


”පසුගිය සතියේ විශාල අභ්‍යන්තර කෝලහලයක් වුණා. අගනුවර ගිනිගත්තා. අපව අගනගරයෙන් එළෙව්වා... දේපොළ කොල්ලකෑවා.... මරාදැම්මා....” කන්දප්පා කියාගෙන ගියේය.   
”අපිට ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න බෑ. ජාත්‍යන්තර නීති තියෙනවා...” එරික් කීවේය.   


”මැදිහත් වෙන්න එපා... මට ඒ ජනතාව ගේන්න උදව් වෙන්න සර්. දැන් අගනුවර පමණක් දහස් ගණනක් අනාථ කඳවුරුවල ඉන්නවා. අපිට මේ පිරිස මෙතැනින් ඉවත් කරගන්න උදව් වෙන්න... එපමණයි ඕනෑ...” කන්දප්පා ආයාචනා කළේය.   


එරික් නිහඬ විය. ආසියාතිකයන් යුරෝපයට ගෙන්වා ගැනීම අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරවන බව ඔහුගේ නිගමනය වී තිබිණ.   


‘‘එරික් මෙතන තව ප‍්‍රශ්නයක් තියෙනවා... මෙයා කියනවා සිංහල ජනතාව මේ පහර දෙන්නෙ කතෝලිකයන්ටයි කියලා...” ආන් කතාවට මැදිහත් විය.   


කන්දප්පා එරික්ගේ සංවේදී ස්ථානයකට අත තැබීමට සූදානම් වූයේ යකඩය රත්වීගෙන එන බව හොඳින්ම පෙනුණ හෙයිනි. එරික්ගේ පියා පූජකවරයකු බව කන්දප්පා අසා තිබිණ.   


”සිංහල ආණ්ඩුව පහරදෙන්නේ යාපනයේ කතෝලිකයන්ටයි. දෙමළ කතෝලික ජනතාව විශාල වශයෙන් මේ ගැටුම් නිසා අවතැන් වෙලා. මරා දමලා. පල්ලි පුච්චලා... යාපනේ බොහොම අමාරුවෙන් තමයි මේ කතෝලික පල්ලි රැක ගත්තේ.... දැන් ඒවා කඩල බිඳලා දාලා... ජනතාව මරා දමනවා...” කන්දප්පා එරික්ගේ සංවේදී ස්ථානයට ආමන්ත‍්‍රණය කර තිබිණි. 

 
”ඒකනම් බොහොම බරපතළ ක‍්‍රියාවක්. ලෝකෙ කොහෙ වුණත් ආගමික නිදහස තිබිය යුතු බව මගේ අදහසයි.” එරික් කියා සිටියේය.   


”පසුගිය කාලෙ ෆාදර්ස්ල කීපදෙනෙක් අත්අඩංගුවට අරන් තිබුණා. ඔවුන් කළේ ධර්ම ප‍්‍රචාරය පමණයි. ඔබ කතා නොකළොත් ඔවුන් ගැන කතා කරන්න කෙනෙක් නෑ....” කන්දප්පා මුහුණ විරූපී කර ගත්තේය.   


එහෙත් මෙම කලබල අවස්ථාවේ කතෝලික පල්ලිවලට කිසිදු හානියක් සිදුවී තිබුණේ නැත. 1983 ජූලියෙන් පසු පූජකවරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුහු දෙමළ ඊලාම් විමුක්ති කොටින්ගේ ක්‍රියාකාරී ආධාරකරුවන් වූහ. සිංගරායර් පියතුමා, සින්නරාසා පියතුමා සහ ජයතිලක රාජ එම පියවරු වෙති.   


‘‘අපට පිහිටට ඉන්නේ යුරෝපය විතරයි. අහක බලන්න එපා. මේක වාමාංශික කැරැල්ලක්..” කන්දප්පා සිතුවිලිවලට බරවී සිටි එරික්ගේ මුහුණ දෙස බලා කීවේ යකඩය රත්වන බව පෙනී ගිය හෙයිනි.   


‘‘ලෝකෙ කොයි රටක හරි වාමාංශය බලවත් වෙනවට නම් මම කැමති නෑ.....” එරික් එසේ කියද්දී කන්දප්පා තම තුරුම්පුවේ තවත් කොටසක් එළි දැක්වීය.   


‘‘මේකයි සර්..... මේ ප‍්‍රදේශයේ අපේ දෙමළ ඡන්ද 1500ක් තියෙනවා. අපිට උදව් කළොත් ඔබට ඒ ඡන්ද සියල්ලම වැටෙන විදිහට මම කටයුතු කරන්නම්.....”   


එරික් තම මිතුරා දෙස බලා සිටියේය. ඔහුගේ මුහුණේ සියුම් ආලෝකයක් ඇදී ගියේය. 

 
‘‘කඳවුරුවල කීයක් ඉන්නවද....”   


‘‘විසිදාහකට වඩා ඉන්නවා...”   


‘‘අපිට වුවමනා යුරෝපයට මේ පිරිස ගේන්නයි. තවත් රටවල් අපිට උදව් කරන්න ලෑස්තියි... මේ පිරිස ඉන්දියාවට ගෙනිහිං එතැනින් යුරෝපයට ගේන්න වෙනවා. ඔබේ රට භාර ගන්නා පිරිසගේ ස්ථිර නවාතැන බවට නෝර්වේ පත්වේවි. මම වගකියනවා ඒ එන මිනිස්සු වෙනුවෙන් අපේ සියලුම ඡන්ද ඔබට පවරන්න.... අනාගතයේ එන සරණාගතයන් සියලුම දෙනාත් ඔබට ඡන්දය දේවි....”   
එරික් ඇසිපිය නොහෙළා කන්දප්පා දෙස බලා සිටියේය. මෙතෙක් පයට පෑගෙමින් සිටි අගනා මාණික්‍යයක් අහුලා ගැනීමට දැන් වේලාව පැමිණ තිබේ.   


‘‘ඒ මිනිසුන් නැව්වලින් ගේන්න පුළුවන්... ඔබට මුදල් සොයා ගන්න වේවි....”එරික් කන්දප්පාට කියද්දී කන්දප්පා හිස සැලුවේය.   


‘‘මම ඔවුන් පළමුව මදුරාසියටත් ඉන්පසු හැකියාව ලැබෙන අයුරින් යුරෝපයටත් ගෙන එනවා” කන්දප්පා කියා සිටියේය. ශ‍්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාව බිහිවීමේ තිඹිරිගෙය එය විය.


තම හිතවතා සහ කන්දප්පා නික්ම ගිය පසු එරික් දිගු වේලාවක් කල්පනාවේ නියුක්ත විය. තමාට මව්බිමේ ඡන්ද නොලැබෙන්නේ නම් විදේශිකයන්ගේ ඡන්ද හෝ ලබාගෙන පක්‍ෂය අවලංගුවීමෙන් වළක්වා ගත යුතුය. පක්‍ෂයක් අවලංගුවීම යනු දේශපාලනයෙන් සමුගැනීම වන අතර අවලංගු වූ පක්‍ෂයක් යළි නඟා සිටුවීම කිසිදා සිදුවී නොමැති බව එරික්ට සිහිවිය. ඡන්ද 1500 ක් යනු නගර සභා අසුනක් දිනා ගත හැකි ප‍්‍රමාණයකි. කන්දප්පා ඔස්ලෝ නුවර පුවත්පත් ආයතනයක් සොයා ගියේය. ඔහු කළ විස්තරය සහ ලබාදුන් ඡායාරූප දෙක දෙස මොහොතක් බලා සිටි ප‍්‍රවෘත්ති කර්තෘවරයා ”මේ රට මම අහල නෑ.... ඒත් පින්තූර නම් දුක හිතෙන සුලුයි.” කීවේය.   

 

 

පසුදා ඔහුගේ පුවත්පතේ ශ‍්‍රී ලංකාවේ කොළඹ සිදුවූ ජනවාර්ගික ගැටුමක් ගැන වාර්තා පළවිය. ඉන්දියාවට යටින් පිහිටි ශ‍්‍රී ලංකාව නමැති දිවයිනේ ජනවාර්ගික සංහාරයක් වී ඇතැයිද දමිළ සුළු ජාතිය නිවෙස්වලින් පලවා හැර කපා කොටා මරා දමා ඇතැයි ද පුවත් පළව තිබුණේ නෝර්වේහි ඒ වන විටත් ජීවත්ව සිටි දමිළයන්ගේ හදවතට කතා කරන අයුරින් විය. ලාංකික දමිළයෝ පමණක් නොව තමිල්නාඩුවෙන් පැමිණ පදිංචිව සිටි දමිළයෝද මෙම පුවතට වහා ප‍්‍රතිචාර දැක්වූහ. ශ‍්‍රී ලංකාව හෙළා දකින ප‍්‍රවෘත්ති දිනපතාම පාහේ පළවු අතර ඔවුන් රැක ගැනීමට නෝර්වේ දේශය සූදානම් බව පුවත්පත්වල පළවිය.   


කන්දප්පා දමිළ අනාථයන් ගේ ඡායාරූප රැගෙන සෑම පත‍්‍ර ආයතනයකටද රූපවාහිනි මධ්‍යස්ථානයකටද ගියේය. විකාශන කාලයට සරිලන මුදල ගෙවා වැඩ සටහන වෙන් කර ගැනීමේ වාසිය ඔහු ප‍්‍රයෝජනයට ගත්තේය. සුළු ජාතිය වන දමිළයන් නිවෙස්වලින් පලවා හරින ගින්නේ ලා පුළුස්සන භයංකාර රටක් ශ‍්‍රී ලංකාව නමින් ඇති බව ඔහු එමගින් ලෝකයටම කීවේය. එම රූපරාමු දුටු ජනමාධ්‍ය කතුවැකිද විශේෂාංග ලිපිද පළ කළේය. මුදලේ බලය යුරෝපයේදී ද ඵල දරමින් තිබිණ.   


කන්දප්පාගේ ප‍්‍රචාරක යන්ත‍්‍රයට පිළිතුරු දීමට ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන් එහි නොවූ අතර නිලධාරින් යුරෝපයට යැව්වේ එයට දිගු කාලයකට පසුවය.   


ශ‍්‍රී ලංකාවේ සුළු ජාතීන්ට පහරදී පුළුස්සා මරා දමන බවට ලන්ඩනයේ වැඩසටහන විකාශය වූයේ බීබීසී රූපවාහිනියෙනි. ඒ 1983 අගෝස්තු මාසය විය. එම වැඩසටහන එරට ජනතාව අවුස්සා දමා තිබිණි. පිට පිටම දින දෙකක් තුළ තවත් රූපවාහිනියකද මෙවැනි වැඩසටහනක් විකාශය කෙරිණි. අනතුරුව පුවත්පත් කිහිපයක ලිපි පළ විය. ඒ සියල්ලෙත් ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව මිනීමරුවන් රොත්තක් සේ උලුප්පා දක්වා තිබූ අතර ඔවුන් මෙමගින් බේරීම සඳහා අහිංසාවාදී අරගලයක් දියත් කර ඇති බවද දක්වා තිබිණි. ස්වීඩන ජනමාධ්‍ය ද මේ ප‍්‍රවෘත්තිය පළ කළේය.   


කන්දප්පා බටහිර ක‍්‍රමය අනුව හැඩගැසුණේය. දෙවැනි ලෝක යුද්ධයේදී රහසිගත වධකාගාරවලින් යුදෙව්වන් ගලවා ගැනීමේ විවිධ උපක‍්‍රම ක්‍රියාත්මක විය. මේ සඳහා ප‍්‍රධාන වශයෙන් පාවිච්චි වූයේ විකෘති කළ ගමන් බලපත‍්‍රයි. මෙම ක‍්‍රමයම යාපනයේ දෙමළ සරණාගතයන් ඔස්ලෝ කරා ගෙන්වා ගැනීමටද කන්දප්පා පාවිච්චි කළේය. නෝර්වේ විදේශ අමාත්‍යංශයේ යම් යම් දූෂිත නිලධාරීන් හඳුනා ගත් ඔහු නෝර්වේ ක්‍රෝන ගෝනියක පමණ පිහිටෙන් කූට ලියවිලි සකසා නැව් ගණනාවකින් යාපනය සරණාගතයන් බර්ජින් වරාය වෙත ගෙනාවේය.   


මේ බව පසුකාලීනව ත‍්‍රස්තවාදයට එරෙහි නෝර්වේජියානුවෝ නමැති සංවිධානය කළ සමීක්‍ෂණවලදී හෙළිදරව් විය. ඒ අතරම කන්දප්පා ව්‍යාජ ලේඛන සැකසීමේ ශූරයකු ද විය. පිටකොටුවේ බෝගහ යට ඇවිදින කච්චේරියට සමාන වැල්වැටිතුරේ විද්‍යාල මාවතේ ඇවිදින කච්චේරියෙන් සිප් සතර හැදෑරූ ඔහු ඕනෑම නිලධාරියකුගේ අකුරුවලට සමාන අකුරු පිටපත් කිරීමේ සූරයෙක්ද විය.   


1984 සිසිරයේ ඔස්ලෝ නුවර මේපල් ගස්වල මල් පූදිමින් එද්දී කන්දප්පා ක්‍රෝන මල්ලක් රැගෙන විදේශ අමාත්‍යාංශයට ගියේය. 

 
”ආ.... ආසියාතිකයා උඹත් දුක් විඳින මිනිහෙක්.... මේ පාර කීයක් ගලවා ගන්න ඕනෑද?...” විදේශ අමාත්‍යාංශ නිලධාරීහු විමසූහ.

 

 

 

 

 

 

 


මතු සම්බන්ධයි.
ප්‍රේමකීර්ති රණතුංග