ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල නාලන්දේ හැදූ කතාව


නාලන්ද‌ා ජලාශය ඉදිකළ අයුරු දැක්වෙන සිනමා පටයේ පවතින දර්ශන. 

 

 

 

‘බ්‍රිතාන්‍ය පුවත් සේවය ඉදිරිපත් කරන එඩිම්බරෝ ආදිපාදවරයාගේ ආසියානු සංචාරය 1957 වසරේදී එංගලන්ත රැජිනගේ වල්ලභයා නොහොත් අඩිම්බරෝ ආදිපාදවරයාගේ ආසියානු සංචාරය සම්බන්ධයෙන් සැකසූ විශේෂ සිනමා පටයකි. 


මේ සම්බන්ධයෙන් දන්නෝ වත්මනේ අතළොස්සක් වත් නැති තරම්ය. 


ඒ 63 වසරක ඉතිහාසයක් ඇති ලංකාවේ පළමුව පළමු කොන්ක්‍රීට් වාරි​ වේල්ල වන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාලන්ද ජලාශය පිළිබඳව සැකසුණු විශේෂ වාර්තාමය වැඩසටහන මෙය වන නිසාවෙනි. 


 මෙම සිනමා පටයේ වත්මන් අයිතිකරුවා වන නාලන්ද දර්ශී ප්‍රාථමිකයේ විදුහල්පති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතාට අනුව සුරක්ෂිතව පවතින මේ සිනමා පටය හා ඒ හd බැඳුණු අතීතය පිළිබඳව ඔබට සියලු තොරතුරු මෙසේ දිග හරිමු. 


ආනන්ද කනහැරආරච්චි මහතා සමග එවකට නාලන්ද‌ා ජලාශය ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ අයකු තවමත් ජීවතුන් අතර සිටිනවා යැයි ලද හෝඩුවාවකට අනුව අපි ඔහු සොයා ගියෙමු. 


 නාඋල සිට නාලන්ද‌ා ජලාශයට ගමන් ගන්නා මඟේ එබවල සිට ගමන් කළ අපි ප්‍රධාන මාර්ගයෙන් මඳක් බෑවුම් ප්‍රදේශයක ඉදිකර තිබූ තරමක් පැරණි නිවසක් වෙත පිය මැන්නෙමු. 


ඔහු නමින් ටී.ජී. හේමචන්ද්‍රය. මේ වන විට ඔහු අසූහතරවෙනි වියේ පසුවෙයි. 


 ‘ජලාශය හදන්න කාර්මිකයෝ ගන්නවා කියලා ඒ කාලේ ආරංචියක් තිබ්බා. 


 මේ අල්ලපු ගෙදර හිටියා වඩු බාසුන්නැහේ කෙනෙක්. එයා දවසක් කිව්වා ඩෑම් එක හදන්න කට්ටිය ගන්නවා, බයවෙන්න දෙයක් නෑ පුතාව දෙන්න කියලා තාත්තාට කිව්වා. 
 තාත්තා කැමැති වුණේම නැහැ මේ වැඩපළේ තිබ්බ අවදානම හින්ද‌ා. කොහොම හරි අකැමැත්තෙන් වුණත් මම නාලන්ද‌ා ජලාශයේ බැම්මේ වැඩට ගියා වඩු කාර්මික අංශයෙන්. ඩෑම් එක හදන්න එද‌ා පොළොව අඩි 20 ගැඹුරට හෑරුවා. ඒ මට මතක හැටියට 1957 වසරේ විතර. 


 වල්මොරුවේ කන්දේ තියෙන තනි කළුගලම පෑදුවා එද‌ා. කළුගල විදලා අඟලේ කම්බි බස්සලා තමයි අත්තිවාරම උඩට ගෙනාවේ. අත්තිවාරම විතරක් අඩි 20 ක් විතර ආවා පොළොවෙන් උඩට. 

 

නාලන්ද‌ා ජලාශය අද දැකිය හැකි අයුරු

 

 


 ඊට පස්​සේ උඩු පැත්තෙන් අඩි 120 ක් විතර බැම්ම බැන්ද‌ා කෙළින් අතට. 


ඒ කාලේ වල්මොරුවේ ආරච්චි මහත්තයා, පුංචිබණ්ඩා මහත්තයා තමයි එඩිම්බරෝ ආදිපාදතුමාට බස්තමක් පරිත්‍යාග කළේ. 


 ඒ කාලේ රුපියල් හැත්තෑපහයි මගේ පඩිය. 


එක හුස්මට සිය අතීතය පිළිබඳව අප ඉදිරියේ දිගහැරි හේමචන්ද්‍ර මහතා නාලන්ද‌ා ජලාශයේ ඉදිකිරීම් අතරතුර ජීවිත දෙකක් අහිමි වූ බව ද කියා සිටියේය. 
වසර ගණනාවක් පුරාවට නිදහසේ ගලා බැසි නාලන්ද‌ා ජලාශය වනාහි වත්මනේ යෝධ වෙල්යායකට ජලය සපයන මහා ජල කඳකි. 


1947 - 57 වකවානුවලදී මේ සුවිශේෂි නිර්මාණය ඉදිකර ඇති බවට 2019-03 මස 10 වන දින එවකට සිළුමිණ පුවත්පතට ලිපියක් සපයමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශ පීඨාධිපති මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතා සඳහන් කර තිබේ. 
එවකට පැවැති සමාජ පසුබිම හරහා පැවැති තාක්ෂණික ක්‍රමවේදයන් යටතේ පන්සීයකට අධික පිරිසක් මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා එක්ව ඇති බව හෙතෙම සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. 


මාතලේට වයඹින් පිහිටි බිලගල, අස්ගිරිකන්ද හා මකුළුස්ස ආදී කඳු ශිඛර අතරින් උපදින නාලන්ද‌ා ඔය සැතපුම් 20 ක් පමණ දිගය. 


ජලය ගලා එන කොටස් දෙවිල්ල ඔය, හෙල්වත්ත ඔය සහ අකුරම්පොත යන නම්වලින් ද හැඳින්වෙයි. 


බටහිරින් පිහිටි අඩි එක්දහස් හතළිස් හතරක් (1044) උසැති අම්බොක්කෙන් නැගී උතුරින්, ඉනික්බිතිව නැගෙනහිරත් බලා ගලන අම්බොක් ඔය (සැතපුම් 9 යි) අඩි 780 ක් පමණ උසෙහි දී එහි වම් ඉවුරෙන් එකතු වෙයි. 


සැතපුමක් ඇතුළත දී අඩි 1500 ක් බස්නා ඇළයෙන් නික්මුණු නාලන්ද‌ා ඔයේ ගමන් වේගය යටිගං පියසේදී බෙහෙවින් අඩු වේ. 


ඉන්කිබිතිව සැතපුම් 19 ක් පමණ ගමනක් ඇතුළත දී එහි බැස්ම අඩි 720 ක් පමණ හෙයින් එහි අනුක්‍රමණය 1ඃ40 ක් පමණ වෙයි. (මහවැලි වංශය 1 කාණ්ඩය 1984 මුද්‍රණය) 
කෙසේ නමුත් හේමචන්ද්‍ර මහතා වත්මනේ කියා සිටින ආකාරයට දේශීය ඉංජිනේරුවන් අතින් නිමැවෙන මේ සුවිශේෂි ලංකාවේ පළමු කොන්ක්‍රීට් වාරි වේල්ල පිළිබඳව බොහෝ කරුණු පවතියි. 


සිනමා පටයේ හිමිකරු වන ආනන්ද මහතා විසින් මහත් පරිශ්‍රමයක් යොදා එය නවීන තාක්ෂණයට මුසුකර එදා පැවැති දර්ශන සිනමා පටයෙන් වෙන්කර ගන්නට සමත් වී තිබේ. 
මුල් පිටපතට කිසිදු හානියක් නොවන ආකාරයෙන් සිදුකර ඇති එම පිටපත් කිරීමට අනුව අපි විසින් එහි දර්ශන හේමචන්ද්‍ර මහතාට පෙන්වීමට කටයුතු කළෙමු.

 
ඔහු ඒ දෙස මහත් ආසාවෙන් බලා සිටියේය. 

 

එංගලන්තයේ එඩිම්බරෝ ආදිපාදවරයාට නාඋල වල්මෝරුවේ පුංචිබණ්ඩා ග්‍රාම නිලධාරිතුමා බස්තමක් තිළිණ කළ අවස්ථාව. 

 

 


 යන්තම් වයස 21 ක් හෝ විසි පහක් පමණ වූ ඉලංද‌ාරියෙකුගේ දස්කම් මෙහි ඇත්දැයි ඔහු විපරම් කළේය. වරෙක පුදුමය දනවන අයුරින් අතීතය දෙස විපරම් කළ හේමචන්ද්‍ර මහතා කියා සිටියේ බොහෝ සිද්ධි තමන්ට මේ වන විට අමතක වී ගොස් ඇති බවයි. 


කෙසේ වෙතත් ආනන්ද මහතා විසින් නැවත පිටපත් කරන ලද එඩිම්බරෝ ආදිපාදවරයාගේ ආසියානු සංචාරයේ නාලන්ද‌‌ා ජලාශ නිරීක්ෂණයේ දර්ශන ලංකාදීප පාඨක ඔබට ද දැකගැනීමට සැලැස්වීම අපගේ අරමුණ වී තිබේ. 


 නාඋල-එබවල දී හමු වූ මේ සුවිශේෂි මිනිසා හේතුවෙන් හා සිනමා පටය හේතුවෙන් ලංකාවේ පළමු කොන්ක්‍රීට් වාරිවේල්ල ඉදිවූ අයුරු ඔබට ද දැකගත හැකිය. 
පැරණි ට්‍රැක්ටර් විශේෂයක් (ඩම්පර්) වලින් පස් පිරවීම දොඹකර ආධාරයෙන් කොන්ක්‍රීට් ජලාශ පතුලට රැගෙන ඒම ආදී දර්ශන මෙහි ඇතුළත්ය. 


එඩිම්බරෝ ආදිපාදවරයාගේ සම්ප්‍රාප්තිය මෙන්ම ඔහු පිළිගැනීම ආදී දර්ශන ද මෙහි අන්තර්ගතව තිබේ. 


වර්තමානය වන විට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා බිම් රැසකට දියවර සපයන නාලන්ද‌ා ජලාශය නොදුරේදී වයඹට ජලය ගෙන යෑමට සැරසී සිටියි. 
අතීතයේදී තාක්ෂණය එතරම් දියුණු නැති යුගයක ජලාශ වේල්ල බැඳීම වැනි සංකීර්ණ කාරණාවක් සඳහා සිදුකරන ලද කැපකිරීම නාලන්ද‌ා ජලාශය නරඹන්නෙකුට පැහැදිලි වනු ඇත. 


 ඒ අන් කිසිවක් නිසා නොව මෙරට වාරි ශිෂ්ටචාරයේ පළමු කොන්ක්‍රීට් වාරිවේල්ල මෙරට ඉංජිනේරුවන් අතින් නිමවීමය. 


තාක්ෂණය අතින් සුරක්ෂිත ආකාරයෙන් ඉදිකර ඇති නාලන්ද‌ා ජලාශය වනාහි නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහා කෙත්වතු අස්වැද්දීමට කැපවී සිටින ජලාශයකි. 
 වසර ගණනාවකට පෙර සිදු වූ අපූරු සිදුවීම් රැසක අතීත රූපකාව්‍යයක් අද වෙනතුරු පරිස්සම් සහගතව තබා ගනිමින් ​අපේ රටේ අතීත උරුමයන් ආරක්ෂා කිරීම පැසසිය යුතු කාරණාවකි. අදටත් ජීවතුන් අතර සිටින එද‌ා නාලන්ද‌ා ජලාශය ඉදිකිරීම් ව්‍යාපෘතියේ වඩු කාර්මිකයකු වූ හේමචන්ද්‍ර මහතා ද එවැනි සුවිශේෂි පුද්ගලයෙකි. 


අද වන විට මෙරට ජනතාවට ආඩම්බර විය හැකි මේ අපූරු නිර්මාණය පිළිබඳව නිමැවුණු එඩිම්බරෝ ආදිපාදවරයාගේ ආසියානු සංචාරය කියාපාන්නේ අපේ රටේ විශිෂ්ට වූ වාරි ඉතිහාසයයි. 

 


සටහන හා ඡායාරූප
නාඋල ඉන්දික අරුණ කුමාර