ලංකාවේ එකම ඊජිප්තු දේවාලය


 

සුප්‍රසිද්ධ අක්හෙනතන් පාරාවෝවරයාගේ දුවණිය වූ අන්ක් හෙසන් පාතෙන් කුමරිය උදෙසා ඉදිවූ දේවාලයක් වැලිවිට ග්‍රාමයෙහි ගල් දත්ත ලෙන ආශ්‍රිතව පිහිටා තිබේ. එයට පහළින් වූ දෙවොලක අභ්‍යන්තර කුටිය මෙම කුමරියට කැපකර තිබේ. මෙකී ස්ථානය ගලගෙදරට නුදුරින් පිහිටා තිබේ.   


බාල වයසෙහි රාජ්‍යයට පැමිණ අවුරුදු 19දී පමණ මියගිය සුප්‍රසිද්ධ තූතන්කාමන් පාරාවෝ රජුගේ බිසව වූ අන්ක් හෙසන් පාතෙන්ද තූතන්කාමන්ගේ මියයාමට ආසන්න කාලයක එවක මිසරයේ පැවති ආගමික ආරවුල් නිසා අක්හෙනතන් රජු අතින් මරණයට පත්විය. 


මිසරයේ පැවති අමෙන්රා සූර්ය භක්තිය හා ​අනෙක් දෙවිවරුන් පිළිබඳ අදහස අක්හෙනතන් රජු ප්‍රති​ක්ෂේප කොට පැරණි මිසර පූජකයන් ලබා තිබූ රාජ්‍යයේ උසස් තත්ත්වය ද නැතිකොට අටෙන් වාදය ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. රජුගේ දියණිය වූ අන්ක් හෙසන් පාතෙන් මේ ආගමික ප්‍රතිසංස්කරණයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන්, එයින් උරණ වූ පිය රජු ඇයව පූජකයන් ලවා දූෂණය කොට මරවා, ඇය​ගේ දේහයෙන් අතක් ද ඉවත් කොට කැපූ අත රජුන්ගේ මිටියාවතේ මමී තැන්පත් කළ ප්‍රදේශයේ වළලා දැමුවේය. 
රාජ්‍යය තුළ මහත් කැලඹීමක් ඇතිකළ අක්හෙනතන්​ගේ අාගමික ප්‍රතිසංවිධානය නිසා පාරම්පරික පූජක පිරිස ද උරණ වූහ. ඔවුන් අත රාජ්‍යය කටයුතු සම්බන්ධ බලපෑමක් ද එසේම රජ මාළිගාව තුළ බලයක් ද තිබූ බව පෙනේ. තමන්ට අහිමි කළ තත්ත්වය ගැන උරණ වූ ඔවුහු රාජ්‍ය සභාව තුළ ද බලපෑම් ඇති කළහ. මේ නිසාම එහි ඔවුන්ට ද බලයක් තිබූ අතර තූතන්කාමන් රජු නැවත මිසරයේ පැරණි ආගමික වාදය වූ අමෙන් රා භක්තිය නැංවීමට කටයුතු කළේය. අන්ක් හෙසන් පාතෙන් කුමරිය බාලවයස්හිම විවාහ වී සිටියාය. ඇගේ මරණය තූතන්කාමන් රජුගේ අකල් මරණයට පසුව සිදුවන්නට ඇත. තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි ඇය විසින් තබන ලදැයි සිතිය හැකි මල්වඩම ද සොයාගෙන ඇත. මෑත දී තූතන්කාමන්ගේ මමිය පරීක්‍ෂා කළ විද්‍යාඥයන් රජු මැලේරියාව හේතුවෙන් අකල්හි මියගිය බව තහවුරු කර තිබේ. 
1922 දී තූතන්කාමන්ගේ සොහොන් ගැබ කැනීම් කර සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හොවඩ් කාටර් මහතා කල්පනා කළේ අක්හෙනතන් රජුගේ දූ කුමරිය වූ හෙසන් පාතෙන් විවාහකර ගැනීමෙන් තූතන්කාමන් රාජ්‍ය බලය උරුම කරගන්නට ඇති බවයි. එහෙත් මෑතක දී තූතන්කාමන්ගේ මමිය පරීක්‍ෂා කළ විද්‍යාඥයන් තූතන්කාමන් අක්හෙනතන් රජුගේ පුත්‍රයා බව ද අන්ක් හෙසන් පාතින් කුමරිය ද අක්හෙනතන් රජුගේ වෙනත් බිසවකගෙන් ලද දියණියක් බව ද ප්‍රකාශ කර සිටී. 


මේ අනුව තූතන්කාමන් රජු හා බිසව එකම රජුගේ දරුවන් බව ඔප්පු වේ. තූතන්කාමන්ගේ සොහොන් ගැබෙහි ඔවුන්ට ලැබුණු දරුවාගේ මමිය ද තැන්පත් කොට තිබුණි. මෙසේ එම දරුවා මියගියේ එකම පවුලේ මවුපියන්ට දා වීමෙනි. කෙසේ වෙතත් තූතන්කාමන්ගෙන් පසුව එම රාජ්‍ය පරම්පරාව වෙනත් පරපුරකට හිමි විය. 
අන්ක් හෙසන් පාතෙන් කුමරිය නැවත කරළියට එන්නේ අවුරුදු දහස් ගණනකට පසුව පාරාවෝ රජුන්ගේ සොහොන් කොල්ලකරුවන් විසින් පිටතට ගන්නා ලද වටිනා පුරාවස්තු සමගිනි. ගුප්ත විද්‍යාව හා සංඛ්‍යා විද්‍යාව ද අනාවැකි කීම හා රෝගීන් සුවපත් කිරීමේ අපූරු හැකියාවක් ද තිබූ බ්‍රිතාන්‍යයේ සිට ඊජිප්තුවට පැමිණ සිටි ලුවිස් හැමෝන් සිටුවරයා 1849 දී ඉහළ ඊජිප්තුවේ ලක්ස්හෝර් නගරයේ නැවතී සිටිය දී මැලේරියාවෙන් ඉතා අසාධ්‍ය වූ ෂෙයික්වරයෙකු සුවපත් කළේය. 
රෝගය සුවපත් වීමෙන් ප්‍රසාදයට පත් ෂෙයික්වරයා තමාට පරම්පරා ගණනක් උරුමයක් වූ අගනා වස්තුවක් හැමෝන් සිටුවරයාට ගෙනවිත් තෑගි කළේය. ඒ අන් කවරක් නොව පුරාණ මිසර කුමරියකගේ මමි බවට පත් කළ අතකි. හැමෝන් සිටුවරයා වියළී රැළි ගැසී තිබූ මමි අත දුටු පමණින් පිළිකුලක් ඇතිව එම අපූරු පරිත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. එහෙත් ෂෙයික්වරයා නැවත නැවතත් මේ ත්‍යාගය පිළිගන්නා ලෙස ඇවිටිලි කළේය. බලවත් පෙරැත්ත නිසාම සිටුවරයා එය භාර ගත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයකට පරිත්‍යාග කරන අදහසිනි. 

 

 


මෙම අතෙහි හිමිකරුවා අනෙකෙක් නොව අක්හෙනතන් රජුගේ දියණිය වූ තූතන්කාමන්ගේ බිසව වූ අන්ක් හෙසන් පාතෙන්ය. හැමෝන් සිටුවරයා මේ අත් කැබැල්ල එංගලන්තයට ගෙන ගිය ද එය කෞතුකාගාරයකට පරිත්‍යාග කිරීම හෝ වෙන කෙනෙකු වෙත පැවරීම ද අපහසු වූ බැවින් එය පෙට්ටියක දමා සුරක්‍ෂිතව තම නිවසේ තැබුවේය. කලක් ගියාට පසුව 1922 දී හැමෝන් සිටුවරයා තම බිරිය සමඟ මේ පෙට්ටිය ඇර බැලුවේ එයට කුමක් සිදු වී ඇත්දැයි බැලීමටය. 
පෙට්ටිය ඇර ලැබූ ඔවුහු මවිතයට හා භ්‍රාන්තියට පත්වූහ. එහි තිබුණේ දිරාගිය අතක් නොව මසින් ලෙයින් පිරි නළියන පණ සහිත ජීවමාන වැනි අතකි. එය දුටු හැමෝන් සිටු දේවිය එතනම කෑ ගසමින් ඇදවැටුණාය. මේ භීතිය ගෙනෙන අත් කැබැල්ල විනාශ කිරීමට දෙදෙනාම තීරණය කළහ. 


මේ අත එසේ හිතුමතයට විනාශ කිරීමට ද ඔවුහු බිය වූහ. එය රජ කුමරියකගේ අතක් බැවින් ගෞරව සහිතව මිසර චාරිත්‍ර අනුව සිදු කිරීමට තීරණය කළහ. 1922 ඔක්තෝබර් 31 රාත්‍රියේ ඔවුහු මිසර මරණයේ ග්‍රන්ථයේ යම් කිසි පාඨයක් කියවා ඉන්පසු ගිනි උඳුනින් පුළුස්සා දැමීමට සූදානම් වූහ. එය සමඟම පරිසරය මුළුමනින් වෙනස් විය. මහත් පිපුරුමක ශබ්දය ද ඇසී මුළු ගෙයම සලිතව ගියේය. ඝනාන්ධකාරය පැතිර ගියේය. ආලෝකය නිවී යාමත් සමඟ හැමොන් යුවළ බිම දිගාවී වන්නට යන විනාසය කුමක්දැයි නොදැන සිටියහ. 
ඉනික්බිතිව පෙනී යන දර්ශනය ඔවුන් භීතියෙන් මුසපත් කරන්නට සමත් විය. හිසෙහි පෙන ගොබය සහිත නාග සංකේත සහිතව ගිනි උඳුන වෙත පැමිණි කාන්තාවක ඒ අසල තිබූ අත් කැබැල්ල ද රැගෙන අතුරුදන් විය. මේ දර්ශනයෙන් පසු හැමෝන් යුවල රෝහල්ගත කරන්නට සිදුවිය. ඉන් සුවය ලදහ. 


මේ කාලය වන විට බ්‍රිතාන්‍ය සාමිවරයෙකු වූ කානවන් ස්වකීය ධන පරිත්‍යාගයෙන් මිසරයේ තූතන්කාමන්ගේ සොහොන් ගෙය කැණීම් කටයුතු අරඹා තිබුණි. හැමෝන් සිටුවරයා කානවන් සාමි වෙත තමාට වූ අකරතැබ්බය දන්වා දෙවියන්ගේ නාමයෙන් එම සොහොන් ගැබට අත නොතබන ලෙස උපදෙස් දුන්නේය. මෙය නොපිළිගත් කානවන් සාමි තූතන්කාමන්ගේ සොහොන් ගෙය විවෘත කර ටික කලකින්ම ඊජිප්තුවේ දී මැලේරියාව සෑදී මළේය. එය කැණීමට උදවු දුන් කිහිප දෙනෙක්ම කැණීම් අවසානයට පෙර විනාශයට පත්වූහ. 

 


මෙවැනි අත්භූත බලයක් ඇති අන්ක් හෙසන් පාතෙන් කවර බලයක් හෝ නිසා අප රටෙහි ද දෙවොලකින් පුද ලබා සිටින්නීය. 

 

 

 


දර්ශනපති, 
කෝරළේ ගෙදර ආරියරත්න